Thursday, March 28, 2024

පොලිස් අධිකාරී නිහාල් තල්දූව: බොරු නොකියා ඇත්ත කියනු! තරිදු ජයවර්ධනගෙන් අභියෝගයක්

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව විසින් තමා විසින් පවරන ලද නඩුවක් සම්බන්ධයෙන් කරන ලද ව්‍යාජ සහ පක්ෂග්‍රාහී පුකාශ  නිවැරදි කරන සේ ඉල්ලා මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් යවන ලද ලිපියක් සම්පූර්ණයෙන් පහත පළවේ.

2022/11/26 /තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා,
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක,
පොලිස් මාධ්‍ය කොට්ඨාසය,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.

විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධවයි

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ මා විසින් ගොනු කරන ලද අංක 22470/22 දරණ පෞද්ගලික පැමිණිල්ල ඊයේ (25) නිශ්ප‍්‍රභ කළ අතර ඒ සම්බන්ධයෙන් ඔබ විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් කරන ලද අදහස් දැක්වීමේ දී අසත්‍ය සහ නොමග යවන කරුණු කිහිපයක් සඳහන් කරනු අයුරු මම නිරීක්ෂණය කළෙමි. එසේ හෙයින් ඊට අදාල සත්‍ය කරුණු පහත පරිදි ඉදිරිපත් කරන අතර පෙර දිනයේ ප‍්‍රමුඛත්වයම ලබා දෙමින් අද (26) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම නිවැරදි කිරීම් සහ/හෝ කරුණු පැහැදිලි කිරීම් සිදු කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි. මෙම නඩුවලට අදාලව ඉහළ උසාවියට ප්‍රතිෂෝධනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

කියූ බොරුව!

ඔක්තෝබර 10 වැනිදා කොටුව ගාලුමුවදොර ප‍්‍රදේශයේ යම්කිසි පිරිසක් විරෝධතා පෙළපාලියක් පැවැත්වීමට සූදානම් වන බවට වට්ස්ඇප් පණිවිඩ මගින් දැනුම්දී ඇති බව සහ ඊට බාධා කළහොත් ඔවුන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවට එම පණිවුඩවල තිබුණු බවත් ඔබ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය. ඔක්තෝබර 10 වැනිදා සාමකාමී විරෝධයක් පැවැත්වෙන බව සහ ගාලු මුවදොරින් සාමකාමී පාගමනක් ආරම්භ වන බවට මවිසින් කොටුව පොලිස් ස්ථානාධිපති මහින්ද සාගර විලේගොඩ ලියනගේ මහතාට ලිඛිත දැන්වීමක් වට්ස්ඇප් හරහා සහ කොටුව පොලිස් ස්ථානයේ නිල ඊමේල් ලිපිනයට යොමු කළ අතර එම අවස්ථාවේම එම ඊමේල් පණිවිඩය පොලිස්පතිට සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පිටපත් කළෙමි.

කැමැති කොටස් පමණක් කියවීම

පෙළපාළියට බාධා කළහොත් නීත්‍යනුකූලව කටයුතු කරන බවට මා සඳහන් කර සිටියේ දීර්ඝ ලිපියක් අතරතුරදීය. එම ලිපියේ එක් කොටසක් පමණක් ඔබ විසින් සඳහන් කළද එම ලිපියේ සෙසු කොටස් ඔබ විසින් ප‍්‍රකාශ කළේ නැත. කොටුව පොලිස් ස්ථානාධිපතිට මම යොමු කළ ලිපියේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු කිහිපයක් සඳහන් කරමින් ඒවාද පරිශීලනය කරන ලෙස ඉල්ලා සිටියෙමි. එම නඩුතීන්දුවල දී පොලිසිය පෙළපාළි නතර කිරීම වැරදි බව තීන්දු කර තිබේ. පොලිසිය පසුගිය කාලයේ නීති කඩමින් සහ අයිතිවාසිකම් කඩමින් හැසිරීම ගැන එම ලිපියේ මම සඳහන් කළෙමි. පුරවැරසි අයිතිවාසිකම් මර්දනය කිරීමට එරෙහිව ඉදිරියේදී මූලික අයිතිවාසිකම් නඩු, පෞද්ගලික නඩු ගොනු කරන බව සඳහන් කළ මම, මානව හිමිකම් සුරකිමින් මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින් රාජකරි කරන ලෙස පොලිස්යෙන් ඉල්ලා සිටියෙමි. මා එලෙස ඉල්ලා සිටියේ එය පොලිසියේ ව්‍යවස්ථාපිත වගකීමක් ද වන බැවිනි.

අධිකරණ නියෝගය සඟවා කතා කිරීම

10 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතාවයට එරෙහිව නියෝගයක් ගැනීමට පොලිසිය එදින කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ගියද අධිකරණය එවැනි නියෝගයක් ලබා දීම ප‍්‍රතික්ෂේප කළේය. අධිකරණය පොලිසියේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ බව ඔබ විසින් සඟවමින් මාධ්‍ය සාකච්ඡාවේදී කරුණු දක්වා තිබේ.

ගාලු මුවදොර ශ‍ැංග්‍රිලා හෝටලය ආසන්නයේ සිට පැමිණි පෙළපාළියක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලදී පාලනය කිරීමට පොලිසිය කටයුතු කළ බවත්, මෙම තොරතුර කලින් ලැබී තිබූ නිසා ගාලු පාරේ මාර්ග බාධක යොදවා කොටුව දෙසට ඇතුළුවීමට නොහැකි වන ලෙසට මාර්ග බාධක යොදා පාලනය කර තිබූ බවත් ඔබ සඳහන් කළේය. පෙළපාළියෙන් පැමිණි පිරිස මාර්ග බාධකය අසලට පැමිණියද පොලිසිය මාර්ග බාධකයෙන් එහාට යෑමට නුදුන් බවත්, ඒ අවස්ථාවේ පොලිස් නිලධාරීන් සමඟ විවිධ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කළ බවත්, පොලිස් නිලධාරීන් සමඟ විවිධ වචන හුවමාරු කර ගැනීම් සිදුවූ බවත් ඔබ මාධ්‍ය සාකච්ඡාවේදී ප‍්‍රකාශ කළේය. මෙය සම්පූර්ණයෙන් සත්‍ය තත්ත්වය විකෘති කරන ප‍්‍රකාශයකි.

ඔක්තෝබර මස 10 වැනිදා නීතිඥවරුන් සහ වෘත්තිකයන් ඇතුළු පිරිසක් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට සිටි සාමකාමීව නිහඬ විරෝධයක් කළ අතර එම විරෝධය අවසන් වී පාගමනින් නීතිඥවරුන්ගේ කාර්යාල දෙසට යෑම ආරම්භ කරද්දීම පොලිසිය පදික වේදිකාව සහ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා මාර්ග බාධක යෙදීය. පොලිසිය කලින් තොරතුරු දැන ගෙන පාර වසා දැමීමක් සිදු නොකළ අතර පොලිසිය පාර වසා දැමුවේ පාගමන ආරම්භ කරද්දීමය. ඒ වන විට සාමකාමී විරෝධයට එක්වූ සුළු පිරිස මෙන් දෙතුන් ගුණයක් පොලිසිය එම ස්ථානයේ සිටි අතර සාමයට බාධාවක් වුවහොත් පාලනය කිරීමට හැකියාව තිබිණි. එසේ තිබියදී මා ඇතුළු පිරිස පාගමනින් පදික වේදිකාව දිගේ සාමකාමීව යද්දී පොලිසිය සම්පූර්ණයෙන්ම පාර වසා දැමීම සිදු කළේය. පාගමනින් ගිය පිරිස ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කළ බවට ඔබ කළ ප‍්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය වන අතර පොලිසිය සමඟ ගැටුම් ඇතිකර ගැනීමට උත්සාහ කළේ නැත. පොලිසිය මාර්ගය අවහිර කර සැලකිය යුතු වේලාවකට පසු සහකාර පොලිස් අධිකාරී දිල්රුක් නැමැත්තා විසින් නිවේදනයක් කරමින් පැය හයකට පෙර දැනුම්දීමක් කර නැති බවට ද සඳහන් කර, පිරිසට විසිර යන ලෙස දැනුම් දුන්නේය. ඔහුට විසිර යන ලෙස දැනුම්දීමට නම් නීති විරෝධී රැස්වීමක් තිබිය යුතු අතර එවැනි නීති විරෝධී රැස්වීමක් හෝ සාමයට බාධා වන කිසිවක් සිදු වූයේ නැත. ඔහු එම නිවේදනය කරනු ලැබුවේ ද සම්පූර්ණයෙන් මාර්ගය වසා දමා අයුතු අවහිරයක් කර සැලකිය යුතු වේලාවකට පසුවය. එසේම පැය හයකට පෙර දැනුම්දී නැතැයි ඔහු ප‍්‍රකාශ කළේ පැය හයකට පෙර දැනුම්දී තිබියදීය. දැනුම්දීමක් කර ඇති බව මේ වන විටත් ඔබ විසින්ම ඔබේ මාධ්‍ය සාකච්ඡාවේදී පිළිගෙන තිබේ.

පොලිස් සේවයත් අපකීර්තියට

පොලිසිය එලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් අයුතු අවහිරයක් සිදු කිරීම ගැන මම එම අවස්ථාවේදී ඉතාම සාමකාමීව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් නැමැත්තාගෙන් කරුණු විමසීමි. මෙම පාගමන ගැන දැනුම්දීමක් ලැබුණු බවට ඔබ මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළ ද එම අවස්ථාවේදී රොෂාන් ඩයස් නැමැත්තා එවැනි දැනුම්දීමක් නැති බව කියමින් එය ප‍්‍රතික්ෂේප කළේය. ඔහු සහ සහකාර පොලිස් අධිකාරී දිල්රුක් නැමැත්තා අසත්භාවයෙන් හැසිරෙන ආකාරය ජනමාධ්‍ය පවා වාර්තා කර තිබිණි. පොලිස් සේවය අපකීර්තියට පත්වන ආකාරයට වචන භාවිත කරමින් දිල්රුක් නැමැත්තා මට අවඥා කරමින් හැසිරිණි. ඔවුන් සත්භාවයෙන් කටයුතු කළා නම් කළ යුතුව තිබුණේ පූර්ව දැනුම්දීමක් කර සාමකාමීව ගිය පාගමනට යෑමට ඉඩදීමය.

අවඥා සහගත කතා 

එසේ නොකර පාර වැසීමෙන් එහා ගොස් ඒ ගැන විමසූ මට අවඥා සහගත ලෙස කතා කරමින් කළ හැසිරීමෙන්ම ඔවුන් කටයුතු කළේ සත්භාවයෙන් නොව අසත්භාවයෙන් බව පැහැදිලිවේ. පොලිසිය මේ සියල්ල වීඩියෝ ගත කර තිබියදී සහ මේ ගැන ජනමාධ්‍ය වාර්තා කර තිබියදීත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මෙන්ම නීතිඥවරයකු ලෙස ද එම කරුණු සඟවමින් සාමකාමීව පැමිණි පිරිස පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ කළ බවට ප‍්‍රකාශ කිරීම බරපතල නොමග යැවීමකි.

මගේ පැමිණිල්ලත් හංගලා

මෙම සිදුවීමෙන් පසු මා විසින් පෞද්ගලික නඩුවක් ගොනු කළ බවට ඔබ සඳහන් කළ ද එම නඩුව පැවරීමට පෙර මා විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කළ බව ඔබ විසින් වසං කරමින් කරුණු දක්වා තිබේ. මෙම සිදුවීම වූයේ ඔක්තෝබර 10 වැනිදා වන අතර අයුතු අවහිරය සම්බන්ධයෙන් ඔක්තෝබර 11 වැනිදා උදෑසන මෙම නිලධාරීන්ට එරෙහිව පැමිණිලි කිරීමට කොටුව පොලිස් ස්ථානයට ගියද ස්ථානාධිපතිවරයා පැමිණිල්ල බාර නොගෙන මට සහ මා සමඟ ගිය නීතිඥවරයාට අඩත්තේට්ටම් කරමින් කෘර, අමානුෂික සහ අවමන් සහගත ලෙස සැලකීය. මේ ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද කර තිබේ. ඉන් පසුව පොලිස් මූලස්ථානයට ගොස් එදිනම දිල්රුක් නැමැත්තාට සහ රොෂාන් ඩයස් නැමැත්තාට එරෙහිව පැමිණිලි කළ අතර එසේ තිබියදී ඔබ ඒ ගැන කිසිම සඳහනක් නොකර අදාල මුල් සිදුවීමෙන් පසු මවිසින් පෞද්ගලික නඩුවක් ගොනු කර ඇති බව පමණක් ප‍්‍රකාශ කර තිබේ.

විමර්ශන නැති පැමිණිලි

මා පෞද්ගලික නඩුව ගොනු කරන අවස්ථාව වන විටත් මාගේ පැමිණිල්ලට අදාලව කිසිම විමර්ශනයක් ආරම්භ කර නැති බවට මා අධිකරණයට දැනුම්දී තිබියදීත් ඔබ ඒ ගැන සඟවමින් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබේ.

නීතිපතිවරයා අධිකරණයට සහාය දක්වන්නකු වශයෙන් මැදිහත්වූ බව ඔබ සඳහන් කළ ද පළමු දින එනම් ඔක්තෝබර පළමු වැනිදා මෙම නඩුවේ පාර්ශ්වයක් නොවන පොලිස් නීති කොට්ඨාසයද සමඟ නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥවරයකු අධිකරණයට පැමිණ මට හෝ මාගේ නීතිඥවරුන්ට කිසිම දැනුම්දීමක් නොකර ඒකපාර්ශ්විකව මෝසමක් මගින් නඩුව කැඳවමින් කරුණු දැක්වීමක් කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ඊට පසු දිනම මාගේ නීතිඥවරයා විරෝධය දැක්වීය. නීතිපතිවරයාට අධිකරණයට සහාය දක්වන්නකු ලෙස කරුණු දැක්වීමට අවස්ථාව ලැබුණේ ඊට පසුව ඔක්තෝබර අට වැනිදාය.ඊට අදාලවද අපගේ විරෝධය සටහන් කර තිබේ. ඔබේ මාධ්‍ය සාකච්ඡාවේදී ඔක්තෝබර පළමු වැනිදා සහ දෙවැනිදා සිදුවීම් ගැන සඳහනක් නොකිරීම ගැන කණගාටු වෙමි.

අයුතු ජනරාශියක් විසිරුවීමට පොලිසියට බලය තිබුණද සාමකාමී පාගමනක් විසිරුවීමට පොලිසියට අයිතියක් නැත.

‘‘විශේෂයෙන්ම ඉදිරිපත් කර තිබූ පැමිණිල්ල තුල එම අවස්ථාවේ ගාලු මුවදොර පෙළපාළියක් පැවැති බව හෝ අනාවරණය වීමක් සිදු නොවුණ බවට තමයි ඒ අවස්ථාවේදී ගරු අධිකරණය තුල ප‍්‍රකාශ වී තිබුණේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ගරු අධිකරණයේ විශේෂ අවධානය යොමු වෙලා තිබුණා.’’ යනුවෙන් ඔබ විසින් මාධ්‍ය සාකච්ඡාවේදී කළ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමග යවන ප‍්‍රකාශයකි. මා විසින් පැමිණිල්ල සමඟ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ දිවුරුම් ප‍්‍රකාශයේ අංක 08, අංක 11, අංක 12, අංක 13, අංක 14 සහ අංක 15 යටතේ ඒ සම්බන්ධයෙන් කරුණු සඳහන් කර තිබියදී සහ මාගේ නීතිඥවරයා කරුණු සඳහන් කර තිබියදී ඔබ චේතනාන්විතව මහජනතාව නොමග යැවීමේ අරමුණින් කරන ලද ඉහත ප‍්‍රකාශය නිසා මෙම නඩුවේ පැමිණිලිකරු වන මා හට බලවත් අගතියක් සිදුවී තිබේ. පාගමනට අදාල වීඩියෝ දර්ශනද අධිකරණයට ඉදිරිපත් කර තිබියදී ඔබ මෙලෙස සාවද්‍ය ප‍්‍රකාශයක් කිරීම බරපතල තත්ත්වයකි.

අයුතු ජනරාශියක් විසිරුවීමට පොලිසියට බලය තිබුණද සාමකාමී පාගමනක් විසිරුවීමට පොලිසියට හැකියාවක් නැත.

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පමණක් ඔබ විසින් කරුණු දැක්වුවද එම නියෝගයේ චූදිතයන් වෙනුවෙන් මතු කළ විරෝධතා දෙකම සහ නීතිපති වෙනුවෙන් මතුකළ එක් විරෝධතාවක් අධිකරණය ප‍්‍රතික්ෂේප කිරීම ගැන කිසිම සඳහනක් ඔබ කළේ නැත.

ඔබ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස මෙම නඩුව ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම ගැන කිසිම විරෝධතාවක් මට නැත. පුරවැසියන්ට සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා එවැනි මාධ්‍ය සාකච්ඡා අත්‍යවශ්‍ය බව මම පිළිගනිමි. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ඔබට එවැනි මාධ්‍ය සාච්ඡාවලදී පක්ෂග‍්‍රාහී ප‍්‍රකාශ කිරීමට හෝ අසත්‍ය හෝ නොමග යවන ප‍්‍රකාශ කිරීමට කිසිම හැකියාවක් නැත. ඔබ විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන අතර ඔබ කරන මාධ්‍ය සාකච්චචාවලට යන වියදම් පවා දරන්නේ රටේ පුරවැසියන් විසින් බව අමතක නොකළ යුතුය.

මෙය පුද්ගලයන් දෙදෙනකුට ඔවුන්ගේ නම්වලින් දැමූ පුද්ගලික නඩුවක් මිස පොලිස් දෙපාර්තමේන්තුවට දැමූ නඩුවක් නොවේ. මේ නිලධාරීන් දෙදෙනා අතින් වරදක් සිදුවී ඇත්නම් ඒ ගැන සොයා බලා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට පොලිසියට සදාචාරාත්මක මෙන්ම නෛතික වගකීමක්ද තිබේ. මේ දෙදෙනාට එරෙහිව මවිසින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබියදී, ඔබ පැමිණිලිකරු වන මාගේ කරුණු සියල්ල පැත්තකින් තබා චූදිතයන්ට වාසි සහගත වන කරුණු පමණක් ප‍්‍රකාශ කිරීමත්, මට අගතියක් වන ව්‍යාජ සහ නොමග යවන කරුණු ප‍්‍රකාශ කිරීමත් මගින් පෙන්නුම් කරන්නේ පුරවැසිය පැමිණිලි සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පොලිසිය කටයුතු කරන පක්ෂග‍්‍රාහී පිළිවෙතයි.

මෙය බරපතල වැරදි පූර්වාදර්ශයක් බැවින් යළි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා සත්‍ය කරුණු අපක්ෂපාතීව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි.

ස්තුතියි.

තරිඳු ජයවර්ධන

පිටපත්

1) චන්දන වික්‍රමරත්න මහතා, පොලිස්පති.

2) ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා, පැමිණිල්ලේ නීතිඥ

3) ලේකම්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය.

4) ලේකම්, ජාතික පොලිස් කොමිෂන් සභාව

5) ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව.

6) සංජය රාජරත්නම් මහතා, නීතිපති.

Archive

Latest news

Related news