Wednesday, April 24, 2024

රජ ගෙදර තිබූ ලක්ෂ 178 ගෝටාගේ නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙනු!.

කොටුව ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගෙන කොටුව පොලිසියට භාරදී තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ අටලක්‍ෂ පනස්දහසක මුදල තමාගේ මුදල් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ලබාදුන් ප්‍රකාශය මගින් අනාවරණය කර ඇතැයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ඒ  පසුගිය 08දා කොටුව මහෙස්ත්‍රාත් තිළින ගමගේ මහතා ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

රහස් පොලිසිය කියන්නේ ඒම මුදල් රටේ අසරණ ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ මුදල් බවට ‌ රාජපක්ෂ කී බවය.

ගෝඨාභයට ජනාධිපති වශයෙන් ලැබූ මාසික වැටුප මෙන් මෙම මුදල අඩුම වශයෙන් තිස් ගුණයක් තරම්ය. ඔහු මාස තිහක් ජනාධිපතිකම දැරුවේ නැත. 2019 නොවැම්බර් මාසයේ පත් වූ ඔහු 2022 ජූලි මාසයේ දී මහජනයා විසින් රටින් පිටුවාහල් කරන ලදී. අනතුරව ඔහු ඉල්ලා අස් විය.

මේ වනවිට අධිකරණය භාරයේ ඇති එම ලක්ෂ 178 හිටපු ජනාධිපතිවරයා වෙත භාරදීමට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත සේනාධීර ය.

හරිගුප්ත සේනාධීර, ගෝටාගේ කාලයේ ජනාධිපති නීති අංශයේ ප්‍රධානියා විය. ඔහුගේ බිරිද, රාජපක්ෂ කාලයේ දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ලෙස පත් කරන ලදී. තවමත් එම ධුරයේ සිටින ඇය, මීළඟ පාර්ලිමේන්තු ලේකම්වරිය වීමට නියමිතය.

ඒ කෙසේ වෙතත් නොකා නොබී හෝ ගෝඨාභය ජනාධිපතිධූරයේ සිටි මාස විස්සේම  සම්පූර්ණ වැටුපම එකතු කරද ලක්ෂ 178 ලැබෙන්නේ නැත.

ඔහුට මෙම මුදල් ලැබුන අන්දම ගැන කිසිවක් අධීකරණයට වාර්තා කර නැත.

කවරකු ගේ හෝ නිවසකින් මේ සා මුදලක් හමුවූ විට ඒ ගැන පරීක්ෂන කරන රහස් පොලිස් මහත්වරු අසන මුල්ම ප්‍රශ්ණය නම් මුදල් ‌කොහෙන්ද යනුය.  රහස් පොලිසිය එම ප්‍රශ්නය ගෝටාගෙන් අසා නැත.

එම නිසා  ලංකාවේ පුරවැසියකු වශයෙන් මෙම ප්‍රශ්න කිහිපය හිටපු ජනාධිපතිවරයාට ප්‍රසිද්ධීයේ යොමු කිරීමට මෙම ලේඛකයා කැමැතිය. ගෝටා නැතත් රාජපක්ෂ පවුලේ ඕනෑම අයකුට මෙම ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකිය.

  1. මෙම මුදල් සම්භාරය ගෝඨාභය රාජපක්ෂට ලැබුණේ කෙසේද?

  2. පවුලේ කවරකු හෝ විසින් මෙම මුදල් ලබා දුන්නේ නම් එම මුදල් මෙරටට ගෙන ආවේ කෙසේද?  නැත්නම් තැන්පත් කර තිබූ බැංකුව කුමක්ද?

  3. එසේත් නැත්නම් යෝෂිත රාජපක්ෂගේ ඩේසි ආච්චීගේ නිවස ඉදිරිපිට තිබූ මැනික් මල්ල මෙන් කවරකු හෝ මෙම මුදල ගෝටාගේ ජනාධිපති මන්දිරයේ තබා ගියේද?

  4. එම මුදල කවරකු හෝ විසින් පරිත්‍යාග කරන ලද්දේ නම් ඒ කවරකුද? මහා සීනි මංකොල්ලලකරු ඒ අතර සිටීද?

  5. ඒ කෙසේ හමුවුවත් මෙම මුදල තිබුණේ ගෝඨාභයගේ පුද්ගලික නිවසේ නොවන බැවින් මෙම මුදල් ජනාධිපති වශයෙන් ලද මුදලක් නේද?

  6. ජනාධිපතිවරයාට ලැබෙන සියලු මුදල් ගිනුම් ගත කළ යුතු බැවින්, මෙම මුල ලද දිනය සහ කාරනාව සටහන් කර තිබේද? 

  7. එම මුදල තෑග්ගක් නම් ඒ බව නිස පරිදි දැනුම් දී තිබේද?

  8. හරිගුප්ග සහ රහස් පොලිසිය කියන පරිදි මෙම මුදල අසරණයින් වෙක බෙදා දීමට තිබුණේ නම්, සකස් කරන ලද එවැනි අසරණ ලැයිස්තුවක් තිබේද? 

  9. මෙයට පෙර කිසි කළක ගෝඨාභය පුද්ගලිකව හෝ ජනාධිපති ලෙස හෝ අසරණයින්ට ලක්ෂ ගණනින් මුදල් ‌බෙදා දී තිබේද?

  10. මහජන  කෝපය හමුවේ බියෙන් පලා යන විට අමතකව ගිය මෙම මුදල් හැරුණ විට කොපමණ මුදලක් මාල දිවයිනට පිටුවාහල් වන විට රැගෙන ගියේද?

  11. මෙලෙස මුදලක් තමා ජනාධිපති කාර්යාලයේ තබා  තිබූ බව, අරගලකරුවන් විසින් සොයා ගෙන පොලිසියට බාර දීමට පෙර කවර හෝ තැනක සටහන් කර තිබුණේද?

  12. මුදල් විශුද්ධිකරන පනත යැයි පනතක් ඇති බැවින් මෙම මුදල් ලැබුන  අන්දම අල්ලස් කොමිසම විසින් සොයා බැලිය යුතු නැතැයි හිටපු ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරන්නේ ද?

ඇත්ත වශයෙන්ම නම් මෙම නඩුව විභාග කළ මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විවෘත අධිකරණය හමුවේ පවසා ඇත්තේ ද  හිටපු ජනපතිවරයාට එම මුදල ලැබුණු ආකාරය ඔහු හෙළි කර නොමැතිනම් ඒ පිළිබඳව සොයා බැලීමක් කළ යුතුව ඇති  බවය.

තවද මෙම මුදල් සම්බන්ධයෛන් මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් නීතිවිරෝධී ලෙස මැදිහක් වී ඇතැයි, අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ප්‍රකාශ කර තිබේ.

මෙම මුදල සම්බන්ධ පරීක්ෂනය රහස් පොලිසිටට බාර දෙන ලෙස තමාට නියෝග කළේ ඇමති ටිරන් අලස් යැයි පොලිස්පති වරයා ප්‍රකාශ කිරීම ඊට හේතු විය.

අධිකරණයක් හමුවේ ඇති නඩු විභාගයක් සම්බන්ධයෙන් නියෝග දීමට ඇමතිවරයකුට නොහැක. එවැන්නක් කිරීම නීති විරෝධීය. ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් මෙවැනි නීතිවිරෝධී මැදිහත් විමක් කරන ඇමතිවරයකු තනතුරෙන් පහ කරනු ඇත.

මෙම මුදල් පිළිබඳව එය  උපයාගත් ආකාරය හෝ ඔහුට එම මුදල් ලබාදුන් ආකාරය පිළිබඳව කිසිවක් ඔහු ලබාදුන් ප්‍රකාශය අනුව අනාවරණය කර නොමැති බවත් එකී මුදල් උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හෝ අල්ලස් පනත යටතේ විධිමත් විමර්ශනයක් සිදු නොකර ඔහුට එම මුදල් යළි ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ රියැන්සි අර්සකුලරත්න මහතා ඇතුළු නීතිඥවරු අධිකරණය හමුවේ දැඩි විරුද්ධත්වය දක්වා තිබේ

කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබාදී එම මුදල් ටිරාන් අලස් මහතාට භාරදෙන ලෙසට නියෝග කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කැඳවූ දුරකථන විශ්ලේෂණ වාර්තා ඊයේ මොබිටෙල් ආයතනය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එදින කොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවට එම විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය කර තිබුණි.

-සුනන්ද දේශප්‍රිය

(නඩු විභාගයය පිළිබඳ කරුණූ මාධ්‍ය වාර්තා කෙරෙනි.)

 

Archive

Latest news

Related news