Friday, November 22, 2024

ශ්‍රී ලංකාව – ජාතිය ගොඩනැගීම, බලය පැවරීම සහ 13 වැනි සංශෝධනය (01)- ලයනල් බෝපගේ

හැදින්වීම

ශ්‍රී ලංකාව ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික වශයෙන් බහුවිධ අර්බුදවලට මුහුණ පා සිටී. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය රටේ අනාගතයට තීරණාත්මක වන්නේය. අසාර්ථක ඒකීය ආණ්ඩු ක්‍රමය, විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමයේ අධික බලතල සීමා කළ යුතුව තිබේ. අපට අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වන්නේ නම් බලය පැවරීම මෙන්ම විධායකය, අධිකරණය, පාර්ලිමේන්තුව, නිලධරය සහ කලාප අතර වඩා සමතුලනයක් ඇතිකර ගැනීම පිළිබඳව ද යලි සාකච්ඡාවට ලක් කළ යුතුව ඇත.
මෙම ලිපිය දෙස බැලිය යුත්තේ මෙම පෘථුල දෘෂ්ඨියෙන් යුතුව යි. කෙසේ වෙතත්, නව ලිබරල්වාදය යටතේ අර්බුදවලින් වෙළී තිබෙන අධිකාරවාදී ධනේශ්වර පාලන ක්‍රමවලට මුක්කු ගැසීම සඳහා බහුවිධ සමාජවල පවතින වෙනස්කම් යොදා ගන්නා බව සැලකිල්ලට ගැනීම හැරුණු විට, මෙම ලිපිය ජාතික ප්‍රශ්නයට පාදක වන පන්ති පදනමින් යුත් කරුණු කෙරෙහි අවධානය යොමු නොකරයි.

“විමධ්‍යගතකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස වැඩි වැඩියෙන් දෘශ්‍යමාන වේ. ජනතා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අව්‍යාජ ලෙස බලය දරන ආයතනවලට තමන්ගේම නායකයන් සහ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ඇති හැකියාව යහපාලන සම්ප්‍රදායකට අවශ්‍ය වේ.”

ජාතිය ගොඩනැගීම

ජාතිය ගොඩනැගීම විප්ලවීය හා එක රැයෙන් සිදු කරන ක්‍රියාවලියකට වඩා ක්‍රමයෙන් විකාෂයට පත් වෙන දිගුකාලීන ක්‍රියා මාර්ගයක් වන්නේය. එය දියුණු වී වර්ධනය විය යුත්තේ අභ්‍යන්තර ක්‍රියාවලියක් කරන ‌කොට ගෙන මිස බාහිර මැදිහත්වීමක් හෝ ආරෝපිත න්‍යාය පත්‍රයක් මගින් නොවේ. ආර්ථික, සමාජීය සහ දේශපාලනික වර්ධනයක් මෙන්ම ජනයාගේ සහ ජන ප්‍රජාවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ආයතනද ඊට අවශ්‍ය වේ. මෙයට අමතරව, ජාතිය ගොඩනැගීමේ පරිශ්‍රමය සඳහා කරන අනෙකුත් කටයුතු අතර රැකියා, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සඳහා සම ප්‍රවේශයක් ලබා දීම ද සහතික කළ යුතුය.
දිගු-කාලීනව ප්‍රජාතන්ත්‍රවාදී ජාතිය ගොඩනැගීම සාර්ථක වන්නට නම්, හුදෙක් ආර්ථික සංවර්ධනය හෝ රාජ්‍ය ගොඩනැගීම පමණක් අවධාරණය කරනවා වෙනුවට, අප ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම වර්ධනය කර පවත්වා ගෙන යන සිවිල් ක්ෂේත්‍රය තුළ ඒ සාරධර්මවල ඇති වැදගත් කම හඳුනා ගත යුතුය. මෙම තීරණාත්මක ප්‍රශ්නය පිළිබඳව තිබෙන කිසියම් සැබෑ අදහසක් වේ නම් එය කප්පාදු කොට දේශපාලන ප්‍රභූ පැලැන්තියෙන් අපට දැනට ලැබී ඇත්තේ යල් පැන ගිය වචන සමූහයක් පමණකි.

විමධ්‍යගතකරණය

විමධ්‍යගතකරණය ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ප්‍රතිපත්තියක් ලෙස වැඩි වැඩියෙන් දෘශ්‍යමාන වේ. ජනතා අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා අව්‍යාජ ලෙස බලය දරන ආයතනවලට තමන්ගේම නායකයන් සහ නියෝජිතයන් තෝරා පත් කර ගැනීමට ඇති හැකියාව යහපාලන සම්ප්‍රදායකට අවශ්‍ය වේ. ඒ වෙනුවෙන් සටන් වදින බිම් මට්ටමේ ව්‍යාපාර මතු වී තිබේ. මෙය පුදුමයට කාරණයක් නොවන්නේ වත්මන් ආර්ථීක අර්බුදය විසින් සනාථ කොට ඇති අන්දමට මාන්නක්කාර මධ්‍යම ආණ්ඩුවකට ජනතා අවශ්‍යතාවයන් සපුරා ලන්නට යලි යලිත් නොහැකි වී ඇති හෙයිනි.
දේශපාලන විමධ්‍යගතකරණයෙන් තීරණ ගැනීමේ ක්‍රියාවල නිරත වෙන පුරවැසියන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් බල ගැන්විය හැකිය. ශ්‍රී ලංකාව වැනි බහුවිධ සමාජවලට වඩාත්ම අදාළ වන පරිදි, වැඩි සහභාගීත්වයක් විසින් වඩා දැනුවත් හොඳ තීරණ ගැනීමට මඟ පෙන්වනු ඇතැයි උපකල්පනය කෙරේ. දේශපාලන විමධ්‍යගත කිරීම හේතුවෙන් පුරවැසියෝ තම නියෝජිතයන් වඩාත් හොඳින් දැන ගන්නා අතර අනෙක් අතට, ඒ නියෝජිතයෝ සිය ඡන්දදායක අවශ්‍යතාවයන් සහ අභිලාෂයන් ගැන වඩාත් හොඳින් සැලකිලිමත් වෙනවා ඇත. මක් නිසාද යත්, විමධ්‍යගතකරණය හේතුවෙන් ඇතැම් මහජන රාජකාරි සැලසුම් කිරීම, මූල්‍යකරණය කිරීම සහ කළමනාකරණය කිරීම පිළිබදව පවතින වගකීම, වැඩිමනත් ලෙස ප්‍රාදේශීය බවටත්, වග වෙන බවටත් පත් කරවමින්, කේන්ද්‍රයේ හා එහි නියෝජිත ආයතනවල සිට කලාපීය ආයතන වෙත පවරා දෙන හෙයිනි. එකිනෙකාටම ආවේණික වන ගුණාංග අන්තර්ගත වන අව-සංකේන්ද්‍රනය, අභිනියොජනය සහ අධිකාරී බලය පැවරීම මඟින් මෙය සාක්ෂාත් කර ගත හැකි වේ.
මධ්‍යගතකරණය සහ විමධ්‍යගතකරණය “එකක් හෝ අනික” වැනි රංගනයක් විය යුතු නැති බව සඳහන් කළ යුතු වේ. මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ යෝග්‍ය තුලනයක් මගින් ඵලදායී මෙන්ම කාර්යක්ෂම ලෙස රජයේ සේවා සැපයීම සහතික කළ හැකි බව ලොව පුරා ප්‍රායෝගික උදාහරණ විසින් විදහා පා ඇත. විමධ්‍යගත කිරීමේ ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමත් පවත්වාගෙන යාමත් සඳහා මධ්‍යම ආණ්ඩුවලට තීරණාත්මක මෙහෙවරක් ඉටු කළ හැකිය. මෙය සිදු කළ හැක්කේ විමධ්‍යගත කිරීමට අවශ්‍ය, සුදුසු මෙන්ම ඵලදායී ජාතික ප්‍රතිපත්ති සහ විධිවිධාන සකස් කිරීමෙනි; එසේ කලාපීය, පළාත්බද සහ ප්‍රාදේශීය ඒකකවලට අළුත් කාර්යයන් පවරා ගැනීම සඳහා වැඩි වගකීම් දරන්නට ඉඩකඩ සලසා දෙමින් අවශ්‍ය අන්දමේ ශක්තිය ලබා දෙන පරිසරයන් බිහි කිරීමෙන් හෝ පවත්වාගෙන යාමෙනි.
සමස්තයක් ලෙස, විමධ්‍යගතකරණය සඳහා ගන්නා අව්‍යාජ පරිශ්‍රමයන් මගින් අපහසු නිලධරවාදී අධිකාරය කප්පාදු කළ හැකිය. එමඟින් ප්‍රාදේශීය සහ ජාතික රාජ්‍ය සේවකයන්ව ප්‍රාදේශීය තත්ත්වයන් සහ අවශ්‍යතා පිළිබඳව වඩාත් සංවේදී බවට පත් කරන්නට හැකි වේ. විමධ්‍යගතකරණය හොඳින් සිදු කළහොත් බහුවිධ සමාජවල හමු වන විවිධ දේශපාලන, වාර්ගික, ආගමික සහ සංස්කෘතික කණ්ඩායම්වලට තීරණ ගැනීමේ ක්‍රියාවලියන් තුල දේශපාලන නියෝජනය සඳහා ඉඩකඩ ලබා දිය හැකිය. පුරවැසියන්ට ප්‍රාදේශීය මට්ටමින් වඩා හොඳ රජයේ වැඩසටහන් වලට ප්‍රවේශ වන්නට ඉඩකඩ ලබා දෙන හෙයින් වඩා හොඳ දේශපාලන ස්ථාවරත්වයක් මෙන්ම ජාතික සමගිය ද ඇති කිරීම සඳහා ඊට දායක විය හැකිය. විවිධ ජනවාර්ගික සහ කලාපීය කණ්ඩායම් වෙත යම් ස්වාධිපත්‍යයක් මෙන්ම සිය ඉරණම තීරණය කරන පාලනයක් ඔවුන්ට ලබා දීමේ මාර්ගයක් වශයෙන් ප්‍රජා පාලන වගකීම්වල ඇතැම් අංග මධ්‍යම ආණ්ඩුවේ සිට ප්‍රාදේශීය ආණ්ඩුව වෙත විමධ්‍යගත කරමින් වැඩෙන රටවල් සංඛ්‍යාවක් විසින් ෆෙඩරල් ක්‍රම යොදා ගෙන ඇත.
කිසිදු ආකාරයක දේශපාලන බලය බෙදා හදා ගැනීමෙකින් ජනතාව බැහැර කර තැබුව හොත් ඔවුන් විසින් පවතින ක්‍රමයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරන්නට වැඩි ඉඩක් ඇති බවට දකුණේ නැඟිටීම් දෙකත්, උතුරේ දශක තුනක සන්නද්ධ ගැටුමත් නිදසුන් වෙති. සන්ධියවාදය (Federalism) හෝ බලය පැවරීම (devolution) යනු විවිධ දේශපාලන ආයතන අතර ඒවායේ ජනවාර්ගික හෝ කලාපීය බැඳීම් නොසලකා බලය බෙදා හදා ගැනීමේ මාර්ගයකි. ජයග්‍රහණ මෙන්ම අසීරුකම් අපක්ෂපාතී ලෙසත් සාධාරණ ලෙසත් බෙදා හදා ගන්නේ නම් ප්‍රජාතන්ත්‍රවාදය වඩා හොඳින් නොනැසී පවතිනවා ඇත.
වත්මන් දේශපාලන ක්‍රමය පදනම්ව ඇත්තේ එක් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් ඒකාධිකාරී ලෙස සියළුම වරප්‍රසාද සහ ආර්ථික ප්‍රතිලාභ හිමි කර ගනු ලබන ‘ජයග්‍රාහකයා සියල්ල අත්පත් කර ගැනීමේ’ ක්‍රමය මත යි. ඊට වෙනස් අන්දමට, බලය පැවරීම විසින් විවිධ ජනවාර්ගික හා කලාපබද කණ්ඩායම්වලට වඩාත් ආරක්ෂිත හැඟීමක් ඇති කරවමින් ඔවුන්ට තමන්ගේම කටයුතු පිළිබඳව තීරණ ගන්නට හැකියාවක් ලබා දෙයි. ඔවුන්ට පවතින ක්‍රමය කෙරෙහි වැඩි විශ්වාසයක් හා කැපවීමක් මෙන්ම ඒ ක්‍රමය සාධාරණ හා අන්තර්ග්‍රාහී එකක්ය යන  බවට පොදු හැඟීමක් ද ඇති කර ගත හැකිය.

බලය පැවරීම

ඓතිහාසික ලෙස ගත් විට, ශ්‍රී ලංකාවේ ආණ්ඩු නැඹුරුව ඇත්තේ සියළු බලතල මධ්‍යගත කිරීම වෙත යි. එහෙත්, 20 වැනි සියවස අගභාගයේදී, ප්‍රාන්ත, කලාපීය, පළාත් සහ/හෝ පළාත් පාලන ආයතන වැනි පර්යන්තමය පාලන ආයතනවලට බලය පැවරීම මගින් මධ්‍යම ආණ්ඩුවල බලය අඩු කර ලීම සඳහා වන ගෝලීය ප්‍රවණතාවයේ වැඩි වීමක් දක්නට ලැබිණ. යුරෝපයේ, ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ රටවල් සිය බහුවිධ ප්‍රජාවන් බල ගැන්වීම සඳහා විවිධ අන්දමේ බලය පැවරීමේ ක්‍රියාමාර්ග යොදා ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් 1980 ගණන්වල ප්‍රංශයත් 1990 දශකයේ අග භාගයේ එක්සත් රාජධානියත් වඩාත්ම සුදුසු උදාහරණ වේ. ප්‍රංශය අතිශයින්ම මධ්‍යගත රාජ්‍යයක් විය. වාර්ෂික අයවැයවල සිට වීදි හා පාසල් නම් කිරීම දක්වා වූ කලාප, පරිපාලන ඒකක සහ සාමූහික වල සියළුම තීරණ මධ්‍යම ආණ්ඩුව විසින් අධීක්ෂණය (tutelle) නමැති ක්‍රමයක් යටතේ අනුමත කළ යුතුව තිබිණි. පර්යන්ත විසින් මධ්‍යම ආණ්ඩුවට එල්ල කරන ලද බලපෑම හේතුවෙන් ෆ්‍රොන්ස්වා මිතරොංගේ පාලනය (1981-95) ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවශ්‍ය කර තිබූ අනුමත කිරීම් බහුතරයක් ඉවත් කර දැමීය.[i]
ශ්‍රී ලංකාවේ බලය පැවරීමට යෝජනා කරන අය පළාත්වලට යොදා ගත හැකි, පැහැදිලිව නිර්වචනය කරන ලද බලතල ඉල්ලා සිටිති.
ස්කොට්ලන්තය සහ වේල්සය සිය කටයුතු පිළිබඳව වැඩි පාලනයක් ඉල්ලා සිටීම හේතුවෙන් බලය පැවරීම 1970 ගණන්වල මුල් භාගයේදී එක්සත් රාජධානියේ ප්‍රධාන දේශපාලන ප්‍රශ්නයක් බවට පත් විය. බලය පැවරීම සඳහා ඇති ජනතා කැමැත්ත නිශ්චය කිරීම සඳහා 1979 දී ජනමත විචාරණයක් පවත්වන ලදී. ඡන්දදායකයන් පහෙන් දෙකක බහුතරයකින් එය අනුමත කරන්නට අවශ්‍ය වූ නමුත් වේල්සයේ සහ ස්කොට්ලන්තයේ ඡන්දදායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. එහෙත්, 1999 දී ටෝනි බ්ලෙයාගේ පාලනය යටතේ බලය පවරා දෙන ලදුව, ස්කොට්ලන්තයට පාර්ලිමේන්තුවක් ද, පසුව වේල්සයට වේල්ස් සභාවක් ද හිමි විය. 1998 මහ සිකුරාදා ගිවිසුම උතුරු අයර්ලන්තයට තමන්ගේම වන පාර්ලිමේන්තුවක් ලබා දුන්නේය.[ii]
ශ්‍රී ලංකාවේ බලය පැවරීමට යෝජනා කරන අය පළාත්වලට යොදා ගත හැකි, පැහැදිලිව නිර්වචනය කරන ලද බලතල ඉල්ලා සිටිති. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති පසුගිය පාලනය යටතේ ගෙන ගිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අතරතුර ‘දකුණු’ පළාත් හතේ ප්‍රධාන ඇමතිවරු 13 වැනි සංශෝධනය යටතේ අපේක්ෂා කළ පරිදි නිසි බලය පැවරීමක් කරන ලෙස ඉල්ලා සිටියහ. එහෙත් මේ කිසිවක් පල දැරුවේ නැත.
2023 සැප්තැම්බර් 24 වන දා
මතු සම්බන්ධයි.

[i] Reiter R, Grohs S, Ebinger F, Kuhlmann S and Bogumil J 2010, Impacts of decentralization: The French experience in a comparative perspective, Ruhr-Universität; Published in French Politics 8(2010), 2, 166-189, Available at: https://d-nb.info/1078649812/34

[ii] Baldersheim H 2009, Decentralisation in practice: European patterns and experiences, Ministry of Public Administration and Local Self Government, Available at: https://www.undp.org/sites/g/files/zskgke326/files/migration/rs/UNDP_SRB_Decentralisation_in_practice-European_Patterns_and_Experiences.pdf

Archive

Latest news

Related news