Friday, April 19, 2024

පොලිස් විහිළු: රටම දන්න මුහුණක් ඇති පැතුම් කර්නර් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට!

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේදී සිය ගිනි අවිය නැති කරගත්  තුෂාන් චතුරංග නැමති යුද හමුදා සෙබලා සිය ගිනි අවිය පැහැර ගත් බවත් ඊට සම්බන්ධ වූ පුද්ගලයා දුටුවොත් හඳුනාගත හැකි බවට ඔහු ප්‍රකාශ ඇති බැවින්, පෙරදා අත්අඩංඟුවට ගත් සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් එම සොල්දාදුවා හමුවේ හඳුණා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට පොලිසිය තීරණය කර තිබේ.
මේ බව හෙළිදරව් වූයේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික හරිත පෙරමුණේ නායක විශේෂඥ වෛද්‍ය පැතුම් කර්නර් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට අද ඉදිරිපත් කරන ලද අවස්ථාවෙහිිදීය.
ඔහු මහතා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට  මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ පිලිබඳ අදහස් දක්වන නීති අංශ කියන්නේ  රෑපවාහිනී නාලිකාවන්හි ජායරූපය පෙන් වූ සහ රූපවාහිනී වැඩ සටහන් සහ යූ ටියුබ් වැඩසටහන් මගින් ප්‍රසිද්ධියට පත්ව ඇති පැතුම් කර්නර් හඳුණා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම වැඩකට නැති සහ විකාර ක්‍රියාවක් බවය.
පැතුම් සංකල්ප කර්නර්  2020 අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම අංක 04 යටතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදුණු අපේක්ෂකයෙක් වන අතර වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකි. ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පැවැති අරගලයට ඔහු ද විවිධාකාරයෙන් දායකත්වය දැක්වීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ සහ පැතුම් කර්නර් අත්අඩංගුවට ගත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙනි. කොළඹ අපරාධ කොට්ඨාසය අධීක්ෂණය කරනු ලබන්නේ පසුගිය කාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ය. පැතුම් කර්නර් දණ්ඩ නීති සංග්‍රහයේ වැරදි සහ පොදු දේපොළ පනතේ වැරදි සම්බන්ධයෙන් අද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අදිකරණයට ඉදිරිපත් කෙරිණි.
හඳුණා ගැනීමේ පෙරට්ටුවකට සැකකරුවකු ඉදිරිපත් කරද්දි ඔවුන් නොපෙනෙන ලෙස සම්පූර්ණයෙන් ආවරණය කර ඉදිරිපත් කරන අතර අද පැතුම් කර්නර් ඉදිරිපත් කළේ බාගෙට ආවරණ සහිතව බව අධිකරණයේදී කියැවිණි.
පසුව නාවික හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ගිනි අවිය සහ පතොරම් ගැබ ,සමනල පාලම, යට තිබී සොයා ගත් බවත්, එය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාව කැඳවීම සඳහා අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය දැනුම් දුන්නේය.

එම ගිනි අවියේ කවරකුගේ හෝ ඇඟීලි සටහන් ඇත්දැයි පොලීසිය ප්‍රකාශ කළේ නැත.

එමෙන්ම ඉදිරි විමර්ශන සඳහා පැතුම් කර්නගේ ජංගම දුරකතනය පොලිසියට භාර දෙන ලෙස සහ ඔහුගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට නියෝගයක් නිකුත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටි අතර මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම්වලට අවසර දුන්නේය.
අනතුරුව කරුණු දැක්වූයේ පැතුම් කර්නර් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අල්සකුලරත්න මහතාය. ඔහු ප්‍රකාශ කළේ තම සේවාදායකයා වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයකු බවයි. ඔහු යුද හමුදාවේ මෙන්ම සිංගප්පූරුවේ රෝහල්වල සේවය කර ඇති බවත් අල්සකුලරත්න මහතා කීවේය.
උද්ඝෝෂණය පැවති අවස්ථාවේදී අදාල ස්ථානයේ පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් විශාල සංඛ්‍යාවක් සිටි බව පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා එම ස්ථානයේ නීති විරෝධී ක්‍රියාවක් සිදු වූයේ නම් එම අවස්ථාවේදීම ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
දීර්ඝ ලෙස කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ පොලිසිය වැරදි තොරතුරු වාර්තා කර ඇති බවයි.
පැතුම් කර්නර්ගේ ඡායාරූපය ඔහු අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ දින රූපවාහිනී නාලිකාවල සහ අද දින පුවත්පත්වල පළවී ඇතැයි කී ජනාධිපති නීතිඥවරයා එබැවින් ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කිරීම පල රහිත ක්‍රියාවක් බවත් ප්‍රකාශ කළේය. හඳුනාගැනීමේ පෙරට්ටුව අවලංගු කොට සැකකරු සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
දෙපාර්වශ්ය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා මීැනුම් දුන්නේ සැකකරුගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මතු කරන විරෝධතා හඳුනාගැනීමේ පෙරෙට්ටුව පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කරන ලෙසයි.

https://medialk.com/ වාර්තාවක් ද ඇසුරිණි.

Archive

Latest news

Related news