Friday, March 29, 2024

ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයක: එක්සත් ජාතීන්ගේ වාර්තාව වගවීම, ආයතනික සහ ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටී.

ඡායාරූපය: දෙමළ ජනයාගේ සාධාරණ ඉල්ලීම් බිය ගැන්වීමට යුද බලය ප්‍රදර්ශණය කිරීම ශ්‍රී ලංකා රජයේ දුෂ්ඨ පිළිවෙතකි.

ජිනීවා (6 සැප්තැම්බර් 2022) – ශ්‍රී ලංකාවේ නව රජය මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානය ඉදිරියට ගෙන යාම සඳහා ජාතික සංවාදයකට අවතීර්ණ විය යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් අද ඉල්ලා සිටින්නේ, අතීත උල්ලංඝනයන් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා වගවීම සහ ගැඹුරු ආයතනික ප්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමිනි.

ශ්‍රී ලංකාව සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මක සන්ධිස්ථානයක සිටින බවත්, සියලු ජන කොටස්වල සහ සෑම තරාතිරමකම මිනිසුන්ගේ මානව හිමිකම්වලට දැඩි ලෙස බලපා ඇති බරපතළ ආර්ථික අර්බුදයකට මැදිව සිටින බවත් වාර්තාව පිළිගනී. මෙම තත්වය, ගැඹුරු ප්‍රතිසංස්කරණ සහ වගවීම ඉල්ලා සිටීම සඳහා සියලුම ප්‍රජාවන්ට අයත් ශ්‍රී ලාංකිකයන්ගේ පුලුල් පදනම් ඉල්ලීම්වලට තුඩු දී ඇති අතර එමගින් රට නව මාවතකට යොමු කිරීමට රජයට නැවුම් අවස්ථාවක් ලබා දෙයි.

කෙසේ වෙතත්, තිරසාර වැඩිදියුණු කිරීම් සිදු වීමට නම්, ආර්ථික අර්බුදයට දායක වූ යටින් පවතින සාධක හඳුනාගෙන අතීත සහ වර්තමාන මානව හිමිකම් කඩකිරීම්, ආර්ථික අපරාධ සහ ආවේණික දූෂණ ද සදහා පවතින දණ්ඩමුක්තිය ද ඇතුළුව, ඒවාට පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වේ.

“වර්තමාන අභියෝගවලට මුහුණ දීම සඳහා සහ අතීතයේ සිදු වූ මානව හිමිකම් කඩවීම් නැවත සිදු නොවීමට මූලික වෙනස්කම් අවශ්‍ය වනු ඇත,” මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව පවසයි.

කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙසත්,  මිලිටරිකරණය දෙසට ඇති ගිලා බැසීම ආපසු හරවන ලෙසත් සහ ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කොට‍, දණ්ඩමුක්තිය අවසන් කිරීමට නව කැපවීමක් පෙන්නුම් කරන ලෙස ඉල්ලා සිටී.

මහජන විරෝධතාවලට ප්‍රතිචාර දැක්වීමේදී ආරක්ෂක අංශ  පසුගිය අවස්ථාවන්හිදී දී සැලකිය යුතු සංයමයක් පෙන්වූ අතර, එතැන් සිට  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඇතැම් ශිෂ්‍ය නායකයින් අත්අඩංගුවට ගෙන සාමකාමී විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කරමින් රජය දැඩි ප්‍රවේශයක් අනුගමනය කරයි. මහත් ලෙස මිලිටරිකරණය වූ පරිසරයක් සහ සෝදිසි සංස්කෘතියක් ද රටේ උතුරු හා නැඟෙනහිර ප්‍රදේශවල දිගටම පවතී.

විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් පිහිටුවීමට අදාළ පියවර ගැනීම ඇතුළු ඉටු කළ යුතුව ඇති කැපවීම් ක්‍රියාවට නැංවීම සඳහා කාලානුරූප සැලැස්මක් සහ තාවකාලික විශේෂ අධිකරණයක් ඇතිව  සංක්‍රාන්ති යුක්තිය සහ වගවීම පිළිබඳ පුළුල් සහ වින්දිතයන් කේන්ද්‍ර කරගත් උපාය මාර්ගයක් නැවත දියත් කරන ලෙස වාර්තාව නව රජයෙන් ඉල්ලා සිටී. .  වගවීමේ සහ සංක්‍රාන්ති යුක්ති සියලුම යාන්ත්‍රණයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වින්දිතයින්ට කේන්ද්‍රීය කාර්යභාරයක් ලබා දිය යුතුය.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සත්‍යය තහවුරු කිරීමෙහි ප්‍රගතියක් නොමැතිකම ගැන කනස්සල්ල පළ කරන වාර්තාව, වැඩිදුර විමර්ශන ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සඳහා ජාත්‍යන්තර සහය සහ වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයින්ගේ පූර්ණ සහභාගීත්වයෙන් පසු විපරම් ස්වාධීන හා විනිවිද පෙනෙන පරීක්ෂණයක් ඉල්ලා සිටී. 

“ශ්‍රී ලංකා රාජ්‍යය, අනුප්‍රාප්තික ආන්ඩු ද හරහා, දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් අපරාධකරුවන් වගවීමට හසු කර ගැනීම සඳහා ඵලදායී සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලියක් අනුගමනය කිරීමට අපොහොසත් වී ඇති අතර සත්‍යය, යුක්තිය සහ වන්දි ගෙවීම සඳහා වින්දිතයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමට ද අපොහොසත් වී තිබේ” යනුවෙන් වාර්තාව පවසයි.

“ඒ වෙනුවට, ඔවුන් වගවීම ඇති කිරීම සඳහා දේශපාලන බාධා නිර්මානය කර ඇති අතර, පිළිගත හැකි  ලෙස යුද අපරාධවලට සම්බන්ධ වූ සමහර හමුදා නිලධාරීන් රජයේ ඉහළම මට්ටම්වලට ඇතුළත් ක ගෙන ඇත.”

ජාතික මට්ටමින් වගවීම සම්බන්ධයෙන් ප්‍රගතියක් නොමැති තත්වය යටතේ, ශ්‍රී ලංකාවේ සිදු වූ  අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ පිටස්තර සහ විශ්වීය අධිකරණ බලය  සහිත මාර්ග භාවිතා කිරීම ඇතුළුව වගවීමේ ප්‍රයත්නයන් සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස වාර්තාව අනෙකුත් රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

මීට අමතරව, ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සහ අපයෝජනයන් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සඳහා වගකිව යුතු බවට විශ්වාසදායක ලෙස චෝදනා ලබා ඇති පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් වැඩිදුර ක්‍රියාමාර්ග ගවේෂණය කරන ලෙස වාර්තාව රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී.

කවුන්සිලයේ 46/1 යෝජනාවට අනුව, වගවීම පිළිබඳ OHCHR කාර්යයේ ප්‍රගතිය වාර්තාවෙන් දක්වා ඇති අතර, එහි ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරයි.

( ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද ප්‍රකාශයේ සිංහල පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි)

Archive

Latest news

Related news