Wednesday, February 21, 2024

අයිඑම්එෆ් නිර්දේශ 16 දේශපාලන පංතියට චෝදනා පත්‍රයක්; 16න් 09ක් රනිල් රාජපක්ෂට!

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී ආණ්ඩුව ‘අසමත්ව’ ඇතැයි යන හැඟීම මත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක් වන මුළු ආධාර ණය මුදලේ දෙවැනි වාරිකය ලංකා ආණ්ඩුවට සැපයීම මේ වන විට පමාකොට ඇත. එසේ තිබියදී, තවත් නරක ආරංචියක් ආවේය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ‘ආණ්ඩුකරණය පිළිබඳ රෝග නිදාන තක්සේරු වාර්තාවක්’ මගින්ද ලංකා ආණ්ඩුව අසමත් බව පෙන්වා දීමට කටයුතු කර තිබීමයි. මෙවැනි වාර්තාවක් අරමුදල විසින් නිකුත් කර ඇති ප්‍රථම වතාව මෙයයි. මේ අසමත් භාවය ඔවුන් පෙන්වා දෙන්නේ, ලංකාවේ ආණ්ඩුකරණය සම්බන්ධයෙනි. ආර්ථීකය ගොඩගැනීමේ වර්තමාන සමස්ත ක්‍රියාවලිය කෙරෙහි මේ කාරණය නරක ආකාරයෙන් බලපෑම් කළ හැකිය.
මෙතෙක් බලා සිටි ඒ තක්සේරු වාර්තාව තුළ කරුණු 16 ක් වෙන්කොට හඳුනාගෙන ඒවා සඳහා ‘ප්‍රමුඛතා නිර්දේශ’ ඉදිරිපත්කොට තිබේ. පවතින තත්වයෙන් ගොඩඒමට නම්, රටක් වශයෙන් හදිසි පියවර ගත යුතුව ඇති බව ඒ නිර්දේශ මගින් පෙන්වා දී තිබේ. ඒ සඳහා ලෙහෙසි සහ පහසු මාර්ග නැති බවත්, දීර්ඝ කාලීන, වේදනාකාරී මාර්ගයක ගමන් කළ යුතුව ඇති බවත් විශේෂයෙන් එහිදී අවධාරණය කෙරේ. ආණ්ඩුකරණ ව්‍යුහයේ සෑම පැත්තක්ම ආවරණය වන ආකාරයේ විස්තීරණ සංශෝධන ඇති කිරීම එහිදී අවශ්‍ය කෙරේ.

දූෂණ ඉවවහා ගොසිනි

මේ අතරින් වඩාත් ප්‍රමුඛතම කාර්ය වශයෙන් දක්වා ඇත්තේ දූෂණයට ඇති ඉඩකඩ අහුරාලීමයි. විශේෂයෙන් රාජ්‍ය අංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ සිදු වන දූෂණ සහ අක්‍රමිකතා වැළැක්වීම, මුදල් විශුද්ධකරණ වැළැක්වීමේ පියවර ගැනීම, බදු පරිපාලනයේ ඇති දුර්වලතා දුරු කිරීම, විචක්ෂණ ආදායම් කළමනාකරණය, ස්වාධීන මහබැංකු පාලනය සහ මූල්‍ය අංශයේ අනවධානයන් පිළිබඳ සෙවිල්ලෙන් සිටීම ආදිය ඒ අතර වෙයි.

හදා ගත යුතු වැරදි 16න් 9ක්ම රනිල් රාජපක්ෂ ලඟ

ලස්සනම කාරණය වන්නේ, නිවැරදි කරගත යුතුව ඇතැයි නිර්දේශිතව ඇති කාරණා 16 න් 9 ක්ම අයත් වන්නේ මුදල් අමාත්‍යාංශට ය. එහි අමාත්‍යවරයා වන්නේ ජනාධිපතිවරයා ය. මේ කිරීමට නිර්දේශිත දේවල් සඳහා දැඩි දේශපාලනික අධිෂ්ඨානයක් අවශ්‍ය කෙරේ. එබැවින් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කෙසේ ක්‍රියා කරනු ඇත්දැයි බලාගැනීමට අපට හැකි වනු ඇත. ඔහු යටතේ පවතින ඒ විෂයයන් කෙරෙහි මැදිහත් වීමට ඔහුට හැකි වෙතොත් ඉතිරි ප්‍රශ්නකාරී කරුණු 9 ආශ්‍රිත අංශත් ඉබේම නිවැරදි වනු ඇතැයි සිතිය හැකිය.

දේශපාලන පංතියට  චෝදනා පත්‍රයක්

මේ වාර්තාව වනාහී, ඉහත කී ප්‍රශ්න විසඳාගැනීමට පසුගිය දශක දෙකක කාලය තුළ ලැබුණු බොහෝ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමට තරම් දේශපාලන නායකත්වය අපොහොසත්ව තිබීම පිළිබඳ චෝදනා පත්‍රයක් වැනි ය. මේ කියන කාලය තුළ බලයට පත් විවිධ දේශපාලනඥයන් එකී ප්‍රශ්න තේරුම් නොගෙන සිටියා නොව, කළ යුතු දේවල් කවරේද යන්න පිළිබඳව නොදැන සිටියා නොව, එසේ නොකළොත් සිදුවිය හැකි අනර්ථය තේරුම් නොගෙන සිටියා නොව, ඔවුන් ඒ සියලූ ප්‍රශ්න මැතිවරණ අපේක්ෂාවන් වෙනුවෙන් පාවා දුන්නා පමණි. ඒ අය අතරින් ප්‍රමුඛයා වන්නේ වර්තමාන ජනාධිපතිවරයා ය. යහපාලනය ගැන ප්‍රතිඥා දී 2015 දී බලයට පත් ඔහු මාස දෙකක් ඇතුළත මහබැංකු බැඳුම්කර වංචාවෙන් තම නම කැත කරගත්තේය. ඉන්පසු සිදු වූ දේවල් කවුරුත් දනිති.
එනිසා, දූෂණය සහ අපරාධ ආදී විවිධ අපචාරයන් සම්බන්ධ චූදිතයන් කෙරෙහි නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට වූ ඔහුගෙන්, එම වැරදි නිවැරදි කිරීම සඳහා, අවුරුදු අටකින් පසු, නැවත වරක් ඉල්ලා සිටීම එක්තරා විගඩමකි. එදා එසේ ඉල්ලා සිටීම සහ අද එසේ ඉල්ලා සිටීම අතර එකම වෙනස වන්නේ, එදා ඉල්ලා සිටියේ ඡන්දදායකයන් වීමත්, අද ඉල්ලා සිටින්නේ, අවසානයේ පිළිසරණ පතන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වීමත් පමණි.

වෙස්වළාගත් ආශීර්වාදයක්

මේ රටේ ජනතාව සම්බන්ධයෙන් සිතන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ඉදිරිපත්කොට ඇති ‘ආණ්ඩුකරණය පිළිබඳ රෝගනිදාන තක්සේරුව’, ආපසු හැරී බලන විට, එක්තරා ආකාරයක වෙස්වළාගත් ආශීර්වාදයක් සේ පෙනේ. මන්ද යත්, ඒ මගින් වර්තමාන නායකත්වයට මේ ප්‍රශ්න කෙරෙහි වහා යොමුවීමට බල කරන බැවින් සහ එසේ නොකළොත් බංකොලොත් රටක් වීමේ අවදානමට මුහුණදීමට සිදුවන බවට අනතුරු ඇඟවීමකුත් කරන බැවිනි. රට බංකොලොත් තත්වයට වැටුණොත්, එහි ආදීනව විඳින්ට සිදුවන්නේද, නැවත වරක් ජනතාවටම මිස දේශපාලනඥයන්ට නොවේ. එසේ වීමට ඉඩ නොදී, යෝජිත කරුණු 16 කෙරෙහි පාලකයන් සිය කැපවීම යොදවතොත්, පසුගිය අවුරුදු දෙකක කාලය තුළ මේ රටේ ජනතාව පාරවල් ගානේ උද්ඝෝෂණ කරමින් විසඳන්නැයි ඉල්ලා සිටි බොහෝ ප්‍රශ්නත් නිරාකරණය වනු ඇත.

මේ වාර්තාව කුණූ කූඩයට දාන්න අමාරු ඇයි?

එහෙත් සාමාන්‍යයෙන් වන පරිදි, තක්සේරු සහ වාර්තා යනු, දේශපාලන නායකත්වයන්ට වහකදුරු මෙනි. ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල ඉතිහාසයත් අප කවුරුත් දන්නා කතාවකි. එම වාර්තා අනුව නිර්දේශිත යෝජනා ක්‍රියාත්මක කිරීම තබා ඒවා ගැන සාකච්ඡා කිරීම පවා, සිදුවුණොත් ඒ ඉතා කලාතුරකිනි. ඒ සියලූ වාර්තාවල අවසාන ඉරණම වන්නේ යම් පුස්තකාලයක පුස්කෑම ය. මේ අවාසනාවන්ත තත්වය පෙන්නුම් කරන මෑතකාලීන උදාහරණය වන්නේ පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට පත්කළ විවිධ කොමිෂන් සභා වාර්තාවන් ය. කෙසේ වෙතත්, ලංකා ආණ්ඩුවේම ඉල්ලීම පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දැන් ඉදිරිපත්කොට ඇති ‘ආණ්ඩුකරණය පිළිබඳ රෝගනිදාන තක්සේරුව’ තුළ, එවැනි අවාසනාවන්ත ඉරණමක ශක්‍යතාව යම්තාක් අඩු කිරීමේ එක් යාන්ත්‍රණයක් හඳුන්වා දී ඇත. එනම්, ඔවුන් විසින් යෝජිත අරමුදල් නිසි පරිදි සැපයීම සඳහා ලංකා ආණ්ඩුව පැත්තෙන් ඉටු කළ යුතු රාජකාරි පිළිබඳ රාමුවක් ඉදිරිපත්කොට තිබීමයි. තවත් විදිහකින් කිවහොත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ලංකා ආණ්ඩුව ක්‍රියාත්මක නොකළොත්, ලංකාවට පොරොන්දු වූ ආධාර මුදලේ ඉතිරි වාරික අත්හිටුවීමකට ඉඩ ඇති බවට ඉඟි කිරීමකි.

මූලික වරද: නීතියේ ආධිපත්‍ය නැතිකම

මෙවැනි තත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ, මූල්‍ය විනය ගැන ලංකා ආණ්ඩුවේ තැකීමක් නැති කම, නීතියේ ආධිපත්‍යය පවත්වාගැනීමට නිරන්තරයෙන් අසමත් වීම සහ ආණ්ඩුකරණයේ අවම ප්‍රමිතීන්ට පවා අනුගත වීමට ලංකා ආණ්ඩුව අසමත් වීම නිසාවෙනි. ද්වි-පාර්ශ්වීය සහ බහු-පාර්ශ්වීය විදේශ ණය සපයන්නන්, විවිධ ජාත්‍යන්තර වේදිකාවලදී අපේ රටේ නායකයන්ව මේ රට පාලනය කෙරෙන ආකාරය පිළිබඳ ප්‍රශ්න කිරීම්වලට ලක්කරන්නේ එබැවිනි. ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ණය දෙන කාලය අවසන් වී බොහෝ කාලයක් ගොසිනි. ඒ නිසා, අනුන්නේ ණය මත අප යැපෙන තාක් කල්, අප ආශා නොකරන ප්‍රශ්න අපෙන් ඔවුන් අසතියි අප බලාපොරොත්තු විය යුතුව තිබේ. හිඟන්නාට උණු බත් ඉල්ලා සිටිය නොහැකි බව කතාවට කියන්නේ එබැවිනි.

‘ඩොයිෂ් වෙල්’ හි නා ගැනීම

පෙනෙන්ට තිඛෙන පරිදි, අපේ නායකත්වය මේ බාරදූර වගකීමට ඔරොත්තු දීගත නොහැකි තත්වයක සිටින බවක් පෙනෙන්ට තිබේ. අගාධයෙන් ගොඩඒමේ ක්‍රියාවලිය තුළ ලෝකයේ විශ්වාසය දිනාගත හැකිව තිබූ, මෑත කාලයේ තමන් වෙත ආ මහඟු අවස්ථාවන් නිසි සේ ප්‍රයෝජනයට ගැනීමට අපේ නායකත්වයන් අසමත්ව ඇති බව පෙනේ. ඇත්තෙන්ම එවැනි අවස්ථා චොර කරගැනීමේ හැකියාවෙන් නම් අපේ නායකයන් දක්ෂයන් බව ඔවුන් විසින් විදහා පා තිබේ. ඊට උදාහරණයක් වශයෙන් ගෙනහැර දැක්විය හැකි සිද්ධියක් වන්නේ, ‘ඩොයිෂ් වෙල්’ නමැති ජර්මානු ආණ්ඩුවේ රූපවාහිනිය සමග අපේ ජනාධිපතිවරයා මෑතකදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවයි. මේ ගැන බොහෝ දේවල් මේ වන විට ලියා කියා ඇතත්, එම සිද්ධියෙන් අවසානයේ ඉතිරිකොට ඇති පාඩම වන්නේ, අපේ රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය දිනාගත හැකිව තිබූ අවස්ථාවක් නාස්ති කරගත් බව ය. ජර්මානු සංචාරකයන් මෙන්ම විදේශ ආයෝජනත් ආකර්ශනය කරගත හැකිව තිබූ අවස්ථාවක් නාස්ති කරගත් බව ය.

ලෙල්ලම වූ සෙල්ලම

‘ඩොයිෂ් වෙල්’ නමැති ජර්මානු රූපවාහිනිය, ආවාටගියාට කෙරෙන යූ ටියුබ් නාලිකාවක්වත්, අප්‍රකට මාධ්‍ය කඩමාල්ලක්වත් නොවන බව අපේ ජනාධිපතිවරයා දන්නවාට කිසි සැකයක් නැත. එය ඇත්තෙන්ම, ජර්මානු ෆෙඩරල් රජයට අයත්, ජර්මානු ෆෙඩරල් බදු අයවැයෙන් නඩත්තු වන ජර්මනියේ ජාතික මාධ්‍ය නාලිකාවයි. ඒ නිසා, රූපවාහිනී නිවේදකයා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න, ජර්මානු ජනතාව නියෝජනය කරන ප්‍රශ්න බවට සාධාරණ අනුමිතියක් අපට ඇති කරගත හැකිය. ජනාධිපතිවරයාම එහිදී කී පරිදි, මාධ්‍යකරුවාට වඩා ඔහුට ඒ මාධ්‍ය සෙල්ලම ගැන අත්දැකීම් ඇති නිසා, ඔහුට ඒ අවස්ථාව ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සේවයට යොදවාගත හැකිව තිබුණි.

චැනල් 4 ඇත්ත වීම

උදාහරණයක් වශයෙන්, පාස්කු ප්‍රහාරය පිළිබඳව චැනල් 4 වාර්තාව කළ හෙළිදරව් කිරීම් ගැන තමාගේ මතය කුමක්දැයි මාධ්‍යකරුවා විමසූ අවස්ථාවේ මුඛ්‍ය කාරණය ගැන කතා කරනවා වෙනුවට ජනාධිපතිවරයා කෙළේ පණිවිඩකරුවාව හෑල්ලූවට ලක්කිරීමයි. එනම්, චැනල් 4 නාලිකාවේ හෙළිදරව්ව දේව භාෂිතයක් සේ ගත යුතුව නැති බව ඔහු කියා සිටියේය. එහෙත් ගත වුණේ විනාඩි කිහිපයකි. පාස්කු ප්‍රහාරය ගැන ඇමරිකාවේ එෆ්.බී.අයි. ඇතුළු ජාත්‍යන්තර ආයතන ගණනාවක් පරීක්ෂණ පැවැත්වූ බවත්, කිසි විදේශ සංවිධානයක මැදිහත්වීමක් මේ ප්‍රහාරයට නැති බව ඔවුන් සියල්ලන් කියා ඇති බවත් ජනාධිපතිවරයාම ඉන්පසු කියා සිටියේය. අයි.එස්.අයි.එස්. වැනි ඉස්ලාම් ත්‍රස්තවාදී සංවිධානයක සම්බන්ධයක් ඇතැයි පෙන්වීමට බොහෝ දෙනා ගත් උත්සාහය මේ ජාත්‍යන්තර පරීක්ෂණ කණ්ඩායම් විසින් ඉවතලා ඇති බවත්, සමස්ත ත්‍රස්තවාදී ක්‍රියාන්විතය රට ඇතුළේ යම් පිරිසක් විසින්ම කරන ලද්දක් බවත්, ඒ මගින් පිළිගැනුණි. ඉතිං, චැනල් 4 හෙළිදරව්වෙන් ඉදිරිපත් කෙරුණේත් ඒ මතයමයි.

ජර්මානු හොද  හිතට පයින් ගැසීමක්

චැනල් 4 නාලිකාවට එරෙහිව කඩු අමෝරාගන්නවා වෙනුවට, තමා කලින් පොරොන්දු වී ඇති පරිදි සාරාර්ථ පරීක්ෂණයක් පවත්වන බවටත්, පාස්කු ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් විදේශිකයන් 43 දෙනෙකු ඇතුළු සියලූ වින්දිතයන්ට තමන් යුක්තිය ඉෂ්ට කරන බවටත් ජර්මානු ජනතාව සහ ආණ්ඩුව ඉදිරියේ සපථ කිරීමට එය ඔහුට අවස්ථාවක් කරගත හැකිව තිබුණි. ‘පැරිස් සාමූහිකයේ’ ආරම්භක රටවල් 22 න් එකක් වන ජර්මනියේ හොඳ හිත දිනාගැනීමත්, එරටින් එන සංචාරකයන්ට සහ ආයෝජකයන්ට ආකර්ශනයක් ඇති විය හැකි ආකාරයේ විශ්වාසය ගොඩනැඟීමත් ඔහුට මේ සාකච්ඡාව තුළ කළ හැකිව තිබුණි.

කාදිනල් සහ බිෂොප්වරුන්ගේ සංසදය හැප්පවීම බූමරංගයක්වීම

එපමණක් නොව, ලංකාවේ කාදිනල්වරයා සහ බිෂොප්වරුන්ගේ සංසදය අතර හිත් බිඳවීමටත් ජනාධිපතිවරයා ඉතා ළදරු උත්සාහයක් ගත්තේය. එහෙත්, ලජ්ජාසහගත ලෙස එය ලත් තැනම ලොප් විය. මන්ද යත්, පාස්කු ප්‍රහාරයට අදාළ සියලූ කරුණු සම්බන්ධයෙන් කාදිනල්වරයාගේ අදහස් සහ තමන්ගේ අදහස් අතර කිසි වෙනසක් නැතැයි බිෂොප්වරුන්ගේ සංසදය හැරෙන තැපෑලෙන්ම ලෝකයාට ප්‍රකාශකොට සිටි බැවිනි.

අලි මදිවට හරක්

මේ ජනාධිපතිවරයා ලෝකයා ඉදිරියේ ලංකාව කොන් වන තැනට කටයුතුකොට ඇති බවක් පෙනේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව තමා ප්‍රතික්ෂේප කරන බව කියා සිටීම එහි එක් පියවරකි. ඒ නිසා අපට අත්විඳීමට සිදුවිය හැකි ප්‍රශ්න මාලාවක් තිබේ. ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියේ ආධාරත් මේ පරීක්ෂණ සඳහා ලබාගන්නෙමැයි පාරම්බෑවද, දැන් ඒ සඳහා වන ජාත්‍යන්තර සහයෝගය ප්‍රතික්ෂේප කරමින් මෙසේ කතා කිරීම, අලි මදිවට හරක් වැනි තවත් කතාවකි. එපමණක් නොව, මේ පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වමින් සිටි පොලිස් නිලධාරීන් ආණ්ඩුවේ බලධාරීන් විසින් ඒවායින් ඉවත් කළා පමණක් නොව, ඔවුන්ගෙන් පළිගන්නා දුරකටත් ආණ්ඩුව ගමන්කොට තිබේ. තවද, වෙනත් විවිධ අරමුණුවලට මුවා වී මර්දනකාරී අණපනත් පැනවීමටත් ආණ්ඩුව පියවර ගෙන තිබේ. ඒ සියල්ල, ශ්‍රී ලංකාව ලෝකයාගෙන් තවත් කොන් වීමට දායක වනු ඇත.
(2023 ඔක්තෝබර් 7 වැනි දා ‘ද මෝනිං’ පුවත්පතේ කතුවැකියේ සිංහල පරිවර්තනය  Governance Lanka වෙතිනි)

Archive

Latest news

Related news