Tuesday, October 15, 2024

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් යටතේ මානව හිමිකම් පිළිබඳ වඩා හොඳ බලාපොරොත්තු තබාගත හැකිය – පී. කේ. බාලචන්ද්‍රන්

2024 ජනාධිපතිවරණයට කලින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට වෙස්ට්මින්ස්ටර් පන්නයේ පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් ඇති කරගැනීමට ඇති හැකියාව ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි. ඊට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 160 දෙනෙකු ආසන මට්ටමින් පාර්ලිමේන්තුවට පත්කරගැනීමටත්, 65 දෙනෙකු සමානුපාතික ඡන්ද ක්‍රමය ඔස්සේ පත්කරගැනීමටත් ඇති හැකියාව ගැන එහිදී සාකච්ඡා වන බවත් කියැවේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

අපකීර්තිමත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ කියැවෙන මේ කතාව වාරයෙන් වාරයට මතුරන යාතිකාවක් මෙනි. එහෙත් එසේ එය විටින්විට සාකච්ඡාවට ගැනුණත්, පරම බලය ගැන දේශපාලනඥයන් තුළ කැකෑරෙන නොසන්සිඳෙන පිපාසය හේතුවෙන් ඒ අරභයා වන ප්‍රතිසංස්කරණ ඇති කරගැනීමට මේ දක්වා නොහැකි වී තිබේ. අවුරුදු 25 ක් තිස්සේ, ලංකාවේ ජනාධිපතිවරුන් සහ දේශපාලන පක්ෂ සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේ කාරණයට මුල් තැනක් දී ඇතත් බලයට පත් වූ සැණින් ඒ කවුරුත් එය පැත්තකට දමති.

17වන සංසෝධනයේ සිට 20 දක්වා

මේ ක්‍රමය අවසන් කිරීමේ යම් දුරක් හෝ ගියේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඒ, විවිධ අදහස් ලබාගැනීමේ දීර්ඝ සාකච්ඡාවලින් පසුව, 2000 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙනි. එහෙත් එදා විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය ඒ ප්‍රයත්නය කඩාකප්පල් කෙළේය. කෙසේ වෙතත්, 2001 ඔක්තෝබර් මාසයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින්, රාජ්‍ය පරිපාලනයේ නිර්-දේශපාලනීකරණයත්, විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවත් අරමුණ කරගෙන, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් සහ ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් ස්ථාපිත කෙළේය.
එසේ වෙතත්, මේ අලුත් ව්‍යුහයන්හි ක්‍රියාකාරීත්වයට බාධා එල්ල වුණි. 2010 සැප්තැම්බර් මාසයේදී මහින්ද රාජපක්ෂ එකී 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවලංගුකොට, විධායක ජනාධිපති බලතල නැවත ස්ථාපිත කරමින් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේය. 2015 දී මෛත්‍රීපාල සිරිසේන, ඊට කලින් මහින්ද රාජපක්ෂ විසින් අකර්මණ්‍ය කරන ලද ආයතන ව්‍යුහයන් යළි ස්ථාපිත කරමින්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින්, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේය. එහෙත් 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමත් සමගම, විධායක ජනාධිපති බලතල යළිත් වැඩි කරමින්, 19 අහෝසිකොට 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනාවේය. දැන් මේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමණින් අහෝසිකොට පාර්ලිමේනේතු පාලන ක්‍රමයකට යාමක් ගැන කතා වෙයි. ‘ඩේලි මිරර්’ පුවත්පත පෙන්වා දෙන අන්දමට, මෙය අහෝසි කිරීමේ කතාව ඇවිත් තිබෙන්නේ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයකින් කිසිවෙකුට සියයට 50 ඉක්මවන ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමේ හැකියාවක් නැතැයි සිතන තත්වයක් ඇති නිසා ය. එහෙත් තවත් අය කියන පරිදි, මේ වනාහී දීර්ඝ කාලයකට ඡන්ද කල්දමාගැනීමේ නූල් සූත්තරයකි.

පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් තුළ, තීරණ ගැනීමේ ක්‍රියාවලිය ‘ආයතනීය’ වන්නේය. විධායක ජනාධිපති ක්‍රමයක් තුළ එය, තනි පුද්ගලයෙකු වන ජනාධිපතිවරයා අතේ කේන්ද්‍රගත වන ක්‍රමයක් වන්නේය.

විශේෂඥයන්ගේ කැමැත්ත පාර්ලිමේන්තු ක්‍රමයකටයි

ඒ කරුණු කෙසේ වෙතත්, විශේෂඥයන් කැමැත්තක් දක්වන්නේ, 1948 සහ 1977 අතර කාලයේ ලංකාවේ පැවති වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු පාලන ක්‍රමයකටයි. එවැනි ක්‍රමයක් සඳහා කැමැත්ත දැක්වීමට බරපතල හේතු ඇතැයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විද්වතෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දෙයි.
පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් තුළ, තීරණ ගැනීමේ ක්‍රියාවලිය ‘ආයතනීය’ වන්නේය. විධායක ජනාධිපති ක්‍රමයක් තුළ එය, තනි පුද්ගලයෙකු වන ජනාධිපතිවරයා අතේ කේන්ද්‍රගත වන ක්‍රමයක් වන්නේය. “ශ්‍රී ලංකාව වැනි, බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-පක්ෂ ක්‍රමයක් ඇති රටකට, ආයතනීය මට්ටමින් තීරණගැනීමේ ක්‍රියාවලියක් විශේෂයෙන් සුදුසු වන්නේ” යැයි ඔහු කියයි. ඊට ප්‍රතිපක්ෂව, විධායක ජනාධිපති ක්‍රමයක් තුළ, විධායකය නමැති පුද්ගලයා අතේ බලය සංකේන්ද්‍රණය වන නිසා හිතුවක්කාරී තීරණ ගැනීමේ විශාල අවකාශයක් විවර වෙයි.

ලෝකයේ පවතින වඩාත් අධිකාරීවාදී ක්‍රමයන්ගෙන් එකක්

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් 1978 ව්‍යවස්ථාව ගැන පත්‍රිකාවක් ලියන දේශපාලන විද්‍යාඥ ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු, “ලංකාවේ පවතින විධායක ජනාධිපති ක්‍රමය, ලෝකයේ පවතින වඩාත් අධිකාරීවාදී ක්‍රමයන්ගෙන් එකක්” වන බව පෙන්වා දෙයි. අධිකරණයක් මගින් අභියෝගයට ලක්කළ නොහැකි බලතල රාශියක් ජනාධිපතිවරයා වෙත පැවරීමෙන් නීතියේ ආධිපත්‍යය දියාරු කර ඇති බව ඔහු කියයි.
ජනාධිපති බලතලවල ස්වභාවය තරමක් රළු සාම්‍යයකින් විස්තර කරන ඔහු, එය “ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති නීතියේ ආධිපත්‍යය බිඳහෙලන” දිසාවකට තුඩුදෙන “දේශපාලනික දේහය තුළ භයානක පිළිකා තත්වයක් ඇති කරන දරුණු ගෙඩියක්” වැනි යැයි කියයි. ඔහුගේ තර්කය වන්නේ, මානව හිමිකම් වඩාත් හොඳින් ආරක්ෂා වන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් තුළ බව ය. ඒ සඳහා ඔහු, පාර්ලිමේන්තු ක්‍රමයක් පැවති (1948-1977) කාලයේ මානව හිමිකම් තත්වය සමග ජනාධිපති ක්‍රමය පැවති අද දක්වා කාලයේ මානව හිමිකම් තත්වය සන්සන්දනය කරයි. කෙසේ වෙතත්, 1978 ව්‍යවස්ථාවෙන් අලුතෙන් ගෙනා මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ වටිනාකම ඔහු පිළිගනී. එහෙත් ක්‍රියාත්මක තලයේදී “දරුණු” මානව හිමිකම් උල්ලංඝණයන් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. ඒ අනුව, මානව හිමිකම් සහ මූලික අයිතීන් පිළිබඳ තත්වය, පාර්ලිමේන්තු ක්‍රමය තුළ වඩාත් හොඳින් ආරක්ෂා වී පැවති බව ඔහුගේ අදහසයි.

ජේ. ආර්. ගේ වැරදුණු සැලැස්ම

අලුත් දේශපාලන ව්‍යුහයක් ඇති කිරීම පිළිබඳ ජේ. ආර්. ජයවර්ධනගේ චින්තනයේ ආරම්භය, 1966 දෙසැම්බර් 14 වැනිදා ‘ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ’ රැස්වීමකදී ඔහු කළ කතාවක් දක්වා දිවෙන බව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු පෙන්වා දෙයි. එහිදී, ජේ. ආර්. ජයවර්ධන ‘තාර්කික සහ විද්‍යාත්මක’ පදනම් මත ඇති කෙරෙන විධායක ජනාධිපති ක්‍රමයක් ගැන අදහස් දක්වා තිබේ. ආර්ථික ප්‍රගතිය ඇති කරගැනීමට ලංකාවට නොහැකි වී ඇත්තේ, එවැනි ජනාධිපති ක්‍රමයක් ලංකාවේ නොමැති නිසා බව ජේ. ආර්. ජයවර්ධනගේ තර්කය වී ඇත. “බලයේ ඉන්න දේශපාලනඥයො දන්නවා ආර්ථිකය වැරදී ඇත්තේ කොතනද කියලා. ඒ වගේම ඒකට විසඳුමත් ඔවුන් දන්නවා. ඒත්, ජනප්‍රිය වෙන්න තියෙන ආශාව නිසා, ඡන්ද බහුතරයක් ආරක්ෂා කරගන්න තියෙන ආශාව නිසා, ඒ ප්‍රතිකර්මවලට ඔවුන් පෙළඹෙන්නේ නැහැ.” යි එහිදී කියා ඇති ජේ. ආර්. ජයවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සාධාරණ වූවත්, එයින් පමණක් ජනතා අවශ්‍යතාවන් ඉටු වේද යන ප්‍රශ්නය මතුකොට තිබේ. “නිදහසේ ලැබූ දා ඉඳන් ආරක්ෂා කරගත්ත ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අපේ සාර්ථකත්වයක් වශයෙන් දකින අපි, අපේ ජනතාවට ලබා දිය යුතු ආර්ථික නිදහස ලබාදීමට සමත් වී නැහැ. අපේ ලොකුම අසාර්ථකත්වය ඒකයි” ඔහු එහිදී කීය. ඒ නිසා, එම ප්‍රශ්නයට ආමන්ත්‍රණය කළ හැකි ආකාරයේ ප්‍රතිසංස්කරණ ඇති කරගත යුතුව ඇතැයි ඔහු යෝජනාකොට තිබේ.

ආසන ක්‍රමය අහෝසි කිරීමටත් ජේ. ආර්. ජයවර්ධනට අවශ්‍ය විය. එයින් ඔහු අපේක්ෂා කෙළේ, මන්ත්‍රීවරයාව ඡන්ද කොට්ඨාශයට ඇලී සිටීමෙන් ගලවාගැනීමයි. ඒ වෙනුවට, ජනතාව ඡන්දය පාවිච්චි කරනු ඇත්තේ දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරන නාමධාරී ලැයිස්තුවකට ය. එදා පැවති ක්‍රමය තුළ, ඉතා දක්ෂ ගැහැනුන් සහ පිරිමින් දේශපාලනයේ නිරත වීම වළක්වාලතියි ඔහු සිතූ බව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු පෙන්වා දෙයි. තනි ලැයිස්තුවක් තුළ වඩාත් සුදුසු අපේක්ෂකයන් යෝජනා කිරීමේ හැකියාව ඇත්තේ පක්ෂයකට බව ජේ.ආර්. ජයවර්ධනගේ විශ්වාසය විය. ඒ අනුව, විවිධ පක්ෂ විසින් ඉදිරිපත් කරන ලැයිස්තු අතරින් තමන් කැමති ලැයිස්තුව තෝරාගැනීමේ හැකියාව ඡන්දදායකයාට ලැබෙනු ඇත.

1978 ජේ. ආර්. ජයවර්ධනගේ අලුත් ව්‍යවස්ථාව තුළින්, විධායක ජනාධිපති ක්‍රමයත්, සමානුපාතික ඡන්ද ක්‍රමයත් හඳුන්වා දෙන ලදි. තනි තනි අපේක්ෂයන් සඳහා ඡන්දය පාවිච්චි කරනවා වෙනුවට, පක්ෂ ලැයිස්තුවක් සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමය ඒ සමග හඳුන්වා දෙන ලදි. ඒ අනුව, ආසන ක්‍රමය අහෝසි වී ඒ වෙනුවට දිස්ත්‍රික් නියෝජන ක්‍රමයක් ස්ථාපිත කෙරුණි. එවැනි ඡන්දයකින් තේරී පත්වන මන්ත්‍රීවරුන් වගකියන්නේ ඡන්දදායකයාට නොව, තම තමන්ගේ පක්ෂවලට ය. ඒ අනුව, ඡන්දදායකයා සමග මන්ත්‍රීවරයාගේ සමීපත්වය අහෝසි වුණු බව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු පෙන්වා දෙයි.

මූලික අයිතිවාසිකම් – සැබැ නොවුන වගන්තියක්

1978 ව්‍යවස්ථාව තුළ ‘සිත්ගන්නා’ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් ඇතුළත් බව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු පිළිගනී. එහෙත් එය සත්භාවයෙන් ක්‍රියාවේ යෙදවීමට ඇත්තේ අසතුටුදායක ඉතිහාසයකි. මූලික අයිතීන් ආරක්ෂා කිරීමේ නීති පැවතුණත්, රාජ්‍ය පරිපාලනය, පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය වැනි ආයතන විධායකය හෙවත් ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කටයුතු කිරීමේ නැමියාවක් පෙන්වා තිබේ.
රුදුරු ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතත්’, එහි අතුරු අණපනතුත් නිසා, ව්‍යවස්ථාවේ සඳහන් අයිතීන් ආරක්ෂා කිරීමේ වගන්ති, හුදෙක් ‘න්‍යායික සහ නිරර්ථක’ තත්වයට පත්කොට ඇත. තවද, මේ කියන අයිතීන්ද, ලංකාවේ සෑම පළාතකම අභ්‍යාස කළ හැකි තත්වයක් තිබී නැත. උතුරු නැගෙනහිර දෙමළ ප්‍රදේශවල මේ අයිතීන් සහතික නොකෙරේ. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් නිර්වචනය කර තිබීම හේතුවෙන්, කේන්ද්‍රයේ බලතල හෙවත් ජනාධිපතිවරයාගේ බලතල ඔසවා තබා ඇත. එය, උතුරු නැගෙනහිර වෙසෙන දෙමළ ජනතාවගේ අයිතීන් කෙරෙහි ඇති කර තිබෙන බලපෑම ඉතා හානිකර ය. 13 වැනි ව්‍යස්ථා සංශෝධනයෙන් සපයා ඇති බලතල බෙදාහදාගැනීමේ ක්‍රමවේදය, මේ ඒකීය රාජ්‍ය සංකල්පය තුළ අගතියට පත්ව තිබේ.

පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති විට අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත විය

ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු පෙන්වා දෙන පරිදි, ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය පැවති කාලයේ මූලික අයිතිවාසිකම් වඩාත් සුරක්ෂිත විය. බලතල තනි තැනකට කේන්ද්‍රගතව තිබුණේ අඩුවෙනි. ඒ නිසාම, හිතුවක්කාරීකමට සහ අවභාවිතයට ලැබුණේ අඩු ඉඩකි. ආණ්ඩුවක් කඩා වැටෙතියි සිතන මොහොතක පවා මූලික අයිතීන් ආරක්ෂා කෙරුණු බව පෙන්වා දෙන ඔහු මෙසේද කීවේය: “1953 දී ඇති වු ජනතා නැඟිටීම (හර්තාලය) තුළ ජීවිත 13 ක් නැති වීම හේතුකොටගෙන අගමැතිවරයා ඉල්ලා අස් විය. ප්‍රධාන පුවත්පත් ආයතනයක් වූ ලේක් හවුසිය ජනසතු කිරීමට 1964 දී ආණ්ඩුව තැත් කළ විට පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුව පරාජයට පත්කෙරුණි. ජනාධිපති ක්‍රමයක් රටට හඳුන්වා දීමට ජේ. ආර්. ජයවර්ධනට අවශ්‍ය වුණේ, මෙවැනි අස්ථාවරත්වයන් ඇති වීම වැළැක්වීමටයි.”

 

(2023 ඔක්තෝබර් 18 දින Daily Mirror පුවත්පතෙහි “Better prospects of human rights under a parliamentary system ” මැයින් පල වූ පී.කේ. බාලචන්ද්‍රන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය GoveranceLanka වෙතිනි )

Archive

Latest news

Related news