Friday, April 19, 2024

සරසවි සිසුන් 50කට ඒඩ්ස් ඇති පුවත බොරුවක්!

ආණ්ඩුවේ පච පත්තය ගෙතූ තවත් බොරුවක්!

ශ්‍රී ලංකික සමාජය තවමත් HIV/AIDS ද ඇතුළු ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග දෙස බලන්නේ වපරැසිනි.

මෙම රෝග සම්බන්ධයෙන් දැනුවත්කිරීමේ ව්‍යාපෘති කොතෙකුත් සිදුකෙරුණ ද, ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජය විසින් පැනවී ඇති තහංචි නිසාවෙන් හා බහුතරයක් දෙනාට නියමාකාර ලිංගික අධ්‍යාපනයක් නොලැබීම නිසාවෙන් ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳ නොදැනුවත්කම හා එවන් රෝගීන් හෙළාදැකීම සමාජය තුළ සුලබ ය.

පසුගිය දා “සරසවි සිසුන් 50කට ඒඩ්ස්” යන සිරස්තලය යටතේ පුවතක් බොහෝ ජනමාධ්‍යවල පළවූ අතර එයට ලැබී තිබූ ප්‍රතිචාර මඟින් ද මෙවන් රෝග සම්බන්ධයෙන් හා රෝගීන් සම්බන්ධයෙන් වන ජනමතය පිළිබිඹු කෙරිණි.

කෙසේ නමුත්, අදාළ ලිපිය සඳහා අදහස් දක්වා තිබූ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චිගෙන් අප මේ පිළිබඳව විමසූවිට ඇය ප්‍රකාශ කළේ සිරස්තලයේ සඳහන් පුවත අසත්‍යයක් බවයි.

සරසවි සිසුන් 50කට ඒඩ්ස් ද?

ශ්‍රී ලංකාවේ HIV ආසාදිතයින් පිළිබඳ නවතම දත්තයන් ලෙස පසුගිය දා ඇතැම් ජනමාධ්‍ය විසින් පළවී තිබූ තොරතුරු සම්බන්ධයෙන් කරුණු පැහැදිලිකර ගැනීම සඳහා අපි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි හා සම්බන්ධවීමු.

HIV ආසාදිත සරසවි සිසුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් මාධ්‍යයන්හි සඳහන්කර තිබූ කරුණු වැරදිවග ඇය මෙසේ විස්තර කළා ය: “යුනිවර්සිටි ළමයි 14ක් ඉන්නේ. 50ක් විතර ඉන්නේ තරුණ පරම්පරාව – ඒ කියන්නේ 18යි 30යි අතරේ. ඒ ඔක්කොම කැම්පස් ළමයි නෙවෙයි.”

කෙසේ නමුත් තරුණ වයස්වල පසුවන්නන් අතර HIV ආසාදනයවීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණවී ඇතැ යි ඇය පවසයි. HIV වෛරසයට අමතරව, ගොනෝරියා හා සිෆිලිස් වැනි රෝග ආසාදනයවීම් වාර්තාවීම ද ඉහළගොස් තිබේයැ යි අධ්‍යක්ෂවරිය ප්‍රකාශ කළා ය.

මේ පිළිබඳ දත්තයන් ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ වසංගතවේද අංශයෙන් විමසනලදුව, 2021 වසරේ පළමු හා දෙවන කාර්තුවලට සාපේක්ෂව 2022 වසරේ පළමු හා දෙවැනි කාර්තුවල දී වාර්තාවී ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 85%කින් පමණ ඉහළගොස් ඇතැ යි අප වෙත තහවුරු කරනු ලැබුණි.

2021 වසරේ ජුලි සිට දෙසැම්බර් දක්වා වන කාර්තු ද්විත්වයේ දී වාර්තාවූ නව ආසාදිතයින් ගණන 263ක් වන නමුත් මෙවසරේ තෙවැනි කාර්තුවේ දී පමණක් ආසාදිතයින් දළ වශයෙන් 156ක් පමණ වාර්තාවී ඇතිවග අදාළ අංශය ප්‍රකාශ කළේ ය.

නමුත්, මෙසේ ආසාදිතයින් සංඛ්‍යාව වැඩිවී ඇත්තේ ආසාදනය වන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම නිසා ද, නැතහොත් HIV ආසාදනයන් සඳහා පරීක්ෂා කෙරෙනා පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම නිසාදැ යි විමසූකල වසංගතවේද අංශය ප්‍රකාශකර සිටියේ එය නිශ්චිතව පැවසීමට අපහසුබව යි.

එසේ නිශ්චිතව ප්‍රකාශ කිරීමට නම් පසුගිය වසරේ දී HIV සඳහා පරීක්ෂා කෙරුණු පුද්ගලයින් සංඛ්‍යාව සහ මෙවසරේ දී එසේ පරීක්ෂා කෙරුණු පුද්ගලයින් සංඛ්‍යාව ද සසඳා බැලිය යුතුබවත්, නමුත් මෙවසරේ දත්තයන් තවමත් තමා වෙත ලැබී නැතිබවත්, එය ලැබෙන්නේ වසරාවසානයේ දීබවත් ඔවුන් පැවසීය.

AIDS සහ HIV: වෙනස කුමක් ද?

මෙහිදී සැලකිය යුතු කරුණක්වන්නේ HIV ආසාදිතයින් යනු AIDS රෝගීන් නොවනබව යි. බොහෝ ජනමාධ්‍ය විසින් HIV ආසාදිතයින් සංඛ්‍යාව ‘AIDS රෝගීන්’ යනුවෙන් වැරදි ලෙස වාර්තා කරනු අපට නිරීක්ෂණය විය.

HIV සහ AIDS යන යෙදුම් එකම වෛරස් ආසාදනය හා සබැඳිව යෙදුන ද, මෙමඟින් අදහස් වන්නේ වෙනස් තත්ත්වයන් ද්විත්වයකි.

HIV යනු අප ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට පහරදී එය දුර්වල කරන මානව ප්‍රතිශක්ති ඌණතා වෛරසය යි. අපගේ ශරීරයට ඇතිවන ආසාදනයන්ට එරෙහිව සටන්කිරීමට උපකාරීවන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය යි.

HIV ආසාදිත පුද්ගලයෙකු නිසි ප්‍රතිකාර ලබානොගත් විටෙක දී එම වෛරසය ක්‍රමයෙන් ඔහුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට පහරදෙන අතර එහි සෛලවලට හානි සිදුකරයි. මෙම තත්ත්වයට එරෙහිව ප්‍රතිකාර නොගතහොත් ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඩපණවී AIDS තත්ත්වයට මඟපෑදෙයි.

AIDS යනු ‘නතුකරගත් ප්‍රතිශක්ති ඌණතා සහලක්ෂණය’ යි. HIV ආසාදනයවීමක දී නිසි ප්‍රතිකාර ලබානොගතහොත්, ආසාදනයේ සිට AIDS අවධිය දක්වා පැමිණීමට වසර 8-10ක පමණ කාලයක් ගතවිය හැකි ය.

‘ගැටලුව තිබෙන්නේ තරාතිරමේ නොවේ, චර්යාවේ යි’

HIV ආසාදිතයින් ලෙස හඳුනාගන්නා පිරිසෙහි විශේෂත්වයක් තිබේදැ යි විමසූකළ , ගැටලුව තිබෙන්නේ ‘තරාතිරමෙහි නොව චර්යාවෙහිබව’ වසංගතවේද අංශය වෙනුවෙන් අප වෙත අදහස් දැක්වූ වෛද්‍ය නිලධාරියා පැවසුවේ ය.

“සමාජයේ ඕනෙම කැටගරි එකක කට්ටිය ඉන්නවා HIV ආසාදිතයින්. ඒ කියන්නේ හැම තරාතිරමකම ඉන්න අය – රැකියාවලින් ගත්තොත්, උගත්කමින් ගත්තොත් ඉහළ උගත්කමක් තියෙන අය, උගත්කම අඩු අය, නූගත් අය – ඒ හැම කැටගරි එකකම කට්ටිය ඉන්නවා. ඒ නිසා මේක එක් කොටසකට සීමාවෙලා ද නැද්ද කියන එක නෙවෙයි මෙතන කාරණේ වෙන්නේ. ඔතන ඔය ඉන්න හැම කෙනෙකුගේම චර්යාවේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ.”

HIV ආසාදිත බහුතරයක් දෙනා අවදානම් ලිංගික චර්යාවන් ඇත්තන් ය. ඒ යටතට මෙවැනි පුදගලයින් අයත්බව වසංගතවේද අංශය ප්‍රකාශ කරයි:

  • කීපදෙනෙකු සමග ලිංගික සබඳතා පවත්වන තැනැත්තන්
  • ලිංගිකව හැසිරීමේ දී කොන්ඩම භාවිතා නොකරන්නන්
  • මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් අනතුරුව ලිංගික ක්‍රියාවන්හි (කෙම්සෙක්ස්) යෙදෙන්නන්
  • කණ්ඩායම් වශයෙන් ලිංගිකව හැසිරෙන්නන්

“ලංකාවේ කාන්තාවෝ ගත්තොත් හැදිලා ඉන්න අයගෙන් 90%කට විතරම ඒගොල්ලන්ගේ විවාහක ස්වාමිපුරුෂයින්ගෙන් තමයි හැදිලා තියෙන්නේ,” එම අංශය වැඩිදුරටත් සඳහන්කර සිටියි.

අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුනා ද? HIVවලට නිරාවරණයවී ඇතිදැ යි සැක ද?

ඔබ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුනේ නම්, HIVවලට නිරාවරණයවී ඇතිදැ යි සැක මතුව තිබේ නම්, වෛරසය ආසාදනයවීමෙන් වළකාගැනීම සඳහා ලබාදෙන පශ්චාත් නිරාවරණ රෝග නිවාරණ ඖෂධ ඔබට ද ලබාගත හැකි ය. ලිංගික අඩත්තේට්ටමකට මුහුණපා ඇති අවස්ථාවක දී ද වින්දිතයාට නිවාරණ ඖෂධ ලබාගැනීමේ ඉඩකඩ තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායනයන් එකක් හෝ සෑම දිස්ත්‍රික්කයකම පැවැත්වෙනබව එම වැඩසටහන දැනුම්දී සිටියි. මෙම සායනයන් හරහා නොමිලේ HIV පරීක්ෂාවක් ද, අවශ්‍යතන්හි දී ප්‍රතිකාර ද ලබාගත හැකි ය.

“අපි [යමෙකුට HIV ආසාදනයවීමේ] අවදානම ගණනය කරලා, යම්කිසි සැලකිය යුතු අවදානමක් තියෙනවා නම්, ඒ වගේ අයට post-exposure prophylaxis බෙහෙත් (පශ්චාත් නිරාවරණ රෝග නිවාරණ ඖෂධ) ලබාගන්න පුළුවන් ලංකාව පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලින්,” ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගීතානි සමරවීර ප්‍රකාශ කළා ය.

STI clinic timing SL

ඡායාරූප මූලාශ්‍රය,AIDSCONTROL.GOV.LK/

ඡායාරූප ශීර්ෂ වැකිය,ආසාදනය, රෝගය, ප්‍රතිකාර සහ සායනයන් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා aidscontrol.gov.lk වෙත පිවිසෙන්න

“යන්තම් හරි සැකයක් තියෙනවා නම් මේ වගේ අනාරක්ෂිත ලිංගික හැසිරීමක යෙදුනා කියලා, හොඳම වැඩේ තමයි HIV ටෙස්ට් එකක් කරගන්න එක. මොකද HIV ටෙස්ට් එකක් කරගත්තට පස්සේ තමයි අපිට [වෛරසය ආසාදනයවී] තියෙනවා නම් ප්‍රතිකාරවලට යන්න පුළුවන්. නැතිනම් තවදුරටත් [HIV] නෙගටිව් විදියට ඉන්නේ කොහොමද කියලා, ඒක දිගටම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා කියලාදෙන්න පුළුවන්.”

“අපේ රජයේ ක්ලිනික්වල දී [HIV පරීක්ෂාව] නොමිලයේ සිදුකරනවා. ඊට අමතරව අපේ ප්‍රධාන රෝහල්වල HIV ටෙස්ටින් තියෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එකේ ගොඩාක් රෝහල්වල HIV ටෙස්ටින් තියෙනවා. ඊට අමතරව අපි අලුතින් හඳුන්වාදීලා තියෙනවා HIV සෙල්ෆ්-ටෙස්ටින් කියලා. සායනයකට යන්න කැමති නැත්නම්, අපේ තියෙනවා Know 4 Sure කියලා වෙබ්සයිට් එකක්. ඒකෙන් පුළුවන් සෙල්ෆ්-ටෙස්ට් කිට්ස් ඕඩර් කරන්න. ඕඩර් කළාම අපි යවනවා ටෙස්ට් කිට් එකක්, ඒ ටෙස්ට් කිට් එකේ ලීෆ්ලට් එකක මේක කරන්නේ කොහොමද කියලා සඳහන්වෙලා තියෙනවා,” විශේෂඥ වෛද්‍යවරිය දැනුම්දී සිටියි.

ස්වයං-පරීක්ෂණ කට්ටලයක් ලබාගැනීමට හෝ, ඔබට HIV ආසාදනයවීමට ඇති අවදානම් මට්ටම තක්සේරු කිරීමට හෝ, HIV පරීක්ෂාව, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණ සහ වෙනත් සායනික සේවාවන් සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීමට Know 4 Sure වෙබ්අඩවියට මෙතැනින් පිවිසෙන්න.

කොළඹ, ද සේරම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩිස් මර්දන වැඩසටහන සමග +94 112 667 163 දුරකතන අංකය ඔස්සේ හෝ [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ සම්බන්ධවන්න.

  • අමන්දා අබේසූරිය /බීබීසී සිංහල

Archive

Latest news

Related news