සුනන්ද දේශප්‍රිය විසිනි.
මෙරට ප්‍රධානතම බුද්ධි සේවාව වන ජ්‍යෙෂ්ඨ පොලිස්පති නිලන්ත ජයවර්ධන යටතේ තිබූ රාජ්‍ය බුද්ධි සේවාව සහ බිගේඩියර් චූලා කොඩිකාර යටතේ තිබූ මිලිටරි බුද්ධි කාර්යාංශය පාස්කු ප්‍රහාරකයින් කල්තබා දැන සිටි බවත්, වව්වනතිව්හි පොලිස් භටයින් ඝාතනය පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට කටයුතු කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක් මගින් කියා සිටී.
ශානි ආබ්සේකර මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ චෝදනා මත තමන් අත්අඩංඟුවට ගැනීම වළක්වන ලෙස තහනම් නියෝගයක් ලබා ගැනීම පිනිසය.
මෙම දිව්රුම් පෙත්සම මගින් ශානි අබේසේකර ප්‍රකාශ කරන කරුණූ මෙයට පෙර අප විසින් ලියා පළ කරන ලද කරුණූ සනාථ කරන අතරම මෙම පෙත්සම එම සිදුවීම් විස්තරාත්කව මෙතෙක් හෙළි නොවූ කරුණුද සමඟ දක්වයි.
පෙත්සමෙහි සඳහන් කරුණු අනුව පෙනී යන්නේ සහරාන් ප්‍රමුඛ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම සමඟ ජාතික බුද්ධි සේවයට සහ මිලිටරි බුද්ධි කාර්යාංශයට සම්බන්ධතා මෙන්ම දැනුමක් තිබූ බවත් එනමුත් එම තොරතුරු කිසි විටෙක රහස් පොලිසිය හෝ ත්‍රස්ත විමර්ශණ ඒකකය සමඟ බෙදා නොගත් බවත්ය.
ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයන් සිදුවීමට ඉඩ හැරීම පිටුපස දේශපාලන බල ව්‍යාපෘතියක් තිබුණේද යන්නත් යටිබිමගත රාජ්‍ය හෝ ගැඹූරු රාජ්‍ය මෙම ප්‍රහාරයන්ට ඉඩ සැළසුවේද යන්නත් පිළිබඳව ඇති සැක බොහෝ දුරටම තහවුරු වෙයි.
ශානි අබේසේකරගේ දිව්රුම් පෙත්සමෙහි සඳහන් ඉහත නිගමනය සනාථ කරන කරුණු කිහිපයක් මෙසේය:
වව්නතිව් පොලිස් මුරපොළට එල්ල වූ ප්‍රහාරය වසන් කිරීම:
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පසු සිදුකළ පරීක්ෂණවලදී පොලිස් නිලධාරීන් ඝාතනයට අජන්තන් නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා වගකිව යුතු නැති බවත් එම අජන්තන් නම් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයා බොරුවට කොටු කර ඇති බවත් හෙළි විය. රාජ්‍ය බුද්ධි සේවය (SIS) සහ මිලිටරි බුද්ධි කාර්යාංශය (DMI) අංශ විසින් එම පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නොමඟ යවා ඝාතනයට සම්බන්ධ සැබෑ ප්‍රහාරකයන් අනාවරණය කර ගැනීම වැළැක්වීම සඳහා පාසල් බෑගයක දමන ලද යතුරුපැදි ජැකට්ටුවක් සොයා ගත් බව පෙන්වීමට DMI සහ SIS කුමන්ත්‍රණය කර ඇති බවට සැකයක් මතුව තිබේ. DMI සහ SIS විසින් ඇති කළ එම ව්‍යාකූලත්වය හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට මෙම නිලධාරීන් දෙදෙනා ඝාතනය කර ඇත්තේ සහරාන් ප්‍රමුඛ ජාතික තව්පික් ජමාද් ත්‍රස්ත කණ්ඩායම විසින් බව අනාවරණය කරගත හැකි වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව පමණකි.
ජනාධිපති සිරිසේන සහරාන් පිළිබඳව ජාතික ආරක්ෂක මණ්ඩළය දැනුවත් කිරීම අවහිර කිරීම:
2019.02.02 වන දින රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පෙත්සම්කරු වන ශානි අබේසේකර සමඟ එක්ව එවකට ජනාධිපති වූ මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී මාවනැල්ල ප්‍රදේශයේ බෞද්ධ පිළිමවලට පහරදීම් සහ වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ නීතිවිරෝධී ලෙස කිලෝග්‍රෑම් 100 කට අධික පුපුරණ ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධයෙන් සහරාන් ඇතුලු කණ්ඩායම සැක කරන බවට කරුණු පැහැදිලි කරන ලදී. එබැවින් මෙම කාරණය බරපතල ලෙස සළකා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන බැවින්, ආරක්ෂක මණ්ඩළයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිට තිබේ. ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර හෝ අන්තවාදී ක්‍රියාකාරකම් වැලැක්වීම සඳහා රහස් පොලිසියට බුද්ධි අංශවල සහ හමුදාවේ සහාය ලබා ගැනීමේ අරමුණින් ආරක්ෂක මණ්ඩලයේ අවධානය යොමු කරන ලෙස ඔව්හු ඉල්ලා සිටියහ. ඉහත කරුණු සම්බන්ධයෙන් ආරක්ෂක මණ්ඩලයට කරුණු දැක්වීමට රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට අවස්ථාව ලබා දෙන බවට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළද එකී ප්‍රතිඥාව කිසි විටක ක්‍රියාත්මක වූයේ නැත.
මිලිටරි බුද්ධි කාර්යාංශය ජමිල් පිළිබඳ දැන සිටි තොරතුරු රහස් පොලිසියට නොදීම:
2019.04.21 වන දින අබ්දුල් ලතීෆ් ජමිල් නම් ජාතික තව්හිද් ජමාද් ක්‍රියාකාරිකයා ටාජ් සමුද්‍රා හෝටලයේදී සිය දිවි නසාගන්නා බෑගය පුපුරවා හැරීමට සූදානමව සිටියේය. එසේ නමුත් දුරකතන ඇමතුමක් ලැබීමෙන් පසු ඔහු පිපිරීම සිදු නොකර ටාජ් සමුද්‍රයෙන් පිටව ගොස් ඇති බව සීසීටීවී වලින් ඔප්පු විය.
පාස්කු ප්‍රහාර සිදු වූ දා පැය කිහිපයක් ඇතුළත යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් ප්‍රථමයෙන් වැල්ලම්පිටියේ පිහිටි ජමිල්ගේ මවගේ නිවසට ජමිල් සිටින ස්ථානය සොයා ගොස් ඉන් පසු දෙමටගොඩ ජමිල්ගේ නිවසට ගිය බව පසුව හෙළි විය. මිලිටරි බුද්ධි නිලධාරීන් එළෙස ඔහුගේ නිවසට ගියේ ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතුවල නිරතව සිටි රහස් පොලිසිය වෙත නොදන්වාය. සහරාන් සහ ජාතික තව්හිද් ජමාද් පිලිබඳව තොරතුරු සොයා ගැනීමට සහය ලබා දෙන ලෙස රහස් පොලිසිය විසින් නැවත නැවතත් ඉල්ලීම් කළද මිලිටරි බුද්ධි කාර්යාංශය දැන සිටි මෙම තොරතුරු කිසිදා රහස් පොලිසිය වෙත ලබා නොදුන්නේය. DMI හි අනුයුක්තව සිටි හමුදා නිලධාරීන් අබ්දුල් ලතීෆ් ජමිල්ගේ අනන්‍යතාවය, ජාතික තව්හිද් ජමාදිහි ඔහුගේ භූමිකාව සහ ඔහු සිටින ස්ථානය පිළිබඳව කලින් දැන සිට ඇති නමුත් තවමත් නොදන්නා හේතු නිසා ඔවුන් සහරාන් අල්ලා ගැනීමට උදව් විය හැකිව තිබූ මෙම තොරතුරු රහස් පොලිසිය සමඟ බෙදා නොගැනීමට තීරණය කර තිබී ඇත.
පසුව ජමීල් දෙහිවලTropical Inn හි සිය බෝම්බය පුපුරුවා ගෙන මිය ගියේය. ( බෝම්මය පුපුරුවා නොගත් එකම පුද්ගලයා ජමීල් විය. මිලිටරි බුද්ධි අංශ ගියේ ඔහුගේ නිවසට පමණය. එම තොරතුරු ඔවුන් දැන සිටියේ කෙසේද යන්න ශ්‍රී ලංකා බ්‍රීෆ් විසින් මෙයට පෙරද මතු කර තිබේ.)
සහරාන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බුද්ධි නිලධාරියා:
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සහරන් හෂීම් සමඟ නිතර සන්නිවේදනය කළ පුද්ගලයකුට අයත් අන්තර්ජාල ප්‍රොටෝකෝල (IP) ලිපිනයක් (එනම් ඔහුගේ අන්තර් ජාල සම්බන්ධතාවයේ මූලය) පිළිබඳව රහස් පොලිස් නිලධාරීන් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) හරහා දැනගත්තේය. පාස්කු ප්‍රහාරකයන් සමඟ සම්බන්ධ පරිගණක, ජංගම උපාංග සහ අන්තර්ජාල ගිණුම් විශ්ලේෂණය කිරීමෙන් මෙම සොයා ගැනීම සිදුවිය. රහස් පොලිසිය එම පුද්ගලයා සොයා අත්අඩංඟුවට ගැනීමට සමත් විය. එනමුත් සහරාන් සමඟ තිබූ සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් ලබාදීම ප්‍රතික්ෂේප කළ එම පුද්ගලයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීම ආරම්භ කළේය. මේ අවස්ථාවෙහි දී ආරක්ෂක අමාත්‍යාංශය විසින් එවකට මිලිටරි බුද්ධි කාර්යාංශයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාගේ ක්‍රියාකාරකම් ජාතික ආරක්‍ෂක කටයුතු ලෙස නිර්ණය කර ඇති බව පවසා ඔහුගේ ක්‍රියාකාරකම් රහසක් බැවින් එම පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වන ලදී.
(මෙම කාලයෙහි ආරක්ෂක අමාත්‍යාංශය බාරව සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වන අතර මෙම පුද්ගලයා මුස්ලිම් ජාතික හමුදා නිලධාරියකු යැයි මෙරට පෙර වාර්තා වී තිබුණි.)
Sonic Sonic නම් බුද්ධි නිලධාරි කේතය සහිත පුද්ගලයා ගැන:
පාස්කු ප්‍රහාරයෙන් පසු සිදුකළ පරීක්ෂණ තුළින් මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි “පොඩි සහරන්” හෙවත් මාතලේ සහරාන් නැමැති ජාතික තව්පික් ජමාද් සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයකු පිළිබඳව අනාවරණය කර ගැනීමට රහස් පොලිසියට හැකි විය. “පොඩි සහරාන්” මාතලේ පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර පසුව එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව නැවත අත්අඩංගුවට ගන්නා ලදී.
“පොඩි සහරාන්” ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරන අතරවාරයේ ඔහු “සොනික් සොනික්” නැමැති පුද්ගලයකු සමඟ සන්නිවේදනය කර ඇති බවට අනාවරණය විය. ඉන් අනතුරුව එම “සොනික් සොනික්” නමැති පුද්ගලයාගේ සිම් කාඩ් පතෙහි අංකය සහ එහි අන්තතර් ජාල ලිපිනය සොයා ගැනීමට රහස් පොලිසියට හැකි විය. එම සොයා ගැනීම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම “Sonic Sonic” විසින් භාවිතා කරන ලද SIM කාඩ්පත සහ IP ලිපිනවලට අදාළ තොරතුරු විමර්ශනය කරන ලදී.
“සොනික් සොනික්” භාවිත කළ සිම්කාඩ පත කොළඹ නගරයේ රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන පොලිස් කාන්තා සැරයන්වරියකගේ නමින් ලබාගෙන ඇති බව පරීක්‍ෂණවලට අනුව අනාවරණය විය. සැරයන්වරියක වූ ඇය විසින් එම සිම් පත ලබාදී තිබුණේ තමන් සබඳතාවක් පැවැත්වූ බව කියන නිලන්ත ජයවර්ධනය යටතේ වූ ජාතික බුද්ධි සේවයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂක බණ්ඩාර නමැත්තෙකුට බව හෙළි කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පුද්ගලයා වූ පොලිස් පරීක්ෂක බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී. එම අවස්ථාවේදී නියෝජ්‍ය පොලිස්පති එස්.අයි.එස්.සම්පත් ලියනගේ විසින් ශානි අබේසේකර අමතා පොඩි සහරාන් සමඟ එස්.අයි.බණ්ඩාර පැවැත් වූ සම්බන්ධය රහසිගත මෙහෙයුමක කොටසක් බැවින් එකී ප්‍රශ්න කිරීම් කරගෙන නොයන ලෙසට දැනුම් දෙන ලදී. ජාතික ආරක්ෂවට සම්බන්ධ වුවද, ශානි අබේසේකර එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම ප්‍රතික්ෂේප කර එස්.අයි. බණ්ඩාරගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සමත් වූ නමුත්, එම උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සිය ප්‍රකාශයේ ද මුලින් කී පුද්ගලයාගේ ස්ථාවරයම ගෙන ඔහුට පොඩි සහරාන් සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.
( සොනික් සොනික් පොඩි සහරාන් අමතා. පාස්කු ප්‍රහාරයේ වගකීම ඉස්ලාමී්‍ය රාජ්‍ය සංවිධානය බාර ගෙන නැත්තේ ඇයිදැයි දුරකතනයෙන් වමසූ බවත් ඉන් පසු පොඩි සහරාන් ඉන්දුනීසාවේ පුද්ගලයකුට කතාකර එම පිළිගැනීම ලබා ගත් බවත් පාස්කු ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සඳහන් කරයි)
ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඇතුළත SIS අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන දුන් වාර්තාව:
පාස්කු ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු, ජාතික තව්පික් ජමාද්හි අණදෙන ව්‍යුහය පිළිබඳ සම්පූර්ණ තොරතුරු සහ වව්නතිව් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනයට ඔවුන් සම්බන්ධ බවට සාක්ෂි ඇතුළත් වාර්තාවක් පළමු වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එවකට ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා වූ නිලන්ත ජයවර්ධන විසින් ලබා දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහරාන් හෂීම් ජාතික තව්පික් ජමාද් අණදෙන ව්‍යුහය සහ වව්නතිව් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් මෙම නිශ්චිත තොරතුරු රහස් පොලිසිය වෙත ලබා දී තිබුණේ නම් හෝ ප්‍රහාර එල්ල කිරීමට පෙර ආරක්ෂක මණ්ඩලයට එම තොරතුරු ලබා දුන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයන් වැලැක්වීමට හැකි වන්නට තිබුණි.
(නිලන්ත ජයවර්ධන සතුව මෙම තොරතුරු පාස්කු ප්‍රහාරයට පෙර තිබූ බවත් එය වාර්තාවක් ලෙස සකස කර තිබූ බවත් මෙමගින් පෙනේ. එසේ නොවන්නට ප්‍රහරය සිදුවී සියලු බුද්ධි අංශ කලබලයට පත්ව සිටි පැය දෙක තුනක් ඇතුලත එවැනි වාර්තාවක් එවීමට නිලන්ත ජයවර්ධනට හැකියාවක් නැත. එපමණක් නොව නිලන්ත ජයවර්ධන රහස් පොලිසියට දුන් මුල් වාර්තාවන්හි සඳහන් වන්නේ එම ප්‍රහාරය හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ ක්‍රියාවක් බවයි. ඔහු දැන දැනම මෙම ප්‍රහාරය පිළිබඳව කරුණූ වසං කළ බවට එල්ල වන චෝදනාව මෙමගින් සනාථ වේ.)
ශානි අබේසේකර සිය පෙත්සමෙහි ඔහු සදහන් කරන කරුණු වලට අදාල ලිපි ගොනු ද ඉදිරිපත් කර තිබේ.
( වැඩි විස්තර ඉදිරියට)