Friday, March 29, 2024

රාජපක්ෂවාදය මෙරටින්, දේශපාලනයෙන්, සමාජයෙන් හා ආර්ථික ක්‍රියාදාමයන්ගෙන් තුරන් කර දැමීම #GoHomeGota පාඨය තුළ කැටිවී තිබේ. – සුනිල් විජේසිරීවර්ධන

1. මේ වනවිට Go Home Gota! සටන් පාඨයේ මුල් මිරිහාන අර්ථය වෙනස් වී පළල් වී තිබේ. දැන් එහි අරමුණ ජනාධිපතිවරයා ගෙදර යැවීම පමණක් නොවේ , රාජපක්ෂ සංහතිය ගෙදර යැවීම පමණක් ද නොවේ. රාජපක්ෂවාදය මෙරටින් , දේශපාලනයෙන්, සමාජයෙන් හා ආර්ථික ක්රියාදාමයන්ගෙන් තුරන් කර දැමීමයි. ඒ සියල්ල #GoHomeGota පාඨය තුළ කැටිවී තිබේ.

මේ මොහොතේ වර්ධනය වන තත්ත්වය අනාගතය ගැන අපේක්ෂා දල්වන සුළුය , අනුප්රාණය ගෙනෙන සුළුය. මහජන විඥානයේ සැබෑ පරිවර්තනයක් සිදු නොවී අලුත් රටක් බිහි විය නොහැක.

2. අරගලයේ අවසන් නිෂ්ටාව කුමක් විය යුතුද ? ශිෂ්ටාචාර අර්බුදයක් ලෙස සැලකිය යුතු අර්බුදය නිර්මාණය කරන ලද අපගේ අතීත, ( අඩු තරමින් 76 න් පසු ගොඩ නැගුණු ) දේශපාලන හා සමාජ පිළිවෙල සම්පූර්ණයෙන් විසංයෝජනය ( Deconstruction) කළ යුතුය. නමුත් එය පමණක් නොසෑහේ. ඒ සමග අපි නව ඉහළ ශිෂ්ටාචාර පැවැත්මකට අදාළ නව පිළිවෙළක් විස්තරාත්මක ලෙස ප්රතිසංයෝජනය (Reconstruction) කළ යුතුය . මේ එකාබද්ධ කාර්යය අරගලය මැද සිටින සියළු ප්රබුද්ධ තරුණයන්ගේ හා වැඩිහිටියන්ගේ වගකීමක් ලෙස සලකමු. මේ කරුණු දෙකම ජන අරගලය තුළ සම්පාදනය වන කතිකාවන් තුළට වඩ වඩා පොහොසත් ලෙස ගෙන එමු. මේ වනවිටත් නව ශ්රී ලාංකික ජනරජයක් පිළිබඳ අරමුණක් කරා ජනතාව වේගයෙන් පැමිණ තිබේ. ඒ පිළිබඳ සාමුහික පරිකල්පනය දියුණු කිරීම හා පොහොසත් කිරීම අත්යවශ්ය කාර්යයක් ලෙස සලකමු.
3. දියුණු ප්රජාතන්ත්රවාදී භාවිතාවන් සහිත ආණ්ඩුකරණයක් හා දේශපාලන සංස්කෘතියක් මෙන්ම ශිෂ්ට හා ශික්ෂිත සමාජ ජීවිතයක් අතිබහුතර ජනතාව විසින් අපේක්ෂා කරන බව පෙන්වන ලකුණු පමණක් නොව එවැනි සමාජයක චර්යාත්මක ලකුණු මෙම ජන අරගලය තුළ වැඩි වැඩියෙන් මතුවෙමින් පවතී. මේ මොහොතේ වර්ධනය වන තත්ත්වය අනාගතය ගැන අපේක්ෂා දල්වන සුළුය , අනුප්රාණය ගෙනෙන සුළුය. මහජන විඥානයේ සැබෑ පරිවර්තනයක් සිදු නොවී අලුත් රටක් බිහි විය නොහැක. එකී අවශ්යකරන යුග පරිවර්තනය දැන් වේගයෙන් සිදුවෙන බව පෙනේ. ශ්රී ලංකාවේ අප සියලු දෙනාට ශ්රී ලාංකිකත්වයේ හා මනුෂ්යත්වයේ මහා පාසැලක් 2022 මේ අරගලය විසින් විවෘත කර තිබේ.

225 ම එපා යන සටන් පාඨය ද මේ සන්දර්භය තුළ අලුත් තේරුමක් දරන බව ප්රබුද්ධ පාර්ලිමේන්තු නියෝජිතයන් සිටී නම් ඔවුන් විසින් වටහා ගත යුතුය. ඉන් දැන් අදහස් වන්නේ ඒ හෝ මේ නියෝජිතයා එපා කීමක් නොවේ. මේ වනවිට එයින් අදහස් වන්නේ පවතින හිස් , දූෂිත හා අසාර්ථක පාර්ලිමේන්තු ක්රියාදාමයන් හා දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ප්රතික්ෂේප කිරීමකි.

4. ජන අරගලය වර්ධනය වී ඇති මට්ටම හා ගැඹුර අනුව එයට සිය මූලික පරමාර්ථ දිනා මිස ආපසු හැරෙන්නට නොහැකිය. පවතින රජය විසින් කෙටි කාලයකට ඉන්ධන , ගෑස් හා විදුලිය ප්රමාණවත් ලෙස ලබා දුන් විට අරගලකාරී ජනතාව පසුබැස ගෙවල් කරා ගොස් ‘දෙන දෙයක් කා වෙන දෙයක් බලා ඉන්නට’ සූදානම් වෙනු ඇතැයි යමෙක් සිතන්නේ නම් එය මහත්ම මුලාවකි. රාජපක්ෂ රෙජීමයේ දේශපාලන ගණනය එය විය හැකිය. බලය අත් නොහැර සිටීමට ඔවුන් පොළඹවන එක් කරුණක් මේ ගණනය විය හැකිය.
5. නමුත් රාජපක්ෂවරුන් බලය අත් නොහරින සැබෑ හේතුව කුමක්ද? එසේ කිරීමට ඔවුන්ට නොහැකි නිසාය. තම අතින් බලය ගිලිහුණොත් ඔවුන්ගේ දේශපාලන අනාගතය සම්පූර්ණයෙන් විනාශ වන බව ඔවුන් දන්නා නිසාය. තමන් රටටත් ජනතාවටත් කළ විනාශයන්ගේ වගකීම පුද්ගලිකවත් කණ්ඩායමක් වශයෙනුත් දරන්නට සිදුවෙන බව ඔවුන් දන්නා නිසාය. මේ නිසා බලයේ රැඳී සිටීම සඳහා ඔවුන් තමන් දන්නා සියළු උපාය හා උපක්රම යොදන බව අරගලකාරී ජනතාව දැන සිටිය යුතුය.
6. 225 ම එපා යන සටන් පාඨය ද මේ සන්දර්භය තුළ අලුත් තේරුමක් දරන බව ප්රබුද්ධ පාර්ලිමේන්තු නියෝජිතයන් සිටී නම් ඔවුන් විසින් වටහා ගත යුතුය. ඉන් දැන් අදහස් වන්නේ ඒ හෝ මේ නියෝජිතයා එපා කීමක් නොවේ. මේ වනවිට එයින් අදහස් වන්නේ පවතින හිස් , දූෂිත හා අසාර්ථක පාර්ලිමේන්තු ක්රියාදාමයන් හා දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම ප්රතික්ෂේප කිරීමකි. දේශපාලන නියෝජිතයන් ඇත්ත වශයෙන් නියෝජනය කරන්නේ මොනවාද ? ජනතාවගේ පැවැත්මට , යහපැවැත්මට හා නිදහසට අයත් මූලික අවශ්යතා ද නොඑසේ නම් තමන්ගේ පෞද්ගලික ආත්මාර්ථය මුල් කරගත් අවශ්යතා ද ? තමන්ගේ බල කණ්ඩායමේ/දේශපාලන කොම්පැණියේ අවශ්යතාද ? දේශපාලනය කළු කර්මාන්තයක් වී ඇති බව ජනතාව දන්නේය . එබැවින් ජනතාව ප්රතික්ෂේප කර සිටින්නේ මෙම නිර්ලජ්ජිත කළු කර්මාන්තයට මුක්කු ගහන සියළු සාධකයි. ඉදින් පාර්ලිමේන්තුවට සම්බන්ධ ප්රබුද්ධ දේශපාලන ව්යාපාර හා කණ්ඩායම් විසින් කළ යුත්තේ එම සටන් පාඨයට විරුද්ධ වනවා වෙනුවට , තමන්ගේ පටු පාක්ෂික සිතීමේ රාමු කඩා බිඳ ජන අරගලය සමග ඓන්ද්රිය සම්බන්ධතාවන් ඇති කරගැනීමයි.
7. රාජපක්ෂවරු බලය අත හරින්නේත් නැති , ජනතාව පස්සට යන්නේත් නැති ,
එබැවින් දේශපාලන ක්රියාදාමය යහපත් ඉසව්වක් කරා යෑමට දොරක් හැර ගන්නට ඉඩක් නැති ගැටයක අපි සිරවී සිටිමු. මේ දැඩි ගැටය ලෙහී දේශපාලනිකව වඩා ආලෝකමත් හා සාධනීය ඉමකට රට හා දේශපාලනය සංක්රමණය විය හැක්කේ කෙසේද ? ඒ සඳහා පෙනෙන පරිදි කොන්දේසි දෙකක් සම්පූර්ණ වීම අත්යවශ්ය බව පෙනේ;
* පාර්ලිමේන්තුව උපාමාරු හා සැඟවුණු න්යායපත්ර අතහැරදා ජන හඬට අවනත වී විධායක ජනාධිපති ක්රමය අවසන් කිරීමට හෝ අඩුම තරමින් 20 සංශෝධනය කටුගා දමා , ජනාධිපතිවරයා නීතියට යටත් තත්ත්වයට පත් කිරීමට හෝ වහාම පියවර ගත යුතුය. ඒ තත්ත්වය සම්පූර්ණ නොකර රාජපක්ෂවරුන් සහිත තාවකාලික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට යෑම ජන අරගලයට එරෙහිව සිට ගැනීමක් හා සමානය. එවැනි පාර්ලිමේන්තුවකට ජනතාව සමාව නොදෙනු ඇත.
* අනෙක් අත්යවශ්ය කොන්දේසිය වන්නේ අරගලය හා ඓන්ද්රීය ලෙස අනුබද්ධිත මහජන සභාවක් නිර්මාණය වීමයි. එහි මූලික කාර්යය විය යුත්තේ කුමක්ද? මග පෙන්වීමයි ; අප ගිලී සිටින දේශපාලනික , ආර්ථික, සමාජ , සංස්කෘතික හා ආචාරධාර්මික අර්බුදයෙන් සාධනීය ලෙස එතෙර වීමට ජන සමාජයට හා දේශපාලන සමාජයට මග පෙන්වීමයි. එබැවින් එම මහජන සභාව කළහකාරී පිල්බෙදීමක් බවට නොපිරිහෙන දියුණු ප්රබුද්ධ වේදිකාවක් වීම අත්යවශ්යය. එසේ වීමට නම් එය දැනට පවතින කිසියම් හෝ සංවිධානවල ( නියෝජිතයන්ගේ) එකතුවක් නොවිය යුතුය. අවශ්ය වන්නේ ( කෙනෙක් කිසියම් සංවිධානයක සාමාජිකයෙක් වුනත් ) වෙනත් න්යාය පත්ර රහිතව ජන අරගලයේ ඉහළ ප්රාර්ථනා සමග එකාබද්ධ වන , මෙතැනින් ඉදිරියට සමාජය හා දේශපාලන පිටිය තල්ලු කරන්නට කැපවන මෙන්ම ශක්තියක් ඇති තරුණ මෙන්ම වැඩිහිටි පුද්ගලයන්ගේ / ප්රජා නායකයන්ගේ /හා වෘත්තිකයන්ගේ සන්ධානගත වේදිකාවකි.
එබඳු මහජන වේදිකාවක් හදිසියේ එක් වර නිර්මාණය විය නොහැකිය ; නමුත් කල් ගන්නට ද අපට නොහැකිය ; ඉන් අදහස් වන්නේ පැරණි ක්රමයට අනුව ගොස් පුරවැසි නියෝජිතයන් පිරිසක් වහාම කැඳවා මේ සභාව සදා නිමකළ නොහැකි බවයි. අප සිතන්නේ මේ මහජන සභා ප්රයත්නය වහාම ආරම්භ කළ යුතු මුත් එය වේගයෙන් වර්ධනය වන හා පරිණාමය වන සාමුහික වේදිකාවක් ලෙස ස්ථාපනය කළ යුතු බවයි .

Archive

Latest news

Related news