Friday, April 19, 2024

නීතිඥ සංගමයේ උප සභාපති හැදූ ත්‍රස්ත විරෝධී පනත ව්‍යවස්ථා විරෝධී සහ භයානක බව නීතිඥ සංගමයම කියයි! 

සේ. පියවර්ධන විසිනි.
ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇඟවුම් සමාලෝචනය කිරීම සහ හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නීති වෘත්තියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කරන ලදී.  එසේ විශේෂ කමිටුවක් පත් කරන ලද්දේ, ත්‍රස්ත විරෝධී  පනත කෙටුම්පත් කළ කමිටුවෙහි, වත්මන් නීතිඥ සංගමයේ උප සභාපතිවරයකු වන ජනාධිපති නීතිඥ නලින්ද ජයතිස්ස ද සිටීම විය හැක. ඔහු එම කමිටුවෙහි සම සභාපති විය. එම තත්වය යටතේ නීතිඥ සංගමය පනත පිළිබඳව දැඩි විරෝධයක් පළ කිරීමෙන් වැළකී සිටියේය.
දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන මෙම පනත හෙළා දකින අතරවාරයේ නීතිඥ සංගමය මුනිවත රැක්කේ ද එනිසා විය හැක.
එම කමිටු වාර්තාව දැන් ප්‍රසිද්ධියට පත්ව තිබේ. (ඉංග්‍රිසි බසින් ඇති එම වාර්තාව මෙම ලිපියෙහි අගට අමුන ඇත.)
එම වාර්තාව සඳහන් කරන්නේ කෙටුම්පතෙහි  ත්‍රස්තවාදී අපරාධ යනු මොනවාද යන්න  පිළිබඳ පැහැදිළි නිර්වචනයක් නැති බවත් ඒ සඳහා වන මාර්ගෝපදේශ සකස් කර ඇත්තේ නොපැහැදිළි  ආකාරයෙන් බවත්ය.  එමගින් එම වගන්තිය  භයානක ලෙස පුරවැසි අයිතීන් උල්ලංඝණය කළ හැකි ආකාරයෙන් පුළුල් ලෙස අර්ථකථනය කළ හැකි බවය.
කෙටුම්පත් පනතෙහි ඇති 10වන වගන්තිය රජයකට එරෙහිව පවත්වන ලබන  අනාගත විරෝධතාවක් සහ/හෝ වැඩ වර්ජනයක් සංවිධානය කිරීම සහ මහජනතාව දැනුවත් කිරීම, එවැනි පෙළපාලියකට අත්පුඩි ගසමින්  හෝ සහය දෙමින් සටන් පාඨ කීම ත්‍රස්තවාදී වරදක් ලෙස නිරූපනය කළ හැකි බව වාර්තාව සඳහන් කරයි.
විජේදාස රාජපක්ෂගේ අධිකරණ අමාත්‍යාංශය වරක් බස් ගැමුණු උපුටා දක්වමින් කියා සිටියේ මෙම පනතින් වැඩවර්ජන ත්‍රස්තවාදී ක්‍රියා ලෙස දැක්විය හැකිය යන්න බොරුවක් බවයි. ඒ  අනුව විජේදාස ද හැකි නම් පනතින් වැඩවර්ජන තහනම් කළ හැකි බව ඔප්පු කරන ලෙස තප්පු ලෑවේය.
දැන් පනත හැදීමේ සම සභාපතිත්වය දැරූ ජනාධිපති නීතිඥ නලින්ද ජයතිස්ස උප සභාපතිවරයකු වන නීතිඥ සංගමයද අප පෙන්වා දුන් කරුණ පුනරුච්චාරණය කර තිබේ.
“ත්‍රස්තවාදී ප්‍රකාශනය” යන වචනයට කෙටුම්පත් පනතෙහි පටු අර්ථකථනයක් ඇති බව කමිටුව තව දුරටත් පෙන්වා දී තිබේ. එමගින් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එම යෙදුම වැරදි ලෙස භාවිතා කර අහිංසක පුරවැසියන් රජයට එරෙහිව තම අප්‍රසාදය පෙන්වන අවස්ථාවන්හිදී හෝ ඔවුන් රජයට විරුද්ධව ලිපි යනාදිය බෙදා හරින විට ත්‍රස්තාවිදියකු සේ දක්වා අත්අඩංගුවට ගැනීමට හැකි බවත් වාර්තාව සඳහන් කරයි.
කෙටුම්පත් පනතෙහි   වගන්ති මගින් ත්‍රස්තවාදී ක්‍රියාවන්හි විෂය පථය අනවශ්‍ය ලෙස පුළුල් කිරීමක් නියම කර ඇති බව වාර්තාව සඳහන් කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදය යටතේ ලබා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහතිකවලට අනුකූලව 83 (2) වගන්තිය යටතේ නියම කර ඇති ත්‍රස්තවාදය පිළිබද නිර්ණායක පුරවැසියන්ගේ අයිතිවාසිකම්වලට හානිකර බව එය කියා සිටී.
එමගින් පනත් කෙටුම්පතේ සඳහන් විධිවිධාන අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ මූලධර්ම උල්ලංඝනය කරන අතර රටේ පුරවැසියන් සඳහා ලබා දී ඇති නෛතික අයිතිවාසිකම් සහ හිමිකම්වලට පටහැනිව ක්‍රියා කරන අතරම එම මූලික අයිතිවාසිකම් පිළිකුල් සහගත ලෙස උල්ලංඝනය වන බව මෙම නීතිඥ සංගමයේ එම වාර්තාව සඳහන් කරයි.
සංවිධානයක් තහනම් කිරීම සඳහා මෙම පනත් කෙටුම්පතේ 82 වැනි වගන්තිය යටතේ ජනාධිපතිවරයාට ඒකපාර්ශ්වික බලයක් ලබා දී ඇති බව පෙන්වා දෙන කමිටුව එම තීරණය වෙත පැමිණීම සඳහා කිසිදු පාර්ශ්වයකින් නිර්දේශ ලබාගැනීමට ජනාධිපතිවරයා බැඳී නොසිටින බව ද පෙන්වා දෙයි. තවද 82(2) සහ 82(3) වගන්තිය යටතේ නියම කර ඇති පුළුල් වැරදි අදාළ කර ගනිමින්  සංවිධානයක් ජනාධිපතිවරයාට බලය ලැබේ.
කිසිදු කළක ජනාධිපතිවරයකුට මෙරට නොතිබුණූ ඒකාධිපති බලයක් ලබා දෙන ලෙස මෙම පනතින් යෝජනා කරන්නට ඇත්තේ රනිල් රාජපක්ෂගේ අනුදැනීම නොමැතිව  යැයි විශ්වාස කිරීම දුෂ්කරය. එපමණක් නොව මෙම වාර්තා පෙන්වා දෙන්නේ කෙටුම්පතෙහි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස දක්වා ඇති ඕනෑම වරදක් දඩමීමා කර ගෙන ඕනෑම සංවිධානයක් තහනම් කිරීමේ බලය ලබා ගැනීමට රනිල් රාජපක්ෂ කුරුමානම් අල්ලන බවයි.
පනත් කෙටුම්පතේ දක්වා ඇති විධිවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදය යටතේ ලැයිස්තු ගත කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව මෙම කමිටුවේ අදහස වන බවද දක්වා තිබේ.
නීතිඥ සංගමය විසින් පත් කරන ලද කමිටුව සමන්විත වූයේ  සභාපති ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු,  ජනාධිපති නීතිඥයින් වන අර්සකුලරත්න, නෙවිල් අබේරත්න , ශවින්ද්‍ර ප්‍රනාන්දු යන අයද, නීතිවේදිනියන් වන සංදීපනී විජේසූරිය සහ හරිත්‍රියා කුමාරගේද නීතිඥ වන ඉමාස් ඉමිටියාස් යන අයගෙනි.

REPORT OF THE SPECIAL COMMITTEE of BASL on ATA

Archive

Latest news

Related news