Tuesday, October 15, 2024

කඳුරට දෙමළ ජනයා පීඩිතයින් අතර පීඩිතයින් – අනුර කුමාර

මීට වසර 200කට පමණ පෙර ලංකාවේ වතුවල වගා වැඩ සඳහා ගෙන එන ලද ප‍්‍රජාවන් පිළිබඳවයි අප කතා කරන්නේ. අවුරුදු 200ක් ගතවීමෙන් පසුවත් ඔවුන්ගේ ජීවිතවල අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකිවී තිබෙනවා. ඔවුන් එදා වරායෙන් ගොඩ බැස පයින්ම මාතලේට පැමිණි දවසේ සිට විශාල දුක් වේදනාවන්ට මුහුණ දුන් ජනතාවක්. ඔවුන්ගේ සාහිත්‍යයේ තිබෙනවා,

කූඩ කරේ එල්ලාගෙන අපට පුරුදු නෑ
දළු නෙළනා වැඩ කරලත් අපට පුරුදු නෑ
කංකානිට යටත්වෙලා කොහොමද ඉන්නේ
අප යවනු මැනවි අපේ බිමට සාමි සාමි

එදා වතුකරයේ ජනතාවගේ ඇත්ත හැඟීම තමයි ඒ. ඔවුන්ට නුහුරු නුපුරුදු රටකට ගෙනැවිත් අතහැරියාට පස්සේ ඔවුන්ට ඇතිවන වේදනාව තමයි මේ කියාපාන්නේ.

ඔවුන් මේ කඳුවල වැඩ කළ දුක්ඛිත ආකාරය ප‍්‍රකාශ කළේ මේ විදිහට.

කුදු ගැහෙමින් කඳු නැගලා
කෝපි ඵල නෙළන අතරේ
එක ඵලයක් බිම වැටුණොත්
පයින් ගහයි සින්න දොරේ

ඔවුන් වතුවලට එදා හිර කර තිබුණේ මේ ආකාරයට. එංගලන්තය 1807 දී වහල් වෙළඳාම නතර කිරීමේ නීති සම්පාදනය කළා. 1833 දී වහල්භාවය අහෝසි කළා. හැබැයි ඒ වකවානුවේදී එංගලන්තය වහල් මෙහෙය හා සමාන ලෙස වහල් ශ‍්‍රමයක් අපේ රටේ ඇති කරනවා. මේ වන විට ශත වර්ෂ දෙකක් පමණ ගත වී තිබෙනවා. එහෙත් තවමත් ඔවුන්ට සාධාරණ ජීවිතයක් ලබා දීමට අපි අසමත් වී තිබෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් යටතේ අවුරුදු 125කට ආසන්න කාලයකුත් වර්තමාන පාලකයන් යටතේ අවුරුදු 75කට අධික කාලයකුත් ඔවුන් ජීවත් වී තිබෙනවා. ඕනෑම ජීවිතයක මූලික අවශ්‍යතාවයන් තිබෙනවා. පළමු කොටම හොඳ ආදායම් මාර්ගයක් ලැබිය යුතුයි. අපේ රටේ පොදුවේ ලැබෙන ආදායම් මාර්ග හා සසඳා බලන විට, ඉතාමත් අඩු වැටුපක් සහිත ආදායමක් තමයි වතුකරයේ ජනතාවට තිබෙන්නේ. අපේ රටේ තේ නිෂ්පාදනයෙන් විශාල ධනයක් උපයනවා. ප‍්‍රධානම වතු සමාගම් 23ක් අතේ විශාල ඉඩම් ප‍්‍රමාණයක් හොබවනවා. හැබැයි රුපියල් 1,000ක වැටුපක් දෙන්න බැහැයි කියනවා. රුපියල් 1,000ක් දෙන්න බැරි කර්මාන්තයෙන් ඇති ඵලය කුමක්ද?

මේ වතු හිමියන් තමන්ගේ දාසයන් ලෙස තමයි මේ පුරවැසියන්ට සලකන්නේ. මේ සම්බන්ධයෙන් දේශපාලනයට විවේචනයක් ද තිබෙනවා. ඔබලා විටින් විට ඔබලාගේ දේශපාලනයට මේ ප‍්‍රජාව යටපත් කර ගෙන සිටියා මිස සාධාරණ විසඳුම් සෙවීමට කටයුතු කළේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ මූලික උවමනාවන් ඉටුකර ගැනීමට සමත් වෙන ආදායම් මාර්ගයක් නැහැ. ජීවත්වීමට සාධාරණ වැටුපක් නැතිනම් ඔවුන් මිනිසුන්ද? පළමු කොටම කඳුකරයේ ජීවත් වෙන ජනතාවට ජීවිතයේ සාධාරණ ලෙස පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වැටුපක් ලබා දිය යුතුයි.

ඔවුන්ට අවශ්‍ය මූලික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය සහ තෘතීය අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රටක් ලෙස අපි අසමත් වී තිබෙනවා.

අවශ්‍ය වැටුප් ලබාදීමට සමාගම් හිමිකාරිත්වය සූදානම් නැතිනම්, ඒ සමාගම් පවරා ගත යුතුයි. 1992 සිට මේ වන විට අවුරුදු 31ක්. මේ වතු කඩාවැට්ටුවා, සංවර්ධනය කළේ නැහැ, ගස් කපා විකිණුවා, පාළු කළා. ෆැක්ටරි ටික වසා දැමුවා. ජනතාව කබලෙන් ලිපට ඇද දමා තිබෙන තත්වයක් ඇති වී තිබෙනවා. ඒ නිසා පළමු කොටම ආණ්ඩුව රටේ පුරවැසින් පිළිබඳව වගකීමක් දරනවා නම්, වත්තේ වැඩ කරන ජනතාව සඳහා සාධාරණ වැටුපක් ලබාදීමට කටයුතු කළ යුතුයි. රුපියල් 1,000ක් ලබාගන්න සටන් පාඨය ගෙනත්, අවුරුදු තුනකට වඩා වැඩි කාලයක් ගෙවිලා ගියා. රුපියල් 1,000 ලැබෙන විට රුපියල් 1,000- වටිනාකම රුපියල් 100ට පමණ අඩුවෙලා. වත්තේ වැඩ කරන ජනතාවට තමන්ගේ ජීවිත සාධාරණව පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය වැටුපක් ලබාදීමට, ඕනෑම නීතියක් සම්පාදනය කරන්න අපි සූදානම්. මිනිසුන්ගේ මූලික උවමනාව ආදායම් මාර්ගය. පවුල් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න ප‍්‍රමාණයක් මේ ලැයිම් කාමරවල ජීවත් වෙනවා.

සාමාන්‍ය වාතාශ‍්‍රයක් සහිත, නිදහසක් සහිත, දරුවන්ට හා දෙමව්පියන්ට එකට ජීවත්වීමට හැකි නිවසක් නැහැ. සාධාරණ වැසිකිළි පද්ධතියක් නැහැ. සතුන් හා මිනිසුන් වෙනස්කොට දැක්වෙන ප‍්‍රධාන සාධකයක් වන වාතාශ‍්‍රය සහිත නිවාසයක ජීවත්වීමේ අයිතිය වතු ජනතාවට අහිමි වී තිබෙනවා. දැන් ගේන යෝජනා ක‍්‍රම, ක්‍රියාවට නැගෙන විට තවත් පරම්පරා පහකටවත් ගෙයක් ලැබෙන්නේ නැහැ. මේ වතුවල ජනතාව මේ පොළොවේ හිමිකමක් නැතිව, අවසානෙදි මේ මහ පොළොවට පොහොර වෙනවා. දැන් වසර 200ක්.

ඒ අයට ඉඩමක් ලබාදිය යුතු නැද්ද? සාධාරණ ප්‍රශ්නයක් නොවයිද? වතු අමාත්‍යවරයා කිව්වා හෙක්ටයාර් ලක්ෂ 52ක් නිදහස්ව තිබෙනවා කියලා. මේකෙන් ඉඩම් යම් ප‍්‍රමාණයක් වෙන්කිරීම යුක්තිසහගත නොවේද? පළමුව තමන්ට හිමිකමක් සහිත ඉඩම් ප්‍රමාණයක් වෙන් කර දිය යුතුයි. ගේ හදන ව්‍යාපෘති පසුවට ක්‍රියාවට නගමු. මේ ගෙයයි, ඉඩමයි දෙකම ගැන සිතීමෙන් මහ පොළොවේ කිසිම උරුමයක් නැතිව මේ ජීවිත පොළාවට පස්වී යනවා. ඒ නිසා පළමුව ඉඩම නිශ්චිත කොට බෙදා දීම සඳහා කිසිදු ප්‍රශ්නයක් මතු විය යුතු නැහැ.

ආ ගමන

මේ ජනතාවට අවශ්‍ය, එක ආදායම් මාර්ගය, දෙක නිවස, තෙවනුව අධ්‍යාපනය. සාධාරණ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි. අපේ රටේ තිබෙන සාමාන්‍ය අධ්‍යාපනයට වඩා අඩු අධ්‍යාපනයක් තමයි කඳුකර ප‍්‍රදේශවල තිබෙන්නේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන තිස් අටදහසක් පමණ වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් වතු ආශ්‍රිතව ජීවත් වන ප‍්‍රජාවන්ගෙන් 200-250කට ආසන්න සංඛ්‍යාවක් තමයි විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ. ලංකාවේ ජනතාවගේ ප්‍රතිශතයට වඩා අඩු ප්‍රතිශතයක් තමයි විශ්වවිද්‍යාල නියෝජනය කරන්නේ.

ඔවුන්ට අවශ්‍ය මූලික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය සහ තෘතීය අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට රටක් ලෙස අපි අසමත් වී තිබෙනවා. වතුකරයේ පාසල්වල තිබෙන පහසුකම්, ගුරුවරුන් ප්‍රමාණය, ළමුන්ගේ පැමිණීම බලන්න. ළමයි අධ්‍යාපනය මගින් අත්හරිනවා. ආදායමක් නැතිව අධ්‍යාපනය පවත්වා ගෙන යාමට අපහසුවී තිබෙනවා. විශාල ලෙස අධ්‍යාපනයේ කඩා වැටීමක් තිබෙනවා.

ඒ නිසා ඔවුන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමට කටයුතු කළ යුතුව තිබෙනවා. මිනිසෙකුට ආදායමක්, නිවාසයක්, අධ්‍යාපනය, සෞඛ්‍යය, මානසික නිදහස අවශ්‍යයි. ඒකයි පුරවැසියෙක් කියන්නේ. ඒ වගේම සෞඛ්‍යය. ජාතික වශයෙන් 2016 වාර්තා අනුව අවුරුදු පහට වඩා අඩු ළමුන්ගේ මිටිභාවය 17%යි. නමුත් වතුකරයේ එය 31%යි. පොදුවේ රටේ ජනතාවගේ කෘශ වීම වගේ දෙගුණක් ජනතාවගේ කෘශ වීම දෙගුණයක් වී තිබෙනවා. අවුරුදු පහට වඩා ළමුන්ගේ අඩු බර පොදුවේ 20%යි. වතුකරයේ එය 30%යි.

මේ සෑම දත්තයකින්ම පෙන්නුම් කරන්නේ, පොදුවේ රටේ ජනතාව පීඩාවකින් ඉන්නවා, වගේ විශාල පරිමාණයෙන් වතුකරයේ ජනතාව පීඩාවකින් ඉන්නා බවක්. සාමාන්‍ය ජනතාවට උරුමවී තිබෙන ජීවන තත්වය ලබාගැනීම සඳහා වත් විශේෂ ඒකකයක් ගොඩනැගිය යුතුයි. යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් මොනවා හෝ දෙනවා. ඉඩම්, සෞඛ්‍ය, අධ්‍යාපනය, ක්‍රීඩා වෙන් වෙන්ව තැන් තැන්වල. මම අදහස් කරනවා මේ සඳහා විශේෂ අධිකාරියක් හැදිය යුතුයි. මහවැලි අධිකාරිය හදනකොට මහවැලි ඉඩම්, වතුර, නිවාස, සෞඛ්‍යය, ක්‍රීඩා සියල්ලම ඒකාබද්ධ කර, පොදු තත්වයට ගෙන ඒම සඳහා මහවැලි අධිකාරිය හැදුණා. මේ ක්ෂේත‍්‍රයේත් විශේෂ ලෙස හඳුනා ගෙන සියලු බලතලයන් සහිත ඒකාධිකාරියක් හැදිය යුතුයි.

පොදු සමාජය පහළ තැනක තිබෙනවා නම්, අඩු තරමින් පොදු සමාජය දක්වා ගෙන ඒමට කටයුතු කළ යුතුයි. සියලු පහසුකම් පිළිබඳ කල්පනා කර, සියලු බලතල ලැබෙන අධිකාරියක් හරහා මේ ජනතාව සාමාන්‍ය ජනතාවගේ මට්ටමට ගෙන ආ යුතුයි. දුප්පත්කම කියන්නේ කන්න බොන්න නැතිකම විතරක් නොවෙයි. දුප්පත්කම විසින් පොලීසියට ගියොත්, බසට නැංගොත්, පාසැලට ගිය විට, තිබෙන්නේ වෙනස් තත්වයේ සැලකිල්ලක්. දුප්පත්කම කියන්නේ සමාජ ව්‍යසනයක්. එම සමාජයේ විශාල ගොදුර බවට පත්වී මේ දුප්පත් ජනතාව. කොළඹ ගෙදරක වැඩට, හෝටලයක පිඟන් සෝදන්න කෙනෙක් සොයනවා නම්, වත්තේ කොල්ලෙක්, කෙල්ලෙක් නැද්ද කියා සොයනවා. මේ ප‍්‍රශ්නය දීර්ඝ කාලයක් තිස්සේ තිබෙන ප‍්‍රශ්නයක්. මේ ප‍්‍රශ්නය විසඳීම සඳහා විධිමත් ක‍්‍රමවේදයක් හැදිය යුතුයි. ඒ සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන ඕනෙම යෝජනාවකට අපි පක්ෂපාතියි.

(පාර්ලිමේන්තුවෙහි දී කල කතාව උපුුුටා ගැනීම ලංකා ට්රුත් වෙතෙනි.)

Archive

Latest news

Related news