Thursday, November 21, 2024

සුනිල් මාධව! 

සුනිල් මාධව මා හදුනා ගත්තේ 90 ගනන් මුල් කාලයේ පත්තරයකට වඩා වැඩි යමක් කරන්නට උත්සාහ දරමින් සිටි කාලයේය.

සුනිල් මඟ පෙන් වූ ලක්දිව පුවත්පත පැවැත් වූ සාහිත්‍ය තරඟාවලියක් අවසානයේ පැවැති රැස්වීමෙහි කතාවත් කරන ලෙස සුනිල් ආරාධනා කළේය.

සුනිල් සමඟ පත්තරය වටා රැදී සිටියේ ජනතා විමුක්ති පෙරමුණට බර සහෝදර සහෝදරියන්ය.

මම කතා කිරීමට වේදිකාවට ගොඩ වන විටත් බැස යන විටත් ජවිපෙ හිතවත් පිරිස් පුදුමයට පත් විය.

සුනිල්ගේ හිතවතියක වූ නර්මදා  ද එකළ මගේ සමීප යෙහෙළියක විය. එදින ජවිපෙ හිතවාදීන්ගේ රැවිලි මැද මා හා කතාවට වැටී සිටියේ ඇයයි.

තවත් දවසක කිරුළපන මා යුක්තිය කාර්යාලයේ සිට එන විට අසළ බාරයක සුනිල් පිරිවරක් සමඟ සල්ලාපායේ යෙදී  සිටියේය. මා දුටු ගමන් “ මචෝ වරෙන් වරෙන්” යැයි පුරුදු සුහදත්වයෙන්ම කීය.

එදිනද ඔහු සමඟ සිටි හිතවතුන් ගල් ගැසී බලා සිටියේ ජවිපෙ විවේචකයකු වන මා සුනිල්ලේ මවං ලැයිස්තුවේ ඉන්නේ කෙසේද කියාය.

2015 වසරෙහි මා කළකට පසු ගෙදර ගිය අවස්ථාවෙහි සුනිල්ගේ අංකය සොයා ගෙන කතා කළෙමි. දුර කතනය ගත්තේ මනෝරාය. “ සුනිල් අයියට මේ වෙලේ ටිකක් අසනීපයි. ෆෝන් එකට ආන්සර් කරන්න අමාරුයි” කියා ඈ කීවාය. “ සුනන්ද කතා කරනවා කියන්න” යැයි මම කීමි. සුනිල් සැණින් දුරකතනයට ආවේය. අපි කෙටි පිළිසඳරක යෙදුනෙමු. “ මොනවද කැමැති, මං අරං එන්නම්” මම කීමි. “ මං බොන එක නැවැත්තුවා බං. කොල්ලා ලොකු වෙනකං අල්ලං  ඉන්න ඕන” යැයි සුනිල්  කීවේය. “ උඹ වරෙන්. ඒ ඇති” සුනිල් කීය.

ඒ වන විට ඔහු විමල් වීරවංශගේ සහායකයකු ද රාජපක්ෂවාදී පත්තරකාරයකුද වී සිටියේය. මා ඔවුනට අනුව ද්‍රෝහියකු විය.  එසේ නමුත් සුනිල් “ මචං වරෙන්” කීමට දෙවරක් කල්පනා කළේ නැත.

ඒ මා දන්නා සුනිල් මාධව ප්‍රේමතිලකය.

සුනිල් මාධව ප්‍රේමතිලක නම්  ඒ මිනිසා, කවරකු හෝ ලියා තිබූ පරිදි. ප්‍රතිවිරෝධයන්ගෙන් පිරී තිබූ නමුත් සහෘද හැගීම අත් නොහැරි මිනිසෙකි.

1990 ගණන්හි අප, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ලෙස, යුද්ධය සහ ජනමාධ්‍ය නමින්ද, මාධ්‍ය නිදහස රැක ගැනීම නමින්ද කළ රැස්වීම් මාලාවෙහි සුනිල් නැතුවම බැරි කතිකයකු වියත එකළ ඔහු හැඟම්බර යුද විරෝධියකු විය. ඒ වේදිකාවෙහිද, “අප ලැහැස්තියි” අභියෝගය දියත් කළේය.

වැඩිම අත්පුඩි ලැබුණේ අන් කවරකුටවත් නොව සුනිල්ටය.

අප කථික ලැයිස්තුවේ සිටි ලූෂන්, ඇත්ත කර්තෘ ලොකු බන්ඩාර, සුනිල් මාධව යනාදී බොහෝ දෙනෙකුට ස්ප්‍රයිට් බෝතලයක  තිබූ ස්ප්‍රයිට් නොවූ බීම කතාවට පෙර නැතුවම බැරි විය. අප කුරුණෑගල හරහා ගමන් කළේ නම් බොහෝ විට අපි ගෙදර ගොස් සප්පායම් වීමු.

සුනිල් මාධව සමඟ යම් ආකාරයක ආත්මීය බැදීමක් ඇති වූයේ ඉහත කී හැම දෙයක්ම මැදිනි. මට ඒ කිසිවකු සමඟ හරි හරියට ස්ප්‍රයිට් නොවූ බීම, බීමට හිතන්නවත් පුලුවන් කමක් තිබුණේ නැත. එය අපේ සුහදත්වයට බාධාවක් නොවීය.

අකුරුවලින් හදවතට කතා කිරීමට සුනිල්ට තිබූ හැකියාව අද්විතීය විය. අටවැනි පිටුවේ සිට සති අන්ත විකල්ප පත්තර කරා ඔහු සිය ශෛලිය ගෙන ආවේය. එය, මා දන්නා කාලයේ පැමිණියේ ඔහුගේ ඇතුලාන්තයෙනි.

ඉංග්‍රිසි බසින් සුනිල් පරිවර්ථනය කළ කෘති, සිංහලයෙන්ම ලියූ කතන්තර බවට පත්විය. ඔහු විදග්ද බසින් පරිවර්ථනය නොකළේය. ඒ ඔහු මහ පොළවේ ජීවත් වූ අරගලකරුවකු වූ නිසාය.

ඔහු යුද විරෝධය අතහැර විමල් වීරවංශ-රාජපක්ෂ කඳවුරට ගියේ ඇයි දැයි මම නොදනිමි. ඒ ගැන විනිශ්චයක් දීමට මට හැකියාවක් නැත. කණගාටුවකට  සුනිල්ගේ අර්ථවත් දිවිය එමගින් දුර්වර්ණ විය. එනමුත් ඔහු විසින් දායාද කල හැගුම්බර ජනතාවාදී ලිවීම ඒ සියල්ල පරයා නැගී සිටී.

කවරකු හෝ කියා සිටි පරිදි මේ යුගයක අවසානය සටහන් කරන අවසන් ගමනකි. අද මාධ්‍යයෙහි සුනිලුන් නැත. අද අලුත් යුගයකි. එය පිරවෙනු ඇත්තේ අලුත් ශෛලින් සහ නව මාධ්‍ය මගිනි.

සුනිල් මාධ්‍ය සිය  මාධ්‍ය මෙහෙවර නිම කලේ කළකට පෙරය.  දැන් ඔහු ජීවිත ගමනද දැන් අවසන් කර තිබේ. සතුටින් හැර යාමට හැකි නම් එතරම් වෙනත් සැපතක් මරණ මංචකයේදී නැත. සුනිල්ගේ මරණය එවැනි අවසානයක් වන්නට ඇතැයි මගේ සිත කියයි.

අරගලය ඉදිරියටම යන්නේ සියලු සටන්කරුවන් සහ සටන්කාරියන්ගේ ආත්මීය සුවඳ ද රැගෙන ය. ඉදින්,  සගය, සුවෙන් නිදන්න. අරගලයට ජය පතමු!  ත්‍රී චියර්ස්!

 

Archive

Latest news

Related news