මුලතිව් දිසා විනිසුරු ටී. සරවනරාජා තමාට එල්ල වූ බව කියන තර්ජන ගර්ජන ගැන පොලීසියට පැමිනිලි කර නැතැයි සියලු වර්ගවල රාජපක්ෂ ක්ෂමාලාපකයෝ බෙරිහන් දෙති.
එසේ තර්ක කරන ආණ්ඩුවේ ප්‍රධානීන් ඇතුලු සියලු දෙනාම කල යුතුව ඇත්තේ, අධිකරණ සේවාවාට කරන ලද පහත සදහන් තර්ජන ගර්ජන සම්බන්ධයෙන් මේ තාක් සිදුව ඇත්තේ කුමක්දැයි සොයා බැලීමය.
මේ එවැනි සිදුවීම් කිහිපයකි.
ජේ ආර් ජයවර්ධන සමයෙහි විනිශ්චයකාරවරුන්ගේ නිවෙස්වලට ගල් ගැසීම: 1983 ජූනි 11දා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයන් තිදෙනෙකුගේ නිවෙස් ඉදිරිපිට කෑ කෝ ගැසීම් සහ ගල් ගැසීම් සිදු වියග ඊට හේතුව වූයේ කොල්ලුපිටිය පොලිසිය විසින් විවියන් ගුණවර්ධනගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අධිකරණය විසින් තීරණය කර පොලිසියට දඬුවම් නියම කිරීමයි. මැර පිරිස පැමිණියේ ලංගම බස් රථ වලිනි. විනිසුරුවරුන් පොලිසියට කතා කල ද පොලිස් දුරකතන ගොලු වී තිබුණි.
මෙම ප්‍රහාරය සංවිධානය කළේ තමා බව කළු ලකී නැමැත්තකු උපාලි පුවත්පත් ආයතනයට පැමිණ තමා වගකිව යුතු බව ප්‍රකාශ කළේය. එයට රජයට සම්බන්ධ දෙයක් නොවන නමුත් එය පෙන්වීමට ඔහුට අවශ්‍ය වී තිබිණි. කලු ලකීගේ විවාහ මංගල්‍යයේ සාක්ෂිකරුවෙකු වූ රනිල් වික්‍රමසිංහ සමඟ ඔහු සමීපව ඇසුරු කළ බව පසුව හෙළි විය.
එම ඝොෂාකාරී හැසිරීම වෙනුවෙන් කිසිවකුට දඬුවම් නොකරන ලදී. මන්ද යත් එය ආණ්ඩුවේ වැඩක් වූ බැවිනි.
මන්නාරම විනිසුරුවරයාට තර්ජනය කිරීම: 2012 ජුලි මාසයේ දී මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු ඇන්තනිපිල්ලේ ජූඩේසන්ට තර්ජනය කිරීමට විරෝධතාවයක් පවත්වන ලදී.
එය පිටුපස සිටියේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් බවට චෝදනා එල්ල විය. චෝදනාව වූයේ දෙමළ අවතැන් වූවන් පිරිසක් වේඩුයිතලිතිව් ප්‍රදේශයෙන් ඉවත් කිරීමට මහේස්ත්‍රාත් ජූඩ්සන් දුන් නියෝගයට විරෝධය පළ කිරීමට අමාත්‍ය බදියුදීන් මන්නාරම ප්‍රදේශයේ මුස්ලිම් ධීවරයින් පිරිසක් උසිගන්වා ඇති බවටය.
ඔව්හු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොඩනැගිල්ලට ගල් ගසා අලාභහානි කළ අතර තම තීන්දුව වෙනස් කරන ලෙසත් නැතිනම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙන ලෙසත් බදියුදීන් තර්ජනය කළ බවට ද වාර්තා විය.
චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඇතැයි කී නීතිපති දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන නඩු පවරන ලදී. තවමත් නඩුවට වූ දෙයක් දැන ගැනීමට නොමැත.
අග විනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායකට අපහාස කිරීම:2012 දෙසැම්බර් 5 දින අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක තමාට එරෙහිව රාජපක්ෂවරු නැගූ එරෙහි චෝදනා විමර්ශනය කරන තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටීම සඳහා යමින් සිටියදී ඇයට විරෝධය පළකරමින් ඇයට අපහාස කරමින් පාර්ලිමේන්තු සංකීර්ණය අසල උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.
අගවිනිසුරුවරියට මඩ ගැසීමට පැල්පත්වාසීන් සහ කුලී රථ රියදුරන් නිර්ලජ්ජිත ලෙස ආණ්ඩුව පෙළගස්වා ඇති බවට විපක්ෂය චෝදනා කළේය. එකී විරෝධතාකරුවන්ට පාර්ලිමේන්තු ආපන ශාලාවේ සිට දිවා ආහාරය පවා ලබා දී තිබුණි.
එවකටත් අගවිනිසුරුවරිය වූ ඇයට විරුද්ධව අපහාසාත්මක පුවරු රැගෙන සිටි කිසිවකුට කිසිම අධිකරණයක චෝදනා එල්ල වූයේ නැත.
මන්ද යත් එය පිටුපස සිටියේ ද ආණ්ඩුව නිසාය.
අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න එල්ල කල ප්‍රහාරය:
2012 ඔක්තෝබර් 7 වන දින අධිකරණ සේවා කොමිසමේ එවකට ලේකම් වූ මංජුල තිලකරත්නට ගල්කිස්ස ප්‍රදේශයේ දී පහර දීමක් සිදු විය. ඊට හේතු වූයේ අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනයක වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමය.
ආයුධ සන්නද්ධව සිටි ප්‍රහාරකයෝ අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී නොසිටින ලෙස තර්ජනය කරමින් ඔහුට පහර දුන්හ. පිස්තෝලයකින් ඔහුට පහර දී ඔහුගේ මෝටර් රථයෙන් පිටතට ඇද ගෙන යාමට උත්සාහ කළේය. ඔහු බේරුණේ අහම්බයෙනි.
මෙම පහර දීම සම්බන්ධයෙන් දස වසරක් ගතවී තිබුණද කිසිදු දාමරිකයකු අත්අඩංගුවට ගෙන හෝ නඩු පවරා හෝ නැත.
මන්ද යත් මෙම ප්‍රහාරය පිටුපස සිටියේ ද ආණ්ඩුවේ බලධාරීන් බැවිනි.
මෙරට අධිකරණයට කරන ලද පහරදීම් සම්බන්ධයෙන්, ඒවා පිටුපස රජයේ හස්තය තිබූ සෑම අවස්ථාවකදීම කිසිදු පියවරක් ගෙන නැත.
දැන් මුලතිව් දිසා විනිසුරු වූ ටී. සරවනරාජා පිළිබද සිදුවීමට එමු.
ඔහුට පාර්ලිමේන්තුවෙහි දී දරුණු ලෙස පහර දුන්නේ අන් තිසිවකු නොව ගෝඨාභය රාජපක්ෂ යටතේ පොලිසිය බාරව සිටි සහ වර්ථමානයෙහි ජනාධිපති උපදේශකයකු ද වන පාර්ලිමේන්තු මංත්‍රී සරත් වීරසේකරය. විනිසුරුවරයාගේ නියෝග නොසළකා කටයුතු කළ අන්තවාදී බෞද්ධ පිරිස් සරත් වීරසේකරගේ අනුගාමිකයින්ය. පොලිසිය ද සිටියේ එම පැත්තේය. එපමණක් නොව එම පිරිස් තවමත් විනිසුරුවරයාට විරුද්ධව වෛර ප්‍රචාර ගෙන යති.
එවැනි තත්වයක් යටතේ තමාට එල්ල වූ මරණ තර්ජන ගැන පොලිසියට පැමිණිළි කිරීම, හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වන්නට තිබූ බව දිසා විනිසුරුවරයකුට තේරුම් ගැනීම අමාරු නැත.
මෙරට දේශපාලනඥයින් මුල් වී අධිකරණයට කරන ලද තර්ජන ගර්ජන සම්බන්ධයෙන් සම්පූර්ණ දණ්ඩ මුක්තියක් ඇති රටක, බලවත් පාර්ශවයන්ගෙන් යැයි සැක කළ හැකි මරණ තර්ජන ලද විට දෙමළ ජාතිකයකු ද වූ ටී. සරවනරාජාට රට හැර යාම සමහර විට හොඳම විකල්පය වන්නට ඇත.
පසුගිය දා දෙමළ පාර්මංලිමෙන්තු මංත්‍රීවරයකු වන වන කෙජ්න්ද්‍රන්ට දාමරික සංහල පිරිසක් පහර දෙන අතරවාරෙයහි පොලිසිය ප්‍රහාරකයින්ට පවන් සළනු නොදුටු සමාජ මාධ්‍ය පරිශිලනය කරන්නෙකු නැති තරම් විය හැක. එවැනි පොලිසියකට දෙමළ විනිසුරුවරයකු වුවත් සැළකිය යුතු අයෙක් නොවීමට ඉඩ තිබේ.
විනිසුරු සරවනරාජා විසින් කරන ලද ප්‍රකාශය බොරුවක් බවට දැනටමත් රජය ගෙන යන ප්‍රකාශයෙන් පෙනෙන්නේ ද පැමිණිල්ලක් කළේ නම් එය කුණූ කූඩයට යාමට තිබූ බව නොවේද?
සේ. පියවර්ධන