Friday, May 3, 2024

ජනමත විචාරණ අනුව අනුර කුමාර ඉදිරියෙන්; ජාජබ සහ සජබ ළඟ ළග!

පලාත් පාලන මැතිවරණය දින නියමයක් නොමැතිව කල් දමා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් පළාත් පාලන ආයතන සියල්ල කොමසාරිස් පාලනයකට නතු කොට ඇත. පළාත් සභා මැතිවරණ කල් දමා මේ වන විට වසර තුනකට වඩා වැඩි කාලයක්  ගත වී ඇත. පළාත් නමයම ආණ්ඩුකාර වරුන්ගේ සෘජු පාලනයට යටත් කොට ඇත. මෙම ආයතන පිළිබඳ මා පෞද්ගලිකව කුමන ආකල්පයක් දැරුවද, පාලකයන් මේ සියල්ලෙන් සිදුකොට ඇත්තේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කොල්ල කෑමය.
ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය එසේ කල් දැමිය නොහැක. එසේ කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් ව්‍යවස්ථා සංශෝධන යෝජනාවක් අනුමත විය යුතුය. ආණ්ඩුවට පවතින තත්ත්වය අනුව දැන් කොහෙත්ම 2/3 ගැනීමට හැකියාවක් නැත. එම නිසා අනිවාර්යයෙන්ම 2024 අගෝස්තු මාසය ඇතුලත මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පිළිබඳ නිවේදනය නිකුත් කළ යුතුය. ආණ්ඩුව විවිධ උප්පරවැට්ටි දමමින් ජනයාගේ මනස විකෘති කිරීමට උත්සාහ කරන බවක් පෙනේ. ඡන්දය නොපැවත්වෙන බවට මතයක් මේ දිනවල සාකච්ඡා වන්නේ එම නිසාය. විධායක ජනාධිපති ධූරය අහෝසි කොට විධායක අගමැති වරයකු පත්කර ගත යුතුය යන්න තවත් අදහසකි. මේ කිසිවක් කිරීමට ආණ්ඩුවට දැන් හැකියාවක් නොමැත.
පාලක පක්ෂයට පමණක් නොව ප්‍රධාන විපක්ෂයටද අවදානම්
පාලක පක්ෂයට පමණක් නොව ප්‍රධාන විපක්ෂයටද මෙවර බලය අහිමි වීමට නියමිත බව පේන්නට ඇත. ජනයා බලාපොරොත්තු වූ ක්‍රම වෙනස (System Change ) කිරීමට ඔවුන් සූදානම් බව පේන්නට තිබේ. වසරකට වැඩි කාලයක් එක දිගට විවිධ ස්වාධීන ආයතන විසින් කරමින් තිබෙන සමීක්ෂණ වාර්තා වලින් එම වෙනස සිදුවෙමින් තිබෙන බව තහවුරු වී ඇත. සෑම සමීක්ෂණයකම ප්‍රතිඵල අනුව  ජාතික ජන බලවේගය (NPP) ඉදිරියේදී  පැවැත් වීමට නියමිත සියළු මැතිවරණ ජයග්‍රහණය කිරීමට නියමිත බව පේන්නට ඇත.  මෙම සමීක්ෂණ ප්‍රතිඵල දකින සෑම අවස්ථාවකම ආණ්ඩුව කරවන පොහොට්ටු එජාප පූට්ටුවේ ප්‍රබලයන්ට පමණක් නොව ප්‍රධාන විපක්ෂය සහ අනෙකුත්  ප්‍රධාන පක්ෂ වලින් බිඳුණු කණ්ඩායම් (Breakaway Groups)  සියල්ලන්ගේම කොඳු නාරටිය දිගේ වොල්ට් 33,000 ක විදුලි සැරක් ගමන් කරනවා මෙන් දැනෙන්නට පටන් ගෙන ඇත. මන්ද මෙවැනි System Change එකක් ඔවුන් කිසිදා බලාපොරොත්තු නොවීය.
සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සමීක්ෂණ අනුව අනුර දිගටම ඉදිරියෙන්
අරගලය අවසන් වීමත් සමග සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය  හෙවත් IHP (Institute of Health Policy) නැමැති ස්වාධීන ආයතනයක් සෑම මාසයකම දේශපාලන කරුණු පදනම් කරගෙන සමීක්ෂණ වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කරමින් සිටී. එක් වාර්තාවකින් රටේ දේශපාලන පක්ෂ නායකයින්ගේ වඩාත් යෝග්‍ය  පුද්ගලයා කවුද යන්න ජනයාගේ මත විමසීමක් කරයි. අනෙක් සමීක්ෂණය මගින් ජනාධිපතිවරණයකදී වැඩි මනාපයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙන අපේක්ෂකයා /පක්ෂය කුමක්ද යන්න විමසා බලයි. මෙම සමීක්ෂණ මගින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන ආකාරයට අහඹුව තෝරාගත් ඡන්ද දායක සාම්පලයක් ආශ්‍රයෙන් දත්ත ලබා ගෙන පිළිගත් ක්‍රමවේදයකට අනුව විශ්ලේෂණය කොට ප්‍රතිඵල ඉදිරිපත් කරණු ලබයි.
ඔක්තෝබර් 20 වන දින සමීක්ෂණයේ ප්‍රතිඵල
පසුගිය ඔක්තෝබර් 20 වන දින ඉදිරිපත් කළ සැප්තැම්බර් මාසයට අදාළ සමීක්ෂණ ප්‍රතිඵල අනුව රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ 4 ක නායකත්වයේ යෝග්‍යතාව (Net Favourability) ජනයාගේ තේරීම අනුව මෙසේ ඉදිරිපත් කොට ඇත. රනිල් වික්‍රමසිංහ -57 සජිත් ප්‍රේමදාස -53 , ගෝඨාභය රාජපක්ෂ -74 සහ අනුර කුමාර දිසානායක -19. මේ අනුව ජනයාගේ කැමැත්ත අනුව අනුර කුමාර දිසානායකට අඩුම සෘන අගයක් ලැබී ඇත. වෙනත් ආකාරයකට එය විග්‍රහ කළහොත් අනෙකුත් නායකයිනට සාපේක්ෂව බහුතර ජනයා අනුර කුමාර දිසානායක නායකත්වය සඳහා වඩාත් ඉහළ  යෝග්‍යතාවක් තිබෙන පුද්ගලයා බව ප්‍රකාශ කොට ඇත. රනිල් වික්‍රමසිංහ සිටින්නේ තුන්වන ස්ථානයේ ය. https://ihp.lk/news/pres_doc/IHPPressRelease20231020.pdf
අගෝස්තු මාසයේ සමීක්ෂණ ප්‍රතිඵල
අගෝස්තු මාසයට අදාළ එම සමීක්ෂණයෙන් අනුර කුමාර දිසානායකට -28 ක් තිබී ඇති අතර සැප්තැම්බර් මාසය සමග සැසඳීමේදී (-19), මසක් තුල ඔහු කෙරෙහි ජනයාගේ ප්‍රසාදය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. රනිල් වික්‍රමසිංහට අගෝස්තු මාසයේ තිබී ඇත්තේ -46 ක අගයකි. සැප්තැම්බර් වන විට එය -57 දක්වා පිරිහී ඇත. සජිත් ප්‍රේමදාසට පසුගිය  අගෝස්තු මාසයේ  -58 ක පැවති අගය සැප්තැම්බර් වන විට -53 දක්වා ඒකක 5 කින් ඉහළ දමා ගෙන ඇත. https://ihp.lk/news/pres_doc/IHPPressRelease20230920.pdf
බොහෝ දූෂිතයන්ට ජම්පරය ලැබෙන හැඩ
මෙවැනි සමීක්ෂණ ප්‍රතිඵල දකින විට ඡන්ද නොපවත්වා සිටීමට පෙළඹීම පොදු පෙරමුණ සහ එජාපය ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම් වල  අදහසට අනුව  සාධාරණය. මන්ද , ජාතික ජනබලවේගය රජයක් බිහි වුවහොත් බොහෝ දූෂිතයන්ට ජම්පරය ඇඳීමට සිදුවන නිසාය. අනෙක බොහෝ දූෂිතයන්ගේ දේශපාලන ගමන එතනින් අවසන් වන බව ඔවුන් හොඳින්ම දන්නා නිසාය.
අනුරට 38%ක් සජිත්ට 35%ක්
IHP ආයතනය කරන අනෙක් සමීක්ෂණය වන්නේ ජනාධිපතිවරණයකදී වැඩි මහජන ඡන්දයක් ලබා ගැනීමට හැකියාව තිබෙන අපේක්ෂකයා/පක්ෂය කවුරුන්ද යන්න සොයා බැලීමයි. මේ වන විට නිකුත් වී ඇති අගෝස්තු මාසයට අදාළ සමීක්ෂණ ප්‍රතිඵල අනුව අනුර කුමාර දිසානායක 38%ක් ලබා ගෙන ඉදිරියෙන් සිටී. සජිත් ප්‍රේමදාසට 35% ක්ද, රනිල් වික්‍රමසිංහට 18% ක්ද ලැබී ඇත. ශ්‍රී ලංකා පොදු පෙරමුණට ලැබී ඇත්තේ 9% කි. රනිල් වික්‍රමසිංහට ජනයාගේ කැමැත්ත ඉතාමත් අඩුය. ඉදිරි අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එය තවත් පහළ යනු ඇත. මන්ද ජනයා මත අසීමිත බදු තොගයක් 2024 වර්ෂයට හඳුන්වා දීම අනිවාර්ය වී ඇත. එසේ නොකළහොත්  IMF ඉලක්ක සපුරා ගත නොහැකි වනු ඇත. https://ihp.lk/news/pres_doc/IHPPressRelease20230926.pdf
පාලකයන් සෑම විටම බලය රඳවා ගැනීමට උස්සාහ කරනු ඇත. එහෙත් ව්‍යවස්ථාවෙන් ඊට ඉඩක් නොමැත. අනිවාර්යයෙන්ම 2024 ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට සිදුවනු ඇත. ඉන් පත් වන ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසිරවීම කරනු ඇත. ඒ අනුව 2024 වසර අවසන් වන්නේ නව ජනාධිපති වරයෙක් සහ අලුත් ආණ්ඩුවක් ලංකාවට ලබා ගැනීමත් සමග ය. පාලකයන්ට තිබෙන බිය එයයි. එතෙක්  රනිල් වික්‍රමසිංහ ඔහුගේ පුරසාරම් දොඩමින් සිටිනු ඇත.
රනිල්ගේ සිහින ලෝකයේ පාවී පාවී
2048 පෝසත් රටක් ගේන්නට පොරොන්දු දුන් රනිල් වික්‍රමසිංහ ඊයේ පැවති එජාප සමුළුවේදී ප්‍රකාශ කලේ සුහුරු රටක් (Smart Country ) හදන බවකි.  එසේනම් 2048 පෝසත් රටක් හැදීමට බැරි බව රනිල්ට චීනයේ ගියාට පසු තේරුනා වත්ද? යහපාලන රජය කාලයේ (2015-2020) රනිල් වික්‍රමසිංහ සෑම වසරකටම එක බැගින් ඔවැනි සිහින ලෝක පහක් ගැන කීවේය. අන්තිමට සිදුවුණේ රටේ ජනයා එජාපයට එකදු මන්ත්‍රී අසුනක් වත් ලබා නොදිය යුතුය කියා තීරණය කොට බලයෙන් පන්නා දැමීමටය . කෙසේ හෝ ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුනෙන් නැවත පාර්ලිමේන්තුවට රිංගූ රනිල් නැවත සුපුරුදු පරිදි අවුරුද්දෙන් අවුරුද්දට අලුත් මොකක් හෝ පුහු ලෝකයක් ගැන ජනයාට කියයි. ඒ රනිල් වික්‍රමසිංහට තේරෙන දේශපාලනයයි. කෙසේ වෙතත් මේ සමීක්ෂණ අනුවත් ජනයාගේ හැසිරීමෙනුත් පැහැදිලි වන්නේ මෙවර ඔවුන් රනිල් රාජපක්ෂ දූෂිත හොර නඩයට මතක හිටින පාඩමක් ඉගැන්වීමට හොඳ සූදානමකින් සිටින බවය.
-ශාන්ත ජයරත්න
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
( උපුටා ගැනීම ලංකා ඊ නිව්ස් වෙතිනි)

Archive

Latest news

Related news