Friday, March 29, 2024

විකිණීමට කැස කවන අලිසබ්රිගේ සහෝදරයා පාලනය කරන තෙල් සංස්ථාව ගැන ඇත්ත! 

ආනුභානන්ද විසිනි.
(ලංකා ඊ නිව්ස්) ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) දැන් රුපියල් බිලියන ගණනින් පාඩු ලබන්නේ ද? අපේ පැහැදිලි පිළිතුර “නැත” යන්නයි.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි මත මිල කරණය වෙනස් කිරීමෙන් පසු (Cost reflective pricing ) වසර 2022 ජූලි මාසයේ සිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ලාභ ලබමින් සිටියි. ඒ අනුව  ජූලි මාසයේ මිලියන 6,314 ක්, අගෝස්තුවේ  මිලියන 1,775 ක්, සැප්තැම්බර් මාසයේ  මිලියන 5,600 ක් ලාභ ලබා ඇත. ලෝක වෙළෙඳපොලෙන් මිලදී ගන්නා ඛනිජ තෙල් යළි විකිණීම මගින් ලෝකයේ කිසිවෙකු පාඩු ලබන්නේ නැත. එබැවින් ජාතික රාජ්‍යයේ බලශක්ති සුරක්ෂිතභාවය අනතුරට ලක් කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා විනාශ කිරීමට ගන්නා උත්සාහයට අපි විරුද්ධවෙමු.
“රජය සම්පූර්ණයෙන් ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි” යන අදහස අපි ප්‍රතික්ෂේප කරමු..
අපි වෙළෙඳ පොළ ආර්ථිකය වෙනුවෙන් පෙනී සිටිමු. අපි පෞද්ගලීකරණයට විරුද්ධ නැත. අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව යක්ෂයන් නොවෙයි. ශ්‍රී ලන්කන් වැනි සුදු අලි පෞද්ගලීකරණය කළ නොහැකි නම් ඈවරකර දැමිය යුතු බව අපි වසර ගණනාවක් පුරා බල කරමින් සිටින්නෙමු. අපි නිසි නියාමනයකින් යුතු පෞද්ගලික වෙෙද්‍ය විශ්වවිද්‍යාල වෙනුවෙන් පෙනී සිටිමු. එදා සයිටම් ආයතනය විනාශ කිරීමට සැරසෙන විට අපි දැඩිව විරුද්ධ වූයෙමු. එබැවින් අපට පෞද්ගලීකරණය නැමැති සංකල්පය පිළිබඳ විරෝධයක්, වෙෙරයක් නොමැත. එහෙත් පෞද්ගලීකරණය නමින් සිදු වන “රාජ්‍ය දේපොල මංකොල්ලයට” අපි විරුද්ධ වෙමු. රජය සම්පූර්ණයෙන් ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි යන අදහස අපි ප්‍රතික්ෂේප කරමු. එය පැරණි යල් පැන ගිය තැචර්වාදයේ (Thatcherism) නෂ්ඨාවශේෂය. ජාතික රාජ්‍යයන් සම්පූර්ණයෙන් ව්‍යාපාරවලින් ඉවත් විය යුතුයි යන ආර්ථික සංකල්පය අද ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොවන්නකි.

ජනසතු ආර්ථික ප්‍රතිපත්ති ගැන 

නූතන ජාතික රාජ්‍යයන්ගේ ආරක්ෂාව රඳා පවතින්නේ ආහාර, බලශක්ති සහ දත්ත සුරක්ෂිතභාවය මතය. මෙහිදී බලශක්ති සුරක්ෂිතභාවය ඉතා වැදගත්ය. වසර 1962 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඛනිජ තෙල් ක්ෂේත්‍රය ජනසතු කිරීමට තීරණය කළේ හේතු සාධක සහිතව ය. ඇය ප්‍රමුඛ වාමාංශික පෙරමුණු ආණ්ඩුව අනුගමනය කළ සංවෘත ජනසතු ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ අපට දැඩි විවේචනයක් තිබේ. එහෙත් එම දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිය ඒ වකවානුවේ  සංවර්ධන වෙමින් පැවති රටවල් අති බහුතරයක් අනුගමනය කළේ ය. එමෙන්ම ඔවුහු එම ප්‍රතිපත්තිය අවංකව ක්‍රියාත්මක කළහ. ඒ වෙනුවෙන් කැපවී සිටියහ. ඔවුහු අල්ලස දූෂණය මුල් කර ගනිමින් ජනසතු ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකළහ.

ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල්ගෑස් තෙල් අධිරාජ්‍යය.

එවකට මෙරට ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පතුරුවා සිටියේ ෂෙල්, කැල්ටෙක්ස්, මොබිල්ගෑස් සහ එසෝ වැනි ලෝකයේ ප්‍රබලම බහුජාතික සමාගම්ය. එම සමාගම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සූරාකන බවට දැඩි චෝදනාවක් විය. ඔවුන් තෙල් වෙළෙඳපොලේ මිල අඩුවීමේ සහන  පාරිභෝගිකයන්ට ලබා නොදෙමින් අයුතු ලාභ ලබන බවට දිගින් දිගටම චෝදනා එල්ල විය. මේ සමාගම් අතර එකඟතාවයන් අනුව වෙළෙඳපොළ තෙල් මිල තීරණය කරන (price collusion) බව පෙනෙන්නට තිබිණ. එවකට පැවති සෝවියට් සංගමයෙන් ඛනිජ තෙල් ආනයනය කර අපේ පිරිපහදුවක් මගින් තෙල් පිරිසිදු කර ගතහොත් අඩු මිලකට තෙල් පාරිභෝගිකයන්ට ලබා දිය හැකි බවට ජී.වී.එස් ද සිල්වා වැනි වාමාංශික ආර්ථික විශේෂඥයන් පෙන්වා දුන්නේ ය. මේ අදහසට ටී.බී ඉලංගරත්න ඇතුළු වාමාංශික නායකයෝ සහයෝගය දුන්හ. එහෙත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුරෙන් එල්ල විය හැකි ප්‍රතිරෝධය හේතුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මේ අදහස පිළිබඳව කැමැත්තක් තිබුණේ නැත. විශේෂයෙන් අපේ අපනයනයන්ගෙන් විශාලම පංගුව ඉලක්ක වන්නේ ඇමරිකාවට බැවින් ඔවුන් සම්බාධක පැනවුවහොත් රට විශාල ආර්ථික අර්බූදයකට යොමු වන බවට වන විශාල බියක් පැවතුණි.

 ඇමරිකානු තර්ජන 

එහෙත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මේ සමාගම් කැඳවා ඔවුන්ගේ price collusion උපක්‍රම අත්හැර ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළේ මිල වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කළාය. එවැනි දැඩි ඉල්ලීමක් රටතුලින් මතුව තිබෙන බවත් ඇය පෙන්වා දුන්නාය. එහෙත් මේ සමාගම් ඇගේ ඉල්ලීම තඹ පයිසෙකට ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුහු ඇමරිකානු රජය සමඟ එක්ව ශ්‍රී ලංකා රාජ්‍යයට තර්ජනය කළහ. මේ සමාගම් ඇයගේ මධ්‍ය වාම (Center left) ආණ්ඩුව බලයෙන් පහ කරන බවට ඉඟි කළේ ය. ඒ සඳහා එම සමාගම් සතු වූ ප්‍රධාන අවිය වූයේ රටේ ඛනිජ තෙල් සැපයුම් ඒකාධිකාරය ඔවුන් සතුවීමය.  රටේ බලශක්ති සුරක්ෂිතභාවය ජාතික රාජ්‍යය සතු නොවන විට මෙවැනි තර්ජනවලට මුහුණුදීමට සිදුවෙයි.
මේ යථාර්ථය අවබෝධකරගත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ඛනිජතෙල් වෙළඳපොළ ජනසතු කිරීමට තීරණය කළාය. එය දුෂ්කර සහ අභියෝගාත්මක තීරණයක් විය. රටේ ජනමතය පැවතුනේ ජනසතුවට පක්ෂවය. ඇය තෙල් සමාගම්හි දේපල ජනසතු කර රජයට පවරා ගත්තාය. ඇමරිකාව සිය Hickenlooper Amendment නම් නව නීතිය යටතේ තම සමාගම් ඉල්ලා සිටින වන්දිය මාස හයක් ඇතුළත ගෙවන ලෙසටත් එසේ නොමැති වුවහොත් ලබාදෙන විදේශ ආධාර කපා හරින බවටත්, සම්බාධක පනවන බවටත් තර්ජනය කළේ ය. ඔවුන් මේ නව නීතිය හඳුන්වා දුන්නේ කියුබානු විප්ලවයෙන් පසුව එහි ක්‍රියාත්මක වූ ඇමරිකානු සමාගම් හි දේපොළ කිසිදු වන්දිගෙවීමකින් තොරව ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පවරා ගැනීමෙන් පසුවය.

සෝවියට් සංගමය ඉදිරිපත් වෙයි

රිචඩ් ස්ටුවට් ඔල්සන් “Expropriation and International Economic Coercion: Ceylon and the “West” 1961-65″ නමින් “The Journal of Developing Areas” නම් ශාස්ත්‍රීය සංග්‍රහයේ 11 වන කලාපයට (ජනවාරි, 1977) ඉදිරිපත් කරන පත්‍රිකාවෙන් පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ ඛනිජතෙල් ව්‍යාපාරය ජනසතු කිරීමට පදනම වැටෙන්නේ අඩු මිලට ඉන්ධන ආනයනය කිරීමේ අරමුණින් බවත්, ඒ අවස්ථාවේ විදේශ විනිමය හිඟයකින් බැට කෑ ශ්‍රී ලංකාවට ලෝක වෙළෙඳපොලේ මිලට වඩා සියයට 25 ක් අඩුවෙන් ඛනිජතෙල් සැපයීමට සෝවියට් සංගමය ඉදිරිපත් වූ බවයි. එයට අමතරව ඔවුන් ශ්‍රී ලංකා රුපියල් භාවිතා කරමින් ඛනිජතෙල් මිලදී ගැනීමට අවස්ථාව ලබාදුන්නේ ය. සෝවියට් සංගමය එම රුපියල් භාවිතා කරමින් ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන භෝග මිල දී ගැනීමට ද එකඟ විය. මෙය ශ්‍රී ලංකාවට ආකර්ෂණීය සහනයක් විය (208 පිටුව). ආර්ථික මෙන්ම රාජත්‍රාන්ත්‍රික මට්ටමින් දුර්වල ස්ථානයක සිටි ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව සිය Hickenlooper Amendment නම් නව නීතිය යටතේ ක්‍රියාත්මක වූයේ තම බලය ලොවට ප්‍රදර්ශනය කිරීම සඳහා ය. කියුබාවේ ඇතිවූ තත්වයත් ඒ වන විට බ්‍රසීලයේ නිර්මාණය වී තිබූ ගැටුම් හේතුවෙන් ඔවුන්ට වෙනත් විකල්පයක් නොවීය. කෙනඩි පාලනය දුර්වල බවට රට තුළින් මතුව තිබූ චෝදනාවන්ට පිළිතුරු දීමට ඔවුහු අවස්ථාවක් කර ගත්හ. එහෙත් Shell සමාගම අයත් බ්‍රිතාන්‍යය මේ අර්බූදයේදී නිහඬ රාජත්‍රාන්ත්‍රික ක්‍රියාදාමයක් අනුගමනය කළේ ය. බ්‍රිතාන්‍යය සමාගම්හි වැඩි ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ කේන්ද්‍රවී තිබුණේ වාණිජ සහ වැවිලි ක්ෂේත්‍රයන්හි ය (222 පිටුව).

සමාගම් ඉල්ලා සිටි විශාල වන්දි මුදල

ජනසතුවෙන් පසුව වසර 1962 දී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ස්ථාපිත කරනු ලැබීය. අපේම පිරිපහදුවක් ස්ථාපිත කර ගන්නා තෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුවෙන් සහ සෝවියට් සංගමයෙන් ඉන්ධන මිලදී ගෙන රටපුරා බෙදා හැරියේය. ඉරානයේ තාක්ෂණික ආධාරයෙන් සපුගස්කන්දේ පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සැලසුම් කළේ ය. පවරාගත් තම සමාගම්හි දේපොල සඳහා වන්දි ගෙවන ලෙසට ඇමරිකානු රජය තර්ජනය කළ අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජය සහ බහුජාතික ඛනිජතෙල් සමාගම් අතර සාකච්ඡා ආරම්භ විය. එහෙත් සමාගම් ඉල්ලා සිටි විශාල වන්දි මුදලක් ගෙවීමට බණ්ඩාරනායක මැතිණිය එකඟ නොවීම හේතුවෙන් දෙපාර්ශවය අතර සාකච්ඡා අසාර්ථක විය.

මන්ත්‍රීවරුන් “මිලදී ගැනීම” 

මේ අතර බහුජාතික ඛනිජතෙල් සමාගම් ඉඟි කළ ආකාරයට වසර 1964 දෙසැම්බර් මාසයෙදී බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව බලයෙන් පහ කිරීමට කටයුතු  කළේ ය. වසර 1964දී රාජාසන කතාවට එරෙහිව  ශ්‍රිලනිප නියෝජ්‍ය නායක සී. පී. ද සිල්වා ඇතුළු 14 දෙනෙක් ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් ආණ්ඩුව පරාජයට පත් වූ අතර “සී. පී. ද සිල්වා මගේ පිටිපස්සෙන් ඉඳන් පිහියෙන් ඇන්නා” යැයි බණ්ඩාරනායක මැතිණිය චෝදනා කළාය. ආණ්ඩුවට එරෙහි වූ මන්ත්‍රීවරුන් “මිලදී ගැනීම” සඳහා බහුජාතික ඛනිජතෙල් සමාගම් එදා විශාල වශයෙන් මුදල් වැය කළ බව ප්‍රසිද්ධ රහසකි.

ඩඩ්ලි  වන්දි මුදල ගෙවයි

වසර 1965 මහ මැතිවරණයට තරඟ කළ එජාපය කියා සිටියේ තමන් ජයගත් සැනින්  බහුජාතික ඛනිජතෙල් සමාගම් ඉල්ලා සිටින වන්දි මුදල ලබා දෙන බවයි. පොරොන්දු වූ ආකාරයට නව අගමැති ඩඩ්ලි සේනානායක අදාළ වන්දි මුදල ගෙවා දැමුවේය. වෙළෙඳ පොළ ආර්ථිකය පිළිබඳ දැඩි විශ්වාසයක් තැබූ පැරණි මාදිලියේ (old school) ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙකු වන ඩඩ්ලි සේනානායක මෙරට ඛනිජතෙල් වෙළෙඳ පොළ යළි බහුජාතික සමාගම්වලට පැවරීමට සූදානම් නොවීය. ඔහු බණ්ඩාරනායක මැතිණිය ගත් ජනසතු ප්‍රතිපත්ති ඉදිරියට ගෙන ගියේය. විශේෂයෙන් විදුලිය, ඛනිජතෙල්, ජලය, සෞඛ්‍ය, අධ්‍යාපනය, මහජන ප්‍රවාහන සේවා ඇතුළු මහජන උපයෝගීතාවයන් රජය විසින් මෙහෙය විය යුතු බව ඔහු දැඩිව විශ්වාස කළේ ය.

ඩඩ්ලිත් සිරිමාවෝ ගිය පාරට

බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව සැළසුම් කළ සපුගස්කන්ද ඛණිජ තෙල්  පිරිපහදුව සඳහා නව ආණ්ඩුවේ අගමැති ඩඩ්ලි  සේනානායක 1965 දී මුල්ගල තැබූවේය. එය National Iranian Oil Company සමඟ ඒකාබද්ධව සිදු කළ ආයෝජනයකි. එහි පරිපහදු කටයුතු 1967 දී ආරම්භ විය. වසර 1968 වන විට දිනකට බැරල් 38,000 ක් පිරිපහදු කරන මට්ටමට එහි ධාරිතාව ඉහළ ගියේය. අලුතින් ස්ථාපනය කළ  ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ලාභ ලබමින් ශක්තිමත් ජාතික සම්පතක් බවට පත්විය.

තෙල් සංස්ථාවෙන් අතුරු සහ කාර්මික නිෂ්පාදන 34ක්

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන පිරිපහදුව , ඛනිජතෙල් බෙදාහැරීම සහ විකිණීමට අමතරව කාර්මික නිෂ්පාදන රාශියක් නිෂ්පාදන කරමින් තම මූල්‍ය ශක්තිය වර්ධනය කර ගනු ලැබීය. වසර 1977 වන විට කාර්මික නිෂ්පාදන තිස්හතරකට දායකවීමට සංස්ථාවට හැකි වූ අතර ඒ නිෂ්පාදන සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, කර්මාන්තය ශාලා සහ යන්ත්‍ර සූත්‍ර විදේශ ආධාර, ප්‍රදාන වශයෙන් ලැබිණි. මේ අතරින්  ‘නැප්තා’  නිෂ්පාදනය කැපීපෙනෙන අතර සංස්ථාව නැප්තා සිංගප්පූරුවට සහ ජපානයට අපනයනය කළේ ය. නැප්තා හි අතුරු නිෂ්පාදනයක් වශයෙන් නයිලෝන් නිෂ්පාදන කිරීම සඳහා නයිලෝන් 6 කර්මාන්ත  ශාලාව පරිපහදුවට ආසන්නයේ ස්ථාපිත කළේ ය.
ගුවන්  යානාවලට  තෙල්  සැපයීම, නැව්වලට තෙල් සැපයීම, ලිහිසි තෙල් බෙදාහැරීම, තාර  නිෂ්පාදනය , LP ගෑස් ගෘහස්ථ සිලින්ඩර නිෂ්පාදනය, ඉටිපන්දම් නිෂ්පාදනය, යූරියා පොහොර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කාර්මික නිෂ්පාදන අතරින් කිහිපයකි.

රටේ අයවැයට 40%ක දායකත්වයක්

මේ සෑම අතුරු සහ කාර්මික නිෂ්පාදනයකින් සංස්ථාව ලාභ ලැබූ අතර එමගින් ඔවුන්ගේ මූල්‍ය ශක්තිය ඉහළ ගියේ ය. එහි සෘජු වාසිය ලැබුණේ රටේ පොදු ජනතාවටය. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභය රජයට ලැබෙන ප්‍රධාන ආදායමක් විය. වසර 1977 වන විට රජයේ අයවැයෙන් සියයට 35-40ක් පියවා ගත්තේ  ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභාංශ හරහාය. මේ වකවානුවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිවැරදිව කලමනාකරණය කිරීමට බලධාරීන්ට හැකි විය. අල්ලස, දූෂණය සහ නාස්තිය අවම මට්ටමේ තබා ගැනීමට ඔවුහු ක්‍රියා කළහ.

1977 පසුව කණකොකා හඩයි

එදා දේශපාලන හෙංචයියන්ට බුරුතුපිටින් රැකියා ලබාදුන්නේ නැත. රැකියා ලැබුණේ අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ ඉල්ලුම්කරුවන්ට පමණි. වෘත්තීය සමිති කිහිපයක් සංස්ථාවේ ක්‍රියාත්මක වුවද එම සමිති ආයතනය පාලනය කිරීමට උත්සාහ නොකළේය. ආයතනය තුළ යම් විනයක් ක්‍රියාත්මක විය. මේ තත්ත්වය වෙනස් වූයේ 1977 දී එජාප ආණ්ඩුව බලයට පත්වීමත් සමඟිනි. කිසිදු සුදුසුකමක් නොමැති එජාපයේ ආධාරකරුවන් විශාල පිරිසකට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රැකියා ලබා දුන් අතර ඔවුන්ගේ වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමය ආයතනය පාලනය කිරීමට පටන් ගත්තේ ය. ඔවුහු  තම සාමාජිකයන්ට වැටුප් වර්ධක, උසස්වීම් ලබාදෙන ලෙසට ආයතනයේ බලධාරීන්ට තර්ජනය කිරීමට පටන් ගත්හ. මේ තත්ත්වය කාලයත් සමඟ වඩාත් තීව්‍ර විය.

අතුරු සහ කාර්මික නිෂ්පාදන පෞද්ගලික අංශයට 

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට විශාල ආදායමක් මෙන් ලාභයක් ගෙන ආ අතුරු සහ කාර්මික නිෂ්පාදන 1977 පසුව පෞද්ගලික අංශයට විකුණා දැමුවේ ය. LP  ගෑස්  ව්‍යාපාරය  SHELL  සමාගමටත්,  නැව් සඳහා  තෙල්  සැපයීම ජෝන්  කීල්ස්  සමාගමටත්,  ලිහිසි තෙල්  ව්‍යාපාරය CALTEX  සමාගමටත්, නයිලෝන් 6  කර්මාන්ත ශාලාව කොරියානු සමාගමකටත් විකුණා දැමීම මෙයට නිදසුන් කිහිපයකි. ඒ හරහා සංස්ථාවේ මූල්‍ය ශක්තිය දුර්වල විය.

CEB සහ ශ්‍රී ලංකන් ණය පොල්ල බිලියන 161ක්

1977 පසුව බලයට පැමිණි සෑම රජයක්ම ඛනිජතෙල් නීතිගත සංස්ථාව තම පාක්ෂිකයන්ට මහා පරිමාණයෙන් රැකියා දෙන ආයතනයක් බවට පත්කර ගත්තේ ය. ඒ හරහා පරිපාලන සහ බෙදාහැරීමේ වියදම් අනවශ්‍ය ලෙස ඉහළ ගියේය. අසීමිත අතිකාල දීමනා, වසරකට කිහිපවතාවක් ලබාදෙන ප්‍රසාද දීමනා වැනි කිසිදු මූල්‍ය විනයක් නොමැති තීරණ ගනු ලැබීය. එහෙත් සංස්ථාවේ වාර්ෂික මූල්‍ය ශේෂ පත්‍ර නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ අසීමිත අතිකාල දීමනා, ප්‍රසාද දීමනා සංස්ථාවේ පාඩුවට විශාල බලපෑමක් සිදු නොවන බවයි.  සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්වීමට ප්‍රධාන හේතුව මහා පරිමාණ ප්‍රසම්පාදන දූෂණ, රජයේ වෙනත් ආයතන නොගෙවා පැහැර හැර ඇති විශාල ණය, දේශපාලකයින්ගේ කොමිස්, වංචා දූෂණ යනාදිය යි. හෙජින් ගනුදෙනුව මෙයට එක් නිදසුනකි.
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල්  බිලියන 96 ක් (රු. මිලියන 96,000) සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 65 ක් (රු. මිලියන 65,000) ඛනිජ තෙල් සංස්ථාවට පොලු තබා තිබේ. මේ ආයතන දෙකෙන් පමණක් අය විය යුතු මුදල රුපියල් බිලියන 161 කි.

වසර 2013 සිට 2020 සංස්ථාවේ දළ ලාභය රුපියල් බිලියන 341ක්

ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ මුදල් අමාත්‍යාංශයේ වාර්තාවන්ට අනුව වසර 2013 සිට 2020 දක්වා සෑම වසරකම ඛනිජතෙල් නීතිගත සංස්ථාව දළ ලාභ (Gross profit) වාර්තා ගෙන ඇත. එය පිළිවෙලින් රුපියල් බිලියන 26, 32, 49, 100, 39, 10, 18, සහ 67කි. Gross profit ගණන් බලනුයේ ආදායම (Revenue), බදු සමඟ අලෙවි වියදමින් (Cost of sales, inclusive of taxes) අඩු කිරීමෙනි.
මූල්‍ය සහ විනිමය වියදම්වලට පෙර ලාභය (Profit before finance/exchange cost) එනම් දළ ලාභයෙන් වෙළඳාම් සහ බෙදාහැරීම්, පරිපාලන, ක්ෂයවීම් (Sales and distribution, Administration and Depreciation cost) අඩු කළ විට ලැබෙන අගය සළකා බැලුවහොත් එම ලාභය වසර 2013 සිට 2017 පිලිවෙලින් රුපියල් බිලියන 11, 16, 32, 81 සහ 19කි. වසර 2020 දී එය බිලියන 44කි.

ප්‍රසම්පාදය සහ විනිවිදභාවය නැති වීමේ විපාක

ඛනිජතෙල් නීතිගත සංස්ථාව සමස්තයක් වශයෙන් පාඩු ලබන බවට වාර්ෂික ශේෂ පත්‍රයේ සඳහන් වන්නේ මූල්‍ය සහ විනිමය පාඩු යන හේතු නිසාය. ඒ සඳහා බලපානුයේ අයකර ගැනීමට අසමත් වූ හිඟ මුදල්, හිඟ ණය සහ විනිමය පාඩුය. වසර 2011 සිට 2020 දක්වා සමස්ත  මූල්‍ය පිරිවැය සහ විනිමය පාඩුව (Financial cost and exchange losses) රුපියල් බිලියන 335කි. එය දුර්වල මූල්‍ය කළමනාකරණ ප්‍රශ්නයකි. රුපියල් බිලියන සිය ගණනක ණය අය කර නොගැනීමේ ප්‍රතිඵලයකි. මහා පරිමාණ අල්ලස් දූෂණයන්ගේ ප්‍රතිඵලයකි. ප්‍රසම්පාදනය සහ විනිවිදභාවය තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයකි.

අසන්ත ද මෙල් කල පාඩුව රුපියල් කෝටි 1620ක්

රුපියල් බිලයන දහස් ගණනක ආදායමක් ලබන ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද පාලනය කරන්නේ කවුද? සංස්ථාවේ වර්තමාන සභාපති මොහමඩ් උවයිස් විදේශ ඇමැති අලි සබ්‍රීගේ සහෝදරයා ය. කළමනාකාර අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන්නේ හිටපු නාවික හමුදාපති රවින්ද්‍ර විජේගුණවර්ධන ය. මොවුන් මෙයට පෙර සුරුට්ටු කඩයක් හෝ පාලනය කර නොමැති චරිතය. ඔවුන්ට තිබෙන එකම සුදුසුකම දේශපාලන ඇම්බැට්ටකම පමණි. රාජපක්ෂ පවුලේ ඥාතියෙකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන අසන්ත ද මෙල් කාලයක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති විය.! ඔහු අත්සන් කළ හෙජින් ගිවිසුම හේතුවෙන් රටට සහ සංස්ථාවට සිදුවූ පාඩුව රුපියල් කෝටි 1620 කි.!

බලශක්ති මාෆියාව  රට  අත්පත් කර ගැනීම

ඛනිජතෙල් නීතිගත සංස්ථාව අද තෙල් මිලදී ගන්නේ අන්ත දූෂිත ලෙසය. ඔවුන් ඒ සඳහා වෙළෙඳ පොළ මිලට වඩා වැඩි මිලක් ගෙවයි. ඒ රාජපක්ෂ පුත්‍රයන්ට කප්පම් ගෙවීමට ය. එය රටම දන්නා විවෘත රහසකි. එහෙත් රට බංකොලොත්වී ඉන්ධන නැවකට ගෙවීමට මුදල් නොමැති අවස්ථාවක පවා මේ මහා පරිමාණ දූෂණය නැවතී නැත.  මේවා ඇමරිකානු ඩොලර් මිලියන ගණනින් සිදු වන දූෂණය. මේ මිලදී ගැනීම් පිළිබඳ කිසිදු විනිවිද භාවයක් නොමැත. සැබැවින්ම බලශක්ති මාෆියාවක් විසින් රටම අත්පත් කරගෙන සිටියි.  එහෙත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමට ජනමතය ඇති කිරීම සඳහා සංස්ථාවේ සාමාන්‍ය සේවකයන් ගන්නා ප්‍රසාද දීමනා, අතිකාල දීමනා පිළිබඳ විශාල බිල්ලෙක් මවා ජනතාව තුළ ඔවුන්ට කෙරෙහි වෙෙරයක් නිර්මාණ කර තිබේ. මේ දීමනා සේවකයන් ලබාදීමට තීරණය කවුද? චෝදනා කළ යුත්තේ එවැනි වැරදි කළමනාකරණ තීරණ ගත් බලධාරීන්ටය.

පොහොට්ටු වෘත්තීය සමිති නායකයන්ට දුන් වාහන 

කාංචන විජේසේකර ඛනිජතෙල් සංස්ථාවේ වෘත්තීය සමිති නායකයන්ට ලබාදී තිබූ ඉන්ධන සහ වාහන යළි පවරාගත් බව මහා වීරයෙකුසේ රටට හෙළි කළේ ය. මේ වෘත්තීය සමිති නායකයන් කවුද? ඔවුන්ට එම පහසුකම් ලබාදුන්නේ කවුද? මෙම පහසුකම් ලබාදී ඇත්තේ පොහොට්ටුවේ වෘත්තීය සමිති ප්‍රධානීන්ටය. මේ පහසුකම් ලබාදුන්නේ මහින්ද රාජපක්ෂගේ නියෝග අනුවය. එක් රාජපක්ෂ සට්ටැඹි වෘත්තීය සමිති නායකයෙකු ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කළේ මහින්ද රාජපක්ෂ විසිනි. අද  සැබැවින්ම  ඛනිජතෙල් නීතිගත සංස්ථාව වැනි ජාතික සම්පත් විනාශ කරන්නේ දේශපාලඥයන් සහ ඔවුන්ගේ හෙංචයියන්ය.

නව සමාගම් හරහා අඩු මිලට තෙල් මිලදී ගැනීමේ සිහිනය..

චීනයේ Sinopec, United Petroleum of Australia සහ USA RM Parks යන සමාගම් සඳහා මෙරට ඉන්ධන සිල්ලර වෙළෙඳපොළ වෙත පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එම සමාගම්වලට මෙරටට ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීම, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම යන කාර්යයන් සඳහා වසර 20ක්  බලපත්‍රය හිමි වේ. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක නියෝජිත ඉන්ධන පිරවුම්හල් 450 ක් අදාළ සමාගම් 3 ට 150 බැගින් ලබාදීමට සැලසුම් කර ඇති අතර තවත් නව පිරවුම්හල් 150 ක් ස්ථාපිත කිරීමට මේ සමාගම් තුනට අවසර දී ඇත. මේ නව සමාගම් එක්වීමත් අපේ ඉන්ධන මිල පහළ වැටේ යැයි සිතන්නේ නම් එය සම්පූර්ණ මිථ්‍යාවක් බව කිවයුතුය. දශක හයකට පෙර බණ්ඩාරනායක මැතිණිය විශාල බාධා මධ්‍යයේ ඛනිජතෙල් ව්‍යාපාරය ජනසතු කළේ එවකට ක්‍රියාත්මක වූ බහුජාතික ඛනිජතෙල් සමාගම් මිල ඉහළ දමමින් ජනතාව සූරා කෑ නිසාය. ලෝකය පුරා අද දක්වා සිදුවන්නේ එයයි. මේ සමාගම් අතර එකඟතාවයන් අනුව වෙළෙඳපොළ තෙල් මිල තීරණය කරමින් පාරිභෝගිකයා සූරාගෙන කයි. ශ්‍රී ලංකාව එහි ව්‍යතිරේකයක් වන්නේ නැති බවට අපට කැට තබා සහතික විය හැක.

පෞද්ගලිකරණය – ජාතික සම්පත් මංකොල්ලයක්

ලංකාවේ පෞද්ගලිකරණය වශයෙන් හඳුන්වන්නේ දේශපාලනයන් සහ ඔවුන්ගේ ව්‍යාපාර හෙංචයියන් එකතු වී ජාතික සම්පත් කුණුකොල්ලයට විකුණා දමා එහි විශාල ලාභය බෙදා ගැනීමයි. ඛනිජතෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය ද ගමන් ගන්නේ එම මාවතේය. හම්බන්තොට තෙල් පිරිපහදුව මිලදී ගැනීමට අයැදුම් කළ සමාගම් හයෙන් පහක්ම නමට පමණක් නිර්මාණය කළ ව්‍යාජ සමාගම්ය..! මේ සූදානම තවත් මහා පරිමාණ මහජන මුදල් මංකොල්ලකෑමකට බව අපි වගකීමෙන් සටහන් කරමු.
අප මේ සටහන ආරම්භ කරන අවස්ථාවේ පැහැදිලි කළ ආකාරයට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පාඩු ලබන්නේ නැත. අදටත් රජයේ අයවැයෙන් සියයට තිහක ආදායම ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභාංශ මත රඳා පවතී. එබැවින් මේ සංස්ථාව විකුණා දැමීම සහ ගහන අපරාධයකි. මේ සංස්ථාව වසර හැටක ඉතිහාසයේ වසර කිහිපයක් හැරෙන්නට කිසි අවස්ථාවක දළ පාඩුවක් ලබා නැත. මේ සංස්ථාව අර්බූදයට පත් වූයේ දේශපාලනඥයන් සහ ඔවුන් විසින් ඉහළ පුටුවලට පත් කළ බලධාරීන්ගේ අල්ලස්, දූෂණ සහ දුර්වල කලමනාකරණය හේතුවෙනි.

නැවත ගොඩ ගමු!

ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අවශ්‍යව ඇත්තේ දේශපාලන බලපෑමෙන් තොරව නිවැරදි මූල්‍ය සහ පිරිස් කලමනාකරණයක් මෙන් අල්ලස් සහ දූෂණයෙන් තොර ස්වාධීන පාලනයක්ය. මූල්‍ය, වානිජ සහ  වෙළෙඳ  ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ස්වාධීන අවංක වෘත්තීයවේදීන් පිරිසක් මේ සංස්ථාවේ මුල් පුටුවලට පත් කළහොත් මේ මොහොතේ ලබාගන්නා ලාභයට වඩා විශාල ලාභයක් ලබා ගැනීමට හැකි වෙනු ඇත. එවැනි දක්ෂ වෘත්තීයවේදීහු අපේ රටේ ඕනෑ තරම් සිටිති. ආණ්ඩුවට එවැනි පිරිසක් පිළිබඳ විශ්වාසයක් නොමැති නම් එම ක්ෂේත්‍රයේ විදේශ විශේෂඥයන්ගේ සේවය ලබා ගත හැකිය. පළමුව එවැනි අවංක උත්සාහයක් ගන්නා ලෙස අපි ආණ්ඩුවට යෝජනා කරමු.

CEYPETCO විකිණීම lMF යෝජනාවක් නොවේ!

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද මෙවැනි නිර්දේශයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් රජයේ ආයතනය 52ක් සම්බන්ධයෙන් අවධාරණය කරමින් පෙන්වා දෙන්නේ එම ආයතන මෙහෙයවීම සඳහා වෘත්තීයවේදී අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසය. ඒ ආයතන ලැයිස්තුව අතර ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, මහජන බැංකුව ඇතුලත්වෙයි. ප්‍රසම්පාදනය විනිවිදභාවයකින් සිදු කිරීම සහ මේ ආයතනවලට අදාළ විගණන වාර්තා ඉක්මනින් නිකුත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයි. එහෙත් මේ ආයතන කිසිවක් විකුණා දැමීමට ඔවුන් නිර්දේශ කර නැත! එහෙත් හොරාට පෙර කෙසෙල්කැන වැට පනිනවා කීවාසේ දූෂිත පාලකයෝ මේ ආයතන තුට්ටු දෙකට විකුණා ගාන කපා ගැනීමට සැරසෙති!
දශක හයකට පෙර විශාල දේශපාලන සටනකින් පසුව බිහිකරගත් ඛනිජතෙල් නීතිගත සංස්ථාව මෑත කාලයේ බලයට පත් දේශපාලඥයෝ සහ ඔවුන් විසින් පත් කරන ලද ඇම්බැට්ටයෝ විනාශ කළහ. එසේ විනාශ කළ පිරිසම සංස්ථාව පාඩු ලබනවා යැයි ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් එය කුණුකොල්ලයට විකිණීමට අද දරන උත්සාහය තරම් මේ රටට කරන දුෂ්ටකමක් තවත් තිබිය නොහැක. ඛනිජතෙල් නීතිගත සංස්ථාව විනාශ කිරීමට මූලික වී සිටින කාංචන විජේසේකර  “මාර පොරක්” ලෙස උත්කර්ෂයට නංවන අඳබාලයන්ට අපට කිවහැක්කේ මේ රටේ ජනතාව කාංචන විජේසේකරගේ දෙමව්පියන් මතක් කරන දවස වැඩි ඈතක නොවන බවයි. එහෙත් ඒ වන විට රටට සිදුවී තිබෙන විනාශය සහ හානිය යළි හැරවිය නොහැකි තත්ත්වයකට පත්ව තිබෙනු ඇත.
-ආනුභාවනන්ද
(ලංකා  ඊ නිව්ස් -2023.අප්‍රේල්.07)

Archive

Latest news

Related news