Tuesday, July 16, 2024

හදිසි නීතිය යටතේ සිදුවිය හැකි අයිතීන් කෙළෙසීම් එක්සත් ජාතීන්ට දන්වන අයි.එන්.එස්.ඩී.ය, අන්තර් ජාතික වගවීමේ පියවර ගන්නා ලෙස ඉල්ලයි.

ඡායාරූපය: පසුගිය 06දා පාර්ලිමේන්තුව අසළදී සාමකාමී විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියනට පැයක් පුරා කදුලුගෑස් පුහාරයක් එල්ල කල පොලිසිය ඔවුන් ගණනාවකටම තුවාල සිදු කළේය. මෙම විරෝධතාකාරිය පසුව රෝහල් ගත කරන ලදී. 

පසුගිය 06වන දා සිට බල පවත්වන හදිසි නීතිය යටතේ ගෝටා ගෝ හෝම් උද්ඝෝෂනය සහ මෙරට ජනයාගේ මානව හිමිකම් කෙළෙසීමට ඇති ඉඩ කඩ ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානීන් වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය වවර්ධනය ” ශ්‍රී ලංකාවේ වර්ධනය වන තත්වය ගැන විමසිලිමත්ව සිටින ලෙසත් අප ජනතාවගේ මූලික අයිතීන් මර්ධනය කිරීමට දරණ සෑම ප්‍රයත්නයකටම විරුද්ධ වන ලෙසත් එවැනි මර්දනය කිරීමක් සිදු වුව හොත් ඊට වගකිව යුතු දේශපාලන සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් ගත හැකි උපරිම වගවීමේ පියවරයන් ක්‍රියාවට නංවන ලෙස” ඉල්ලා සිට තිබේ.

එම ලිපිය පහත දැක්වේ.

INSD e.V.
International Network for Sri Lanka’s Democracy e.V.
Pulsstraße 57,
70794 Filderstadt
Germany
[email protected]

වෙත,

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්,
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය,
එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්,
යුරෝපීය කොමිසම,

ශ්‍රී ලංකාව: හදිසි නීතිය පැනවීම එමගින් සිදුවියහැකි  ප්‍රජාතන්ත්‍ර අයිතීන් කෙළසීම අන්තර් ජාතික ප්‍රජාව දැනුවත් කිරීම

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මැයි මස 07වන දින මධ්‍යම රාත්‍රියේ සිට මුලු රටටම බලපාන සේ මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පණවන ලදි.

ව්‍යවස්ථානුකූලව හදිසි නීතිය පැනවීමට විධායක බලතල හිමි ජනාධිපතිවරයාට බලය තිබේ. එනමුත් එය පැනවිය යුත්තේ මහජන ආරක්ෂාවට තර්ජනයක් ඇති විට පමණි.

මෙම හදිසි නීති තත්වය යටතේ මහජනයාගේ අනුළංඝනීය මානව හිමිකම් වන රැස්වීමේ, සමාගමයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් තහනම් කිරීමට ජනාධිපතිවරයාට බලය තිබේ.

මෙම හදිසි නීතිය පැනවීම පිළිබඳව ප්‍රකාශයක් කරමින් රාජපක්ෂ ආණ්ඩුව කියා සිටින්නේ ප්‍රචන්ඩ වන විරෝධතා හමුවෙහි රටෙහි යථා තත්වය ඇති කිරීමට මෙම පියවර ගත් බවය.

යථා තත්වය ඇති කිරීම යනුවෙන් අදහස් කැරෙන්නේ දැනට මාසයකට අධික කාලයක් රට පුරාම නොනැවතී  කෙරීගෙන යන සාමකාමී විරෝධතා අවසන් කිරීම බව එමගින් පැහැදිළිය.

මෙම විරෝධතාවයන්ට රටෙහි පොදු මහාජනයාගේ සහයෝගය තිබේ. සමාජයෙහි සෑම තලයකම පුරවැසියෝ මෙම විරෝධතාවයන්හි කොටස්කරුවන්ව සිටිති.

විරෝධතාකරුවන්ගේ ඉල්ලීම වන්නේ අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බියකරු ආර්ථික අර්බූදයට වගකිව යුතු රාජපක්ෂ පවුල රාජ්‍ය පාලනයෙන් ඉවත් විය යුතු බවය.

මෙම අර්බූදය විසදීම පිනිස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, සාධාරණ සමාජයක් සදහා ජාතික ව්‍යාපාරය ඇතුලු විවිධ ජන කණ්ඩායම් ව්‍යවස්ථා වෙනසක්  ඇතුළු විසඳුම් ඉදිරිපත් කර තිබේ.

එසේ නමුත් එම කිසිදු යෝජනාවක් නිසි සැළකිල්ලට නොගෙන රාජපක්ෂ පවුල් පාලනය දැන් උත්සාහ කරන්නේ හදිසි නීතිය වැනි මර්දනකාරි පියවරයන් මගින් මහජනයාගේ විරෝධතා ව්‍යාපාරය මර්දනය කිරීමටය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම හදිසි නීතිය පැණවීම ගැන කනස්සල්ල පල කර තිබේ. තවද මෙලෙස හදිසි නීතිය පැණවීමට හේතු මහජනයාට පැහැදිළි කරන ලෙසද එම ආයතන දෙකම රජයෙන් ඉල්ලා සිට තිබේ. තවත් සිවිල් සමාජ සංවිධාන ගණනාවක් එම අදහස සනාථ කරමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.

රජයේ ප්‍රධානීන් ඉල්ලා අස්විය යුතු බවට පැවත්වෙන විරෝධතා සාමකාමීව පැවත ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම දෙස් විදෙස් මාධ්‍ය විසින්ද සනාථ කර තිබේ.

මීට අමතරව මැයි 0වන දින ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සියළුම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ. මේ වනාහී යුද සමයේදීවත් නොගන්නා ලද පියවරකි. ශ්‍රී ලංකාණ්ඩුව, අප ජනතාව සමග යුද්ධයකට සූදානම් වන්නේ ද යන ප්‍රශ්ණය දැන පැන නැගී තිබේ.

කොළඹ ගාලු මුවදොර පිටියේ කදවුරු බැද සිටින විරෝධතාකරුවන් සහ විරෝධතාකාරියන් ඉවත් කරන සේ පොලීසිය ව්‍යාජ කරුණු ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ ඉල්ලීමක් කර තිබේ.

පසුගිය 06වන දින පාර්ලිමේන්තුව අසළ පැවැති සාමකාමී විරෝධතාවයකට පැයක් පමණ පුරා කදුළු ගෑස් එල්ල කළ පොලිසිය තවත් විරෝධතාකරුවන් පිරිසකට වධහිංසා පමුණුවන වීඩියෝ සාක්ෂි සමාජ ජාලයන්හි සංසරණය වෙයි.

පසුගිය අප්‍රේල් 24 වන දින පැවැති ශිෂ්‍ය විරෝධතාවය නනතර කිරීමට උල් යකඩ කටු සවි කළ මාර්ග බාධක සවිකර තිබුනේ එම හානිකර කටු නොපෙනෙන සේ ආවරණය කරමිනි.

එයට පෙර මාර්තු 31වන දින කොළඹට ආසන්න මිරිහානෙහි  පැවැති විරෝධතාවයකට පහර දී තුවාල සිදු කල පොලිසිය අප්‍රෙල් 14 වන දින රඹුක්කන දී පැවැති විරෝධතාවයකට ජීව උණ්ඩ ප්‍රහාරයක් එල්ල  කර කිහිප දෙනෙකුට තිවාල සිදු කර එක් අයකු ඝාතනය කළේය.

මෙම සිදුවීම් සැළකිල්ලට ගත් විට හදිසි නීතිය යොදා ගනිමින් සාමකාමී විරෝධතා දරුණූ ලෙස මර්දනය කිරිමට රජය ගමන් කරනු ඇත්ද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.

එවැනි තත්වයක් ඇති වුවහොත් නිරායුද විරෝධතාකරුවන්ගේ ලෙයින් ශ්‍රී ලංකාව තෙත් වීමට ඉඩ තිබේ.

මෙම තත්වය යටතේ අප ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා ශ්‍රී ලංකාවේ වර්ධනය වන තත්වය ගැන විමසිලිමත්ව සිටින ලෙසත් අප ජනතාවගේ මූලික අයිතීන් මර්ධනය කිරීමට දරණ සෑම ප්‍රයත්නයකටම විරුද්ධ වන ලෙසත් එවැනි මර්දනය කිරීමක් සිදු වුව හොත් ඊට වගකිව යුතු දේශපාලන සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සම්බන්ධයෙන් අන්තර් ජාතික වශයෙන් ගත හැකි උපරිම වගවීමේ පියවරයන් ක්‍රියාවට නංවන ලෙසය.

මෙයට

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ අන්තර්ජාතික ජාලය වෙනුවෙන්,

රංජිත් හේනායක
සුනන්ද දේශප්‍රිය
සේනක වත්තේගෙදර
උමා පරරාජසිංහම්
සිවසාමි සිවරාජන්

පිටපත්:

අන්තර් ජාතික මූල්‍ය අරමුදල,
ලෝක බැංකුව,
කොළඹ විදේශීය රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව,
ජනමාධ්‍ය

 

Archive

Latest news

Related news