Tuesday, December 3, 2024

මාස්ටර් සර් – නීලාගේ පනම් අට අපට දෙන්න..! -මංජුල ගජනායක

පළොල් මලක් සේ සුවඳ විහිදුවමින් සිහල ගී කෙත සුගන්ධවත් කෙරුමෙන් හා හසකැන් නොඅඩු මනකල් රූපශ්‍රීයෙන් රසික දන මන පොබැයූ නීලා වික්‍රමසිංහ යැයි නම් ලත් ගී ගයන්නී ලක් මව් ඇකයෙන් ගිලිහී යළි නොඑන ගමන් ගියාය. ප්‍රතිභාපුර්ණ නවක ලේඛිකා හර්ෂනී වීරරත්න “දූවිලි” නම් තම කෘතියේ පවසන ලෙසම “ගැහැණියක් යනු  අසම්පූර්ණ ගීතයකි”. නීලා ද එවැනිම ගීයකි.  දෛවයේ සරදමකටදෝ ඇය අප සිත් මැදුරු අරක්ගත් මෙරටේ නිපන් එකම වියෝ ගී ගයන්නිය ද  වූවාය.

මින් දෙසැත්තෑ වසරකට පෙර අගනගරයට තදාසන්න වත්තල පුරවර උපන් නීලා සිඟිත්තිය සයමස් ඉකුත්ව යෑමට පෙර ම රුදුරු පෝලියෝ මාරයා බිලිගත්තී දිවි ඇති තුරාම එහි ගොදුරක් වූවාය. එනමුත් කිසිදු විට – කිසිදු තැන ඈ තම ශාරීරික දුබලතාව අන් සිත් ගන්නට යොදා නොගත්තා පමණක් නොවේ. තම දුබලබව හමුවේ නැඟී සිටියේ යෝධබල යෝධ වීරිය ලත් අසමාන ගැහැණියක් සේය. එවැනි චරිත අදනම් අපට හමුවන්නේ නැති තරම්ය. දිවමන් නොවූවද එවන් ධීරවීර හපන්කම් පෑ වුන් හමුවී ඇත්තේ නම් ඒ පුරාතන ග්‍රීක හෝමර් වැනි  වීරෝදාර දේවතාවුන් හා සම අර්ධ පුරාවෘත ඔස්සේ පමණි.  එනයින් නීලා ගී ගැයූ සංගීත විශාරදවරියක් පමණක් ම නොවේ. එඩිය හා සවිය මතුනොව සතතාභ්‍යාසයේ ද බුහුටිව වැජැඹුණු සුන්දර ගැහැණියකි. තම සමකාලීන තරුණයන් වසඟ කල රූසපුවෙන් හෙබි මියුලැසියකි.

‘අපේ කාලයේ ගජමන් නෝනා’

වින්සන්ට් සෝමපාල, මෙන්ම ආනන්ද ජයසිංහ හා ඩෝල්ටන් අල්විස් වැනි ඉසුරුමත් සංගීත ඇදුරන්ගේ නොමඳ ඇල්මෙන් හා බැල්මෙන් ගැයුමේ හා වැයුමේ පාදම පාදා ගත් ඇය, තම දිවිසැරියේ අග්ගිස්සට එද්දී පසුබිම් ගී ගයා තිබූ සලරූ ගණන පමණක් 67 ක් විය. ඒ ඈ ගැයු කර්ණ රසායන වු සරල ගී සමුදායට අමතර වශයෙනි. ඇය ගයන්නියක හෝ සංගීත සමායෝජකවරියක් හා ගුරුවරියක් ද පමණක් පමණක් නොවේ. මියෙන තුරාම දරුවන් උදෙසා පිහිට වූ ස්වේච්ජා පදනමක අරමුදල් සපයන්නියක  හා  මඟ පෙන්වන්නියක ද වූවාය. සංගීතයෙන් ඔබ්බේ තම හද පණනල විෂම සමාජ සැකැස්ම හමුවේ ඔද්දල් වූ බවට ඇය සැපැයූ ජීවමාන සාක්ෂිය එයයි.

දෝන ඩිලීෂියා නීලා යනු කෙතරම් වැර වීරිය යෙදුවද අප මතකයෙන් බැහැර කළ හැකි සාමාන්‍ය ගැහැණියක් නොවේ. වරෙක යමුනා මාලිනි පෙරේරා නිවැරදිව දැක්වූ පරිදි ම ඇය ‘අපේ කාලයේ ගජමන් නෝනා’ වූ අතර ශ්‍රී ලාංකේය කොදෙව්වේ බොහෝ සංධිස්ථානාත්මක සංගීත සංසිද්ධීන් අභිමුව නීලා තැබු මුද්‍රාව අනගිභවනීය ය. නන්දා මාලිනිය තම ජවසම්පන්න හඬින් හා මාලනී බුලත්සිංහල තම දයාර්ද්‍ර වූ ස්නේහවන්ත හඬින් සිංහල ගීතය හැඩ කරන අතරතුර නීලා පෑ හරඹය ශෝබනය. සිහිකෙරුම රසවත්ය. සැබවින්ම ඇයගේ හඬ දිව්‍යමය එකකි. එකී ස්වීය හඬ අප දෙසවන් තුළ නින්නාද වූයේ ස්වර සම්භාෂණයක් සේය. ඇය වරෙක ප්‍රේම යාදින්නියක සේද,  තවත් වරෙක දුක්ඛප්‍රාප්ත ගැහැණියකගේ ගැඹුරු සංවේදනාවද පළකළ සුවිශිෂ්ඨ ගයන්නියක් වෙමින් යටත් පිරිසෙන් පරම්පරා ත්‍රිත්වයක රසික සජ්ජන සමූහයක් ඇඳබැඳ තබා ගත්තීය. ”වදන් නිහඬ වන තැන සංගීතය කතා කරයි” යන ප්‍රකට කියමන සත්‍යයක් වන්නේ නම් නීලා මෙතෙක් අප සමඟ කතා කොට ඇති වදන් ප්‍රමාණය දහස් සංඛ්‍යාත ය. ඒ සෑම වදනක් ම දයාර්ද්‍ර වූ රස නුසුන් ඒවාය.

නීලා ගොරහැඬි දේශපාලන ස්වාමියෙකුගේ පිළිසරණ පැතීම..

නීලා ගී දහසකට හඬ දුන්නේ වුවද, ‘මාස්ටර් සර්’ ගීය ඇයගේ එකලා ගමනේ නොමැකෙන රන් සලකුණකි.  ඇයගේ ඒකපුද්ගල ගී ප්‍රසංග මාලාවේ නාමයද එයම විය. එහි කලාත්මක භාවිතාව හමුවේ ඇය රසික පර්ෂද මත්තේ නැඟී සිටියේ යම් සේද ඇයගේ දිවියේ දිසි එකම දුබලබවද ප්‍රත්‍යක්ෂ කල ගීය ද එයම විය. කාලාන්තරයක් මුළුල්ලේ ප්‍රේමනීය වදන් තෙපලූ නීලා ගොරහැඬි දේශපාලන ස්වාමියෙකුගේ පිළිසරණ පැතීම නම් වූ හාස්‍යජනක දේශපාලන විජ්ජුම්බරය විශද කළ වදන් පෙළක්ද එහි ලියැවී ඇත්තේය.

අප සුමිතුරු ඩබ්. ජයසිරි නිවැරදිව දක්වා ඇති පරිදි ඇය ගැන තිබු ආදරණීය මතකය 70 දශකයෙන් ඔබ්බේ ඈත්ව ගොස් ඇත්තේය. ඒ වෙනකක් නිසා නොවේ. ගොරතර දේශපාලනය ඈට පිරිනැමූ පක්‍ෂ දේශපාලනයේ ඇම ඈ ගිල්ල බැවිනි. මිනිසා පෘතග්ජන බව සැබවි. එනමුත් කලාකරුවෙක් සතු ජනකාන්ත පැවැත්ම ජරපත් දේශපාලකයන් අභිමුව විදාහළ කල, ලද හැකි ඉහළම ත්‍යාගය එක්කෝ රාජ්‍ය තාන්ත්‍රිකමය තනතුරකි. එසේත් නැත්තේනම් සංස්ථා අධිකාරී සභාපතිකමකි. ඉන් නීලා ලද්දේ ඉතාලියේ මිලානෝහී කොන්සල් ධුරයයි. අවසන රසික සමූහයාගේ මෘදු දෑතේ සැතපිය යුතුව තිබු අහිංසහ නීලා, දේශපාලන අනුගාමිකාවියක් ව  මිලානෝහි අවසන් සුසුම් හෙලුවා ය යන්න රෑ මැදියම දුටු භයංකාර සිහිනයකි.

නීලා මෙසේ ගයන්නීය..,

අප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේ – නිම වෙන්නට කල් ගත වෙයි දෝ
අනේ සර් අපි මිතුරන් වෙයිදෝ – එදා දවස උදා වේවිදෝ…………………….

අනේ හැබෑටම නිලාගේ දිවි අන්දරය නිමා වූයේ එලෙසමය. කඹ ඇදිල්ලෙන් දින්නේ ඈය. මාස්ටර් සර් ලා හා මිතුරු වුයේ  ද ඈය.  අවසන ඈ මැකිලා ගියාය. අපි කවදත් ඔවුන් දෙස බලා සිටින්නෙමු. කොහොමත් රාජපක්‍ෂලා සහ වික්‍රමසිංහලා ගජ මිතුරෝය. දෛවයේ සරදමකටදෝ නීලා ද වික්‍රමසිංහ කෙනෙකි. එනයින් බලන කල නීලා භෞතිකව මියගියේ මිලානෝහි වුවද ඇය අධ්‍යාත්මිකව මියගියේ මිට කලකට පෙරය.

(සේයාරුව -අන්තර් ජාලයෙනි)

ලංකාඊනිව්ස් වෙතිනි

Archive

Latest news

Related news