Saturday, November 23, 2024

ජනමතවිචාරණයක්  නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කල හැකියි – ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නීතිඥ

‘විධායක ජනාධිපති ක‍්‍රමය’ අහෝසි කිරීම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයේ ප්‍රධාන වාද කරුණක් ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ අන්ත අසාර්ථකත්වයෙන් පසු යළිත් ඉස්මතු වී ඇත. ජනමත විචාරණයකදී ජනතා අනුමැතියකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් එය කළ හැකිද යන්න මෙහිදී නිසැකයෙන්ම මතුවේ. වෙනත් වචන වලින් කිවහොත්, ජනාධිපති ආණ්ඩුක්‍රමය ජනමත විචාරණයකදී අනුමැතියකින් මිස වෙනස් කල නොහැකි, නැතහොත් ‘මුල් බස්සවා ඇති’ (entrenched), ව්‍යවස්ථාමය ලක්ෂණයක්ද? ජනාධිපති ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ගැඹුරු සාකච්ඡාවකින් තොරව වුවද සාමාන්‍යයෙන් පිළිගෙන ඇති බවක් පෙනේ. නීති ප්‍රජාව තුල ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් දරන සුළුතරය අතර මෙම ලියුම්කරුද වේ.

“එහෙත් ඉතා වැදගත් කරුණක් වන්නේ 30(1) වගන්තිය ‘මුල් බස්සන ලද’ වගන්තියක් නොවීමයි. ජනමතවිචාරණයක් අවශ්‍ය ඒවා ලෙස 83 වන වගන්තියේ ලැයිස්තු ගත කර ඇති වගන්ති අතර 30(1) වගන්තිය නොමැත. මෙම ඇතුලත් නොකිරීම සිතාමතා කල බව නිගමනය කල යුතුය. 4 වන වගන්තියද එම ලැයිස්තුවට ඇතුලත් නොකිරීමෙන් මේ බව තවත් තහවුරුවේ.”

‘මුල් බස්සවා ඇති’ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන

 එසේ මුල් බස්සවා ඇති ප්‍රතිපාදන අප ව්‍යවස්ථාවේ 83 වන වගන්තියේ දක්වා ඇත. පහත සඳහන් වගන්ති සංශෝධනය කරන හෝ ඒ වෙනුවට වෙනත් ප්‍රතිපාදනයක් ඇතුල් කරන, එසේත් නැත්නම් ඒවාට අනුකූල නොවන පනත් කෙටුම්පතක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකදී අනුමැතිය ලැබිය යුතුය: 1 (රාජ්‍යය), 2 (ඒකීය රාජ්‍යය), 3 (ජනතාවගේ පරමාධිපත්‍යය), 6 (ජාතික කොඩිය), 7 (ජාතික ගීය), 8 (ජාතික දිනය), 9 (බුද්ධාගම), 10 (සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස), 11 (වධ හිංසාවලින් නිදහස), 83 වගන්ති ඒවාය. 30(2) හෝ 62(2) වගන්ති වලට පටහැනිව ජනාධිපතිවරයාගේ ධුර කාලය හෝ පාර්ලිමේන්තුව පවත්නා කාලය හය අවුරුද්ද ඉක්මවා දීර්ඝ කරන පනත් කෙටුම්පතකටද ජනමත විචාරණයකදී අනුමැතිය ලැබිය යුතුය.

3 වන වගන්තිය මෙසේය: ‘ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලයද ඇතුලත් වන්නේය.’ 4 වන වගන්තියෙන් පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම විස්තර කොට දක්වා ඇත. මෙම ලිපියට අදාළ වන 4(ආ) වගන්තිය මෙසේය: ‘රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කල යුත්තේය.’ 1978 ව්‍යවස්ථා පනත් කෙටුම්පතේ 4 වන වගන්තියද මුල් බැස්සවීමට යෝජනා කර තිබුණි. එහෙත් කාරක සභා අවස්ථාවේදී  83 වන වගන්තියේ ඇති මුල් බැස්සවූ වගන්ති ලැයිස්තුවෙන් 4 වන වගන්තිය ඉවත් කරන ලදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ණ විනිශ්චය ආසනයකින් තීරණයවූ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ නඩු තීන්දුවේදී අගවිනිසුරු ශර්වානන්ද 4 වන වගන්තියේ ව්‍යවස්ථාදායක ඉතිහාසය ගැන සඳහන් කරමින් කියා සිටියේ 83 වන වගන්තියෙන් එය ඉවත් කිරීම සිතාමතා කල බව නිගමනය කල යුතු බවය.  අගවිනිසුරු වරයා මෙසේ ප්‍රකාශ කළේය: ‘3 වන වගන්තියෙන් නියම කර ඇති පරිදි ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කෙරෙන තාක්, පරමාධිපත්‍යය ක්‍රියාත්මක වන නිශ්චිත ආකාරය සහ එසේ ක්‍රියාත්මක කිරීමට යොදන ආයතන මූලික නොවේ. 4 වන වගන්තියෙන් ජනතාවගේ පරමාධිපත්‍යය නිර්වචනය කිරීමක් හෝ එහි සීමා නිර්ණය කිරීමක් නොකෙරේ. එයින් කෙරෙන්නේ එකී  පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන එක් ආකෘතියක් සහ ආකාරයක් සඳහා ප්‍රතිපාදන සැලසීම පමණි. එම පරමාධිපත්‍යයට ආනුෂංගික වන ව්‍යවස්ථාදායක හෝ විධායක බලය ක්‍රියාත්මක කරන ආයතනය වෙනස් කිරීමෙන් පමණක් පරමාධිපත්‍යයට බාධාවක් විය නොහැක.’

විධායක ජනාධිපති ක්‍රමය මුල් බස්සවා නොමැත

ජනරජයේ ජනාධිපතිවරයා ගැන සඳහන් 30 වන වගන්තිය මුලින් වූයේ මෙසේය: ‘(1) ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයාද විධායකයේ ප්‍රධානයාද ආණ්ඩුවේ ප්‍රධානයාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය. (2) ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතු අතර සා අවුරුදු කාලයක් ධූරය දරන්නේය.’ 19 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධුර කාලය පස් වසරකට අඩු කරන ලදී.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමය ජනාධිපති ක්‍රමයක් වන්නේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා සහ විධායකයේ ප්‍රධානයා වීමට අමතරව ආණ්ඩුවේ ප්‍රධානයාද වීමෙනි. 1972 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා  රජයේ ප්‍රධානයා සහ විධායකයේ ප්‍රධානයා වුවත් ආණ්ඩුවේ ප්‍රධානයා නොවීය. තවද, ඔහු අගමැතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කල යුතුව තිබුණි. මේ අනුව 1978 ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රමයේ වෙනස ඇතිකළේ 30(1) වගන්තියෙනි.

එහෙත් ඉතා වැදගත් කරුණක් වන්නේ 30(1) වගන්තිය ‘මුල් බස්සන ලද’ වගන්තියක් නොවීමයි. ජනමතවිචාරණයක් අවශ්‍ය ඒවා ලෙස 83 වන වගන්තියේ ලැයිස්තු ගත කර ඇති වගන්ති අතර 30(1) වගන්තිය නොමැත. මෙම ඇතුලත් නොකිරීම සිතාමතා කල බව නිගමනය කල යුතුය. 4 වන වගන්තියද එම ලැයිස්තුවට ඇතුලත් නොකිරීමෙන් මේ බව තවත් තහවුරුවේ.

ජනාධිපති ධුරයේ විධායක ස්වරූපය ජනමතවිචාරණයකින් තොරව අහෝසි කිරීමට 2015 19 වන සංශෝධනය පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයෙන්ද දොර විවෘත වන බව ලියුම්කරු සැලකර සිටී. ජනමතවිචාරණයක් නොමැතිව වෙනසක් කිරීමට නම් ජනාධිපතිවරයා විධායකයේ ප්‍රධානයා ලෙස සිටින අතර විධායක  කාර්යයන් පිලිබඳ අවසාන ‘ක්‍රියාව හෝ තීරණය’ ජනාධිපතිවරයාගේ විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය ‘ක්‍රියාව හෝ තීරණය’ වාක්‍ය ඛණ්ඩයේ ‘හෝ’ යන්න යෙදීම ඉතා වැදගත්ය. ඒ අනුව, තීරණය ඔහුගේ නොවුනද අවසාන ක්‍රියාව ජනාධිපතිවරයාගේ නම් එය ප්‍රමාණවත්ය. ජනාධිපතිවරයා විසින් අගමැතිගේ උපදෙස් අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේ වෙනස කිරීමට ජනමතවිචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය නොකලේය. ඒ, අමාත්‍යවරු පත්කිරීම අගමැතිගේ තීරණය අනුව සිදුකලද එය ජනාධිපතිවරයාගේ ක්‍රියාව වන නිසාය.

ජනාධිපතිවරයා විධායක බලයේ එකම ගබඩා ගෘහය නොවේ

ජනාධිපතිවරයා විධායක බලයේ එකම ගබඩා ගෘහය නොවන බව 2002 වසරේ ඉදිරිපත්කල 19 වන සංශෝධනය පිලිබඳ තීරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්-පුද්ගල විනිශ්චය මඩුල්ලක් විසින්ද අවධාරණය කර තිබුණි. විධායක බලය ජනාධිපතිවරයා සමග අනන්‍ය සහ පුද්ගලාරෝපිත නොකර සැමවිටම ජනතාවගේ බලය ලෙස අනන්‍ය කලයුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

42 වන වගන්තියට අනුව ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිලිබඳ විධානය අමාත්‍ය මණ්ඩලයට භාර වන අතර එය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේය. ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු සහ එහි ප්‍රධානයා වන්නේය. අප ව්‍යවස්ථාව යටතේ විධායක බලයේ එකම ගබඩා ගෘහය ජනාධිපතිවරයා නොවන බව 42 වන වගන්තියෙන් ඒකාන්තයෙන් ස්ථාපිත කරන බව 2015 වසරේ 19 වන සංශෝධනය පිලිබඳ තීරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

“4 වන සහ 30(1) වගන්ති මෙන්ම ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කල යුතු බවට 30(2) වගන්තියේ ඇති ප්‍රතිපාදනය 83 වන වගන්තියට ඇතුලත් නොකර මුල් නොබැස්සවීමට 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් දැනුවත්ව ගත් තීරණය අනුව ජනාධිපතිධුරයේ විධායක ස්වරූපය ජනමතවිචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පමණක් අහෝසි කිරීමට ඉඩ සලසන බව”

ජනාධිපතිවරයා ඍජු ඡන්දයෙන් තෝරා පත්කිරීමද මුල් බස්සවා නොමැත

 මුල් බස්සවන ලද ප්‍රතිපාදන ලැයිස්තුවෙන් බැහැර කර ඇත්තේ 30(1) වගන්තිය පමණක් නොවේ. 30(2) වගන්තියේ ‘ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කර ගනු ලැබිය යුතුය’ යන කොටසද 83 වගන්තියේ දක්වා ඇති වගන්ති ලැයිස්තුවෙන් බැහැර කර ඇත. 30(2) වගන්තියේ ඉතිරි කොටස පමණක්, එනම් ජනාධිපතිවරයාගේ  ධුර කාලයට අදාළ කොටස, එම ධුර කාලය හය අවුරුද්දකට වඩා දීර්ඝ කල නොහැකි ලෙස මුල් බස්සවා ඇති බව වැදගත්ය.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා පත්කිරීම ජනතාවගේ පරමාධිපත්‍යයට හානිකර නොවේ. ඇත්තෙන්ම, දැනුදු, ජනාධිපති ධුර කාලය ඉක්මවීමට පෙර එම ධුරය හිස් වුවහොත් 40(1)(අ) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතුරින් එම ධුරයට සුදුසුකම් ඇති අයෙකු තෝරා පත්කර ගනු ලැබේ. ජනාධිපති ප්‍රේමදාස ඝාතනය කල විට ඩී. බී. විජේතුංග ජනාධිපති ලෙස පාර්ලිමේන්තුව විසින් තෝරා කර ගන්න ලද්දේ ඒ අනුවය.

නිගමනය

 4 වන සහ 30(1) වගන්ති මෙන්ම ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරා පත් කල යුතු බවට 30(2) වගන්තියේ ඇති ප්‍රතිපාදනය 83 වන වගන්තියට ඇතුලත් නොකර මුල් නොබැස්සවීමට 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් දැනුවත්ව ගත් තීරණය අනුව ජනාධිපතිධුරයේ විධායක ස්වරූපය ජනමතවිචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් පමණක් අහෝසි කිරීමට ඉඩ සලසන බව මෙම ලියුම්කරු කියා සිටී. අවශ්‍ය වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයට හානි නොකර එසේ කිරීමයි.

අවම වශයෙන් පහත සඳහන්  ප්‍රතිපාදන ඇතුලත් ව්‍යවස්ථා සංශෝධනයකින් ජනතාවගේ පරමාධිපත්‍යයට හානියක් නොවන ලෙස එසේ කල හැකි බව ලියුම්කරුගේ මතයයි.

(අ) ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයාද විධායකයේ ප්‍රධානයාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය.

(ආ) පාර්ලිමේන්තුව සර්වජන ඡන්ද බලය පදනමින් තෝරා පත් කෙරේ.

(ඇ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අනුව පත් කෙරෙන ස්වාධීන මැතිවරණ කොමිසමක් ස්ථාපනය කිරීමෙන් නිදහස් සහ සාධාරණ මැතිවරණ පැවැත්වීම සහතික කල යුතුය.

(ඈ) අගමැතිවරයා, අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුතුය.

(ඉ) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කෙරේ.

(ඊ) ව්‍යවස්ථාවෙන් ප්‍රකාශිතව දක්වා ඇති අවස්ථාවලදී හැර අන් සියලු අවස්ථාවලදී ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කල යුතුය.

(උ) සියලු රාජ්‍ය ක්‍රියාවල නීත්‍යානුකූලභාවය අධිකරණය විසින් සමාලෝචනය කරවා ගැනීමට පුරවැසියන්ට අයිතිය තිබිය යුතුය.

(ඌ) අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු විය යුතුය.

(එ) 20 වන සංශෝධනයෙන් අහෝසි කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නැවත ස්ථාපනය කර වඩා ශක්තිමත් කල යුතුය. යෝජිත පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය යටතේද ඉහල තනතුරු වලට සහ ස්වාධීන කොමිෂන් සභා වලට කරන පත්කිරීම් ජාතික එකඟත්වයකින් සිදුකිරීම එම සභාවේ සහභාගිත්වයෙන් සහතික කල යුතුය.

(මෙම ලිපිය 22.04.01 දින ‘අනිද්දා පුවත්පතෙහි මුල්වරට පළ විය.)

Archive

Latest news

Related news