ශාලාවේ හොරා යතුර හඬ නගමින් තිබුණි.
අප පරම්පරාවේ කාර්ය සාධනය තක්සේරු කිරීම සහ ශ්‍රේණිගත කිරීම සඳහා ජාතික මට්ටමේ තවත් ප්‍රමිතිගත පරීක්ෂණ වටයක් සඳහා මේස පේළි සකසා තිබුණි.
මම වේලාසනින් ලිවීම අවසන් කළ නමුත් ඉතිරි නියමිත කාලය ශාලාවේ ම ගත කිරීම අකමැත්තක් තිබුණේ නැත. ශාලාව, ජනයාගෙන් වට වී සිටින නමුදු එම අවස්ථාවෙහිම සම්පූර්ණ නිශ්ශබ්දතාවයකින් වාඩි වී සිටිය හැකි මගේ අවකාශ කිහිපයෙන් එකක් විය. එය දුර්ලභ, ආදරණීය අවස්ථාවකි.
මගේ පිළිතුරු පත්‍රය වේලාසනින් බාර දී පිටවී යාම මගින් මගේ සම වයස් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකුට අනවශ්‍ය ආතතියක් ඇති කරන බව ද මම දැන සිටියෙමි. අනෙකා සංසන්දනය කිරීමෙන් පීඩාවට පත් වන අය, තමන් පිටුපසින් ගාටන බවත් හෝ නියමිත කාලයට අවසන් කරන්නට බැරි වනු ඇතයි කනස්සල්ලට පත්ව ඔවුන්ගේ ප්‍රගතියේ අවධානය නැති කර ගැනීමට ද ඉඩ තිබුණි.
ඉතින් මම නොනැගිට, වාඩි වී , මගේ පිළිතුරු පත්‍රය මේසය මත මුහුණතට ලා, පැන්සල් පෙට්ටිය අසුරා, නිහඬව මගේ වටපිටාව නිරීක්ෂණය කළෙමි.
ඇත්තනම් මා වැඩිපුරම කරමින් සිටියේ නිහඬව බ්‍රීව දෙස බලා සිටිමය.
බ්‍රියානා නොහොත් බොහෝ පන්තියේ මිතුරු මිතුරියන්ට බ්‍රී නම් වූ ඇය මගේ දිවියෙහි පළමු සැබෑ ආදරය විය. ඇගේ අඳුරු රැලි සහිත කොණ්ඩය හීලෑ කිරීම සඳහා කොපමණ කටු සහ ඉලාස්ටික් භාවිතා කළ ද හැමවිටම ඒ හිසකේ පාවී යන බවක් පෙනෙන්නට තිබුණි. එය ඇතුලාන්ත දඩබ්බරකමෙහි ආත්මීය සංකේතයක් වැනි විය.
බ්‍රී නිර්මාණශීලී ද නාටිකාව ද විය. සෑම නාට්‍යයකදීම ඇය ප්‍රධානියා විය. සෑම කලා සංදර්ශනයකම ඇයගේ කලා නිර්මාණ අභිමානයක් ලැබීය. ඇය කොල්ලන් හා කෙල්ලන් සමඟ එක හා සමානව ආලවන්ත හැඟීම් පෑය. බොහෝ විට විහිළු සහ අහිංසක දරඩබ්බරකම් කිරිමෙහි ප්‍රමුඛයා විය. අනෙකාට ඇගේ නොබෙදුණු අවධානය ලබා දීමේ සහ ඔවුන් ලෝකයේ එකම පුද්ගලයා ලෙස ඇය ලෙස හැඟෙන අන්දමේ හැසිරීමක් ඇය සතු විය.
තරමක් දුරට පිටස්තරයකු , සෑම විටම අමුතු සහ ඇතුලාන්තයෙන්ම අවුල් සහගත වුවත් මා, ඇයගේ ලෝකයේ වැදගත්ම පුද්ගලයා ලෙස හැගීමක් ලබා දීමේ අපූර්යත්වයක් ඇය සතු විය.
ඇය සෑම කෙනෙකු සමඟම මිතුරු ලස්සන ගැහැණු ළමයෙකු විය. ඇයට තමා කැමති ඕනෑම දෙයක් කිරීමට හැකියාව ද තිබුණි. ඇත්තටම නම් ප්‍රධාන ප්‍රමිතිගත පරීක්ෂණ හැර ඕනෑම දෙයකි.
නිශ්චලව සිටීම පිළිකුල් කරමින් නිශ්ශබ්දතාවය පිළිකුල් කළ සහ සෑම දෙයකදීම නිර්මාණාත්මක, සහයෝගී ප්‍රවේශයකට කැමති බ්‍රී වැනි කෙනෙකුට ප්‍රමිතිගත පරීක්ෂණ වධහිංසාවක් විය.
රහසින් ඇය දෙස ඇස් ගසා සිටීමට මා උපරිම උත්සාහ කරන අතර වාරයෙහි, ඇය සිත් අලවන හැසිරීමකින් එහා දැඟලීමක් දක්වන බව දුටු මට වරදකාරී හැගීමක් ඇති විය.
ඇය පයින් බිමට තට්ටු කරන්නට විය. ඇය ඉරියව්ව මාරු කරත්ම ඇගේ හිසකේ ලතාවට සැලුණි. අවධානය කඩා ඉහිරවන ඇයගේ කලබලකාරී බව නිසා ගුරුවරු ඇය දෙස බැලූහ. මම සිනහ නොවී සිටීමට හැකි තරමින් උත්සාහ කළෙමි. මෙම ආතතිමය පසුබිම තුළ පවා, ඉබේම වාගේ බ්‍රී ඇය වටා සිටින සියල්ලන්ගේ අවධානයට ලක් ව තිබුණි.
ඇගේ කලබලය වියරුවට හැරෙන අයුරු මම බලා සිටියෙමි. පෑන කෝපයෙන් සීරීය. මෘදු භීතියකින් වටපිට බැලීය. ඉදින් ඇගේ කෝපාවිෂ්ඨ මනසට කාරණය කුමක්දැයි තේරුම ගැනීමට මම උත්සාහ කළෙමි.
ඇය පැමිණ සිටියේ කණගාටුදායක ලෙස සූදානමක් නැතිවය. රැගෙන විත් තිබුණේ එක් පෑනක් සහ වතුර බෝතලයක් පමණි. දැන් පෑන ඇයට අවනත නොවන්නට පටන් ගෙන තිබුණි.
ගුරුවරයෙකුගෙන් උදව්වක් ඉල්ලා සංඥා කිරීමට අත ඔසවමින්, මම මගේ පැන්සල් පෙට්ටිය ඔවුන්ට දී බ්‍රී පෙන්වුවෙමි. මා ඇයට සටහන් යැවීමට උත්සාහ නොකරන බව තහවුරු කර ගැනීමට කළ ඉක්මන් පරීක්ෂාවකින් පසුව, පෑන් පෙට්ටිය ඇයට ලැබුණි.
ඇය ආපසු හැරෙන විට අපගේ දෑස් හමු විය. ඇය පිළිතුරු ලිවීම වෙත හැරෙන්නට පෙර මුවින් නිහඬ ස්තුතියක් පුද කළාය.
ඒ පුංචි කරුණාවන්ත පියවර, අපේ මංපෙත් හරි මැදින්ම එකිනෙක ගැටී දෛවයේ මුද්‍රා තැබුවේය.
අපට දෙදෙනාට ඊට වඩා වෙනස් ඉරණමකට ඉඩක් තිබුණේ නැත.
ආත්ම විශ්වාශී සහ නිර්මාණශීලී ඇය, ආගමික බැතිමතකු වූ නීතිඥයෙකුගේ සහ නිවසේ සිටින මවකගේ ලෝකය කරා විවිර වූ නිදහස් දියණියක් වූවාය.
මම සමූහ නිවසක ජීවත් වන ශිෂ්‍යත්ව බාලිකාවක වීමි. සාමාන්‍යයෙන් සිදුවන සුලු දෙයක් ගැන පවා සදාකාලිකව සමාව අයැද සිටින්නියක ද වීමි.
පන්තියෙහි දී මම මගේ නම කියනවාත් සමඟ උඩ පැන අමාරුවෙන් ගොත ගසමින් සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන්නෙමි.
අපි එකිනෙකාට වසඟ වීමු. ඒ වසඟය ප්‍රේමයක් බවට පෙරලුණි
ඒ අහිංසක ආදරයකි. අපට වයස අවුරුදු දාහතරක් විය. එකිනෙකා සමඟ ඇති වූ මෙම නව ආලවන්ත හැඟීම් සමගින් අප කුමක් කරම්දැයි එතරම් අවබෝධයක් අපට තිබුණේ නැත
අපි අතිනත ගෙන ඇවිදිමින්, පන්තිවල ඕපාදූප බෙදා ගත්තෙමු. අපි මිහිරිම මිහිරි ප්‍රේම සටහන් හුවමාරු කර ගත්තෙමු. දිවා ආහාරයේ දී අපි එකට වාඩි වීමු. බ්‍රී අපගේ මිතුරියන් අතර සංවාදයට නායකත්වය දෙමින්, බොහෝ විට මාව මගේ කටුවෙන් එළියට පොළඹවා, මගේ අමුතුකමට සමච්චල් කරන අයට අවලාද කීවාය.
ඉක්මනින්ම අපි සෑම සති අන්තයක්ම එකට ගත කරන්නට පටන් ගතිමු. නරක පසුබිමකින් ආ ළමයෙකු සමඟ ඇය සමීප සුහදත්වයකින් ඇසුරු කිරීම ගැන ඇගේ දෙමාපියන් මුලින් සැක කළ නමුත් මා හමුවීමෙන් පසු ඔවුන්ගේ බිය ඉක්මනින් පහව යන බවක් පෙනෙන්නට තිබුණි.
මම නිශ්ශබ්දව, ආචාරශීලී අයකු වීමි. අප දෙදෙනා එකට පාඩම් කරන විට පන්තියේ ඇගේ ශ්‍රේණි ඉහළ යාම අපට වාසියක් විය. මම හැමවිටම ඉක්මනින් ඉගෙන ගන්නා කෙනෙකු වූ නමුත් අන් අයට තේරුම් ගත හැකි නව ආකාරවලින් සංකල්ප පැහැදිලි කිරීමේ හැකියාව මට ඇති බව මා තේරුම් ගත්තේ බ්‍රීගේ ඉවසීම සහ මෘදු ප්‍රශ්න කිරීම් තුළිනි.
අපි සමීපතම මිතුරියන් වූ අතර, අපව හදුන්වා ගන්නේ කෙසේදැයි අප දෙදෙනාම දැන සිටියේ නැත.
අපි ඇගේ ඇඳේ එකට හුරතල් වෙමින් රහස් මුමුණමින් තුරුල් වී නිදා ගත්තෙමු. මගේ කම්මුල හෝ නළල සිප ගන්නා ඇය ලැජ්ජාවෙන් රතු වන්නේ යැයි මා විහිළුවට ලක් කළේය.
අප සැබෑ කුඩා ‘ලබැදි මිතුරියන් ‘ බවට පත්වෙමින් සිටින බව දිනක් ඇගේ ආච්චි පැවසූ විට අපේ ඇස් වලට කඳුළු ඉනුවේ ය. ඇගේ කාමරයට යන තෙක් අපගේ සිනහව යන්තම් හිර කර ගෙන සිට, දොරට හඩින් වසා දමා එයට හේත්තු වෙමින් මහ හඩින් සිනා වැපිරුවෙමු.
“ අම්මෝ! ඇය ඇත්ත දන්නව නම්! ” බ්‍රී ඇස ගසා කපටි සිනහවක් සමග සතුටින් කෑ ගැසීය.
මම මගේ සිනහව හරහා බැටළු සිනහවක් පෑවෙමි. ඇය හරියටම දන්නව නම් යැයි අදහස් කළේ කුමක්දැයි ඇසීමට වූ සිතිවිල්ල ඒ අපූරු මොහොත නැති කර ගැනීමට ක්ෂණයකින් ආ අකමැත්ත නිසා නොතකා හැරියෙමි.
එය සුන්දර, මිහිරි, අහිංසක ආදරයක් වූ නමුත් ඇත්තම ඇත්ත ආදරයක් විය.
මා සිතිය හැකි හැම විදියකටම මම ඇයට ආදරය කළෙමි. ඇගේ සිනහව දැකීමට මා නොකරන දෙයක් නොතිබුණි. ඇය සතුටින් සිටින බවත් ඒ සතුටට මා යම් ආකාරයකින් දායක වූ බවත් දැන ගැනීම මා පුබුදු කළේය.
සතුට යනු කුමක්දැයි මම ඉගෙන ගත්තේ මම බ්‍රි සමඟ සිටින විටය. එක්ව ගත කරන අපේ කාලය අවසන් කිරීමට මම සිහිනෙනුදු නොසිතුවෙමි.
බ්‍රහස්පතින්දා දහවල අපගේ නිත්‍ය උණු චොකලට් දිනයන් බවට පත් විය.
අපි ග්ලෝරියා ජීන්ස්හි පිටුපස කෙළවර වූ තනි යහන් දෙකෙන් එකක් බෙදා ගනිමින් උකුල මත බාගෙට වාඩි වී සිටියෙමු. ඉයර් ෆෝන් යුගලයකින් එක් අංකුරයක් බැගින් කනෙහි රුවා සංගීතය බෙදා ගත්තෙමු. උණු චොක්ලට් බොමින් අප ප්‍රිය කළ ගීත සහ හැම දෙයක් ගැනම කතා කළෙමු.
ඒ දහවල් මට අපමණ සතුටක් ගෙන ආවේය.
එය සිදුවූයේ එවැනි එක් බ්‍රහස්පතින්දා දිනයකය. ඒ, මගේ ජීවිතයේ ගමන් මග සඳහටම වෙනස් කළ හාදුවයි.
අපි, අපේ සුපුරුදු, පිටුපස කෙළවරේ බරින් පිරි කවිච්චිය මත එකට මිරිකෙමින්, ගී අසමින් සහ වචන ක්‍රීඩාවක් කරමින් සිටියෙමු.
ඒ මෙසේය. ආරම්භ කෙරෙන්නේ වචනයකිනි. අනෙකා ඒ හා බැදුණු පළමුවෙන් මතකයට එන වචනය කියයි. අනෙකා නැවත පළමුවෙන් මතකයට එන සබැදි වචනයක් කියයි. කියා ගැනීමට බැරිව හිර වන තුරු මතකයට එන පළමු වචනය කියා ගැනීමකි.
එය, අපට කාලය ගත කිරීමට සහ එකිනෙකා ලෝකය දෙස බලන ආකාරය ගැන ඉගෙන ගැනීමට පොදු මඟක් විය.
අපේ පාමුල තිබූ බෑගයක දුටු පළමු පොත ආරම්භය ලෙස භාවිතා කරමින් මම ක්‍රීඩාව ආරම්භ කළෙමි.
ගණිතය.
සෙල්ලම.
ගිනි.
ට්‍රක් එක.
රතු.
හදවත.
ඔබ.
“පොඩ්ඩක්, මම? ඔබට හදවත කියා ඇහෙන කොට එකපාරටම මා මතක් වුණාද?”
බ්‍රිගේ ඉරියව්ව මට පැවසුවේ ඇය නිකම්ම සෙල්ලම නතර කලා නොව, මගේ ප්‍රතිචාරයෙන් ඇය අවංකවම ආදරබර පුදුමයකට පත්ව සිටි බවය.
“ආහ්, ඔව්. ඒ කියන්නේ මා හිතුවේත් එකම වෙලාවේ ආදරය සහ ඔබ කියා. සමහර විට මං හදවත ළඟට ආදරය කියන්න තිබුණා, මං නිකමට…”
මගේ ඒ වචන ගැන අපහසුවට පත් මා ලැජ්ජාවෙන් රතු විය. මගේ හැගීම් ගැඹුරටම කා වැදුණ ද ඒවා පෞද්ගලිකව රඳවා ගත් අයකු වීමි. මගේ වචන ආපසු නොගෙන ඉන් ඇති වූ අනපේක්ෂිත අවදානමෙහි සැර බාල කිරීමට උත්සාහ කිරීමට මම කල් බැලුවෙමි.
එය එ් වෙලාවේ හෝ වෙන කවර වේලාවක හෝ සාර්ථක වන කල් බැලීමක් නොවීය.
“ලොටී. ඔහොම ඉන්න” ඇගේ දෑතින් මෘදු ලෙස මගේ මුහුණ අල්ලා ගෙන මගේ දෑස් දෙස කෙලින්ම බැලුවාය. ඇගේ දෙතොල් පළමු වරට මගේ දෙතොල් හමු විය.
මගේ හුස්ම උගුර සිර කළේය. මගේ හදවත වේග ධාවනයක යෙදුණි. මම ඇගේ හාදුවට පිළිතුරු හාදුවක් ලබා දෙන විට විදුලිමය ශක්තියක් මා හරහා පැතිර ගියේය. ඒ මොහොතේ අප දෙදෙනා හැර වෙන කිසිවක් පවතින බවක් නොපෙනුණි.
මගේ අමුතුකම පහව ගියේය. ඊට වඩා වඩා හරි, වඩා ස්වාභාවික යැයි හැඟී යන දෙයක් එවෙලෙහි තිබුණේ නැත.
අපි අපේ ඉතිරි වේලාව තුරුල්ව හුරතල් වෙමින්, සිප ගැනීම් හුවමාරු කර ගනිමින් සහ මෘදු හඬින් අපේ ආදරය ප්‍රකාශ කරමින් ගත කළෙමු. අපගේ ආදරය වෙනත් තලයකට පැමිණ තිබුණි. වඩාත් බිඳෙන සුලු බවක් දැනුන ද එය කෙසේවත් බිඳ දැමිය නොහැකි එකක් සේ හැඟුණි.
පසුවදා සමූහ නිවසට යෑමට කලින් මුණ ගැසෙන බවට ගිවිස ගනිමින් අකමැත්තෙන් වුවද එදා හවසට අපි වෙන් වුණෙමු.
ඊළඟ දවසේ සමූහ නිවසට යෑමට පෙර අපි මුණ ගැසුණෙමු. එනමුත් අපි සිතා සිටි අන්දමට නොවේ.
එදින උදෑසන මා කෙලින්ම විදුහල්පති කාර්යාලයට කැඳවන ලදී. බ්‍රී සහ ඇගේ දෙමාපියෝ ඒ වන විටත් එහි බලා සිටියහ. බ්‍රී හොදටම අඬමින් සිටියාය. ඇය මා දෙස බැලීම ප්‍රතික්ෂේප කළාය. ඇගේ දෙපා දෙස බලා සිටින විට ඇගේ මුහුණ පුරා දුක්ඛිත, වරදකාරී හැඟීමක් ඇති බව මට දැනුණි.
ඇගේ දෙමාපිය දෙනොම කෝපයෙන් ගිනියම්ව සිටියෝය. ඔවුන් මා දෙස බැලුවේ ඔවුන්ගේ දෑස්වලින් ගින්දර එවමිනි. මා කිසියම් නින්දිත ක්‍රියාවක් කළාක් මෙනි.
එදා මගේ ලෝකය කඩා වැටුණි.
කලින් දින ගුරුවරියක අපව දැක එක එල්ලේම ගොස් විදුහල්පතිතුමාට වාර්තා කර තිබුණි. ගැහැණු ළමයින් දෙදෙනෙක් පාසල් නිල ඇඳුමින් සිටියදී, ප්‍රසිද්ධියේ සිප ගැනීම ආයතනයේ ඉතිහාසයේ විශාලතම අපකීර්තිය බව යැයි පෙනෙන්ට තිබුණි. නැතහොත් ඔවුන් එය එසේ පින්තාරු කළා වන්නටත් පුලුවන.
තම දියණිය දූෂණය කළ කරදරකාරී තරුණියක ලෙස ඇගේ දෙමාපියන් මා හඳුන්වන විට මම නිහඩව අසා සිටියෙමි. බාලඅපරාධකාරියකට ශිෂ්‍යත්වයක් ලබා දීමෙන් ඇති වන නරක බලපෑම සැලකිල්ලට ගෙන නැතයි ඒ දෙදෙනා පාසලට එරෙහිව චෝදනා එල්ල කළහ.
මම නිහඬවම හිඳ ගෙන, තොල් සපා ගෙන, නොහඬා සිටීමට උත්සාහ කළෙමි. හැම දෙනාම කෑ ගැසීම් නවත්වන තුරු මම ඔහේ බලා සිටියෙමි. මගේ ආරක්‍ෂාව වෙනුවෙන් කතා කිරීමට නොහැකිව මම ගල් වී ඇතයි මට දැනුනි.
මගේ සිතුවිලි, මගේ පපුවේ වේගයෙන් ගැහෙන මගේ හදවතට වඩා වේගයෙන් දිව යමින් තිබුණි. මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකු සිටියේ නැත. මා සිටි මුල්ලෙහි සිටියේ මා පමණය. එබැවින් මගේ එකම විකල්පය එය අවසන් වන තෙක් බලා සිටීම යැයි හැඟුනි.
“චරිත” කොන්දේසි කඩ කිරීමේ පදනම මත මගේ ශිෂ්‍යත්වය මට අහිමි විය. එමගින් මා වහාම පාසලින් නෙරපා හැරුණි.
පාසලේ මගේ ලොකරය පිරිසිදු කර සමූහ නිවස වෙත ආපසු ගිය විට, මා එන තුරු බලා සිටියාක් වැනි කුඩා සැනසීමක් සහ විරාමයක් මට හමු විය. රාජකාරියේ යෙදී සිටි සමාජ සේවිකාවනට සිදු වූයේ කුමක්දැයි මා පැහැදිලි කරන විට, ඔවුන් ද ගැඹුරු කනස්සල්ලෙන් යුතු බැල්මක් හුවමාරු කර ගත්හ.
2000 ගණන්වල මුල් භාගයේ ආගමික සංවිධානයක් විසින් පවත්වා ගෙන ගිය ගැහැණු ළමුන්ගේ සමූහ නිවසක් හදවත කඩා වැටී කනස්සල්ලට පත් , දහ හතර හැවිරිදි සමලිංගිකාවියකට කිසිසේතම ඉඩ දෙන තැනක් නොවීය.
ඔවුන් ද තීරණය කළේ අනෙක් බාලිකාවන් නරකට පොළඹවා ගැනීම නතර කරනු පිනිස මා ඉවත්ව යා යුතු බවයි.
එක හාදුවකින් මගේ මුළු ලෝකයම උඩු යටිකුරු වී තිබුණි.
මා නැවත කිසි දිනෙක බ්‍රීව දුටුවේ නැත. විටෙක මට ඇය සිහි වේ. ජීවිතය විසින් ඇයට ලබා දීමට නියමිතව තිබුණේ කුමක්දැයි එවිට මට සිතෙයි. බ්‍රී, මගේ පැරණි ලැබැදි මිතුරිය ඇයට ලැබිය යුතු සියලු සතුට, දරදඩුකම් සහ ආදරය සොයා ගන්නට ඇතැයි මම බලාපොරොත්තු වෙමි.
(අවුල් ලොටී නම් අන්වර්ථ නාමයෙන් ලියන ලේඛිකාවකගේ ඉංග්‍රිසි බසින් පල කරන ලද ලිපිය සිංහලට ලියුයේ සුනන්ද දේශප්‍රිය විසිනි . මෙය එම ජනප්‍රිය කතාකාරියගේ සත්‍ය ජිවිත අත්දැකීමකි.)