Sunday, June 23, 2024

හෝමෝ සාපියන්ස්ලගේ හැටි: එක්ව ගැලවෙමුද? වෙන්ව වැනසෙමුද ? – රංජිත් හේනායකආරච්චි

ඡායාරූප: හෝමෝ සාපියන්ස්ලා එක්ව ජිවත්වන සත්ව විශේෂයකි.

ඉහත සඳහන් ප්‍රශ්නය විමසීමට ආරම්භයක් වශයෙන් මුලින්ම  මිනිසුන් වශයෙන් අපේ ස්වභාවය පිළිබඳ ව තේරුම් ගැනීම වැදගත්.

අප (හෝමෝ සාපියන්ස්) සහජයෙන්ම සාමූහික සත්වයෙක්. මිනිස් සංහතියේ සංවර්ධනය දෙස බලන විට පෙනෙන්න තියෙන්නේ සිය පැවැත්ම සඳහා ඔවුන්ට රංචුවක් ලෙස, රැලක් ලෙස පැවතීමට අප ජිවත්වන පරිසරය සහ ස්වභාවය විසින්ම බලකිරීමක් කරලා තියෙන බවයි. ඒ වගේම එම සාමූහිකත්වයට අප අනුගත වෙලා තියෙනවා කියන එකයි.

ඒඒ වාගේම අප රංචු සත්වයෙක් වගේම ස්වකීය පුද්ගලිකත්වය මතු කර ගැනීමට කැමැත්තක් දක්වන සහජ ගතියක් ඇති සත්වයෙක්. හෝමෝසේපියන්ස්‍ගේ ඉතිහාස ගමන දෙස බලන  මානව විද්‍යාඥයින් විසින් මේ වෙන විට ඒ බව පෙන්වා දී තිබෙනවා.

එතකොට අපි පුද්ගලයෙක් ලෙස  අපේම කැපී පෙනීමක් බලාපොරොත්තු වෙනවා උනත් ඒ සියල්ල රඳා පවතින්නේ  අප කණ්ඩායමක් නැත්නම් රංචුවක් නැත්නම් රැලක් ලෙසට එකට ජීවත් වීම තුළ බවයි අමතක නොකළ යුත්තේ.

අමතක නොකළ යුතු ඇත්ත.

ඒ වගේම අප පුද්ගලිකව මතුවීමට කොතරම් උත්සාහ කළත් යම් ආකාරයකින් අපේ ජීවිත අනතුරකට, අවදානමකට මුහුණ දෙන තත්ත්වයක් ඇති වුණොත් අප වහාම කරන්නේ රංචුවක් ලෙස එකට එක්වීමත් රංචුව එකට පවත්වා ගැනීමත් එතුළින් අපේ ආරක්ෂාව සදා ගැනීම තමයි. මේ සත්‍යයෙන් මිදෙන්න කිසියම්ම මානවයකුට බැහැ. ඒ නිසා අප සාමූහික සමාජ සත්වයෙක්ය කියන කාරණය මුලින්ම අපි හිතේ තියා ගැනීම වැදගත්.

අද  ලංකාවෙහි මතුව ඇති අර්බුදය ගැන  අප අමුතුවෙන් කතා නොකල යුතු  නැහැ. වර්තමාන අර්බුදය කැපී පෙනෙන ආකාරයෙන් මතු වෙන්නේ ආර්ථික දුෂ්කරතාවයන් සහ ආර්ථික අර්බුදයකට රට ගමන් කිරීම තුළින්. නමුත් මෙම ආර්ථික අර්බුදයක් බව අපට පෙනී ගියත්  මා හිතන ආකාරයෙන් මෙම අර්බුදය දේශපාලන අර්බුදය සහ සංස්කෘතික අර්බුදය සමග අත්වැල් බැඳගෙන මතු වූ අර්බුදයක්.

පසුගිය වකවානුවේ ලංකාව පුරා මතුවූ අරගලය නැත්නම් උද්ඝෝෂණ ව්‍යාපාරය නොකඩවා මාස ගණනාවක් පැවතීමෙන් පසු  අවසානයේ එය එක්තරා යටපත් කිරීමකට ලක් කරනු ලැබූ බව අප දන්නවා.

අරගලයට ස්තුතිවන්නට බලයට ආ රනිල් අද වැජඹෙන්නේ හමුදා බලය උඩය!

රනිල් විගඩම

අද වන විට එම උද්ඝෝෂණ ව්‍යාපාර වලට විවිධ තරාතිරම් වලින් නායකත්වය සැපයූ නායක නායිකාවන් අත්අඩංගුවට ගෙන හෝ එසේ නැත්නම් ඔවුන් ගෙන් ප්‍රශ්න කර ඔවුන් යටපත් කිරීමේ ක්‍රියාදාමයක්  රජය විසින් කර ගෙන යන බවත් ඒ වාගේම ඇත්ත.

මෙහිදී සිදු වන විගඩම තමයි අද ජනාධිපති වී සිටින රනිල් වික්‍රමසිංහ එතැනට පත්වන්නේ මෙම අරගල කරුවන් ගේ උද්ඝෝෂණයන්ට පින්සිදුවන්නට වීම. අරගලය සිදු නොවුනා නම් රනිල් වික්‍රමසිංහ යනු ලංකා ඉතිහාසයේ අවලංගු කාසියක් බවට පත්ව තිබූ දේශපාලඥයෙක්.

රටක් ප්‍රජාතන්ත්‍රවාදීව රාජ්‍යය ගොඩනගා ගැනීමට නම් රටෙහි දේශපාලන බලවේග නැත්නම් දේශපාලන බලය සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ ‍ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බවට පත්වීම කොතරම් වැදගත් ද යන්න එවිට අපට දක්නට ලැබෙනවා. ලංකාවෙහි පවතින පක්ෂ ව්‍යුහයන් දෙස බලන විට අපට දකින්නට ලැබෙන්නේ එක්කෝ ඒකාධිපති පක්ෂ හෝ වැඩවසම් පක්ෂ මිස ‍ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂ නොවෙයි. එසේ නම් එවැනි දේශපාලන පක්ෂ වලට බලය ලැබුණ විට ‍ප්‍රජාතන්ත්‍රවාදී රටක් සමාජයක් ගොඩනඟා ගැනීමේ හැකියාවක් ඔවුන් වෙත තිබේද යන ප්‍රශ්නය ඒ සමඟම මතු වෙනවා.

ලංකාව ‌තුල ලෝකය සහ ලෝකය තුල ලංකාව

බොහෝ විට, ලංකාවේ දේශපාලන ව්‍යාපාර, පක්ෂ මෙන්ම පුද්ගලයන් පවා හරියාකාර වටහා නොගත් කාරණයක් ලෙස මා දකින්නේ ලංකාව පවතින්නේ ලෝකය තුළ මිස ලෝකය පවතින්නේ ලංකාව තුළ නො වන බවයි.

එනිසාම ලෝකයෙහි පවතින අනෙකුත් සමාජ සම්මතයන් සහ දියුණු වීම් අපට මඟ හැරෙනවා. මෙහිදී මා අදහස් කරන්නේ ඉලෙක්ට්‍රොනික් සහ කාර්මික දියුණුව පමණක් නොවෙයි.

එක්ව වැඩ කිරීමේ නූතන සම්ප්‍රදායයන්

විශේෂයෙන්ම පසුගිය සියවසක කාලය තුළ ලෝක සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මිනිස් අයිතීන් තහවුරු කරගැනීම මෙන්ම ලෝකය විවිධ ආකාරයෙන් එක්ව වැඩ කිරීමේ ක්‍රමවේදයන් වෙතට ගමන් කිරීම පිළිබඳව ඇති සම්බන්ධතාවයන්.

උදාහරණයට එක්සත් ජාතීන්ගේ එකතුව. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් නොවූවත් දැනට ලෝකයේ පවතින රාජ්‍යයන් එකට වැඩ කිරීමට යම්කිසි කොන්දේසි  ප්‍රමාණයකට එක්ව වැඩ කිරීමේ වැඩපිළිවෙළකට ඇත්තේ එය පමණයි.

ඒ වාගේම බොහෝ ලංකා දේශපාලකයන් විසින් සෑම විටම හිතන සහ කියන දෙයක් වන්නේ ලෝකයා අපව ගිල ගන්න බලා සිටිනවා යන්නයි.  එසේ නැත්නම් අපේ නිර්මල ආගමට, අපේ සංස්කෘතියට එරෙහිව ඔවුන් වැඩ කරනවා වැනි අදහස්. මෙම අඳබාල කියමන් මගින් සිදු වන්නේ රටෙහි දේශපාලනය සමාජ දේශපාලන දූපතක් තුල හිර කර තබා ගැනීමයි.

විසඳුමක් කරා යෑම

ලංකාව අද පවතින තත්වය තුළ එයට දිගු කාලීන දේශපාලන විසඳුම් මෙන්ම ඉතා කෙටි කාලීන දේශපාලන විසඳුම් ද අවශ්‍ය බව මගේ වැටහීමයි.

කෙටි කාලීන දේශපාලන විසඳුම් අවශ්‍ය වන්නේ අද අපි මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් එක්තරා ප්‍රමාණයකට හෝ ගොඩ ඒමටයි.

සමාජයෙහි සියයට 70ක් සෞඛමත් සහ ප්‍රමාණවක් ආහාර නොලබන සමාජයක හිල්ටන් හෝටලයේ වැලන්ටයින් රැයෙහි යහන්ගගත වීමට රුපියල් දෙලක්ෂ පනස් දහසකි.

ඇති නැති පරතරය නැති කළ හැකිද?

ඒ සම්බන්ධයෙන්  දේශපාලන පක්ෂ කරන්නේ තමනට බලය දෙන ලෙස ඉල්ලීමයි.  වාම නැඹුරුවක් ඇති ජාතික ජන බලවේගය මෙන්ම සමගි ජන බලවේගයත්  රනිල් වික්‍රමසිංහ සමග රාජපක්ෂ වරුන්ගේ සන්ධානයත් එම ප්‍රශ්නයට විසඳුම් සොයන බවට ප්‍රතිඥා දෙමින් බලය තමනට දෙන්න යයි ඉල්ලා සිටිනවා.

මනුෂ්‍ය ඉතිහාසය තුළ මානව සංවර්ධනයේදී මොන යම් තත්වයන් තුල හෝ මේ වන තුරුම එක්තරා ප්‍රමාණයක හෝ ඇති නැති පරතරයක් සමාජ අසමානත්වයක් නිර්මාණය වී  තිබෙනවා. මෙතෙක් පැවති කිසියම් සමාජයක මෙම අසමානත්වය නැතිකර සියල්ලන් සමාන තත්ත්වයක් ඇති කරගත්තා යැයි මා විශ්වාස  කරන්නේ නැහැ.

අද ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මිනිස් අයිතීන් තහවුරු කිරීම තුළ නීතිය ඉදිරියේ හැමෝම එක සමාන කිරීම තුළ, මෙම පරතරය අවම කර ගැනීමට ක්‍රමවේදයක් සකස් කර ගැනීමට ප්‍රයත්නයන් තියෙනවා. එනිසා සමාජ සංවර්ධනය දෙස බැලීමේදී මා දකින්නේ මෙතෙක් පැවත ඇති හොඳම දේශපාලන ක්‍රමය  ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමය බවයි.

පෙරේතකමට ඉඩ දෙන නව ලිබරල්වාදය

නව ගතානුගතිකවාදීන් ( එනම් නව ලිබරල්) ආර්ථිකය පිළිබඳව නිදහස් වෙළඳ පොල යන්නෙන් අදහස් කරන්නේ සියල්ල වෙළඳපොළට යටත් කිරීමයි. ප්‍රාග්ධනයට කිසි අවහිරයක් නොකර වැඩ කරගෙන යෑමට ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට සියල්ල යටපත් කිරීමයි. රාජ්‍ය කළ යුතු වන්නේ ප්‍රාග්ධනයට අවහිර වන සියලුම බාධකයන් ඉවත් කිරීම බව ඔවුන්ගේ මතයයි. මෙම කාරණයේ දී සුළු කණ්ඩායමක් පමණක් සියලු සම්පත් ලබා ගැනීම පිළිබඳ කාරණය ගැන කතා කරන විට ඔවුන්ගේ තර්කය වන්නේ මානවයා යනු තණ්හාවෙන් පිරුණු සත්වයකු බවත් එනිසාම ඔවුන් තමන්ට සියල්ල ගොඩ ගසා ගැනීමේ කෑදර කමින් පෙළෙන නිසා මෙයට වෙනත් විකල්පයක් නොමැති බවයි.

දැන් මා කැමතියි මෙම ලිපියේ ආරම්භයට යළිත් ඔබ රැගෙන යාමට. ඒ තමයි හෝමෝසාපියන් යන සත්වයා රැලක ජීවත්වෙන සාමූහික සතෙක් බව. ආරම්භයේ සිටම ඔවුන්ගේ මෙතෙක් පැවැත්ම තහවුරු වී ඇත්තේ කණ්ඩායමක් ලෙස එසේ නැතිනම් රැළක් ලෙස එකට ජීවත්වීම සහ එකට ජීවත්වීමට සකස් කර ගන්නා ක්‍රමවේදයන් තුළ බව.

නව ලිබරල්වාදීන් මේ බව ඔවුන්ගේ තර්කවලදී අමතක කරනවා.

තන්හාය ජායතී සෝකෝ!

සම්පූර්ණයෙන්ම තණ්හාවට යටවූ තනි තනි මානව සංහතියක් ඉදිරියට ගමන්  තරන්නේ නැහැ. ඔවුන්ගේ පැවැත්ම පවතින්නේ රැලක් ලෙස එකට ගමන් කිරීමෙන්. අප්‍රිකාවේ තැනි බිම් වල සිට ආසියාව දක්වා ගමන් කරන හෝමෝසේපියන්ස් සදාකල් පැවත ඇත්තේ රැළක් වශයෙන්. එනිසාම මිනිසා යනු සාමූහික සත්වයෙක්.

ඒ ඔහුගේ පැවැත්මට, ආරක්ෂාවට සහජයෙන් ඔහු සාමූහික සතෙකු බවට පත් කර ඇති හෙයින්. මේ සාමූහික බව ආගන්තුක කිරීම තුළ එකිනෙකා වෙන් කර එකකු පමණක් ජීවත් කර වීම යන්න මෙම නව ගතානුගතිකවාදීන්ගේ ඉදිරිපත් කිරීම වුවත් මානවයාට තනිව පැවැත්මක් නැහැ.

එක්ව ඉදිරියට යාම පිනිස 

ඒ අනුව තර්ක කරන විට, මා විශ්වාස කරන්නේ අද වන විට අපට අවශ්‍යව ඇත්තේ සියලුම දේශපාලන බලවේගයන් එකට එක් වී කතාබහ කර මේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ක්‍රමවේදයක් ගොඩනඟා ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ සන්ධානයක් නොව සම්මුතිවාදී එකතුවක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බවයි. ඒ සම්මුතියකින් තොර දේශපාලනයකට විසඳිය නොහැකි ලෙස අපේ රටේ ප්‍රශ්න උග්‍රව ඇති නිසායි. එම සම්මුතිය සියලුම දේශපාලන කණ්ඩායම් සහ පක්ෂ සහයෝගයෙන් රටෙහි ඇති බංකොලොත්භාවය ගැන කතා කර එම තත්ත්වයන් ඇතිවීමට මූලික හේතුවූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කිරීම්  ආපසු හැරවීමේ එකඟතාවයකට පැමිණ (එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට) ඇති වූ වැරදි හදා ගන්නා ආකාරයක සම්මුතියක් ඇති කර ගෙන සියලු දෙනාට එකඟ විය හැකි ආණ්ඩුවක් ගොඩනඟා ගැනීමයි.

වැරදි හදා ගැනීමට වරදකරුවන් යුක්තිය ඉදිරියට

වැරදි හදා ගැනීම යනු දූෂිතයින් සහ අපරාධකරුවන්ට සමාව දීම නොවෙයි. දූෂිතයින් සහ අපරාධකරුවන් නීතියේ රැහැනට ගෙන යන අතර යළි එවැනි තත්වයක් ඇති නොවීමට අවශ්‍ය සමාජ දේශපාලන පියවර ගැනීමයි.

එහිදී වැදගත් වන්නේ මේ සියලු දෙනාට එකඟ විය හැකි පුද්ගලයින් නායක නායිකාවන් ලෙස පත්කර ගැනීමත් එය පාර්ලිමේන්තුව තුළ සිදුවිය යුතු වූවත් එයට පාර්ලිමේන්තුවෙන් පිටත බුද්ධිමතුන් හෝ විද්වතුන් ඇතුළත් කර ගැනීමටත් පුලුවන්.

මෙවැනි තත්ත්වයක් ඇති කළ නොහැකි යැයි තර්ක තියෙනවා. දැනට වසර ගණනාවකට උඩදී ඉතාලියේ දේශපාලන අර්බුද ඉහළම අවස්ථාවට ආ මොහොතේ මාරිඔ් ඩාර්ගිගේ නායකත්වයෙන් එවැනි සම්මුතිවාදි ආණ්ඩුව පිහිටා ගත් බව අපට බැලිය හැකි එක උදාහරණයක්.

සම්මුති බද්ද ප්‍රවිශ්ඨයක්

රට බංකොලොත් වී ඇති මේ මොහොතේ අපට එයින් ගොඩ ඒමට උවමනා නම් කළ යුතු වන්නේ මෙය බව මගේ වැටහීමයි. නමුත් එය කළ හැකි වන්නේ රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන බලවේගයන් මෙම කාරණය පිළිබඳ වටහා ගෙන එක්තරා කාලසීමාවක් දක්වා එක්ව වැඩ කිරීමට සම්මුතියක් ඇති කර ගත්තොත් පමණ බව මගේ වැටහීමයි.

එහිදී දූෂණ විරෝධී සහ ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් යාන්ත්‍රණයන් සවිමත් කිරීම අත්‍යවශයි. එවැනි එකතුවක් හොරුන් සහ අපරාධකරුවන් රැකීමේ එකතුවක් වෙන්න වුව හොත් එයට දේශපාලන සුජාත බව නැති වෙනවා.

නමුත් මෙහිදී ඇසිය හැකි ප්‍රශ්නක් නම් වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඇති ආණ්ඩුවකට එසේ සම්මුතියක ආණ්ඩුවක තත්ත්වයට එන්නට බැරි ද යන්නයි. එය කළ නොහැකි දෙයක්. සම්මුතියක් තුල විස්වාසයේ පදනම මත ඇතිවන ආණ්ඩුවක් මිස කුමන්ත්‍රන කාරී ලෙස  ජනතා විස්වාසයෙන් තොර එකකුගේ තනි අධිපතිත්වය තුල පවතින ආන්ඩුවකට  එය කල නොහැකියි.

1958 – දෙමළ ජනයාගේ සාමකාමී සත්‍යග්‍රහයට නිල මැර හමුා පහර දීම

ප්‍රශ්නයේ මුල මහ ජාතිවාදය

මගේ වැටහීම අනුව අද අපේ රට මේ තත්වයට පත්ව ඇත්තේ නිදහසින් පසු රටේ පවතින ජනවාර්ගික ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් සොයා ගැනීමට අපේ දේශපාලනය අසමත් වීමයි. මෙතනින් එහාට ගමන් කිරීමට නම් ප්‍රශ්නයට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන විසඳුමක් පළමුවෙන්ම එම සම්මුතිවාදී ආණ්ඩුව තුළින් ඇතිවිය යුතුමයි.

ඒ වාගේම රටේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම සිදු වී ඇත. දේශපාලන විරුද්ධවාදීන් මරා දැමීම අතුරුදන් කිරීම අපේ සංස්කෘතියේ මූලික අංගයක් වී ඇති බවත් අප දන්නවා. එසේනම් මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගෙන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා මිනිස් අයිතීන් තහවුරු කිරීමේ දේශපාලන සංස්කෘතිය එම සම්මුතියේ කොටසක් විය යුතුමයි.

1983- ආන්ඩුව විසින් උසි ගැන් වූ ැර හමදා දෙමළ ජනයා‌ෙ පහර දීම

නීතියේ ආධිපත්‍ය නැත්නම් නීතිය මත පාලනයක් ඇති වීම අත්‍යාවශ්‍යය දෙයක්. නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන වීම ඒ සඳහා අත්‍යාවශ්‍ය කාරණයකි.

පවතින දේශපාලන සංස්කෘතියෙහි වෙනසක අවශ්‍යතාව ගැන අප මීට වසර එකහමාරකට පමණ ප්‍රථම සාකච්ඡා කිරීම ඇරඹුවෙමු. එහිදී අපි මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබුවේ ලංකා දේශපාලනයේ බල පෙරළියකට යනවාට එහා ගිය පුළුල් බහුජන ව්‍යාපාරයක් ගොඩනඟා ගැනීම ගැනයි. රටෙහි දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට ගමන් කර වීමට එය අත්‍යාවශ්‍ය දෙයක් බවයි.

බහු ජන ව්‍යාපාරයක් යනු කුමක්ද?

බහුජන ව්‍යාපාරයක් යනුවෙන් අප අදහස් කරනු ලැබුවේ තම අයිතීන් වටහා ගත් පුරවැසියන්ගෙන් හැදුණු සමාජයක් වෙතට නැඹුරුවක් ඇති කර ගැනීමේ සාකච්ඡා සංවාද තුළින් එක්ව වැඩ කිරීමේ ලිහිල් සංවිධාන රටාවක් ගොඩනගා ගැනීමයි. එහිදී අප පැහැදිලිවම කීවේ තමන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින අතර එම විවිධ ‍ප්‍රශ්නයන්හි  ප්‍රධාන සාධකය වන දේශපාලන සාධකය ඉදිරියේදී එය පොදු සාධකය ලෙස ගෙන ලිහිල් ජාලගත වීමක් ඇති කරගත යුතු බවයි.

එවැනි එකතුවක් තුළ අපට රටෙහි ඇති ‍ප්‍රධාන ප්‍රශ්න ගොනු කර ගත හැකි වේවි.  විවිධත්වය එක්ව වැඩ කිරීමට සහ ඒ තුළින් අනෙකාට ඇහුම් කන් දීමටත් අනෙකාගේ ප්‍රශ්නය වටහා ගැනීමට නැඹුරුවීමටත් ‍නම්‍යශීලී බවක් ඇති කර ගැනීම තුළ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක්  ඇති කර ගැනීමේ හුරුවකට යාමටත් හැකි වනවා ඇති. එවැනි එකතුවක වැදගත් කම එදා මෙන්ම අදත් පවතීය යන්න මගේ වැටහීමයි.

රංජිත් හේනායකආරච්චි.

10.02.2023

Archive

Latest news

Related news