Saturday, April 27, 2024

අපේ කාලයේ ගැහැණියක්: රෙහානා පතීමා නිරුවත පෙන්වීයැයි චෝදනාවෙන් නිදහස්! ‘නිරුවත සෑම විටම ලිංගිකත්වය නොවෙයි’- අධිකරණය !

ඉන්දියානු පොලිසිය ලිංගික අපරාධවලින් ළමයින් ආරක්ෂා කිරීමේ පනත යටතේ රෙහානා පතීමා නම් ස්ත්‍රී ක්‍රියාකාරිනියට එරෙහිව නඩුවක් පැවරුවේ 2000 වර්ශයේ අගොස්තුවෙහිදීය.

ඊයේ එම නඩුවෙන් ඇය නිදහස් කරමින් කේරළ මාහාධිකරණය පැවසුවේ ‘ නිරුවත සෑම විටම ලිංගික ක්‍රියාවක් නොවන බවයි.

බැතිමත් මුස්ලිම් පවුලක උපත ලද රෙහානා පතීමා ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්ව විද්‍යාලයෙන් B.Com සහ MCA උපාධි සම්පූර්ණ කළේ ප්‍රථම ශ්‍රේණියේ සාමාර්ථ ඇතිවය. විදුලි සංදේශ කෙෂ්ත්‍රයහි සහ ඇදුම් විලාසිතා නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කළ ඇයට ඉන්දියාවෙහි සදාචාර පොලිසියට සහ ලිංගික අපයෝජනයන්ට එරෙහි ක්‍රියාකාරිත්වය නිසාම කල්තබා විශ්‍රාම යෑමට සිදු විය.

2018 වසරෙහි දී ඔසප් වීමේ වයසේ කාන්තාවන්ට කේරළයේ සබරිමාලා කෝවිලට ඇතුළු වීමට පනවා තිබූ තහනම ශ්‍රේෂ්ඨාධිකරණය  විසින් ඉවත් කිරීමෙන් පසු රෙහානා සහ තවත් කාන්තාවක් ඊට ඇතුලු වීමට උත්සාහ කළාය.

සබරිමාලා තීන්දුව දෙමින් අගවිනිසුරු මිස්රා කියා සිටියේ “ කාන්තාවක් පිරිමියෙකුට වඩා පහත් නොවන බවත්, පුරුෂාධිපත්‍යය මගින් කාන්තාවන් යටපත් කිරීමට ඉඩ දිය නොහැකි” බවත්ය.

කෝවිලට යෑම පිනිස ඇය සහ අනෙක් කාන්තාවට කැරලි මර්දන ආම්පන්න සහිත පොලිස් නිලධාරින් විසින් රැකවරණය ලබා දුන් නමුත්  300 දෙනෙකුගෙන් පමණ යුත් පිරිමි පිරිසක් විසින් ඔවුන්ව දේවාලයේ පූජනීය පඩිපෙළ අසලදී නතර කරන ලදී.

හරියට ලංකාවේ මෙනි. පොලිසිය ගන්නේ ආගමික ජාතිවාදයේ පැත්තය.

එකී උත්සාහයට පලිගැනීමක් වශටයන් ආගමික උම්මන්තකයින් විසින් ඇයගේ නිවස දවා අලු කරන ලදී.

ඇයගේ මෙවැනි යුග නිර්මානක ක්‍රියාකාරීත්වයන් නිසා ඇයට නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු විය. සමාජ  ජාලයන්හි විසකුරු පුවත් සුනාමියකට ඇය ගොදුරු විය.

උම්මන්තකයින් බිය වූ නිරූපනය

එයට පෙර 2018 නොවැම්බර් මාසයේදී ෆාතිමා 2018 ඔක්තෝම්බර් මාසයේදී ෆේස්බුක් හි පළ කළ සෙල්ෆි ඡායාරූපයක් පිළිබඳව පොලිසියට පැමිණිලි ලැබීමෙන් පසු ඇයව අත්අඩංගුවට ගෙන දින දාහතරක් රඳවාගෙන සිටින ලදී.  එම සෙල්පියේ  ඇය බොහෝ අය්යප්ප නම් බැතිමතුන් අඳින වර්ණය වන  කළු ඇඳුමින් සැරසී  ඇගේ නළල හින්දු සම්ප්‍රදායට අනුව සඳුන් තලපයෙන් ආලේප කර , සම්භාව්‍ය අයියප්ප ඉරියව් අනුකරණය කිරීම සඳහා ඇගේ දණහිස් ඉදිරියෙන් තබා ගෙන සිටියේය.

ආගමික උම්මන්තකයින් පොලිසියට පැමිණිලි කළේ එම ඡායාරූපය “ලිංගික එකක් බවටත්” සහ “අයියප්ප දෙවියන්ගේ බැතිමතුන්ගේ ආගමික හැඟීම් එමගින් රිදවා ඇති” බවයි.” සබරිමාලා කොවිලට  නිරුවත් පපුව පෙන්වමින් හෝ කලවා නිරාවරණය කරමින් ඇතුල් වන පිරිමින් ගැන කුමක් කිව හැකිද යැයි විමසූ ඇය එසේ නම් සිය ඡායාරූපයේ ඇති වරද කුමක්දැයි විමසුවාය.

අවසානයේ දී  දරුවන් ලිංගික අපරාධයකට යොමු කරන ලදැයි චෝදනා කොට ඇය 2020 ඔක්තෝබරයේදී අත්අඩංඟුවට ගත්තාය. ඇත්ත වශයෙන්ම නම් ඇය කර තිබුණේ සිය නිරුවත් උඩු කය වර්ණවත් කිරීමට ආරාධනා කිරීමයි. ඇය එය වීඩියෝවක් ලෙස ප්‍රසිද්ධ කර තිබුණි.

නිරුවත සෑම විටම ලිංගිකත්වයට සම්බන්ධ නැතැයි ඉන්දියානු මහාධිකරණය කියා සිටයේ එම චෝදනාවලින් රෙහානා පතීමා නිදහස් කරමිනි.

ඇය සිය උඩුකය නිරුවත් කොට එය පින්තාරු කිරීමට සිය පුතුට ඉඩ දුන්නාය. එය වීඩියෝ කර සමාජ මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කළාය.

ඇය නිදහස් කරමින් ‘ස්වකීය ශරීරය පිළිබඳ ස්වාධීනත්වයේ අයිතිය බොහෝ විට ස්ත්‍රීන්ට අහිමි කරන බවත් ඔවුන්ගේ ශරීරය සහ ජීවිතය පිළිබඳ ස්වාධීන තේරීම් කිරීම නිසා ඔවුන් හිරිහැරයට, වෙනස් කොට සැලකීමට, හුදකලා කිරීමට සහ හිංසාවට ලක් වන බවත්’ කේරළ මහාධිකරණය  ප්‍රකාශ කළේය

එලෙස සිය උඩුකය පින්තාරු  කිරීමට ඉඩදීම මගින් ඇයගේ දරුවන් සැබෑ හෝ අනුකරණ ලිංගික ක්‍රියාවකට යොදාගෙන ඇති බවක් හෝ  ලිංගික තෘප්තිය සඳහා යොදා ගත් බවක් කිසිවකුට අනුමාන කළ නොහැකි යැයි ද තීන්දුවේ සඳහන් වෙයි.

ඇය කර ඇත්තේ තම දරුවන්ට චිත්‍ර ඇඳීමට තම සිරුර කැන්වසයක් ලෙස භාවිත කිරීමට අවසර දීම පමණක් බව අධිකරණය ප්‍රකාශ කළේය.

‘ස්ත්‍රියකට තම ශරීරය පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමට ඇති අයිතිය සමානාත්මතාවය සහ පෞද්ගලිකත්වය සඳහා වන ඇයගේ මූලික අයිතිවාසිකම්හි හරය වේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි වගන්තිය මගින් සහතික කර ඇති පුද්ගලික නිදහසේ ක්ෂේත්‍රය තුළට ද වැටේ’ යැයි තීන්දුව තවදුරටත් පවසයි.

රෙහානා පතීමා

ඉහළ උසාවියේ අභියාචනයෙහි දී  ඇය කියා සිටියේ කාන්තා නිරුවත් උඩුකය සෑම සන්දර්භයක දීම ලිංගික දෙයක් බවට කරන නමුත් නිරුවත් පිරිමි උඩුකය සම්බන්ධයෙන් එලෙස නොසැලකීමේ මතවාදයට එරෙහි දේශපාලන ප්‍රකාශනයක් ලෙස තමා සිය නිරුවත් උඩුකය වර්ණ ගැන්වූ බවයි.

ඇයගේ තර්කයට විනිසුරුවරු එකඟ වූහ.

“කාන්තාවකගේ නිරුවත් උඩුකය සිත්තම් කිරීම ලිංගිකව හැසිරෙන ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කළ නොහැකි ” බවද  අධිකරණය පැවසීය.

එම වීඩියෝවෙන් ෆාතිමා තම උඩුකය නිරාවරණය කර ඇති බවත්, එබැවින් එය අසභ්‍ය සහ අශෝභන බවත් පැමිණිල්ල විසින් ප්‍රකාශ කර තිබුණි.

මෙම තර්කය ප්‍රතික්ෂේප කරමින් උසාවිය පැවසුවේ “නිරුවත සහ අසභ්‍යත්වය සැමවිටම සමාන පද නොවේ. නිරුවත අත්‍යවශයෙන්ම අසභ්‍ය හෝ අශෝභන හෝ දුරාචාර ලෙස වර්ගීකරණය කිරීම වැරදිය” යනුවෙන් තීන්දුව තවදුරටත් පවසයි.

කේරළයේ පීඩිත කුල කාන්තාවන් වරක් තම පියයුරු වැසීමේ අයිතිය ඉල්ලා සටන් කර ඇති බවත්, රට පුරා පුරාණ විහාරස්ථානවල සහ විවිධ පොදු ස්ථානවල අඩ නිරුවතින් බිතුසිතුවම්, ප්‍රතිමා සහ දේව චිත්‍ර ඇති බවත් ඒවා “ශුද්ධ” ලෙස සලකනු ලබන බවත් අධිකරණය පෙන්වා දී තිබේ.

පිරිමින්ගේ උඩුකය නිරුවත් කිරීම කිසි විටෙක අසභ්‍ය හෝ අශෝභන ලෙස නොසලකන අතර එය ලිංගිකත්වයට සම්බන්ධ නොවන නමුත් “කාන්තා ශරීරයකට එලෙසින්ම ආකාරයකින් නොසලකන” බව තීන්දුවෙහි වැඩිදුරටත් සඳහන් වේ.

‘සෑම පුද්ගලයෙකුටම ඔහුගේ/ඇයගේ ශරීරයේ ස්වාධිපත්‍යයට හිමිකම් ඇත. මෙය ස්ත්‍රී පුරුෂ භාවය මත තෝරා ගැනීමක් නොවේ. නමුත් මෙම අයිතිය බොහෝ විට ස්ත්‍රී ලිංගිකත්වය ලෙස තනුක කර හෝ ප්‍රතික්ෂේප කර ඇති බව’ ද එහි දැක්වේ.

කාන්තා නිරුවත තහනම් ලෙස සලකන සහ කාමුක අරමුණු සඳහා පමණක් යැයි අදහස් කරන ඇතැමුන් සිටින බවත්, ෆාතිමා විසින් ප්‍රචාරය කරන ලද වීඩියෝවේ අරමුණ “සමාජයේ පවතින මෙම දෙබිඩි පිළිවෙත හෙළිදරව් කිරීම” බවත් අධිකරණය වැඩිදුරටත් පවසා ඇත.

ශ්‍රී ලංකාවේදී එවැනි සිදුවීමක් වුවහොත් කුමක් වනු ඇත්ද?

අඩ නිරුවත් සීගිරි ලලනාවන් ලංකාවේ මහානර්ඝ සංස්කෘතික දයාදයක් ලෙස වර්ණනා කරන නමුත් එවැනි ඇදුමක් හැඳ සීගිරිය නගින්නට ගිය හොත් සිදු වන්නේ හිරේ ලගින්නටය.

රෙහානා පතීමා වැනි ගැහැණියක් මෙරට සිටියේ නම් ඇය සීගිරි ලලනාවක සේ තනපටින් පමණක් උඩුකය වසාගෙන සීගිරි නගින්නට එන්න තිබුණි. එසේ වූයේ නම් ඇය අද සිටිනු ඇත්තේ නතාශා එදිරිසූරිය රදවා ඇති වැලිකඩ කුප්‍රසිද්ධ ගැහැණූ වාට්ටුවේය.

සුනන්ද දේශප්‍රිය.

Archive

Latest news

Related news