Wednesday, April 24, 2024

ව්ලැඩිමීර් පුටින් දැනටමත් මෙම යුද්ධයෙන්  පරාජය වී ඇත්තේ ඇයි? – යුවාල් නෝවා හරාරි

ඡායාරූපය: කියෙව්හි වෙළෙදපොළ පර්යේෂකවරියක් වන 52 හැවිරිදි මරියානා ෂග්ලෝ,  රුසියානු ප්‍රහාරයක් වැලැක්වීම සඳහා ඇයගේම අධි බලැති රයිෆලයක් මිලදී ගෙන ඇත.(nypost.com)

යුද්ධයට සතියකටත් අඩු කාලයක් ගතවෙත්දී  ව්ලැඩිමීර් පුටින් ඓතිහාසික පරාජයක් කරා ගමන් කරන බව වැඩි වැඩියෙන් පෙනෙන්නට තිබේ. ඔහුට යුක්රේනයේ සියලු සටන් ජය ගත හැකි නමුත් යුද්ධයෙන් පරාජය විය හැකිය.

යුක්රේනයට වසර දහසකට වැඩි ඉතිහාසයක් තිබේ

රුසියානු අධිරාජ්‍යය යළි ගොඩනැගීමේ පුටින්ගේ සිහිනය සැමවිටම රැඳී ඇත්තේ යුක්රේනය සැබෑ ජාතියක් නොවන බවත්, යුක්රේනියානුවන් සැබෑ ජනතාවක් නොවන බවත්, කියෙව්, කාර්කිව් සහ ලිවිව් වැසියන් මොස්කව් පාලනය සඳහා ආශාවෙන් සිටින බවත් යන බොරුව මතය. එය සම්පූර්ණ බොරුවකි.

යුක්රේනය වසර දහසකට වඩා වැඩි ඉතිහාසයක් ඇති ජාතියක් වන අතර මොස්කව් ගමක් පවා නොවූ කාලයෙහි කියෙව්  ප්‍රධාන අගනගරයක් වී තිබුණි. නමුත් රුසියානු ඒකාධිපතියා ඔහුගේ බොරුව බොහෝ වාරයක් පවසා ඇති අතර ඔහුම දැන් එය විශ්වාස කරයි.

පූටින්ගේ යුද්ධ ගණිතය

යුක්රේනය ආක්‍රමණය කිරීම සැලසුම් කරන විට, පුටින් බොහෝ දන්නා කරුණු මත ගණන් සාදන්නට ඇත. යුක්රේනය යුදමය වශයෙන් රුසියාව ඉදිරියෙහි වාමනයකු  බව ඔහු දැන සිටියේය. යුක්රේනයට උදව් කිරීමට නේටෝ හමුදාව නොයවන බව ඔහු දැන සිටියේය. රුසියානු තෙල් හා ගෑස් මත යුරෝපීය යැපීම නිසා ජර්මනිය වැනි රටවල් දැඩි සම්බාධක පැනවීමට පසුබට වන බව ඔහු දැන සිටියේය. මෙම දන්නා කරුණු මත පදනම්ව, ඔහුගේ සැලැස්ම වූයේ යුක්රේනයට තදින් හා වේගයෙන් පහර දීම, එහි ආණ්ඩුවෙහි හිස ගසා දැමීම, කියෙව්හි රූකඩ පාලනයක් පිහිටුවීම සහ බටහිර සම්බාධකවල බෙලහීන කෝපය ඇතිවීමට පෙර ආපසු යාමයි.

නමුත් මේ සැලසුමෙහි   නොදන්නා විසල් සාධකයකුත් තිබුණි. එය නම් ඇමරිකානුවන් ඉරාකයේ ඉගෙන ගත් සහ සෝවියට්වරු ඇෆ්ගනිස්ථානයේ ඉගෙන ගත් පරිදි, රටක් අල්ලා ගැනීමට වඩා එය යටත් කර තබා ගැනීම ගැනීම අපහසු බවයි.

යුක්රේනය යටත් කර ගැනීමේ බලය තමන්ට ඇති බව පුටින් දැන සිටියේය. නමුත් යුක්රේන ජනතාව මොස්කව් රූකඩ පාලනය පිළිගනීවි යැයි පුටින්  කෙළියේ සූදුවකි. ඇත්ත වශයෙන්ම, ඔහුට සවන් දෙන හැම කෙනෙකුට ඔහු නැවත නැවතත් පැහැදිලි කළ පරිදි, යුක්රේනය සැබෑ ජාතියක් නොවන අතර යුක්රේනියානුවන් සැබෑ ජනතාවක් නොවේ. 2014 දී ක්‍රිමියාවේ මිනිසුන් රුසියානු ආක්‍රමණිකයන්ට විරුද්ධ වූයේ නැත. 2022 දී යුක්රේනය මීට වඩා වෙනස් විය යුත්තේ ඇයි?

පුටින්ගේ අසාර්ථක වූ සූදුව

ගෙවී යන සෑම දිනකම, පුටින්ගේ සූදුව අසාර්ථක වන බව පැහැදිලි වෙමින් තිබේ. යුක්රේනියානු ජනතාව මුළු හදවතින්ම විරුද්ධ වෙමින්, මුළු ලෝකයේම ප්‍රසාදය දිනා ගනිමින්  යුද්ධය ජයග්‍රහණය කරති. ඔවුන් ඉදිරියෙහි බොහෝ අඳුරු දින ඇත.

“ද්වේෂය යනු චිත්තවේගයන්ගෙන් දුෂ්ඨතම එකය. එහෙත් පීඩිත ජාතීන්ට වෛරය සැඟවුණු නිධානයකි. හදවතේ ගැඹුරට තැන්පත් වී , එමගින් පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රතිරෝධය පවත්වා ගත හැකිය.”

සටන් දිනා යුද්ධය පැරදීම

රුසියානුවන්ට තවමත් මුළු යුක්රේනයම යටත් කර ගැනීමට හැකියාව තිබේ. නමුත් යුද්ධය ජය ගැනීමට නම් රුසියානුවන්ට යුක්රේනය අල්ලා ගෙන සිටීමට  සිදුවනු ඇත.  ඔවුන්ට එය කළ හැක්කේ යුක්රේන ජනතාව ඊට ඉඩ දුන්නොත් පමණි. වැඩි වැඩියෙන් පෙනෙන්නේ මෙය සිදු විය නොහැකි  දෙයක් බවයි.

විනාශ කරන ලද සෑම රුසියානු යුද ටැංකියක්ම සහ මිය යන සෑම රුසියානු සොල්දාදුවෙක්ම යුක්රේනියානුවන්ගේ ධෛර්යය වැඩි කරයි. තවද මරා දමනු ලබන සෑම යුක්රේන ජාතිකයෙකු විසින්ම යුක්රේනියානුවන්ගේ වෛරය ගැඹුරු කරයි.

ද්වේෂය යනු චිත්තවේගයන්ගෙන් දුෂ්ඨතම එකය. එහෙත් පීඩිත ජාතීන්ට වෛරය සැඟවුණු නිධානයකි. හදවතේ ගැඹුරට තැන්පත් වී , එමගින් පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රතිරෝධය පවත්වා ගත හැකිය.

රුසියානු අධිරාජ්‍යය යළි පිහිටුවීම සඳහා පුටින්ට සාපේක්ෂ වශයෙන් ද්වේෂ රහිත සාමයක් කරා ගමන් කළ හැකි සාපේක්ෂ ලේ රහිත ජයග්‍රහණයක් අවශ්‍ය වේ.

“අවසානයේ  විග්‍රහයේදී ජාතීන් ගොඩනැගෙන්නේ කතා මත ය. ගෙවී යන සෑම දිනකම යුක්රේනියානුවන් ඉදිරි අඳුරු දිනවල පමණක් නොව, ඉදිරි දශකවල සහ පරම්පරාවන්හි පැවසෙනු  ඇති  කථා තව තවත් එක් වෙයි.”

වැඩි වැඩියෙන් යුක්රේන ලේ වැගිරීමෙන් පුටින් තම සිහිනය කිසිදා සැබෑ නොවන එකක් බව සහතික කරගනී.

එය රුසියානු අධිරාජ්‍යයේ මරණ සහතිකයේ ලියවෙනු ඇත්තේ ඇති මිහායිල් ගොර්බචෙව්ගේ නම නොවේ. පුටින්ගේ නමය. ගොර්බචෙව් රුසියානුවන්ට සහ යුක්රේනියානුවන්ට සහෝදර සහෝදරියන් වැනි හැඟීමක් ඇති කළේය. පුටින් ඔවුන් සතුරන් බවට පත් කර, යුක්රේන ජාතිය මෙතැන් සිට රුසියාව සතුරකු නිර්වචනය කරන  බව සහතික කර ඇත.

අවසානයේ  විග්‍රහයේදී ජාතීන් ගොඩනැගෙන්නේ කතා මත ය. ගෙවී යන සෑම දිනකම යුක්රේනියානුවන් ඉදිරි අඳුරු දිනවල පමණක් නොව, ඉදිරි දශකවල සහ පරම්පරාවන්හි පැවසෙනු  ඇති  කථා තව තවත් එක් වෙයි.

තමන්ට අවශ්‍ය පතොරම් මිස සවාරියක් නොවන බව ඇමරිකාවට කියමින් අගනුවරින් පලායාම ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා ද  රුසියානු යුධ නැවකට ” උඹම හුකවාගනින්” යැයි පැවසූ සර්ප දූපතේ සොල්දාදුවන්, සිය වීදියේ  වාඩි වී රුසියානු ටැංකි නැවැත්වීමට උත්සාහ කළ සිවිල් වැසියන් යනු ජාතීන් ගොඩනැගුණු කතාන්තරය. දිගු කාලීනව, මෙම කථා යුද ටැංකි වලට වඩා බලවත් වනු ඇත.

පූටින් වීරකතා වල දුෂ්ඨයා බවට

රුසියානු ඒකාධිපතියා  මෙන්ම ඕනෑම අයෙකු මෙම ඇත්ත දැන සිටිය යුතුය. කුඩා කාලයේදී ඔහු හැදී වැඩුණේ ලෙනින්ග්‍රෑඩ් වටලෑමේදී රුසියානු නිර්භීතකම පිළිබඳ කථාන්දර ජීර්ණය කර ගනිමිනි. ඔහු දැන් තවත් එවැනි කතා නිර්මාණය කරමින් සිටින නමුත්, එම කතාවල ඔහු පෙනී සිටින්නේ හිට්ලර්ගේ චරිතයටයි.

යුක්රේන නිර්භීතකම පිළිබඳ කථා යුක්රේනියානුවන්ට පමණක් නොව මුළු ලෝකයටම අධිෂ්ඨානය ලබා දෙයි. ඔවුන් යුරෝපීය ජාතීන්ගේ රජයන්ට, එක්සත් ජනපද පරිපාලනයට සහ රුසියාවේ පීඩිත පුරවැසියන්ට පවා ධෛර්යය ලබා දෙයි. යුක්රේනියානුවන් තම දෑතින් ටැංකියක් නැවැත්වීමට එඩිතර වන විට, ජර්මානු රජයට ඔවුන්ට යුද ටැංකි නාශක මිසයිල  සැපයීමට එඩිතර විය හැකිය. එක්සත් ජනපද රජයට රුසියාවෙන් ස්විෆ්ට්  බැංකු මෙවළම කපා දැමීමට එඩිතර විය හැකිය.  රුසියානු පුරවැසියන්ට මෙම තේරුමක් නැති යුද්ධයට තම විරුද්ධත්වය ප්‍රදර්ශනය කිරීමට එඩිතර විය හැකිය.

යුද්ධය දිගු කළක් පවතිනු ඇත

අවාසනාවකට මෙන්, මෙම යුද්ධය දිගු කාලයක් පවතිනු ඇත. නමුත් වඩාත්ම වැදගත් කාරණය දැනටමත් තීරණය වී අවසන්ය. යුක්රේනය සැබෑ ජාතියක් බවත්, යුක්රේනියානුවන් සැබෑ ජනතාවක් බවත්, ඔවුන් අනිවාර්යයෙන්ම නව රුසියානු අධිරාජ්‍යයක් යටතේ ජීවත් වීමට කැමති නැති බවත් පසුගිය දින කිහිපය විසින් මුළු ලෝකයටම ඔප්පු කර ඇත.

නොවිසදී පවතින ප්‍රධාන ප්‍රශ්නය නම් මෙම පණිවිඩය ක්‍රෙම්ලිනයේ ඝන බිත්ති විනිවිද යාමට කොපමණ කාලයක් ගතවේද යන්නයි.

Yuval Noah Harari යනු අතිශය පිළිගැනීමට පත් Sapiens: A Brief History of Humankind හි කතුවරයාය. ඔහු  ඉතිහාසඥයෙක් ද වේ.

( බ්‍රිතාන්‍ය ද ගාර්ඩියන් පුවත්පතෙහි පළ වූ ලිපියක සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙතිනි.)

Archive

Latest news

Related news