Sunday, April 28, 2024

පාස්කු ප්‍රහාරයේ මොළ කරුවන් රැක ගැනීම නොහොත් කුලී ලියන්නකු, රවි සෙනවිරත්නට බුද්ධි මෙහෙයුම් කියා දීම!

පාස්කු ප්‍රහාරයට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේශ් සලේ සම්බන්ධ බවටත් එය ගෝඨාභය බලයට ගෙන ඒමේ සැලසුමක කොටසක් බවටත් චැනල් 4 වෘත්තාන්ත රූපවාහිනිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු හිස ගිනිගෙන ඇති ශ්‍රී ලංකාවේ ගැඹුරු රාජ්‍යය, එනම් රාජ්‍යයට යටින් ගැඹුරෙහි පිහිටා ඇති  දේශපාලන සමාජ යුද්ධමය බල කේන්ද්‍රය දැන් විවිධ අතකොළු යොදා ගනිමින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂන මෙහෙයවූ බුද්ධි නිලධාරීන්ට පහර දීම අරඹා තිබේ.
දිවයින පුවත්පතෙහි කාකාස ලෙස රැකියාවට පැමිණ කාර්ය මණ්ඩලයට තේ හැදීම කර ගෙන ගිය තරුණයකු දේශපාලන බලය උඩ ලියන්නකු බවට පත් විය. දැන් මේ කුලී ලියන්නා දශක දෙකකටත් වඩා ශ්‍රී ලංකාවෙහි බුද්ධි අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කළ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ රවි සෙනවිරත්නට දැන පාස්කු ප්‍රහාරය ගැන ප්‍රහාරයක් එල්ල කර තිබේ.
තේ හදන තරුණයකුට මාධ්‍යවේදියකු විය නොහැකි යැයි කීමට නොහැකිය. නමුත් තේ හැදීම සහ කුලියට ලිවීම පමණක් දන්නා පුද්ගලයකුට දශක දෙකක කාලයක බුද්ධි මෙහෙයුම් බාරව සිටි නිලධාරියකුට, අපරාධ විමර්ශන ගැන කියා දිය හැකි යැයි සිතීම ඔලුව ඉදිමීමකි. නැත්නම් වෙනත් දුෂ්ඨ බලවේගයන්ගේ අතකොළුවක් වීමකි. මෙම ලියන්නා විසින්ම වෛද්‍ය සාෆි සහබ්දීන් ගැන අමූලික බොරු වපුරා රටක් ගිනි තබන ලද්දේ ද අනුන්ගේ දේශපාලන මනදොළ පිරවීම පිනිසය. අඩුම වශයෙන් එම සාහසික ලිපිය පිළිබඳ වරද පිළිගැනීමක් හෝ මෙම පුද්ගලයා කර නැත.
මේ පුද්ගලයා කවරකුවත් නොව යුදවාදී වෛර ප්‍රචාරකයකු වන සමන් ගමගේ නම් දිවයින ලියන්නාය.
සමන් ගමගේගේ රවි  විශ්ලේෂනයෙහි එන උදෘත කිහිපයක් මෙසේය.
“සීඅයිඩීයේ මහත්වරු සිට ඇත්තේ මහා ගොබ්බ තැනක යන්න නොවේද?”
 ඒ කියන්නේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව එකල ගොබ්බය කියාය.
“සහරාන් හෂීම් බිහිසුණු ක්‍රියාදාමයකට සැරසෙන බව අවබෝධ කරගෙන සිටියද නිකමටවත් හාදියා සිය භාරයට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් ප්‍රශ්න කරන්නට ඔවුහු කටයුතු නොකරන්නාහ.”
සැමියා වෙනුවට බිරිඳ අත්අඩංඟුවට ගැනීම සමන් ගමගේගේ ටිකිරි මොළය කරන ලද කව සොයා ගැනීමකි.
“එදා සීඅයිඩීය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මේ කියන්නේ පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම්ගේ මාරක බෝම්බ සඟවා තිබුණේ විමර්ශන කළ අයගේ නිල ඇඳුම් අස්සේ යන්න නොවේද?”
 මේ අනුව පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් නියම කල දේශපාලන සහ පොලිස් නිලධාරීන් නොව රවි සෙනවිරත්න සහ ශානි අබේසේකරටය.
“ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා මේ කියා සිටින්නේ තමන් එදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හෙවත් සීඅයිඩීය භාරව සිටියාට බුද්ධි මෙහෙයුමක් යනු කුමක්දැයි යන්න පිළිබඳ මෙලෝ වැටහීමක් තමන්ට නොතිබූ බව නොවේද?”
1996 සිට 2006 දක්වා බස්නාහිර පලාත්  රාජ්‍ය බුද්ධි සේවයෙහි ප්‍රධානියා ලෙස ද 2102 සිට  2022 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි ප්‍රධානියා ලෙස ද  සේවය රවි සෙනවිරත්නට, මේ ලියන්නාට අනුව බුද්ධි මෙහෙයුමක් යනු කුමක් දැයි යන්න ගැන මෙලෝ වැටහීමක් තිබී නැත.
 සී.ඒ. වන්ද්‍රප්‍රේම විසින් ලියන ලද ගෝටා පොතට අනුව, රවි සෙනවිරත්න විසින් දෙන ලද බුද්ධි තොරතුරු මත මහින්ද රාජපක්ෂගේ ජීවිතය දෙවරක් බේරා ගැනීමට හැකි විය.
බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙතැනදීය.
“පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ ‘සොනික් සොනික්’ මෙහෙයුමද එවැන්නකි. එහිදී එම මෙහෙයුම සිදු කළේ කෙසේද සහ කවරෙක්ද යන්න අනාවරණය කිරීම ලොව කිසිදු රාජ්‍යයක් සිදු නොකරන්නකි.”
පාස්කු ප්‍රහාරය පිටුපස ඇති සත්‍ය හෙළිදරව් වීම වැළැක්වීම, අප කලින් ද ලිපි ගණනාවක් මගින් පෙන්වා දී ඇති පරිදි, මෙම දුෂ් තොරතුරු මෙහෙයුමෙහි අරමුණයි. දැන් පොලිසිය බාර නියෝජ්‍ය ඇමතිවරයා පාර්ලිමෙන්තුවට ද සොනික් සොනික් යනු බුද්ධි අංශ විසින් සහරාන් කණ්ඩායම තුලට යවා සිටි ඔත්තුකරුවකු බව කියා ඇත.
නමුත් ප්‍රශ්නය නම් 300කට අධික අහිංසක ජන පිරිසක් ඝාතනය කරන තුරු එම ඔත්තුකරුවා කළේ කුමක්ද යන්නය. සමන් ගමගේ ඇතුලු මෙම දුෂ් තොරතුරු වෙළෙන්දන්ගේ අරමුණ එම ප්‍රශ්නයට පිළිතුර සෙවීම වැළැක්වීමය.
මෙම ලියන්නාට අනුව,  සොනික් සොනික් ගැන ප්‍රශ්න කරන රවි සෙනවිරත්නට මොලේ කළදක්වත් නැත!
“එහෙත් මෙරට බුද්ධි නිලධාරියකු ඇතිවිය හැකි ජීවිත තර්ජන පසෙක තබා රට වෙනුවෙන් ‘සොනික් සොනික්’ මෙහෙයුමකට දායක වී සිටියදී මොලේ කලඳක් නැත්තවුන් සේ කටයුතු කරන විමර්ශකයෝ ඒ පසුපස පන්නන්නාහ.”
පාස්කු ප්‍රහාරයේ පිටුපස සිටි මහ මොළකරුවන් සොයා ගැනීමට නම් විසඳා ගත යුතු අනෙක් කරුණ, ත්‍රස්තවාදී බොස්ම්බකරු ජමීල් සමඟ යුද හමුදා බුද්ධි අංශ පැවැත් වූ සම්බන්ධතාවයයි. එය වසං කිරීමද ගැඹූරු රාජ්‍ය දියත් කර ඇති දුෂ් තොරතුරු මෙහෙයුමේ තවත් පැත්තකි.
කුලී ලියන්නා මෙසේ තර්ක කරන්නේ එනිසාය.
“ඒ අනුව ආරෂක නිලධාරියා ජමීල්ගේ බිරිඳට ඇමතුමක් ගැනීමේදී ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනකු නිවසට පැමිණ සිටින බව ඇය සඳහන් කළාය. අද කාටත් ප්‍රශ්නයක් වී තිබෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පසු එසේ ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් යැයි පවසා ජමීල්ගේ නිවසට ගියේ කවරෙක්ද සහ ඒ කුමකටද යන්නය.
එදා එහි ගියේ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකි. පාස්කු ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ එම බදුධි නිලධාරීන් දෙදෙනා එහි ගියේ ජමීල් පිළිබඳ දැන සිටි නිසාය. එහෙත් අද ඇතැමුන් විමර්ශනය කළ යුතු යැයි කියන්නේ තෙවරක් විමර්ශන නිලධාරීන් ඉදිරියට පැමිණ ප්‍රකාශ ලබා දී ජමීල් ගෙදර ගිය අන්දම පිළිබඳව නොව, ප්‍රහාරයෙන් පසු බුද්ධි නිලධාරීන් දෙදෙනකු ඔහුගේ ගෙදරට යෑම ගැනය.”
මේ අනුව ජමීල් සහ යුද හමුදා සහ රාජ්‍ය බුද්ධි අංශය දැන සිටි තොරතුරු විමසීම, පාස්කු ප්‍රහාරය පිළිබඳ ඇත්ත සෙවීමේ ගවේශනයට අයත් නොවිය යුතුය.
පාස්කු ප්‍රහාරය පිළිබද ඇත්ත හෙළිදරව් වීම වැළැක්වීම අද මෙරට ගැඹුරු රාජ්‍යයේ හදිසි කාරිය බවට පත්ව තිබේ. විවිධාකාර පුද්ගලයින් කරළියට පැමිණෙමින් දැනටමත් හෙළිදරව් වි ඇති කරුණූ අවුල් වියවුල් කිරීම එහි වත්මන් උපක්‍රමය බව පෙනේ.
සේ. පියවර්ධන

Archive

Latest news

Related news