Thursday, April 25, 2024

කසීගේ  ලෝකය (02): ලුවී බ්‍රයි සහ දෘශ්‍යාබාධිත ලක්ෂ 390

සුනන්ද දේශප්‍රිය.

මෙම වසරේ ද කසීට පන්තිය හමුවේ ඉදිරිපත් කිරීමේ පැවරුමක්  තිබුණි. මෙවර ගුරුවරිය  යෝජනා කර තිබුණේ  තමන්ට ද අදාළ වැදගත් සොයා ගැනීමක් ගැන විනාඩි 05ක ඉදිරිපත් කිරීමකි.

කසී යනු, මා මෙයට පෙරද ලියා ඇති, මා මෙහි පැමිණ මාස කිහිපයකදී  උපත ලද මගේ කුඩා මිතුරාය. දැන් ඔහුට අවුරුදු 11කි. ඔහු දිනෙන් දින ලාබාල යෞවනයකු බවට පත්වන සැටිත් ඒ ගමනේ හවුල්කරුවකුවීමට ඉඩ ලැබීම විසිනුත් මගේ ස්විස් ජිවිතය ආලෝකමත් වෙයි.

කෑම මේසයේ තීරණය

තමා කැමැති ඉදිරිපත් කිරීම් ගැන අදහස් කිහිපයක්ම රෑ කෑම මේසයේදී ඔහු, අප ඉදිරියේ තැබීය. අනතුරුව  ඔහු ලුවී බ්‍රයි (Louis Braille) ගැන පවර් පොයින්ට් ඉදිරිපත් කිරීමක් කිරීමට තීරණය කළේය.

ඊළඟ දවසේ රෑ කෑම තීරණය වන්නේ ද එළෙසම පෙරදා රෑ කෑම මේසයේදී ය. ඉදහිට අපි කසීට නිශෞධ බලය දෙමු!

අප සිංහල බසින් බ්‍රේල් යයි කියන දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට ලීවීම සහ කියැවීම සඳහා යොදා ගන්නා බ්‍රයි නමින් කියවෙන බස නිම වූයේ ලුවී බ්‍රයි ය.

බ්‍රේල් ක්‍රමය

සොෆියා විරුද්ධ වෙයි!

එසේ නමුත් ඔහුගේ ගුරුවරිය බ්‍රයි ක්‍රමය සමඟ ඔහුට සම්බන්ධයක් නැති බැවින්, එනම් පවුලේ කිසිවකු දෘශ්‍යාබාධිත නොවන බැවින්, වෙනත් මැයක් තෝරා ගන්න‌ට කීයා තිබුණි.

කසී ගුරුවරිය සමඟ එකඟ වූයේ නැත. නිවසට පැමිණ පරිඝනකය ඉදිරියේ වාඩී බ්‍රයි  ලීවීම සහ කියවීම ගැන වඩා තොරතුරු සොයා ගත්තේය. පසුදා පන්තියේ දී සොෆියා ( එනම් ගුරුතුමිය) හමුවී  ‍ ලෝකයේ මිලියන 39ක්ද ස්විස්ටර්ලන්තයේ  325,000  ක්ද දෘශ්‍යාබාධිත පිරිස් සිටින බවත් බ්‍රයි  වසය 15 දී මෙම ක්‍රමය අත්හදා බැලූ බැවින් ළමයකු වශයෙන් එම සොයා ගැනීම තමාට අදාළ බවටත් තර්ක කළේය. ගුරුවරටෙ එකඟවීම හැර අන් විකල්පයක් නොතිබුණි.

දරුවකුගේ ස්වාධීනත්වය සහ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන්නේ එසේය.

කසී – දරැවකුගේ ආත්ම විශ්වාසය ගොඩ නැගෙන හැටි

කසීගෙන් ඉගෙන ගැනීම

මා බ්‍රේල් ක්‍රමය ගැන මඳක් දැන සිටි නමුත් ලුවී බ්‍රයි ගැන කිසිවක් දැන සිටියේ නැත. කසී පවර් පොයින්ට් ඉදිරිපත් කිරීම සකස් කරන අතරවාරයේ වරින් වර පැමිණ මට බ්‍රයි ගැන කියන්නට පටන් ගත්තේය.

ඔහු මගේ කාමරයට වරින් වර එන්නේ මගේ ජංගම දුරකථනය ගෙන එහි ඔහු බා ගත කර ගෙන ඇති ෆීෆා පාපන්දු ගේම් ගැසීමටය. එම ඇප් හරහා ඔහු ලොව හොඳම සහ තමා කැමැති පාපන්දු ක්‍රීඩකයින් තමාගේ පිළට එක් කර ගෙන ෆීෆා පිළ සමඟ පාපන්දු ක්‍රීඩා කරයි. ඔහුගේ  ක්‍රීඩකයින් ඇඟිළි දෙකකින් හැසිරවිය යුතු අතර ෆීෆා කණ්ඩායම ස්වංක්‍රීයව ක්‍රීඩා කරයි. ෆීෆා කණ්ඩායම පැරදවීම අසීරුය.

15 වියැති නව නිර්මාපකයා

1809 ජනවාරි 4 වන දින ලුවී බ්‍රයි ඉපදුණේ ප්‍රංශයේ කුප්රේ නම් කුඩා නගරයක ය. ලුවීගේ පියාට ගමේ අශ්ව සැදෑල සාදන කුඩා ගෘහ වැඩපොළක් තිබුණි.

බ්‍රේල් ක්‍රමයට ලුවී බ්‍රයි ලිවීම

කුඩා  කළ ලුවී බොහෝ විට තම පියාගේ වැඩමුළුවේ සෙල්ලම් කරමින් කාලය ගත කළේය. දිනක්, වයස අවුරුදු තුනේ දී, ඔහු හම් කැබැල්ලක් සිදුරු කිරීමට උත්සාහ කරත්ම උල් ආයුධය ලිස්සා පැමිණ ඔහුගේ එක් ඇසකට වැදුණි.

මෙම අනතුර නිසා පළමුව එක් ඇසක් නොපෙනී ගිය වූ ලුවීගේ අනෙක් ඇසද ඉක්මණින්ම නොපෙනී ගියේය.

ලුවී කඩිසර සහ දීප්තිමත් ශිෂ්‍යයෙක් විය. ඔහු සංගීත භාන්ඩ වයන්නට පටන් ගත්තේය. වයස අවුරුදු 10 දී ලුවීට, ලෝකයේ පළමු අන්ධ පාසල වූ  දෘශ්‍යාබාධිත දරුවන් සදහා වු පැරිසියේ රාජකීය ආයතනයට ඇතුල් වීමට  හැකි විය.

1821 දී ප්‍රංශ හමුදාවේ කපිතාන් චාල්ස් බාර්බියේ විසින් ස්පර්ශක සන්නිවේදන තිත් පද්ධතියක් නිර්මාණය කර තිබුණි.  ඒ ආලෝකයක් නැතිව අන්ධකාරයේදී යුධ පිටියේ සෙබළුන්ට ආරක්ෂිතව තොරතුරු සන්නිවේදනය කර ගැනීම සඳහාය.

ඉතා දීප්තිමත් ශිෂ්‍යයෙකු වූ ලුවී, බාර්බියේගේ සංකීර්ණ ක්‍රමය ඉගෙන ගෙන  දෘශ්‍යාබාධිත පුද්ගලයන් සඳහා වඩාත් හිතකාමී විය හැකි පරිදි එය සරල  කළේය.

1824 දී, එනම් ඔහුට වයස අවුරුදු 15 වන විට, ඔහු බාර්බියේගේ  තිත් 12, හයකට අඩු කර ඇඟිලි තුඩකට වඩා විශාල නොවන ප්‍රදේශයක සටහන් කළ හැකි තිත් හයක ක්‍රමයක් නිර්මාණය කළේය. එමගින් අකුරු 63 ක් ලිවීමට හැකි විය.

බ්‍රේල් ක්‍රමය ජනගත කිරීම

ඔහු පසුව සංගීතය සහ ගණිතය සඳහා ඔහුගේ කේතය වර්ධනය කළේය. ලුවී දක්ෂ චෙලෝ වාදකයකු වී ප්‍රධාන පෙළේ දේවස්ථාන කිහිපයකම වාදක කණ්ඩායම්වලටද බැදුණි.

බ්‍රේල් හෝඩිය

වයස අවුරුදු 20 දී ලුවී  දී ඔහුගේ බ්‍රයි ලිවීමේ සහ කියවීමේ පද්ධතිය ප්‍රකාශයට පත් කළේය. ඊළඟ වසරවල දී බ්‍රයි ක්‍රමය මගින් ලියන ලද පිළිබඳ ප්‍රකාශන ගණනාවක් ලුවී නිකුත් කළේය. මේ අතර ඔහු තමා ඉගෙන ගත් පාසැලේම විද්‍යා විෂයන් ඉගැන්වීමද ආරම්භ කළේය.

එසේ වෙතත් ලුවීගේ බ්‍රයි කේතය එහි ඉගැන් වූ ඇස් පෙනෙන අනෙක් ගුරුවරුන් පිළිගත්තේ නැත. එබැවින් ලුවී  සිසුන්ට බ්‍රයි ක්‍රමය  පුද්ගලිකව ඉගැන්වීමට සිදුවිය. ගුරුවර-ගුරුවරියන් පමණක් නොව පමණක් නොව රාජකීය පාසල ද නිල වශයෙන් බ්‍රයි නොහොත් බ්‍රේල් ක්‍රමය පිළිගත්තේ නැත.

40 හැවිරිදි වියෙහි දී ක්ෂය රෝගය වැළඳුන ලුවී 1852 ජනවාරි 6 දින මිය ගියේ සිය සොයා ගැනීමට නිසි පිළිගැනීමක් නැතිවය. එකළ ක්ෂය රෝගය මාරාන්තික විය.

එනමුත් ලුවී බ්‍රයි විසින් උගන්වන ලද  දෟෂ්‍යාබාධිත සිසු සිසුවියන්ගේ ඉල්ලීම සහ බල කිරීම නිසා ඉන් වසර දෙකකට පසුව බ්‍රයි නොහොත් බ්රේල් 1854 දී රාජකීය පාසලට පිළිගැනීමට සිදුවිය.

19 වැනි සියවසේ අග භාගය වන විට බ්‍රයි නොහොත් බ්‍රේල් ලොව පුරාම කරා ව්‍යාප්ත වී තිබුණි.

පසුව  බ්‍රේල් තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් බ්‍රේල් ලිවීමේ යතුරු සහිත යතුරු ලියනයද   අනතුරුව නවීන  විද්‍යුත් බ්‍රේල් සටහන් සහිත පරිගණක ද බිහි විය.

ලුවී බ්‍රයිගේ සොයා ගැනීමට නිසි වටිනාකම ප්‍රංශ රජය රජය දුන්නේ ඔහුගේ මරණයෙන් වසර සියයකට පසු 1952 දීය.

ඔහුගේ දේහය කුප්රේ  ගමේ සුසාන භූමියෙන් ගොඩ ගෙන වොල්ටෙයර් සහ රෑසෝ වැනි ලෝ ප්‍රකට ප්‍රංශ ජාතිකයන් මිහිදන් කර ඇති පැරිස් සුසාන භූමියේම තැන්පත් කරන ලදී.

එසේ නමුත් එම සිරුර එහි මිහිදන් කැරුණේ ලුවී බ්‍රයි ලියූ දෑත් නැතිවය.  ඔහුගේ දෑත් එහි වටිනාකම සහ අයිතිය සළකා ඔහුගේ ගමෙහිම මිහිදන් කෙරුණි.

ලුවීගේ උපන් දිනය  වන ජනවාරි 4 වන දින ලෝක බ්‍රයි නොහොත් බ්‍රේල් දිනය ලෙස සෑම වසරකම දැන් සමරනු ලැබේ.

සිය ඉදිරිපත් කිරීම කළ දා කසී පාසල ඇරී, දෙපැයක් සවස පාසැළේ ක්‍රීඩා කර ගෙදර ආවේ “මට බ්‍රයි වෙනුවෙන් ලකුණු හයෙන් හයම ලැබුණා” යැයි  සිනහ වෙමිනි.

ළකුණු හයක් ලබන හැම අවස්ථාවකම ඔහුගේ මවගෙන් ඔහුට ටින් ටින් හෝ වෙනත් කැමැති කාටූන් පොතක් තෑගි ලැබේ.

“ මටත් බ්‍රයිගේ ගෝලයන්ට වගේම සොෆියා ( එනම් ගුරුවරිය) එක්ක වාද කරන්න වුණා. ළමයි හැමෝම මගේ ඉදිරිපත් කිරීමට සතුටු වුණා. ප්‍රශ්නත් ඇහුවා” යැයි කී කසී මගේ දුරකථන තිරයේ පීෆා පාපන්දු ක්‍රීඩාවට බැස්සේය!

ලෙවන්ඩොස්කි සහ ලියෝ මෙසි

ඔහුගේ ජනප්‍රියම  කණ්ඩායම ජර්මනියේ මියුනික් හි බයර්න් කණ්ඩායමයි. ඔහුගේ ජනප්‍රියම ක්‍රීඩකයා එම කණ්ඩායමට ක්‍රීඩා කරන පෝලන්ත ජාතික ලෙවන්ඩොස්කිය.

මම  පැරිස් සන් ෂෙමා කණ්ඩායමටත් එහි ක්‍රීඩා කරන ලියෝ මෙසිටත් කැමැතතෙමි.

මෙර්සි කූල් ක්‍රීඩකයෙකි.

ලෙවෙන්ඩොස්කි අලංකාර ප්‍රහාරකයෙකි.

වෙනස, වයස විය හැකිය!

Archive

Latest news

Related news