Friday, November 22, 2024

“කොමියුනිස්ට්වාදය බලය ගැනීමට හොඳයි. දිගටම රඳවාගන්න බැහැ” – සුනිල් මාධව ප්‍රේමතිලක

“අවි නැති සෙනෙවිවරුන්ගේ අරගලයක් අවශ්‍යයි”

කැලැන්ඩරේ කොළ කැඩුණු පළියට මිනිහෙක් වයසට යන්නේ නැහැ. මම හරියි කියලා හිතෙන දෙයක් කරන්නයි හැදුවේ. විටින් විට කළකිරීම් එනවා තමයි. ඒත් ඒ කළකිරීම් මොකක් හරි ක්‍රමේකින් යටපත්වෙලා යනවා. නැවත හිතට එකඟව හරියි කියලා හිතෙන දේ කරන්න යනවා. ඒක තමයි ජීවිතේ.

සුනිල් ජීවිතේ අරමුණ දිනුවාද?

දිනන්න කියලා මට එහෙම ලොකු බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබුණේ නැහැ. මගේ පුවත්පත් කලා ජීවිතය ගැන නම් මට අතිශයින්ම සතුටුයි. ඒකෙන් වැඩක් වුණා කියලා මම හිතනවා.

ඔබත් එක්ක එකම අරමුණක වගේ පේන්න හිටපු අය විවිධ මාර්ගවල ගිහින් මාර්ගඵලත් ලැබුවා. ඒ ගැන ඔබට තියෙන්නේ උපේක්ෂාවක්ද? වෙනත් හැඟීම් සමුදායක්ද?

සතුටකුත් තියන දුකකුත් දැනෙන අතීතයක් ඒක. මාත් එක්ක වැඩිපුරම වැඩ කළේ අලුත් කට්ටිය. ඔවුන් අද යම් යම් තැන්වල ඉන්න එක ගැන සතුටුයි. මගේ යුතුකම මම කරලා තියෙනවා.

එතකොට දුක මොකක්ද?

මට ලොකු බලාපොරොත්තුවක් තිබුණා කවදහරි දෙමළ සිංහල ජනතාව එකතුවෙලා නිර්ධන පන්ති අරගලය කරයි කියලා. ඒත් ඒක වුණේ නැහැ.

දයාසේන ගුණසිංහ මහත්මයා ඔබව හැඳින්නුවේ අවියක් නැති සෙනෙවියෙක් ලෙසයි. අවියක් නොතිබීම නිසා වෙච්ච ප්‍රශ්නය මොකක්ද?

හරි සත්‍යවාදී කතාවක් ඒක. ඇත්තටම මං එනතුරු ආමර් වීදියේ කම්කරුවෝ බලාගෙන හිටියා. ඒ අරක්කු සඳහා නෙමෙයි. සංවාදයට ඒ මිනිස්සු මං එනතුරු හිටියේ. ඉතිං මම පත්තරේ වැඩ ඉවරවෙලා හැමදාම ආමර්වීදියේ බාර් එකට එනවා. මාත් හරි ආසයි කතාබහට. මම ඒ කතාබහ තුළින් ඒ මිනිස්සුන්ව අදහස් අතින් දශමයක් හරි උස්සලා තිබ්බා. ඉතිං මගේ අවිය වුණේ පෑන සහ ඒ අදහස්. ඊට වඩා මොනවද?

සුනිල් එක්ක හිටපු අනික් සෙනෙවිවරුන්ට පසුව අවි හම්බවුණා වගේ වැඩක් වුණාද?

සමහරු ඉතිං පසුව තම තමන්ට ගැළපෙන මාවත් සොයාගත්තා වෙන්න පුළුවන්. දයාසේන මහත්තයා මං ගැන මිසක් වෙන කිසිම කෙනෙක් ගැන එහෙම ලියලත් නැහැ. මාත් එක්ක හිටිය අය විවිධ මාවත්වල ගියා තමයි. මම ඉතිං එකම ස්ථාවරයක හිටියා. ආර්ථික වශයෙන්වත් ගොඩ එන්න මම එහෙම වෙනත් මාවත් සොයා ගියේ නැහැ. මං එහෙම ගියේ නැති නිසා තමයි මිනිස්සු මට රස්සාවක් නැති කාලෙ හාල් පොල් අරගෙන අපේ ගෙදරට ආවේ.

සුනිල්ගේ පාසල් කාලය ගෙවෙන්නේ කොහොමද?

ආනන්ද විද්‍යාලය තුළ මම දැනුම් තේරුම් ඇති කාලේ ටිකක් රැඩිකල් කොල්ලෙක් හැටියට තමයි මගේ නම ගියේ. මෙඩිසින් කළාට ඒක ඉගෙන ගත්තේ නැහැ. වර්ජන වගේ දේවල්වලට පෙළඹුණා. ඒ කාලෙම මම දේශපාලන මතයක් දැරුවා. අපේ තාත්තාගේ මහ විශාල පුස්තකාලයක් තිබුණානෙ. මම ගෙදරදි ඒවා කියවනවා. මාක්ස් ලෙනින් කියවලා නෙමෙයි මං තුළ දේශපාලන අදහස් උදහස් ඇතිවුණේ. ලෝක සාහිත්‍ය කියවලයි. 65දී තාත්තා නැති වෙනකොට මම ලේක්හවුස් එකේ වැඩ.

ඉස්කෝලේ යන කාලේ ටිකක් මහන්සිවෙලා ඉගෙන ගන්න ඕනෙ කියන අදහසින් බැහැර වුණේ ඇයි?

එහෙම අදහසක් මට ආවෙම නැහැ. අවුරුදු තිස් ගාණකට විතර පස්සෙ මගේ පුතාව ඉස්කෝලෙට දාන්න ඕනෙ වුණාම තමයි මම ඉස්කෝලෙට ගිහින් මගේ අස්වීමේ සහතිකේ ගත්තෙත්. මගේ සමකාලීනයෙක් තමයි තිලක් කරුණාරත්න. මම ඉතිං ඉගෙන ගත්තේ නැතුවාට ඉස්කෝලේ සඟරා ගැහුවා, තවත් බාහිර වැඩ කළා.

සුනිල්ගෙ ජීවිතේට තාත්තා බලපෑ විදිය මොකක්ද?

මම ඉස්කෝලේ යන කාලෙම පත්තර රස්සාවට ආශා කළේ අපේ තාත්තා නිසයි. අපේ තාත්තා නිර්භීත මනුස්සයෙක්. කොන්ද නවාගෙන වැඩ කළෙත් නැහැ. එවකට කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එස්මන්ඩ් වික්‍රමසිංහ එවන සමහර දේවල් තාත්තා ඉරලා වීසි කරලා තියනවා. තාත්තා එහෙම හරි කෙළින් මිනිහා. කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු හොඳම පත්තරකාරයා තාත්තා කියලයි මම හිතන්නේ. මට තාත්තා දුන්නෙත් එකම අවවාදයයි. ඔන්න උඹව ගෙනාවා පත්තර කලාවට. දැන් ඉතිං කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපන් කිව්වා. තාත්තා මාව භාර දුන්නේ බෙනඩික් දොඩම්පෙගමට.

ඒ කාලෙ අදට වඩා ලේක්හවුස් එකේ ජනමාධ්‍ය නිදහසක් තිබුණාද?

ඔව්. මට මතකයි සිරිමාවෝ මැතිනියගේ කාලේ ටේක් ඕවර් එකක් ආවා. මම දවසක් රීගල් එකේ චිත්‍රපටියක් බල බලා හිටියා. මෙන්න ලේක්හවුස් එකේ මුදුනට නැගපු සමසමාජකාරයෙක් ඒක උඩ රතු කොඩියක් දැම්මා. ඔය දවස්වල මම වැඩ කළේ දවසට රුපියල් පහේ පඩියට. තාත්තා 63-65 දක්වා කර්තෘ වෙලා හිටියේ. මාත් එතකොට වැඩ. තාත්තා නැතිවෙනකොට අවුරුදු 47යි. එයා තව හුඟක් වැඩ කරන්න තිබුණු කෙනෙක්. තාත්තා වික්‍රමසිංහගේ ලියුම ඉරලා එහා පැත්තට වීසි කළාම සමහරු ගිහින් ඒකෙ කෑලි හෙව්වා බයවෙලා. ඒත් තාත්තාට විරුද්ධව කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ.

දොඩම්පෙගම මහතා සමග වූ අධ්‍යයන ඇසුර කෙබඳු එකක්ද?

මම චිත්‍රපටි නම් බල බලා හිටියා. ඒ කාලෙ තිබුණා Cinema 16th Society කියලා එකක්. ඊළඟට Colombo film Society කියන එකක් තිබුණා. මේවාට සම්බන්ධ වෙලා චිත්‍රපටි බලන්න මාව යොමු කළේ බෙන්. ලෝකෙ එවෝඩ් ගහන බෙස්ට් ෆිල්ම් අපි සුමාන දෙකක් ඇතුළත බලනවා ලයනල් වෙන්ඩ්ට් එකේ. නාට්‍ය බලන්නත් මාව යොමු කළේ බෙන්.

ගෙදරදි මවගේ භූමිකාව වුණේ මොකක්ද?

උයන එකම තමයි අම්මගෙ වැඩේ. ගෑස් ළිප් නැහැනේ. ළිපට පිඹලම ඒක පත්තු කරන්න ඕනෑ. තාත්තා කට්ටියක් එක්ක එනවා. මාළු ජාති තුන හතර ගේනවා. ඒ සේරටම කන්න ඉතිං අම්මා උයන්න එපායැ. දර ළිපේ මේක කරන එක කොච්චර අමාරුද?

 

සුනිල්ව මුලින්ම මධුවිත පානයට අඬගහගෙන ගිය පුද්ගලයා කවුද?

ඌ කවුද කියලා මට හරියටම මතක නැහැ. ඒත් ඌ නැත්නම් සුනිල් මාධව කෙනෙකුත් නැහැ. බෙන් මාව බොන්න එක්කගෙන යනවා හිටිගමන්. මගේ ගුරා තමයි. ඒ වුණාට අපි එකට බොනවා. මම එයාට මචං කියලා නම් නැහැ. මහගමසේකර එක්කත් මම අඩිගහන්න යනවා.

මත්වීමෙන් එහාට බීමෙන් අපේක්ෂා කරපු දේ මොකක්ද?

හිල්ටන් එක තියන හරියෙ ඉස්සර තිබුණා රෝයල් බාර් කියලා පරණ බාර් එකක්. මමයි සේකරයි ඒකට යනවා හිස් ගෝනි උඩ කකුල් තියාගෙන කැඩුණු පුටුවල ඉඳගෙන බොන්නෙ. මීයො අපේ කකුල් අස්සෙන් රිංගනවා. ඒ පරිසරය තුළ කතා කරන එක තමයි අපි කරන්නේ. වල්පල් කුණුහරුප නෙමෙයිනෙ. චිත්‍රපටියක් ගැන, විශ්ව සාහිත්‍ය ගැනනේ කතා කරන්නේ. මං ටිකක් ඒ දවස්වල පොඩ්ඩ ඇත්නම් ඕන තැනක කෑගහන මිනිහා. සේකර එහෙම නැහැ. තලංගම ජයසිංහත් හිටපු ගමන් අපිත් එක්ක එනවා. හොඳටම බීලත් ඒ සංවාදය අපි නවත්වන්නේ නැහැ.

ඔබ පත්තරකාරයෙක් වෙන්න ඉගෙන ගත්තු කාලෙ පරමාදර්ශ සහ අද තරුණ ජර්නලිස්ට් කෙනෙකුට දකින්නට ලැබෙන පරමාදර්ශ අතර වෙනස මොකක්ද?

අපේ කාලේ අපිට යමක් කියලා දෙන්න පුළුවන් වැඩිහිටි පත්‍රකලාවේදියො හිටියා. එහෙම අය අද නැහැ. අද තරුණ පත්‍රකලාවේදීන්ට මොකුත් අහගන්න බරසාර වැඩිහිටි මිනිස්සු පත්තරවල නැහැ.

ඒ හිස්කම ඇතිවුණේ කොහොමද?

හැමදේම දේශපාලනයට යටත්වීමනේ ප්‍රශ්නෙ වුණේ. පත්තරවලටත් ප්‍රාථමික දේශපාලනය රිංගලා. කර්තෘවරු ඊට යටත්. ඒ නිසා අලුතින් ඉගෙන ගන්නවත් හිතන්නවත් ඕනෙ නැහැ. අද මේක ලිපිකරු රස්සාව වගේ වෙලා. මම විශ්වවිද්‍යාලවල ලෙක්චර්ස්වලට යන දවස්වල හොඳට ලියන්න පුළුවන් කෙල්ලො කොල්ලො හම්බවුණා. ඒත් මට උන් ගැන දුකයි. උන් කොහේද ලියන්න යන්නෙ කියන එක ගැන හිතෙනකොට. ඩෙන්සිල් පීරිස්, ඩී.බී. ධනපාල, මහානාම දිසානායක, මානවසිංහ වගේ අය දිහා බලලා තරුණයො එකල හැදුණා. අද කවුරු දිහා බලලද තරුණයො හැදෙන්නේ. පත්තරවල දේශපාලන හෙංචයියො ඉන්නවා. උන් දිහා බලලද අරුන් හැදෙන්න ඕනේ. හොඳ ජර්නලිස්ට්ලා නැති එක රටට නරක විදිහට බලපාන ප්‍රශ්නයක්. සමහර කෙනෙකුට දේශපාලන ඥයෙක් කතා කළොත් එතන ඉඳලා එයා නියුට්‍රල්. මගේ උපන්දිනේ දවසේ පාන්දර පහමාරට ජනාධිපතිතුමා කතා කළා. සුබ උපන් දිනයක් වේවා සුනිල් කිව්වා. එසේම වේවා කියලා මට එකපාරටම කියවුණා. මම නිකම් නක්කියට ඒක කිව්වා කියලා හිතුවද දන්නෙත් නැහැ. පුරුද්දට වගේ මටත්
කියවුණා ඉතිං.

සුනිල්ගේ වීරයා කවුද?

ලංකාවෙ නම් මට වීරයෙක් නැහැ. චේලා කස්ත්‍රෝලා තමයි මම විශ්වාස කරන්නේ. වීරයන්ගේ සුදු පැත්ත විතරනේ අපිට පේන්නේ.

වීරයන්ව රවුමට කියවාගන්න ඔබ උත්සාහ කරලා තියෙනවද?

එතකොට සමහරවිට කළු පාටත් පේන්න පුළුවන්. අරගල ඉතාම පාරිශුද්ධයි කියන්න බැරිවෙන්න පුළුවන්. හැබැයි චේ සහ කැස්ත්‍රෝ කියන්නෙ වැරදි අඩුවෙන් කරපු ඉහළම කැපවීමක් කරපු දෙන්නෙක් කියලයි මම හිතන්නේ. ස්ටාලින් ගත්තොත් ඔහු කොමියුනිස්ට්කාරයො ලක්ෂ ගාණක් මැරුවා.

ලෝකයේ හැම තැනකම වම අවසන් වෙලා ධනවාදය ඉතුරුවෙන්නේ ඇයි?

තුවක්කුව නැතුව කොමියුනිස්ට්වාදය පතුරුවන්න බැහැ.

ඒ කියන්නේ කොමි යුනිස්ට් ව්‍යාපෘතියම බලහත්කාරී වැඩක්ද?

ඔව්. කොමියුනිස්ට් ක්‍රමයට ගිය හැම රටක්ම මුලදි හරි ප්‍රභාමත්ව හිටියට පසුව අර්බුදයට ගියා. ඒ මිනිස්සුන්ගේ මූණේ හිනාවක් නැතිවුණා. ඩෙනිම් කලිසමකට මිනිස්සුත් එක්ක නිදාගන්න ගෑනු බිහිකරන කොමියුනිස්ට්වාදයක් මොකටද? නැගෙනහිර ජර්මනියේදී මම ඒ තත්ත්වය දැකලා තියෙනවා. බටහිර බර්ලිනයේ කට්ටිය නැගෙනහිර ගියේ නෑයො බලන්නම නෙමෙයි. හුඟක් එවුන් කුපාඩිකමටත් ගියා. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. කියුබාව විතරයි එහෙම නරකම තත්ත්වයට නොයා ඉන්න යම් උත්සාහයක් දරන එකම රට.

ඒ කියන්නේ වඩා ස්වාභාවික දේ ධනවාදයද?

කොහොම වුණත් මාක්ස්වාදය නම් නෙමෙයි. ඒක බලය ගැනීමට හොඳයි. දිගටම රඳවාගන්න බැහැ. චීනය පවා ෆ්‍රී ඉකොනොමි එකට ගිහිල්ලනේ මෙච්චර දියුණු වුණේ. කියුබාවෙත් වෙළෙඳ සැල් ඇරඹීම වගේ දේවල්වලට නිදහස දීලා තියෙනවා. ස්වීඩන් වගේ රටක් ගත්තාම කොහොමද? දිව්‍ය ලෝකයක්නේ. පොලිස් කාරයෝ දකින්නවත් නැහැ.

අවියක් නැති සෙනෙවිවරුන්ගේ අරගල යකින් සමාජවාදය පිහිටුවන්න බැරිද?

පුළුවන්නම් හොඳයි. අන්තිමට එතනට තමයි කාටත් එන්න වෙන්නේ. දැන් සන්නද්ධ අරගල අවලංගුයි.

විමලනාත් වීරරත්න

ඡායාරුප– රවින්ද්‍ර පුෂ්පකුමාර
(2014 වසරේ ‘රාවය’ පුවත්පත සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡා වකින් කොටසකි)

(https://lankaweb.lk වෙතිනි)

 

Archive

Latest news

Related news