Tuesday, May 28, 2024

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල: කෝකටත් තෛලයක්ද, වස විසක්ද? : ඝානා අත්දැකීම(04) – ලයනල් බෝපගේ

ඡායාරූපය: ඝානාහි මූල්‍ය අරමුදලට විරෝධතා. ( අන්තර් ජාල ඡායාරූපයකි)
ජාතික ණය සහ මානව හිමිකම්
ණය නිසාවෙන් මානව හිමිකම් කෙරෙහි ඇති වන බලපෑම ද සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයකි. ලෝකයේ බොහෝ රටවල් දැනටමත් ණය අර්බුදයක හෝ එවැනි අර්බුදයකට ආසන්න වෙමින් සිටිති. මෙය අලුත් සිදු වීමක් නොවේ. කොවිඩ් වසංගතය අතරතුරේ දී බොහෝ රටවල ණය පියවා දැමීමටත්, සෞඛ්‍ය සේවා සඳහා වැඩිවන ඉල්ලුම සපුරාලීමටත් තිබුණු හැකියාව වඩාත්ම නරක අතට හැරුණි[i]. වාර්තා වුන අන්දමට ඇතැම් ආණ්ඩු අවදානමට ලක්ව සිටි කණ්ඩායම්වලට ආධාර කිරීමටත්, වසංගතයට ප්‍රතිචාර දක්වන්නට අවශ්‍ය සෞඛ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීමටත් අරමුදල් වැඩියෙන් ණයට ගන්නට තීරණය කළේය. වසංගතය කාලයේදී බොහෝ රටවල් මෙම දුෂ්කර තෝරා ගැනීමට මුහුණ දුන්හ.
කෝවිඩ් වසංගතය හේතුවෙන් ලොව පුරා වැය කිරීම් සඳහා පැවති ඉල්ලුම ඉහළ ගිය අතර බදු ආදායම පහත වැටීමෙන් ණය පියවන්නට සිදු කල යුතු ආපසු ගෙවීම් වැඩි විය. මෙම තත්වය හැම තැනකම පාහේ සෞඛ්‍ය සේවාවන් සැපයීම කෙරෙහි නිෂේධාත්මක බලපෑමක් ඇති කළේය. විශේෂයෙන්ම, කෝවිඩ්-19 කෙරෙහි අවධානය යොමු කරන ලද්දේ බොහෝ විට අනෙක් සෞඛ්‍ය ප්‍රශ්න කෙරෙහි අවධානය හිලව්වට තබමිනි. සේවාවන් ලබා ගන්නට, ඒ සඳහා ළඟා වෙන්නට ඇති හැකියාව, ඒවා පිළි ගන්නට තිබෙන හැකියාව සහ ඒවායේ ගුණාත්මක බව යන විශ්වයීය මානව හිමිකම් ප්‍රමිතීන් සපුරා ලන්නට පවතින සෞඛ්‍ය සේවාවන් බොහෝ විට අසමත් විය. ඒ පිළිබඳව හෙළි වී තිබෙන ඓතිහාසික පසුබිමක ඉදිරියේ, වෙන් කර තැබීමේ සම්මුති (lockdown protocols) විසින් ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ අතර පවතින සෞඛ්‍ය විෂමතා තවදුරටත් උග්‍ර කර ලීය.

රජයේ වගකීම්

එක්සත් ජාතීන්ගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව (CESCR)[ii] විසින් රජයයන්ට තම රටවැසියන්ට සිය සෞඛ්‍යය සඳහා තිබෙන අයිතියට ගරු කරන්නට, ඊට ඉටු කරන්නට සහ ආරක්ෂා කරන්නට තිබෙන වගකීම අවධාරණය කර ඇත. ආර්ථික, සමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICESCR) 12 වැනි වගන්තිය ද ඇතුළුව, බොහෝ රජයයන් විසින් අනුමත කර ඇති විවිධ ජාත්‍යන්තර හා කලාපීය ගිවිසුම් යටතේ මෙම අයිතිය සහතික කොට තිබේ. මේ නිසා ශාරීරික හා මානසික සෞඛ්‍යයට අදාළ උසස්ම ප්‍රමිති සහතික කරන්නට රජයයන්ට සිදු වෙයි. එසේ නමුත්, අයවැය සීමා කිරීම්, දූෂණය හා සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දෙන්නට දේශපාලන අධිෂ්ඨානයක් නැති කම හේතුවෙන් මෙම ගිවිසුම් අනුමත කර ඇති රටවල පවා මෙම එකඟතාවයන් ක්‍රියාවට නැංවීම වළකනු ලැබ ඇත.
මේ ගැන වැඩි දුරටත් පැහැදිලි කර ලීම සදහා ශ්‍රිලංකාව මෙන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියකට භාජනය වෙමින් පවතින ඝානා රාජ්‍යයේ තත්ත්වය ඉස්මතු කර දක්වන්නට ඉඩ  දෙන්න..
ණය දීමේ සහ ගැනීමේ සතුට එහෙත් මෙහෙත් එකය

ඝානාව කප්පාදු කිරීමට එරෙහිව වටිනා පාඩමක් වශයෙන්

ඝානාව ශ්‍රී ලංකාවට සමාන ආර්ථික හා දේශපාලන ගමන් මාර්ගයක ගමන් කරමින් තිබේ. ආණ්ඩුවේ ආදායම් නාස්ති කර දැමීම, දූෂණය, ඥාති සංග්‍රහය හා අදක්ෂකම වැනි ව්‍යුහමය ගැටළු නිරාකරණය කිරීමෙන් තොරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වාර ගණනාවකදී ම ඝානාවට ඇප ලබා දී ඇත. ගෝලීය මිල ඉහළ පහළ යෑම්වලට ලක් වන නිෂ්පාදන මත පදනම් වුනු ආර්ථික මාදිලියක් සහිත රටක් වන ඝානාව, සුවපහසුවෙන් දිවි ගෙවන සුළුතරයක නොව, එහි ජනගහනයෙන් බහුතරයක අවශ්‍යතා සපුරාලිය හැකි අන්දමේ ආර්ථිකයක් ගොඩ නඟන්නට පෙනෙන්නට ඇති නොහැකියාවකින් පෙලෙන්නාවූ ද රටකි.
ලොව විශාලතම කොකෝවා නිෂ්පාදකයන්ගෙන් එකක් වන ඝානාව, අප්‍රිකාවේ ප්‍රමුඛතම රන් නිෂ්පාදකයා ද වේ. පසුගිය වසරේ දී එහි භාණ්ඩ මිල ගණන් 41% ක සාමාන්‍යයෙන් ඉහළ ගොස් ඇත. ලංකාව මෙන්ම ඝානාව ද රටේ සෞභාග්‍යමත් කාලවලදී අධිකව විය පැහැදම් කළ රටකි. අපනයනය කල තෙල්, කොකෝවා සහ රන් සඳහා ලැබෙන මිළ ගණන් විශාල ලෙස ඉහළ පහළ යෑමත්, මැතිවරණ සමයේ අධික ලෙස මුදල් වියදම් කිරීමත් හේතුවෙන් කඩා වැටීම්වලට හෝ බාහිර කම්පනවලට රට මුහුණ දෙන විට යොදා ගත හැකි වන සේ වැඩි යමක් ඉතිරි කර ගත්තේ නැත.

ඝානාවේ බහුවිධ අර්බුදය

මූල්‍ය විනයක් නොමැතිකම සහ විදේශ මුදල් යෙදවීම් මත රඳා පැවතීමේ පුරුද්ද හේතුවෙන් ලංකාව මෙන්ම ඝානාවද ආයෝජක අනුමානයන් (speculation) මෙන්ම ආයෝජන අඩුවට විකුණා දැමීමේ අනතුරට ලක් වීමේ හැකියාවට ඉඩ  හැර තිබුනේය. 2022 වසරේ මුල් භාගයේ සිට ඝානාව බහුවිධ අර්බුදයකට, එනම්, ආර්ථික, මූල්‍ය සහ සමාජ අර්බුද සංකීර්ණයකට මුහුණ දුන්නේය. ප්‍රධාන ලෙසම ආහාර හා ඛනිජ තෙල් ආනයනය කිරීම් සහ ඉහළ යන උද්ධමනයට දායක වෙමින් ගෝලීය සැපයුම් දාමයන් මුහුණ දුන් අවහිරතා නිසා ඉහළ නැඟෙන මිල ගණන්වල බලපෑමි දළ දේශීය නිෂ්පාදිතයේ සැබෑ වර්ධනය පරිහානියට ලක් කලේය. උද්ධමනය මෙල්ල කිරීමට පොළී අනුපාත 4.5% සිට 19% දක්වා ඉහළ නංවන ලදි. ආනයනවල මිල ගණන් අධික ලෙස ඉහළ නංවමින් සහ, ඒ අනුව භාණ්ඩ හා සේවා මිල වැඩි කරවමින් ඝානාවේ දේශීය මුදල් ඒකකය වන සේඩී (Ghana cedi) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 20% කින් පමණ අවප්‍රමාණයට ලක් විය.

2023 පෙබරවාරි මාසයේ දී ඝානාව තාක්ෂණික වශයෙන් දේශීය හා ජාත්‍යන්තර ණය ගෙවීම පැහැර හැරියේය. දරාගත නොහැකි ණය මට්ටම් හේතුවෙන් 2022 ජූලි මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප දීමක සහාය පතන්නට ඝානාවට බල කෙරුණි. 2023 මැයි මැද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඝානාවේ සාර්ව ආර්ථික ස්ථාවරබව යලි ඇති කරවන්නට ඩොලර් බිලියන 3ක තුන් අවුරුදු ණය පැකේජයක් ඊට ලබා දුන්නේය. එහි කොන්දේසි වූයේ 2028 වන විට ඇස්තමේන්තු කරන ලද රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 105% සිට 55% දක්වා අඩු කර ලීමයි. මෙය 1957 සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඝානාවට ලැබුණු 17 වැනි ණය පැකේජය යි. ඒ අන්දමට, හැම වසර හතරකට වරක් ඝානාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිඟමනේ යන්නට සිදු විය.

ගෙවුම් ශේෂ අර්බුදය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පැකේජය යොදා ගෙන මෙම ගෙවුම් ශේෂ හිඟය කොටස් වශයෙන් පියවනු ඇතැයි කල්පනා කෙරේ. චීනයේ ආර්ථික මන්දගාමී වීම, ගෝලීය වෙළඳ භාණ්ඩ මිල පහත වැටීම, වගකීම් විරහිත ලෙස 2012 සහ 2016 මැතිවරණවලදී කරන ලද විය හියදම් සහ දිගැදුනු ගෘහස්ථ විදුලි අර්බුදය වැනි ගෝලීය සහ දේශීය ආර්ථික කම්පනයන්ට  මුහුණ දීමේ දී යි මෙසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට ඝානාවට බල කෙරුණේ. ඇත්තෙන්ම කොවිඩ්-19 වසංගතය සහ රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් ද බාහිර ආර්ථික කම්පන හට ගත්තේය. ඒ ඇරත්, දේශීය වශයෙන්, පාලන තන්ත්‍රය එහි මූල්‍ය කළමනාකරණයේදී වගකීම් විරහිත මෙන්ම අකාර්යක්ෂම වද කටයුතු කලේය. අධික ණයට ගැනීම් හේතුවෙන් රටට බර පැටවුන අතර නැඟී එන ණය අර්බුදයකට ද මඟ පෑදුවේය.
ඝානාවේ ණය සමන්විත වන්නේ දේශීය ඩොලර් බැඳුම්කර, කොකෝවා බිල්පත්, විශ්‍රාම වැටුප් අරමුදල් සහ මහ බැංකුවට ගෙවිය යුතු ණය මුදල් වලිනි. දේශීය වශයෙන් නිකුත් කරන ලද ඇමෙරිකන් ඩොලර් බැඳුම්කර සහ කොකෝවා බිල්පත් සේඩී බිලියන 15 ක් ($ බිලියන 1.36) ප්‍රතිව්‍යුහගත කිරීමට ඝානාව බැංකු සමඟ එකඟතාවකට පැමිණ ඇත[iii]. යෝග්‍ය බැඳුම්කර හිමියන්ගෙන් සියයට 85 ක් පමණ මෙම ක්‍රියාවලියට සහභාගී වී තිබේ. මේ වසරේ මැයි මස ලබා ගත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇප ලබා දීම යටතේ ඉදිරි වසර තුනේදී බාහිර ණය සඳහා කරනු ලබන පොලී ආපසු ගෙවීම් ඩොලර් බිලියන 10.5 කින් අඩු කරන්නට ඝානාව අදහස් කරයි.
ඝානාවට සිය විදේශ මුදල් සංචිත ඉහළ නැංවීමට, එහි මුදල් ඒකකය ස්ථාවර කිරීමට සහ අයවැයට අනුග්‍රහ දැකිවීමට යොදා ගැනීම සඳහා එහි පළමු ණය වාරිකය වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 600 ලැබිණි. කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ගනුදෙනුව තිබුනත්, ඝානාව තවමත් ආපදා තත්වයෙන් මිදී නොමැති බව බොහෝ දෙනා විශ්වාස කරති. තවදුරටත් ණය වාරික ලැබීම රඳා පවතින්නේ ඝානාව බාහිර ණය සැකසුම් කරන්නේ, සමාජ ආර්ථික ප්‍රතිසංස්කරණ – කප්පාදු කිරීම්, අවශ්‍ය හුවමාරු කර ගැනීම් සහ මහ බැංකු ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කෙසේද යන්න මත යි.

පාලන තන්ත්‍රය සහ “ජයග්‍රාහකයා සියල්ල අත් කර ගැනීමේ” ප්‍රවේශය

ඝානාවේ ගැඹුරු ව්‍යුහාත්මක ආර්ථික ගැටළු විසඳන්නට බහු පාර්ශවික ප්‍රවේශයක් අවශ්‍ය වෙයි. අවාසනාවට මෙන්, ලංකාවේ මෙන්ම ඝානාවේ ද “ජයග්‍රාහකයා සියල්ල අත් කර ගැනීමේ” ප්‍රවේශය මත මුල් බැස ව්‍යාප්තව පවතින පාලන ක්‍රමය, කළ යුත්තේ කුමක්ද? කළ යුත්තේ කෙසේද? යන්න ගැන වන ජාතික සංවාදයක් විකෘති කොට තිබේ. “අපනයන-මූලික ප්‍රතිසාධනයේ” (export-led recovery) උපාය මාර්ගය යොදා ගෙන භෞතික හා මානව වෙළඳ භාණ්ඩ අපනයනය කිරීම මත අධික ලෙස විශ්වාසය තැබීම වැනි ව්‍යුහාත්මක ගැටළු විසඳා ගත යුතු වෙයි. ඊට අමතරව, සමාජය, විශේෂයෙන්ම වරප්‍රසාද ලත් සමාජ පංතීන් සකසුරුවම් ලෙස සිවි ගෙවීම අවශ්‍ය වෙයි.
රටේ විදේශ සංචිත කිසිවක්ම පාහේ නොතිබිම හේතුවෙන් ආනයන සඳහා ඇමරිකානු ඩොලර්වලින් ගෙවන්නට කිසිදු ක්‍රමයක් තිබුනේ නැත. ඒ නිසා, ඝානා වැසියන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් කරන ඇප දීම කෙරෙහි නොසන්සුන් ලෙස බලා සිටීම පුදුමයක් නොවේ. සුපුරුදු අන්දමට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන්නට ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන්නට ඝානාවට සිදුව තිබිණි. ඝානාව එහි ණය හිමියන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වමින් සිටී. මේ අතර ලෝක බැංකුව වැනි අනෙකුත් ප්‍රමුඛ ආයතන මෙම අවුල් සහගත තත්ත්වයෙන් ගොඩ එන්නට රටට උදව් කරන්නට ප්‍රතිඥා දී ඇත. තම මුදල් අහිමි වේය යන බියසැකයෙන් තොරව ආයෝජකයින් ආපසු එනු ඇතැයි බලා පොරොත්තු වේ.

ඝානාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් අත්දැකීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවතින රටේ අතීත අත්දැකීම් අනුව, එහි අළුත්ම මුදල් එන්නත ඝානාවේ දිගුකාලීන ආර්ථික ගැටලු විසඳීම කෙරෙහි කෙතරම් දුරට උපකාරී වේද යන්න සැක සහිතය. ඉහත සඳහන් කළ පරිදි, ඉතාමත් මෑත දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඝානාවට ලැබුණේ 2019 දීය. ලංකාවේ වෙන්නාක් මෙන්, මෙලෙස නිරන්තරයෙන් ආධාර ලබා ගැනීම අවශ්‍ය කරන්නේ නාස්තිය සහ වැරදි කළමනාකරණයේත්, සියළු දෙනාගේ යහපත වෙනුවෙන් ආර්ථිකය පුළුල් කරන්නට වසර ගණනාවක් පුරා පිළිවෙලින් බලයට පත් ආණ්ඩුවලට තිබුණු නොහැකියාවේත් ප්‍රතිඵලයක් වශයෙනි. ක්‍රමයේ වෙනසක් සිදු නොවුණහොත් නැවතත් තත්ත්වය අවුල්සහගත වේදැයි යන ප්‍රශ්නය දිගටම පවතී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන් අවුරුදු ඇප ලබා දීම අවසානයේ එසේ සිදු විය හැකිය. අතීතයේ ලබා ගත් ණය මුදලුත්, විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය, වගවීම ඇති කරන්නට හා ජනගහනයේ බහුතරයට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩ නඟන්නට නොහැකි වීමත් හේතු කොට ගෙන රටට නුදුරු අනාගතයේ දී තවත් ඇප ලබා ගැනීමක් අපේක්ෂා කළ හැකිය. ආර්ථික වශයෙන් යන්තම් දිවි ගැට ගසා ගන්නා ඝානා වැසියන්ට මෙය අඳුරෙන් සමන්විත දර්ශනයකි.
මෙම අත්දැකීම ශ්‍රී ලංකාවට අදාලව වඩා හොඳින් අවබෝධ කර ගැනීම සදහා ලංකාවට ලබා දුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් පැකේජයේ අඩංගු වන්නේ මොනවා දැයි විමසා බලමු.
2023 අගෝස්තු 18
මතු සම්බන්ධ යි
[i]   How does public debt affect the right to health: Case studies in East and South Africa at, https://www.amnesty.org/en/latest/campaigns/2023/05/how-does-public-debt-affect-the-right-to-health-case-studies-in-east-and-southern-africa/
[ii]   https://www.ohchr.org/en/treaty-bodies/cescr
[iii] [iii] Kwadjo N June 2023, Government, banks agree to restructure GHS 15bn of cocoa bills, local dollar bonds, https://www.businessworldghana.com/government-banks-agree-to-restructure-ghs-15bn-of-cocoa-bills-local-dollar-bonds/

පළමු කොටස https://sinhala.srilankabrief.org/?p=44551

දෙවන කොටස https://sinhala.srilankabrief.org/?p=44586

තෙවන කොටස: https://sinhala.srilankabrief.org/?p=44599

Archive

Latest news

Related news