Thursday, November 21, 2024

QR කුසපත් වලින් කුසගිණි නිවීම- ජයශ්‍රී ප්‍රියලාල්

ලිප ගින්න දැල්වීමට ගෑස් සහ භූමි තෙල් නොමැතිවීමෙන් වීදි බැස ජනතාව අප්‍රියෙල් මස සිට දැක්වූ විරෝධතාවන් කෙලවර වුයේ, තුනෙන් දෙකක පාලන බලයක් සහ අසීමිත බලතල වලින් විරාජමාණ වූ විධායක ජනාධිපතිවරයෙකු මාස තුනකින් පැඳුරටත් නොකියා පලා යාමෙනි. හැට නම ලක්ෂයක් වැරදි අස්පයෙකුට ඔට්ටු ඇල්ලූ බව දැන් තහවුරු වුවද, පලාගිය රාජ්‍ය පාලකයාගේ අදූර දර්ශී සහ විසංවිධිත පාලන තන්ත්‍රය සාමාන්‍ය ජන ජීවිතයට අත්කර දුන් දුක් ගැහැට ශ්‍රී ලාංකේය පරම්පරාවක්ම අන්ත අසරණ දුගී බාවයට පත්කර අවසානය. එහෙත් වැටි වැටි නැඟිටීමටත් විපත පවා සැපතකට හරවා ගැනීමේ ආත්ම ශක්තියක් ඇති ශ්‍රී ලාංකේය ජාතිය මෙකී පසුබෑම් මත අධෛර්ය විය යුතු නැත, මන්ද මෙම තත්වය ඇතිකරවීමට දායකවූ ක්‍රමවේදය සහ එය මෙහෙයවූ කාරක බලවේග ඔවුන් දැන් පැහැදිලිව හඳුනාගෙන හමාරය. ඔවුන් පද්ධතිමය වෙනසකට රොඳ බැදගනිමින් හඬ නඟන්නේ මේ සඳහාය.

නාස්තිකාරී පරිපාලන යන්ත්‍රය නැවතත් පණගැන්වීම

එහෙත් අවාසනාවකට හුදෙක් දේශපාලන බල කේන්ද්‍රය රැකගැනීමට මහජන මතය කුමක්ද යැයි හඳුනාගැනීමට අපොහොසත් අඳබාල ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් මේ වනවිටද කටයුතු කරනුයේ මෙම අර්බුදයට පාදක වූ අකාර්යක්ෂම සහ නාස්තිකාරී පරිපාලන යන්ත්‍රය නැවතත් පණගැන්වීමය. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට දැනට අටවාගෙන ඇති රාජ්‍ය තන්ත්‍රය තුළ කිසිම අපූර්ව නිර්මාණශීලී වැඩපිලිවෙලක් සහිත නායකත්වයක් නොමැත. එබැවින් පද්ධතිමය වෙනසක් සඳහා අපේක්ෂිත ජනවිරෝධය සාමකාමීව සහ අර්ථවත්ව අඛණ්ඩව කරගෙන යායුතු බව මේ ලියුම්කරුගේ මතයයි.

සෑම පැය හතරකට වරක්ම විප්ලවයන් ඇරඹෙනුයේ මිනිසා ඇතුළු අනෙක් සියළුම සතුන්ගේ කුසතුලින්ය. ජීවිතය පවත්වාගෙනයාමට අවශ්‍ය ශක්තිය ලබාගැනීමට ආහාර අනුබව කිරීම මොනයම් විදිහකට හෝ අතපසු කල නොහැක. ලිප ගිණි ඇවිලීමට නොහැකි වූ සියළු දෙනා වීදි බැස කල ජන විරෝධය එක්තරා රැල්ලක් වූවද, බඩගින්න නිවාගත නොහැකි ජනයා පාලකයින්ට ගෙන එන්නේ ජනවිරෝධී සුනාමියක් බව නම් ඉඳුරාම කිවහැක.

පසුගිය සතිය නිමා වුයේ ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව සමාප්ත වෙමිනි. මෙවසර බැංකුවේ සත්කාර රට ලෙසට තෝරාගෙන තිබුනේ ශ්‍රී ලංකාවයි. සාමාන්‍යයෙන් මෙම සමුළුව මැයි මස පළමු සතියට වෙන් කලද මෙවසරේදී දිවයිනේ පැවැති අස්ථාවර දේශපාලන සහ සමාජ ආර්ථික තත්වයන් මත සමුළුව මාර්ගස්තව සැප්තැම්බර් මස අවසාන සතියේදී පවත්වන ලදි.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම උනන්දුකරවීමට අප අතරින් වියෝවූ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි වෙහෙසක් ගත් බව කෘතඥ පූර්වකව සිහිපත් කලයුතුය. එකී අවස්ථාව නොලැබීමෙන් දිවයිනට පැමිණීමට නියමිතව සිටි අමුත්තන් සහ සංචාරකයින් 4000 පමණ අපට අහිමි විය. කෙසේ නමුදු අපට අහිමිවූ මෙම අවස්තාව නැවත ලබාගැනීමට සෑම ප්‍රයත්නයක්ම දැරිය යුතුවේ. යම් හෙයකින් 2022 මැයි මස කොළඹදී ආසියානු සංවර්ධන බැංකුවේ 55 වැනි වාර්ෂික සමුළුව පැවැත්වූවා නම්, මොළ හතක් සහිත හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගෙන් සහ කෙළ පැමිණි මහ බැංකු අධිපති නිවාඩ් කබ්රාල් මහතාගෙන් නවීය අපූර්ව මූල්‍ය ප්‍රතිපත්ති සැළසුම් කරවීමට, වටිනා අදහස් ආසියාවේ සෙසු බැංකුකරුවන්ට ලබාගත හැකිව  තිබුණි. ඊට අමතරව ආසියාවේ විශිෂ්ඨ මුදල් ඇමතිවරයෙකු වන් විරුධාවලියට පාත්‍රවූ රවී කරුණානායක මහතාටද යම් ආකාරයකට දායකවීමක් කල හැකිව තිබුණි. එසේම මහා බැංකු බැඳුම්කර නිකුත් කර දේශීය සම්පත් ඒකරාශී කරවීමට හසල දැනුමක් ඇති වත්මන් මුදල් ඇමති තුමාටත් සිය අත්දැකීම් මුදාහැරවීමට තුබු අවස්තාවක්ද අහිමි විය. වෙනකක් නිසා නොව අරගලය මේ සියල්ලටම හරස් වීමය.

සමුළුව ආරම්භයේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගා (මාසා) අසකාවා මහතා ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික අර්බුදය පිලිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම අර්බුදය හේතුවෙන් දරිද්‍රතාවයට ලක්විය හැකි වැසියන්ට සහන සැපයීමට දැනට ශ්‍රී ලංකාවට අනුමත කර ඇති, විවිධ අඩුපාඩු මත රඳවාගෙන ඇති ණය මුදල් දුකටපත් ආර්ථික පීඩනයට ලක්වූ ජනතාවට සහන ලබාදීම ඉලක්ක කර මුදා හැරීමට කටයුතු කල හැකි බව කියා සිටියේය.

දැනට රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වාගෙන යන සාකච්ඡා වලින් පසු, ශ්‍රී ලංකාවට ලැබිය හැකි සහනයන් ලැබෙන තෙක් මෙම ප්‍රධානයන් ලබාගැනීමට වර්තමාන ප්‍රතිපත්ති සැළසුම් කරන්නන් යම් වැඩපිලිවෙලක් ගැන කටයුතු කරන වගක් නම් මෙම ලියුම්කරුට දැක ගත නොහැක. රනිල් වික්‍රමසිංහ මහතා ගේ රජය, මූල්‍ය අරමුදලේ සහනයන් මත පමණක් බලාපොරොත්තු තබාගෙන කටයුතු කිරීම අවදානම් සහිතය.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මාසා අසකාවා සිය අදහස් දැක්වීම් වලදී පුන පුනා කියා සිටියේ, දැනට උද්ගතව ඇති ආර්ථික අවපාතයන් සහ උද්ගමනකාරී තත්වයන් නිසා උග්‍ර දරිද්‍රතාවයන්ට ලක්විය හැකි ජන කොට්ඨාශයන්ට ඉක්මන් සහන සැපයීමට සියළු රටවල් සාමජ ආරක්ෂණ වැඩ පිළිවෙලවල් දේශීය සම්පත් ඒකරාශීකර (domestic resources mobilization) ශක්තිමත් කලයුතු බවය. මන්ද ආධාර උපකාර කිරීමට සෙසු ධනවත් රටවලට සම්පත් මුදා හැරීම සීමාවී ඇති බව මතක් කරමිනි.

එහෙත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ මෙම උද්ධමනකාරී තත්වයන්ට මුහුණ දෙන ජන කොට්ඨාශය දිනපතා වැඩිවෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ සංවිධානවල තක්සේරු කිරීමට අනුව දිවයිනේ මුළු ජනගහණයෙන් තුනෙන් එකක් පමණ සිය දෛනික ආහාරවේල සපයාගත නොහැකි අසරණ තත්වයකට පත්ව ඇත. මෙම සංඛ්‍යාලේකණ ආසියාණු සංවර්ධන බැංකු සමුළුවේදී නොයෙක් කථිකයින් ඉදිරිපත් කරන ලදි. රටේ ආහාර නිශ්පාදනය හා ඍජුව සම්බන්ධ ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට යම් සහනදායී පිලිවෙලකට සිය අමුද්‍රව්‍ය ලබා දීමට කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් කන්නයක් හෝ දෙකකදී කෘෂි නිශ්පාදන වැඩිකරගත හැක. දැනට රජයේ මූලික ප්‍රමුඛතාවයව ඇත්තේ මැති ඇමතිවරුන් පත්කොට නාස්තිකාරී දේශපාලන කර්මාන්තය ශක්තිමත් කිරීම මිස දේශීය නිෂ්පාදන කර්මාන්ත නඟා සිටවීම නොවන බව අපට ආධාර සහ උපකාර කිරීමට නියමිත ජගත් ආයතන හොදින් අවබෝධ කරගෙන ඇත. එබැවින් මේතාක් කල් සංවර්ධනයේ නාමයෙන් නඟා සිටවූ පීඩිත සහ පෑගෙන ජනගහණය නැවත දරිද්‍රතාවයට පත්වීම වලක්වා ගැනීම දැනට පවතින රූකඩ රජය ප්‍රමුඛතාවයක් ලෙස හඳුනා කටයුතු නොකලොත් ඉහතින් විස්තර කල මහජන විරෝධී සුනාමි රැල්ල පාලකයින් හඹා එනු ඇත.

ශ්‍රී ලංකාවේ අදූරදර්ශී පාලකයන් විසින් ආර්ථිකය විනාශ කරවීමේ ප්‍රථිපලයන් හේතුවෙන් සශ්‍රීක සම්පත් වලින් සපිරි රටක ජනතාවට අනේක දුක් ගැහැට විදිමින් ජීවිතය ගැට ගසා ගැනීමට සිදුව ඇත. මෙය ශෝචණීය තත්ත්වයකි.

මඟ හැරුණු අවස්ථාව 

මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට නිවැරදි වැඩපිළිවෙලක් තිබුණානම්, එය ලෝකයාටම දන්වා සිටීමට ආසියානු සංවර්ධන බැංකු වාර්ෂික සමුළුව කඳිම අවස්තාවක් කර ගත හැකිව තුබුණි. මන්ද සත්කාර රට වූ ශ්‍රී ලංකාවේ මුදල් ඇමතිවරයාට සමුළුවේ අවසාන සැසියේ මුලසුන හොබවීමට ලද අවස්ථාව ඒ සඳහා පලදායි ලෙස උපයෝගී කරගත හැකිව තිබුණ නිසාය.

රනිල් වික්‍රමසිංහ වත්මන් මුදල් ඇමතිවරයා සහ ජනාධිපතිවරයා සමුළුවේ අවසාන සැසියට ඉදිරිපත් කල කථාව පුවත්පත් වල පලකර තිබුණි. ඔහු වර්තමානයේ අර්බුදකාරී තත්වය සහ ජනතාව මුහුණ දෙන අපහසුතාවන්ගෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවේ ණය හිමියන් ණයකරුවන් සානුකම්පික සලකා බැලීමක් කලයුතු බවට සදහනක් කර ඇත. සමාජ ආරක්ෂණය තහවුරු කරවීමට දුගී ජනතාව ඉලක්ක කර සහන සැපයීමට රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ හඳුන්වාදී දේශිය සහ විදේශීය ණය ආර්ථිකයට දරා ගත හැකි තත්ත්වයක් තුල පවත්වාගෙන යාම අරමුණ කරගත් යහපාලන රටාවක් අනුගමනය කරන බවද පවසා ඇත.

ඔබ අසා සිටියි නම් මම මෙසේ කියන්නම් යැයි සිතා ප්‍රකාශ කල කරුනු අතර පරස්පරය සමුළු සැසියට සහභාගී වූවන් මෙන්ම ශ්‍රී ලාංකේයන් හොඳින්ම දන්නා බව පුන පුනා කිවිය යුතු නොවේ. මූල්‍ය කලමණාකරන ප්‍රතිසංස්කරණයන් කෙසේ වෙතත්, තමන්ගේ ජනාධිපති තනතුර රැක ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වරදාන පිරිනමමින්, කටයුතු කිරීම ඉලක්ක ගතව දුගී දුකටපත් ජනයා වෙනුවෙන් සානුකම්පිකව කටයුතු කිරීමට අභිබවා ඇති ප්‍රමුඛතාවක් බව නොරහසකි. පෑගෙන තැලෙන පීඩිත ජනතාවට සහන සැපයීමට ආසියාණු සංවර්ධන බැංකු සභාපති තුමා දැක්වූ දයානුකම්පාවට ප්‍රතිචාර දක්වා, ඒ සඳහා කඩිනම්න් ක්‍රියා කරන බව පවසා කෘතවේදීව එම සමුළු සැසියේදී අගය කිරීමටවත් ජනාධිපතිවරයා අපොහොසත් වීම කණගාටුවට කරුණකි.

ජිනීවා තීන්දුව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය ප්‍රමුඛතාවන් හඳුනාගෙන ඇති ආකාරය ජගත් සමුළුවලදී ආවට ගියාට ප්‍රකාශ කිරීමේ ආදීනව ශ්‍රී ලංකාව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම තව දුරටත් අඩාල වෙන බව අනුමාන කල හැක. මෙම තත්ත්වය වඩාත් උග්‍ර වීමේ අවදානම  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට පක්ෂව පෙලගැසුන රටවල් වල තක්සේරුවන්ගෙන් තීන්දු කලහැක.

මෙම අවස්ථාවන් සියල්ලම දැනටමත් ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක ඇති බව පැහැදිලිය. මේ තත්ත්වයන් සියල්ලම තැලෙන පෑගෙන දුගී දුප්පත් ජනතාව තව දුරටත් දිළිදු බවට තල්ලුකරන බව අප සියළු දෙනාම සිහිපත් කරගත යුතුවේ. ජනාධිපතිවරයා සියරටේ උද්ගතව ඇති තත්වයන් බාහිර භූ දේශපාලනික අර්බුදයන් මත සිදුවන්නක් බවට ලෝකයාට ඒත්තු ගැන්වීමට යෑම උගුරට හොරා බෙහෙත් බොන්නට යෑමක් වන්ය. කුම්බලාවෝ කෑව බළලාට සිදුවු අකරතැබ්බය ජනාධිපතිවරයා සිහිතබා ගැනීම වටනේය.

 

 

Archive

Latest news

Related news