Saturday, April 20, 2024

ලංකාවේ ළමා මන්ද පෝෂණය කලාපයේ ඉහළටම. ළමුන්ගෙන් අඩකටම සහන අවශ්‍යයි! – යුනිසෙෆ්

ඡායාරූපය: ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා පවුල් ජීවිතය ගැටගසා ගැනීම එන්න එන්නම දුෂ්කර වෙමින් පවතී.ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය නිසා පවුල් ජීවිතය ගැට ගසා ගැනීමට අපහසු වී තිබේ. © UNICEF/Chameera Laknath

ප්‍රධාන ආහාර මිල දැරිය නොහැකි පරිදි ඉහළ ගොස් ඇති බැවින් අර්බුදකාරී ශ්‍රී ලංකාවේ දැඩි මන්දපෝෂණය දැනටමත් කලාපයේ ඉහළම තත්ත්වයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ අනතුරු අඟවයි.

1948 නිදහසින් පසු ශ්‍රී ලංකාව එහි දරුණුතම මූල්‍ය පසුබෑමකට ලක්ව සිටින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ එකී අනතුරු ඇඟවීම මගින් පෙන්නුම් කරයි.

“ප්‍රධාන ආහාර මිල දැරිය නොහැකි වීම නිසා පවුල් සාමාන්‍ය ආහාර වේල් මඟහරිමින් සිටී. ළමයින් බඩගින්නේ නිදා ගනිති. ඔවුන්ගේ ඊළඟ ආහාර වේල ලැබෙන්නේ කොහෙන්ද යන්න ගැන විශ්වාසයක් නැත,” යැයි ලැරියා-ඇඩ්ජේ පවසයි.

මහා ආහාර අනාරක්ෂිත භාවය කලාපයේ මන්දපෝෂණය, දරිද්‍රතාවය, රෝග සහ මරණ තවදුරටත් ප්‍රවර්ධනය කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම ආහාර අනාරක්ෂිතභාවය දැනටමත් ශ්‍රී ලංකික ජාතිය පීඩාවට පත් කර  සමාජ ප්‍රශ්න සංකීර්ණ කර ඇත. ශ්‍රී ලංකාවේ ළමුන්ගෙන් අඩකට දැනටමත් යම් ආකාරයක හදිසි ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු කර ඇත.

අධ්‍යාපනය, ආර්ථික අර්බුදයෙන් බැට කෑ එක් අංශයකි. යල් පැන ගිය යටිතල පහසුකම් නිසා අනතුරුදායක ගමනාගමනවලට අමතරව, ශිෂ්‍ය බඳවා ගැනීම් අඩුවීම සහ සම්පත් හිඟයක් ද දක්නට තිබෙන බව ඔහු පවසයි.

අපයෝජනය වැඩි වීම

ලැරියා-ඇඩ්ජේ, වැඩිදුරටත් හෙළිදරව් කළේ, “වැඩිවෙන ආර්ථික පීඩනය හේතුවෙන් ළමයින්ට එරෙහි අපයෝජන, සූරාකෑම් සහ ප්‍රචණ්ඩත්වයේ වැඩි වීමක් දැනටමත් වාර්තා වෙමින් පවතින” බවයි.

ඒ හා සමානව, ශ්‍රී ලංකාවේ, ප්‍රධාන වශයෙන් දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ලෙස, දැනටමත්  ළමා ආයතනික රැකවරණයේ සිටින ළමුන් 10,000 කට අධික සංඛ්‍යාවක් සිටිති. මෙම ආයතන ළමා සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන පවුල් පරිසර සහයෝගය ලබා දෙන්නේ නැත.

අවාසනාවකට මෙන්, වත්මන් අර්බුදය නිසා සිය දරුවන් තවදුරටත් රැකබලා ගැනීමට නොහැකි පවුල් ඔවුන්ගේ දරුවන් ආයතනවල තැබීමට වැඩි වැඩියෙන් තල්ලු වෙමින් සිටිති.

ප්‍රගතිය ‘ස්ථිරවම මකා දැමෙනු ඇත’

“වර්තමාන ප්‍රවණතාවය දිගටම පැවතුනහොත්, ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා වෙහෙස මහන්සි වී උපයාගත් ප්‍රගතිය ආපසු හැරවීමේ අවදානමක් පවතින අතර සමහර විට එම දිනා ගැනීම් ස්ථිරවම අහෝසිවීමේ අවදානමක් ඇත” යනුවෙන් ලැරියා-ඇඩ්ජේ පැවසයි.

යුනිසෙෆ් ආයතනය වසර 50කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරීව සිටී. ගෝලීය හවුල්කරුවන්ගේ සහාය ඇතිව, යුනිසෙෆ් විසින් අධ්‍යාපනික සැපයුම් බෙදා හැර ඇත. පෙර පාසල් දරුවන්ට ආහාර සැපයීම සහ ගැබිනි සහ කිරි දෙන මව්වරුන් සඳහා දැඩි ලෙස මුදල් ආධාර ලබා දී තිබේ.

George Laryea-Adjei, Regional Director for South Asia (right) visits the home of a family in Watawala, Sri Lanka.
දකුණු ආසියාවේ (දකුණේ) කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ ශ්‍රී ලංකාවේ වටවල පවුලක් හමුවට පැමිණීම. © UNICEF/Chameera Laknath

ළමුන් සඳහා විසඳුම්

ආර්ථික අර්බුදයෙන් විපතට පත් ශ්‍රී ලාංකික දරුවන්ට උපකාර කිරීම සඳහා යුනිසෙෆ් ආයතනය විසින් ගත යුතු පියවර පිළිබඳව තවදුරටත් මෙනෙහි කරමින්, ලැරියා-ඇඩ්ජේ,  පවසන්නේ, “අර්බුද විසඳීමට රට ක්‍රියා කරන විට විසඳුමේ හදවතේ දරුවන් සෘජුවම තැබිය යුතු බවයි.

“සියලු වයස්වල ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් සඳහා අඛණ්ඩ ඉගෙනීම සහතික කළ යුතුය. එවිට ඔවුන්ට ඔවුන්ගේ අනාගතය සඳහා සූදානම් විය හැකි අතර ළමා ශ්‍රමය, සූරාකෑම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ තර්ජනවලින් ආරක්ෂා විය හැකිය. මාරාන්තික රෝග සහ මන්දපෝෂණයෙන් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම හා ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රමුඛත්වය දිය යුතුය.”

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියාවේ කලාපීය අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරියා-ඇඩ්ජේ

“ගෝලීය ආර්ථික පසුබෑමේ දරුණුතම බලපෑම්වලට එරෙහිව දරුවන් ආරක්ෂා කිරීමට වහාම පියවර නොගත හොත්, අවදානමට ලක්විය හැකි දරුවන් තවදුරටත් දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇත. ඔවුන්ගේ සෞඛ්‍යය, පෝෂණය, ඉගෙනීම සහ ආරක්ෂාව අවදානමට ලක් වනු ඇත.”

“එබැවින් අර්බුදයට එරෙහිව ආරක්ෂාවක් ලෙස දේශීය ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව සඳහා ආයෝජනය කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ ප්‍රමුඛතාවයක් විය යුතුය.”

“ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයත් ආර්ථික දුෂ්කරතා සඳහා සූදානම් නොවීමේ අවදානමත්  අනෙකුත් දකුණු ආසියානු රටවලට අනතුරු ඇඟවීමක් බව” යුනිසෙෆ් පවසයි.

ලැරියා-ඇඩ්ජේ සිය  නිගමනයෙහි පවසන්නේ, “අර්බුද සඳහා මිල ගෙවීමට දරුවන් බිලි දීමට ඉඩ දිය නොහැක. ඔවුන්ගේ හෙට දවස සුරක්ෂිත කිරීමට අප අදම ක්‍රියා කළ යුතුයි,” කියාය.

එක්සත් ජාතීන්ගේ පුවත් ඇසුරෙනි. ( අනුවාදය ශ1ී ලංකා බ්‍රිෆ් විසිනි)

Archive

Latest news

Related news