Friday, April 19, 2024

පළාත් පාලන කාන්තා නියෝජනය නැති කරන පොහොට්ටුවේ යෝජනාව පරාජයට සිවිල් සංවිධාන එක් විය යුතුයි.

රජිත් කීර්ති තෙන්නකෝන්.

මැතිවරණ ක්‍රම සංශෝධනය පිළිඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙත පොහොට්ටුව පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති පළාත් පාලන ඡන්ද ක්‍රම සංශෝධනය තුලින් කාන්තා නියෝජනය 25% සිට 16% දක්වා අඩුවනු ඇත. පළාත් පාලන නියෝජනයයේ මේ වන විට  23% ක කාන්තා නියෝජනයක් පවතී.  නව මැතිවරණ ක්‍රමයේ නිර්මාතෘවරුවරුන් කුමක් කීවත් නව ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නම්, කාන්තා නියෝජනය 16% ක් දක්වා පහත වැටීම නොවැලැක්විය හැකිය.  මේ රටේ සියළුම කාන්තා සංවිධාන, සිවිල් සංවිධාන පළාත් පාලනයේ කාන්තා නියෝජනය අඩු කරන පලාත් පාලන ඡන්ද ක්‍රම සංශෝධනය පරාජ කිරීමට එක් විය යුතු යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

පලාත් පාලන ආයතනයන් හි සභික සංඛ්‍යාව වැඩි බවට වන ජයප්‍රිය තර්කය මත පදනම්ව කාන්තා නියෝජය පහත දමමින් 35%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නා පක්ෂයකට පළාත් පාලන ආයතනයේ 60% ඉක්මවන සභික සංඛ්‍යාවක් ලබා ගැනීමට නව ඡන්ද ක්‍රමයෙන් උත්සහ දරයි.  1965 වන විට ලංකාවේ පළාත් පලාන ආයතනයනි හි සභිකයින් 9000 ක් සිටි අතර, අද වසර 55 කට පසුව රටේ ජනගහනය මිලියන 10 ක් පමණ වැඩිවී ඇති නමුත්, සභික සංඛ්‍යාව 8711 කි. වත්මන් පලාත් පාලන ක්‍රමය තුල නොමැති අර්බුදයක්/ප්‍රශ්නයක් මතු කරමින් ඡන්ද ක්‍රමයේ සමානුපාතික නියෝජනය විකෘති කිරීම ඡන්ද යෝජනාවේ අරමුණ වී ඇත.

මහාචාර්ය සුදන්ත ලියනගේ ගේ කාන්තා නියෝජන සංකල්පය ‘කතාව දෝලාවෙන් – ගමන පයින්‘ ආකාරයේ නෙයියාඩගමකි.  සමානුපාතික ක්‍රමය, කාන්තා නියෝජනය සුරංගනා කතා කියමින් සමානුපාතික නියෝජනය විනාශ කරමින්, කාන්තා නියෝජය හකුලා දැමීමකි.

පලාත් පාලන ආයතනයන් හි කාන්තාවන් 2002 ක් සභිකාවියන් ලෙස කටයුතු කරයි.  එය ප්‍රතිශතයක් ලෙස සභාවල මුළු සභික සංඛ්‍යාවෙන් 22.98% කි.  වත්මන් පළාත් පාලන ආයතනයන් හි ද, කාන්තා නියෝජනය 25% ක් ලෙස පවතින්නේ නැත.   

පලාත් පාලන කොට්ඨාශ 5077 කින්, කාන්තාවන් ජයග්‍රහණය කරනු ලැබ ඇත්තේ කොට්ඨාශ 554 ක් (10.9%) ක් පමණී. සභාවන් හි කාන්තා නියෝජනය 23% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වුවේ, සමානුපාත ක්‍රමය යටතේ හිමිවන සභික ධූර අනිවාර්ය කිරීමෙනි.  තෝරාපත්කර එවනු ලැබූ සභිකයින් 3634 ක් අතර සභිකාවියන් 1448 (40%) ක්ම කාන්තාවන් ය.  දේශපාලන පක්ෂ නායකයින්/මහ ලේකම්වරුන්ට, තෝරාපත් කර එවන සභික සංඛ්‍යාවෙන් 40%ක් කාන්තාවන් පත් කිරීමට සිදු වූවේ කැමැත්තකින් නොව, එය අනිවාර්ය කිරීම නිසාමය.

2018 පලාත් පාලන ඡන්දයෙන් දෙවන, තෙවන, සිව්වන ස්ථානවලට පත්  එජාපය, එජනිස, ජවිපෙ, මන්ත්‍රීවරුන්ගෙන් බහුතරය කාන්තාවන් වී ඇත්තේ ඒ නිසාය.

නව ඡන්ද සංශෝධනය තුල එල්ලන ලද මන්ත්‍රී සංඛ්‍යාව (Over Hang) ඉවත් කිරීම තුල මහ ලේකම්වරුන්ට කාන්තාවන් පත් කිරීමට ඇති ‍අවකාශයෙන් ආසන 385 ක් ඉවත් වී යයි.   

මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට  ඉදිරිපත් කර ඇති  යෝජනාවෙන් සභික සංඛ්‍යාව 20 ට විට 1 ක් ද,  20 ට වැඩි සභිකයින් සහිත ආයතන ජයග්‍රාහකයින්ට සභික ධූර දෙකක් ද, බෝනස් වශයෙන් ලබාදීමට යෝජනා කර ඇත. මෙය සමානුපාතික නියෝජනය ක්‍රමයේ පදනම විනාශ කිරීමකි. 

කොට්ඨාශ මට්ටමින් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරනු ලබන කාන්තා අපේක්ෂිකාවන්ගේ සංඛ්‍යාව 20% දක්වා ඉහළ නැංවීමකින් පමණක්, කිසිදු ආකාරයකින් 25%ක කාන්තා නියෝජනයක්  සභාව තුල ස්ථාපනය කළ නොහැකිය.  ඒ සඳහා කොට්ඨාශයවලින් 40%ක කාන්තාවන් ප්‍රමාණයකට නාම යෝජනා ලබාදීම අත්‍යවශ්‍ය වනු ඇත.  

දිගු කාලීන අරගලයක ප්‍රතිඑලයක් ලෙස ස්ථාපනය කරනු ලැබූ පළාත් පාලන ආයතනයන් හි කාන්තා නියෝජනය ආණ්ඩු බලය සහිත දේශපාලන කණ්ඩායමට අවශ්‍යතාව මත විකෘති කිරීම පරාජය කිරීමට සියළු කාන්තා සංවිධාන හා සිවිල් කණ්ඩායම් එක් විය යුතුව ඇත.

සමගි ජනබලවේගය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළුම දේශපාලන පක්ෂවල කාන්තා සංවිධාන කාන්තා නියෝජනයේ 25%ක කෝටාව හෝ රැකගැනීමට පෙරමුණ ගත යුතුව ඇත.

 

රජිත් කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Archive

Latest news

Related news