ජායාරූපය Streets Of Tamileelam @fromtamileelam වෙතිනි.
ලංකාවේ ගොවිතැන ඉවරයි ද ? පරම්පරා ගාණක් අපිට කන්න දීපු, අපේ ජීවිත ගොඩනගන්න උදව් වුන, අපේ දරුවන්ගේ අධ්යාපනය ඇතුළු සමස්ත අනාගතය පදනම් වෙච්ච ගොවිතැන තවදුරටත් කරගෙන යන්න බැරි තත්වයට පත් වෙලා ද ?
ආණ්ඩුව කඩිමුඩියේ කරපු රසායනික පොහොර තහනමත්, ඊට පස්සේ පොහොර සහනාධාරය ඉවත් කිරිමත් එක්ක අපේ ගොවිතැන වෙන කවරදාවත් නොවුනු තරමේ අර්බුදයකට ගිහින්. ඊළග කන්නේ ගොවිතැන් කරන්නේ කොහොම ද කියල හිතාගන්න බැරි තැනකට ගොවියා පත්වෙලා.
දැන් අපි මොක ද කරන්න ඕනේ ?
අපිට පුළුවන් උද්ඝෝෂණය කරලා, බලපෑම් කරල කොහොම හරි මේ ආණ්ඩුවෙන්, එහෙම නැත්නම් මේ ආණ්ඩුව පෙරලලා වෙන ආණ්ඩුවකින් හරි ආපහු පොහොර සහනාධාරය දිනා ගන්න.
එහෙම නැත්නම් අපේ පාඩුවට හරියන්න වන්දියක් හරි වී වලට වැඩි මිළක් හරි දෙන්න කියලා ආණ්ඩුවට බලපෑම් කරන්න.
මේ දෙකම කරන එකේ වරදක් නෑ. මොකද රටේ බහුතරයකගේ ප්රධාන ජීවනෝපාය වෙච්ච, රටේ මිනිස්සුන්ට ආහාර දෙන ගොවිතැන ආරක්ෂා කරන එක ආණ්ඩුවකට ප්රධාන වගකීමක් නිසා. ඒ වගකීමෙන් පැනල යන්න ආණ්ඩුවට ඉඩ දෙන්න නරකයි.
හැබැයි මේ දේවල්වලින් විතරක් අපේ ගොවිතැනේ ප්රශ්නේ විසදන්න පුළුවන් ද කියලා අපි බලන්න වෙනවා.
ඇත්තටම අපේ ගොවිතැනේ ප්රශ්නේ පොහොර නැති එක විතරක් ද ?
හැමදාමත්, පිටරටින් ගෙන්නන පොහොර, කෘෂි රසායන හෝ බීජ මත පදනම් වෙච්ච කෘෂිකර්මය අපිට කරන්න පුළුවන් ද ? ඔය කවුරු පොරොන්දු වුනත් රටේ තියෙන ආර්ථික අර්බුදත් එක්ක, විදේශ විනිමය ප්රශ්නත් එක්ක අඩුම ගානේ ඉදිරි අවුරුදු කීපය දක්වාවත් ආපහු පිටරටින් ගෙන්නන පොහොරවලට තිබ්බ විදිහේ පොහොර සහනාධාරයක් මොන ආණ්ඩුවකින්වත් ලැබෙයි කියලා හිතන්න අමාරුයි නේ ද ?
පොහොර සහනාධාරය ලැබුනත් ඇත්තටම ඒ පොහෙර සහනාධාරය කියන්නේ අපේ අධ්යාපනයට, සෞඛ්යයට හෝ අනෙකුත් අවශ්යතාවයන්ට වියදම් කරන්න තියෙන මුදල් සමාගම්වලට ලබා දීම නේ ද ? පහුගිය අවුරුදු 30 – 40 ක් පුරා අපි ගොවිතැන් කරනවා කියලා කරලා තියෙන්නේ මේ සමාගම් පොහොසත් කිරිම නේ ද ?
දුප්පතුන්ගෙන් සියයට 70% ගොවි ජනයාය
ලංකාවේ දුප්පත් මිනිස්සුන්ගෙන් වැඩි ප්රතිශතය, ඒ කියන්නේ සියය 70% විතර තාමත් ඉන්නේ ගම්වල ගොවිතැන් කරන මිනිස්සු අතර, ක්ෂුද්ර මූල්ය ණය ඇතුළු ණයගැතිභාවය වැඩිම ගොවි ප්රජාවන් අතර. අපි ගොවිතැන් කරල දුප්පත් වෙලා, ණයකාරයො වෙද්දි රසායනික පොහොර සමාගම්, බැංකු හා හාල් මුදලාලිලා දැවැන්ත කෝටිපතියෝ වුනේ කොහොම ද කියලා හිතල බලමු ද ?
ගොවිතැනේ තියෙන ප්රශ්නේ ගොවිතැන් කිරිම විතරක් නෙමෙයි. අපිට අපේ අස්වැන්නේ මිල තීරණය කරන්නවත් අයිතියක් නෑ. හැමදාම මුදලාලිලා ඉල්ලන ගානට අස්වැන්න විකුණලා පාඩු විදින්න තමයි අපිට වෙලා තියෙන්නේ. ලංකාවේ ආණ්ඩුවටත් වඩා බලවත් මුදලාලිලා තමයි ආහාර වෙළෙදපොල සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ. අපි නිකන් ඒ ගොල්ලන්ගේ කීමට නැටවෙන රෑකඩ වගේ.
අස්වැන්න විතරක් නෙමෙයි, යන්ත්රසූත්ර, අනෙකුත් යෙදවුම් ඇතුළු හැම දේකම මිළ තින්දු වෙන්නේ අපිට පිටින්.
මේ ආණ්ඩු ගොවිතැන සම්බන්ධයෙන් ගන්න මේ තීන්දු ගන්නේ නොදැනුවත්කම නිසා කියලා හිතනවනම් ඒක මුලාවක්. ඇත්තටම ආණ්ඩුවලට සැලැස්මක් තියෙනවා. 1990 ගණන්වල මුල ඉදල ලංකාවේ බලයට ආපු හැම ආණ්ඩුවක්ම සැලසුුම් කරේ සුළු ගොවියව ගොවිතැනෙන් ඉවත් කරන්න. ලෝක බැංකුව, ජාත්යන්තර මූල්ය අරමුදල වගේ සංවිධානවල උපදෙස් අනුව කරපු මේ සැලසුම්වල අරමුණ වුනේ ගොවියව ගොවිතැනෙන් ඉවත් කරල, ඉඩම් ටික මහ පරිමාණ සමාගම්වලට විකුණලා, ගොවියව ඒ සමාගම්වල කම්කරුවෝ බවට පත් කරන එක. දැන් ඒ සැලැස්ම ඉතාම හොදින් ක්රියාත්මක වෙනවා.
ඇත්තටම ගොවිතැන ගැන කිසිම තීන්දුවක් ගන්න ගොවියට බලයක් නැති තරම්. පොහොර දෙනව ද නැද්ද ? දාන්න ඕනේ රසායනික පොහොර ද කාබනික පොහොර ද ? වතුර දෙන්නේ කවද්ද – කොහොම ද ? අස්වැන්න විකුණන්න ඕනේ කීයට ද ? මේ ඔක්කොම තීන්දු කරන්නේ ආණ්ඩු හා සමාගම්. ඒ නිසාම ගොවියෝ කියන්නේ ආණ්ඩුවල, දේශපාලන පක්ෂවල පදේට ඉතාම ලේසියෙන් නම්ම ගන්න පුළුවන් රෑකඩ කියලා තමයි ගොඩදෙනෙක් හිතාගෙන ඉන්නේ.
මෙහෙම බලාගෙන ගියාම අපේ ගොවිතැනේ ඇත්තම ප්රශ්නේ පොහොර නැති එකම නෙමෙයි නේ ද ?
ඇත්තම ප්රශ්නේ ගොවියෝ විදිහට අපේ ජීවනෝපාය ගැන කිසිදු තීන්දුවක් ගන්න අපිට බලයක් නැති එක නේ ද ?
එහෙනම් අපේ අරගලය, ආපහු පොහොර ඉල්ලන එකෙන් එහාට ගෙනහින් ගොවින්ට බලයක් ගොඩනගන අරගලයක් බවට පත්කරමු ද ?
ගොවීන්ට බලයක් ගොඩනැගෙන, ගොවින්ටත්, පාරිභෝගිකයින්ටත්, සොබාදහමටත් සාධාරණයක් ඉෂ්ට වෙන නව ගොවිතැනක් උදෙසා අපි අරගල කරමු ද ?
නව ගොවිතැනක් කියන්නේ මොකක් ද ?
අපි යෝජනා කරන නව ගොවිතැනේ මූලික අරමුණු 3 ක් තියෙනවා
1. රටේ මිනිස්සුන්ට ප්රමාණවත් තරම්, පෝශ්යදායි ආහාර දැරිය හැකි මිලකට ලබාදීම
2. ගොවීන්ට හා අනෙකුත් ආහාර නිෂ්පාදකයින්ට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක් හදල දීම
3. ගොවිතැනේ පදනම වෙන, සොබාවික සම්පත් පද්ධතිය ආරක්ෂා කිරිම
මේ අරමුණු ජයගන්න අපි මොනවද කරන්න ඕනේ ?
1. අපි ගොවිතැන් කරන ක්රමවේදය වෙනස් කරන්න වෙනවා
ඉස්සෙල්ලා කථා කරා වගේ තවදුරටත් බාහිර යෙදවුම් මත පදනම් කර ගත්ත ගොවිතැන අපිට ඉස්සරහට ගෙනියන්න බෑ. පිටින් යොදන යෙදවුම් අවම කරල අපේ පසේ තියෙන සාරවත්භාවය නැවත ගොඩනංවන ක්රියාවලියකට අපිට යන්න වෙනවා. අවුරුදු ගාණක් රසායනික යෙදවුම් යොදල අපි විනාශ කරපු පස ආපහු හදන පාරිසරික ගොවිතැනකට අපිට යන්න වෙනවා.
මේක ආණ්ඩුව කියන රසායනික පොහොර වෙනුවට කොහෙන් හරි ගෙනත් කාබනික පොහොර ගහන ගොවිතැන නම් නෙමෙයි. අපේ ගොවිබිම්වල විවිධත්වය වැඩි කරමින්, දේශීය බීජ වර්ග සංරක්ෂණය කර ගනිමින්, සත්ව පාලනය එක්ක ඒකාබද්ධ වෙච්ච පාරිසරික ගොවිතැනක් ගොඩනැංවීම. එකේ මූලික අරමුණ බාහිර යෙදවුම් වෙනුවට ක්ෂුද්ර ජීවින් හා පෝෂක කොටස් නැවත ගොඩනගමින් පස සාරවත් කිරිම. මේ සදහා වන තාක්ෂණික ක්රමවේද ගොඩක් තියෙනවා. එව්වා ඉගෙන ගනිමින්, බෙදා ගනිමින් අපි ඉස්සරහට යන්න වෙනවා. ගොවියා කියන්නේ තව කවුරුවත් කියන දෙයක් පොළොවට දාලා බලාගෙන ඉන්න කෙනෙක් වෙනුවට තමන්ගේ මහපොළොව සුවපත් කරන විද්යාඥයෙක් වෙන්න ඕනෙ.
2. වෙළෙදපොල අයිතිය දිනාගන්න අපි සංවිධානය වෙන්න වෙනවා
දැන් අපි බොහෝ දෙනෙක් කරන්නේ අපේ අස්වැන්න තනි තනිව මුදලාලිලාට විකුණන එක. මේ මුදලාලිලා තමයි අපි අස්වැන්න විකුණන්න ඕනෙ මුදල් වගේම පාරිභෝගිකයා ආහාර මිළ දී ගන්න ඕනේ මුදලත් තීරණය කරන්නේ. ඒ නිසාම ගොවියෝ හැටියට අපිටත්, පාරිභෝගියින්ටත් සාධාරණයක් නොවන අවස්ථා තමයි වැඩි.
මේ තත්වය වෙනස් කරන්න නම් අපිට සංවිධානය වෙන්න වෙනවා. ගොවි සංවිධාන, සමුපකාර හැටියට අපිට පුළුවන් ද අපේ අස්වැන්න මිල දී ගැනීම, සැකසීම හා අලෙවිය සදහා සෘජුව මැදිහත් වෙන්න ? අස්වැන්න විතරක් නෙමෙයි, බීජ අලෙවිය, යන්ත්ර සූත්ර ඇතුළු කෘෂිකර්මයේ සියලු ක්ෂේත්රවල වෙලෙදපොල සදහා ගොවියන්ට ඇති අයිතිය සංවිධානාත්මකව අපි දිනාගන්න ඕනේ.
3. අපේ දේශපාලන බලය ගොඩනැගීම
තවදුරටත් එන එන ආණ්ඩුවල හෝ දේශපාලන පක්ෂවල පදයට නටන්නේ නැති, ගොවි ප්රජාවක් ගොඩනැංවීම අත්යවශ්යයි. අපේ ඉඩම් ගැන, වතුර ටික ගැන, ගොවිතැන ගැන තීන්දු ගැනීමේ අයිතිය අපිට දිනා ගැනීම අවශ්යයි. ඒ සදහා ගම් මට්ටමේ ඉදලා ජාතික මට්ටම දක්වා දේශපාලනය බලය ඇති ගොවි ව්යාපාරයක් අපි ගොඩනගන්න ඕනේ.
(සදුන් තුඩුගලගේ මුහුණු පොතින් උපුටා ගන්නනා ලදී.)