Thursday, November 21, 2024

ත්‍රස්ත විමර්ශන ඒකකයේ ත්‍රස්තවාදය: “බෞද්ධ පොත් ළඟ නැති නිසා මා ත්‍රස්තයෙක් යැයි පොලිසිය කිව්වා” – අහ්නාෆ් ජසීම්

පාපෝච්චාරණයකට අත්සන් නොකළහොත් වසර 20ක් තමන් රඳවා තබන බවට තර්ජනය කළ බව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ හිටපු රැඳවි කවියා කියයි

කවියෙකු සහ ගුරුවරයෙකු වන අහනාෆ් ජසීම් 2020 මැයි මාසයේදී 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) යටතේ අත්අඩංගුවට ගන්නා ලදී. “අන්තවාදී” මතවාදයන් ප්‍රවර්ධනය කරන බවට බලධාරීන් විසින් චෝදනා කරන ලද නවරසම් නම් වූ ඔහුගේ දෙමළ භාෂා කාව්‍ය සංග්‍රහය සම්බන්ධයෙන් මුලදී අත්අඩංගුවට ගත් ජසීම්ට වසරකට වැඩි කාලයක් සිරගතව සිටීමෙන් පසුව දෙසැම්බර් 15 වැනි දින ඇප ලබා දෙන ලදී.

ඔහු නිදහස් වීමෙන් පසු ප්‍රථම වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජසීම්, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ අත්දැකීම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ඔහුගේ සිතුවිලි සහ ලේඛකයෙකු ලෙස ඔහුගේ අනාගතය ගැන ද  අදහස් දක්වා තිබේ.. තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා “සේව් ද පර්ල්ස්” පුණ්‍යායතනයට සම්බන්ධ කිරීමට උත්සාහ කළ ආකාරය විස්තර කරන ඔහු  ඒ හරහා ඔහුගේ චූදිතයින් විසින් නීතිඥයෙකු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන හෙජාස් හිස්බුල්ලා සමඟ සම්බන්ධයක් ඇති බවට ව්‍යාජ ලෙස පාපොච්චාරණය කිරීමට බල කිරීමට උත්සාහ කළ බව ඔහු සඳහන් කරයි.

මෙම සාකච්ජාව කියවන වට පෙනී යන්නේ ත්‍රස්ත විමර්ශන ඒකකය එක්තරා අන්දමක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන ආයතනයක් බවයි.

“පාපොච්චාරණයක්  කරන ලෙස ඔවුන් මේ කාලය තුළ මට බල කළා. මාව අවුරුදු 15ක් 20ක් හිරේ දානවා කියලා තර්ජනය කළා. ඒ වෙලාවේ මට  විවාහයක් සඳහා යෝජනාවක් තිබුණා. ඔවුන් මට තර්ජනය කළා ඒ ගැහැණු ළමයාවත් අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ අය මගෙන් පාපොච්චාරණයක් ගන්න තර්ජනය කළේ එහෙමයි.”

ඔබ අත්අඩංගුවට ගනු ලැබුවේ කවදාද සහ ඔබ අත්අඩංගුවට ගැනීමට පෙර ඔබ කළේ කුමක්ද?  

මාව අත්අඩංගුවට ගත්තේ 2020 මැයි 16දා. මම පුත්තලම ජාත්‍යන්තර පාසලක ඉගැන්නුවා – ඒක පෞද්ගලික පාසලක්. මම එහි උගන්වමින් සිටියදී පාසලේ අධිකාරීන් මට නවාතැන් දුන්නා. මම මාස තුනක් නිල නිවාසයේ ජීවත් වූ පසු, කොරෝනා වයිරස් වසංගතය නිසා රට වසා දැමූ පසු මං ගෙදර ගියා.  ඒ දවස්වලම සේව් ද පර්ල්ස් සහ හෙජාස් හිස්බුල්ලා නඩුව මතු වූ අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ [TID] නිලධාරීහු මගේ නිල නිවාස සෝදිසි කළා. මා එහි බොහෝ ඇඳුම්, මගේම පොත් සහ මා කියවූ පොත් පත් කාමරයේ  තියෙද්දියි ආවේ. ඔවුන් ඒ පොත් ඔක්කොම අරන් ගියා.

ඊට පස්සේ ගෙදරදී මාව අත්අඩංගුවට ගත්තා.

මම 2019 ජූනි හෝ ජුලි මාසවල තමයි පාසලේ වැඩ කරන්න පටන් ගත්තේ. මම එම නිල නිවාසයේ ජීවත් වුණේ මාස තුනක් පමණයි. 2012 සිට 2019 දක්වා මම බේරුවල ජමියා නලීමියා ඉස්ලාමීය ආයතනයේ ඉගෙනුම ලැබුව. එහිදී මම අරාබි, ඉස්ලාමීය අධ්‍යයන, සාහිත්‍යය සහ සමාජ විද්‍යාව හැදෑරුවා. මම උසස් පෙළ කළේ එතන. මම 2019 වසරේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි වැඩසටහනේ වසරක් සම්පූර්ණ කළා. එය අවසන් කිරීමට මම තවමත් බලා සිටිනවා. මා  පාසලේ නවය, 10 ශ්‍රේණි සහ සාමාන්‍ය පෙළ පන්ති සඳහා දෙමළ හා දෙමළ සාහිත්‍ය ඉගැන්වූවා.

ඔවුන්ගේ මූලික චෝදනාව වූයේ ඔබ සේව් ද පර්ල්ස්  (Save the Pearls) සංවිධානයට සම්බන්ධ බවයි. ඒක ඇත්තක්ද? ඔබ ඒම ආයතනය සමඟ යම් ආකාරයකින් සම්බන්ධ වී සිටිනවාද?

මම “සේව් ද පර්ල්ස්” එකට සම්බන්ධ නැහැ. මා පදිංචිව සිටි නිල නිවාසය “සේව් ද පර්ල්ස්” ආයතනයට අයත්ව තිබුණත් මට නිල නිවස ලෙස  එය දුන්නේ පාසලෙන්. මා අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය ඒ ගැන මගෙන් විමසූ විටයි මට “සේව් ද පර්ල්ස්”  ගැන දැනගන්න ලැබුණේ. මම හෙජාස් හිස්බුල්ලා ගැන දැන ගත්තේත් ඔහු අත්අඩංගුවට ගත් ප්‍රවෘත්තිවලින් පමණයි.

“ඔවුන් කීවේ මා ළඟ ක්‍රිස්තියානි පොත්, හින්දු පොත්, ඉස්ලාම් පොත් තිබෙන නමුත් බෞද්ධ පොත්පත් මා සතුව නොමැති බවයි.  මං කිව්වා මම බෞද්ධ පොත්පත් – පොත් දෙක තුනක් කියවා තියෙනවා – නමුත් මට ඒවා අයිති නැහැ කියලා. නිලධාරීන් කීව්වා බෞද්ධ පොත්පත් මා සතුව නැති නිසා මා ත්‍රස්තවාදියෙක් කියලා.”

ඔබ ‘නවරසම්’ කවි පොත පළ කළේ කවදාද?

2017 ජුලි මාසේ නවරසම් පළ කළා. ඊට කලින් කවි ලියලා සම්පාදනය කළා. එය මගේ පළමු පොත. මගේ වයස අවුරුදු 26ක් පමණයි.

ඔබ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ නිලධාරීන් මොනවද කිව්වේ?

මගේ ගෙදරට ආපු අය මගෙන් නවරසම් කවි පොත ගැන ප්‍රශ්න ගොඩක් අහලා අල්මාරියේ තිබ්බ පොත් ඔක්කොම බැලුවා. මා ළඟ එහි පිටපත් 105ක් පමණ තිබූ අතර ඔවුන් තවත් පොත් 50ක් පමණ රැගෙන ගියා. ඔවුන් මාව අත්අඩංගුවට ගත් විට, ඔවුන් පැවසුවේ ඔවුන්ට ඇත්තේ “කුඩා පරීක්ෂණයක්” බවයි. එක පරිවර්තකයෙක් එක්ක නිලධාරීන් හතර පස් දෙනෙක් විතර හිටියා.

ඔබට කතා කළ හැකි භාෂා මොනවාද?

මම ඇත්තටම භාෂාවලට කැමතියි, මට දෙමළ සහ අරාබි කතා කරන්න පුළුවන්. මට ඉංග්‍රීසි සහ සිංහල කළමනාකරණය කර ගන්න පුළුවන් – නමුත් ඒ දෙක චතුර ලෙස කතා කරන්න බැහැ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් ඔබව රැගෙන ගියේ කොහේද?

මාව අත්අඩංගුවට ගත්තට පස්සේ මාව වව්නියාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගෙන ගියා. මම වරදක් කර නැතැයි සිතා රාජ්‍යයට සහ නිලධාරීන්ට සහයෝගය දැක්වීමේ අදහසින් තමයි මං පරීක්ෂණයට ගියේ. ඒ අවස්ථාවේ මට නීතිඥයෙක් හිටියේ නැහැ.

වවුනියාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට ඔබව රැගෙන ගිය පසු මොකද වුණේ?

මාව වව්නියාවට එක්කන් ගියාම ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව කියලා බෝඩ් එක කියෙව්වාම තමයි මං බය වුණේ. මා කිසිම වරදක් කරලා නැහැ. ඔවුන් මගෙන් පාසලේ ක්‍රියාකාරකම් සහ මම දරුවන්ට උගන්වන දේවල් ගැන ප්‍රශ්න කළා. ඔවුන් මට චෝදනා කළේ අයිසිස් සහ ත්‍රස්තවාදය ගැන ළමයින්ට වීඩියෝ පෙන්වූ බවටත්, මම සහරාන්ට සහාය දක්වමින් දේශන පැවැත්වූ බවටත්. නවරසම් කවි  පොත මගින් මා සහරාන්ට සම්බන්ධ වී ඔහුගේ අදහස්වලට අනුබල දෙන බවටද ඔවුන් චෝදනා කළා.

උදේ වෙනකම් මගෙන් මේ ගැන ඇහුවා. මං කිව්වා ත්‍රස්තවාදයට හෝ අන්තවාදයට මගේ සම්බන්ධයක් නැහැ කියලා. ත්‍රස්තවාදීන්ට විරුද්ධව මම ලියලා තියෙන දේවල් කියවන්න කියලා මං ඔවුන්ට කිව්වා. ඔවුන් තවමත් මගෙන් බොහෝ දේ විමසා සිටියා. ඔවුන් කීවේ මා ළඟ ක්‍රිස්තියානි පොත්, හින්දු පොත්, ඉස්ලාම් පොත් තිබෙන නමුත් බෞද්ධ පොත්පත් මා සතුව නොමැති බවයි. ඊට විමසා හේතු විමසූවා. මං කිව්වා මම බෞද්ධ පොත්පත් – පොත් දෙක තුනක් කියවා තියෙනවා – නමුත් මට ඒවා අයිති නැහැ කියලා. නිලධාරීන් කීව්වා බෞද්ධ පොත්පත් මා සතුව නැති නිසා මා ත්‍රස්තවාදියෙක් කියලා.

“දින 14කට පසු මාව TID ගොඩනැගිල්ලේ හයවැනි මහලේ කාමරයකට ගෙන ගොස් මාස තුනක් එහි මාංචු දමා තිබුණා. ඒ මාස තුනේ එයාලට හිතුණම මගෙන් ප්‍රශ්න කරනවා, සමහර වෙලාවට මධ්‍යම රාත්‍රියේ, සමහර වෙලාවට මාව බලෙන් ඇහැරවලා පරීක්‍ෂණ කළා. මං නිදා සිටියදී පවා, මගේ අත මේසයක ත්‍රස්ත විමර්ශන ඒකකයේ කකුලට මාංචු දමලයි තිබුණේ”

වවුනියාවේදී ඔවුන් ඔබෙන් කොපමණ කාලයක් ප්‍රශ්න කළාද?

ඒ අය මගෙන් දවස් දෙකක් එක දිගට වවුනියාවේ ප්‍රශ්න කළා. ඔවුන් මගෙන් සිංහලෙන් ප්‍රශ්න ඇසූ අතර පරිවර්තකයෙකු ලවා එය දෙමළ භාෂාවට පරිවර්තනය කළා. ඔවුන් උදේ වන තුරු මගෙන් ප්‍රශ්න කළා – මට නින්දක්ට ඉඩක් දුන්නේ නැහැ. මම ඉතා වෙහෙසට පත් වූ විට, ඔවුන් මට උදේ 5.30 ට නිදා ගැනීමට ඉඩ හැරියත්, ප්‍රශ්න කිරීම් සඳහා නැවත උදේ 8 ට මාව අවදි කළා. නවරසම් පොතේ සියලුම පිටපත් එකතු කර නැවත ඔවුන් වෙත ලබා දිය යුතු බව ඔවුන් මට පැවසුවා. මම කිව්වා ඒක රට පුරා බෙදලා විකුණුවා කියලා. මට ඒක කරන්න විදිහක් නැහැ කියලා.

පසුව මාව වාහනයක නංවාගෙන මගේ නිවස අසලට රැගෙන ගියා. අප අසල්වැසියන්ගෙන් පොතේ පිටපත් 10 ක් පමණ එකතු කළා. එතකොටම ආමි එකේ දෙන්නෙක් ආවා. ඔවුන් මට රළු විදියට කතාකලා: “ තමුසේ සහරාන්ට සම්බන්ධයි. අපි  උඹ කොළඹ ගෙනිහින් අවුරුදු හතරක් අඳුරු කාමරයක තියන්නයි යන්නේ. උඹට වෙච්ච දෙයක් කාටවත් දැන ගන්නවත ලැබෙන එකක් නැහැ.”

මට කිව හැකි එකම දෙය නම් මා කිසිවක් නොදන්නා බව යැයි මං භාෂා දෙකෙන්ම කිව්වා. ඔවුන් කීවේ මා සහරාන්ගේ  දේශනවලට ගොස්  තිබෙන බව කී ඔවුන් එහෙම ගියේ ඇයි දැයි විමසුවා. නවරසම් ලිව්වේ මන්දැයි විමසූවා. දවස් දෙකකට පස්සේ මාව කොළඹ ගෙනිච්චා. එතකොටත් මට නීතිඥයෙක් හිටියේ නැහැ.

කොළඹ ගෙනිච්චට පස්සේ මොකද වුණේ?

කොළඹදී ඔවුන් මාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ මූලස්ථානයට ගෙන ගොස් නැවත පරීක්ෂණ ආරම්භ කර මා ත්‍රස්තවාදියෙකු බවට චෝදනා කළා.

මම 2020 මැයි 18 සිට 2020 මැයි 31 දක්වා දින 14ක් TID හි දෙවන මහලේ  රඳවා තිබුණා. මා ත්‍රස්තවාදී පොතක් ලියා ඇති බවත් එම පොත හරහා සිසුන් අතර ත්‍රස්තවාදී අදහස් පතුරවන බවත් ඔවුන් පැවසුවා. මෙය සහරාන්ට සම්බන්ධ බවත් ඔහුගේ බෝම්බ පිපිරවීම් හොඳ බව මා සිසුන්ට ඉගැන්වූ බවත් ඔවුන් පැවසුවා.

මා ත්‍රස්තවාදයට සහය නොදක්වන බවත්, මා ත්‍රස්තවාදයට විරුද්ධ බවත්, මගේ ලිවීම් සියල්ල එයට විරුද්ධ බවත් මං ඔවුන්ට පුන පුනා කීව්වා. මං මේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියලා මම පුන පුනා කිව්වා. එවිට ඔවුන් මාව මාංචු දමා දවස් 14ක් හුදකලා කළා.

පාපොච්චාරණයක්  කරන ලෙස ඔවුන් මේ කාලය තුළ මට බල කළා. මාව අවුරුදු 15ක් 20ක් හිරේ දානවා කියලා තර්ජනය කළා. ඒ වෙලාවේ මට  විවාහයක් සඳහා යෝජනාවක් තිබුණා. ඔවුන් මට තර්ජනය කළා ඒ ගැහැණු ළමයාවත් අත්අඩංගුවට ගන්නවා කියලා. ඒ අය මගෙන් පාපොච්චාරණයක් ගන්න තර්ජනය කළේ එහෙමයි.

ඇප ලබා නිදිහස් වීමෙන් පසු

මේ අවස්ථාවේදී ඔබේ පවුලේ අය ඇමතීමට හෝ නීතිඥයෙකුගෙන් විමසීමට ඔබට අවසර ලැබුණේද?

මාව කොළඹට ගෙන ගොස් සතියකට පසු, මට ගෙදරට කතා කිරීමට අවසර ලැබුණා. මට කියන්නට අවසර ලැබුණේ මා ජීවතුන් අතර සිටින බව පමණයි. ඔවුන් මට වෙනත් කිසිවක් කීමට ඉඩ දුන්නේ නැහැ. මා සිටින්නේ කොහේදැයි මා දැන සිටියේත් නැහැ. ඒ අය පරීක්‍ෂණ කරන කොට කිව්වා මට නීතිඥයෙක් ඉන්න බෑ, ඒ විදිහට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාව අවුරුදු එකක් දෙකක් තියාගන්න පුළුවන් කියලා. ඒ වගේම මාව උසාවියට ​​නොගෙන අවුරුදු 10ක් තියාගන්න පුළුවන් කිව්වා.

දින 14කට පසු මාව TID ගොඩනැගිල්ලේ හයවැනි මහලේ කාමරයකට ගෙන ගොස් මාස තුනක් එහි මාංචු දමා තිබුණා. ඒ මාස තුනේ එයාලට හිතුණම මගෙන් ප්‍රශ්න කරනවා, සමහර වෙලාවට මධ්‍යම රාත්‍රියේ, සමහර වෙලාවට මාව බලෙන් ඇහැරවලා පරීක්‍ෂණ කළා. මං නිදා සිටියදී පවා, මගේ අත මේසයක ත්‍රස්ත විමර්ශන ඒකකයේ කකුලට මාංචු දමලයි තිබුණේ ඒ  මාස ​​පහක පමණ කාලයක් පුරා.

වැසිකිළියට සහ නාන කාමරය  භාවිතා කිරීමට මට අවසර ලැබුණේ දිනකට දෙවරක් පමණයි. උදෑසන සහ සවස එක් වරක්. එම දින 14 තුළ, දෑත් පිටුපසට කර මාංචු දමා මා දණ ගස්වා මා ISIS හෝ අල්කයිඩාවට සම්බන්ධ බවට ප්‍රශ්න කරා. පාපොච්චාරණය කරන ලෙස පරුෂ භාෂාවෙන් තර්ජනය කළා. මට පේන්න ඔවුන් අනිත් රැඳවියන්ට ගහලා අහනවා “අප කියන විදියට කරනවද නැත්නම් උඹත් මෙහෙම ගුටි කන්න ලැහැස්තිද කියලා?”

ඔවුන් ඔබෙන් හරියටම ප්‍රශ්න කළේ කුමක්ද?

ඔවුන්ට අවශ්‍ය වූයේ මා උගන්වමින් සිටියදී හිජාස් හිස්බුල්ලා මට වැටුපක් ගෙවූ බව මා ලවා කියවා ගැනීමටයි. මං කිව්වා මා හෙජාස් හිස්බුල්ලා ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, මං ඔහුව මගේ ජීවිතයේ කවදාවත් දැකලා නැහැ. එවිට ඔවුන් මට කිව්වා පොත එළිදැක්වීමේ උත්සවයේදී රිෂාඩ් බදියුදීන් ඇවිත් මට මේ අන්තවාදී අදහස් පොත පළකරන්න සල්ලි දුන්නා කියලා කියන්න කියලා. මා කිව්වා මං ඔහුව හඳුනන්නේ නැහැ, ඒ පොත පළ කළේ මායි කියලා.

එවිට ඔවුන් කියා සිටියා ජමාත්-ඊ-ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව මා සාක්ෂි දෙන ලෙස. මං කිව්වා මා ඒවාට සම්බන්ධ නැහැ, මා ඒවායේ සාමාජිකයෙක් නෙවෙයි කියලා. අවසානයේ ඔවුන්ට අවශ්‍ය වූයේ ජමිලා නලීම් ආයතනය මට අන්තවාදී අදහස් ඉගැන්වූ බවත්, මම ඒවා සිසුන්ට ඉගැන්වූ බවත් මා ලවා  පිළිගැන්වීමටයි.

ඒ මාසවලදී ඔවුන් මට මගේ පවුලේ අයට කතා කරන්න ඉඩ දුන්නා. දුරකථන ඇමතුම අනෙත් අයට ඇසෙන ලෙස ශබ්ද විකාශනයකට සම්බන්ධ කර තිබුණා. මං කතා කරන විට නිලධාරීන් තුන් හතර දෙනෙකු මා වටා සිටියා. ඔවුන් මා ගෙදරට කියන සියල්ල අසා ඒවා සටහන් කර ගන්නවා. නඩුවට අදාළ කිසිම දෙයක් ගැන මට කතා කරන්න දුන්නේ නැහැ. මට කියන්න අවසර දුන්නේ මා හොඳින් ඉන්නවා කියලා විතරයි. ංම නඩුවට සම්බන්ධ ඕනෑම දෙයක් ගැන කතා කිරීමට පටන් ගත්තොත්, ඔවුන් දුරකථනය විසන්ධි කරනවා.

මං දින 100ක් ටීඅයිඩීයේ හයවැනි මහලේත් ඉන් පසු දින 40ක් දෙවැනි මහලේ ගත කළා. මං සම්පුර්ණයෙන්ම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ මාස පහකුත් දින හතරක් ගත කළා.

මේ කාලය තුළ ඔබේ පවුල කළේ කුමක්ද?

මගේ පවුලේ අය ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකු හමුවී මා නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා. පළමු දින 14 තුළ මම පාපොච්චාරණය කළ බව ඔවුන් මගේ දෙමාපියන්ට පවසා තිබුණා. ඔවුන් පාපොච්චාරණය ලියා තිබුණේ මා කී පරිදි නොවෙයි. ඔවුන් ලියා ඇත්තේ කුමක්දැයි මා දන්නේ නැහැ. මන්ද මම දෙමළෙන් කතා කළේ. එය සිංහල භාෂාව කතා කරන නිලධාරියෙකු පරිවර්තනය කරලයි ලියා ගන්නා නිලධාරියාට කියෙවවේ.

ජමිලා නලීම් ආයතනයේ ඉගෙනුම ලබමින් සිටියදී මට අන්තවාදී අදහස් ඇති වූ බවත් මම එය සිසුන්ට ඉගැන්වූ බවත් පාපොච්චාරණයේ සඳහන්ව තිබුණා. මගේ කටඋත්තර කියවන්න දුන්නේ නැහැ. අත්සන් කරන්න කිව්වාම අත්සන් කළේ නැත්නම් අවුරුදු 20කට ගෙදර යවන්නේ නැහැ කියලා තර්ජනය කළා.

මාස තුනකට පසු සහකාර පොලිස් අධිකාරී සී.බී. රත්නායක මහතාට පාපොච්චාරණයක් ලබා දෙන ලෙසත්, මට ගෙදර යාමට අවශ්‍ය නම් විනිසුරුවරයෙකු ඉදිරියේ පාපොච්චාරණයක් ලබා දෙන ලෙසත් ඔවුන් මගෙන් බල කලා. මං එහෙම කළේ නැහැ. ඊට පස්සේ ගෙදර අයට දුරකථන ඇමතුම් ගන්න දෙන එක නවත්තලා මට හොඳටම බනින්න ගත්තා. තාත්තාට කතා කරලා කිව්වා ඔවුන්ට අවශ්‍ය දේ මට කියන්න, කියන්න කියලා. නැත්නම් මාව අවුරුදු 20කට හිරේට යවනවා කියලා තාත්තට කිව්වා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ අධ්‍යක්ෂවරයාම තමයි මේ බව කිව්වේ.

මාස පහකට විතර පස්සේ මාව සහකාර පොලිස් අධිකාරි ළඟට ආපහු එක්කගෙන ගියා. මාව එහි ගෙන යන බව මා දැන සිටියේ නැහැ. ඔවුන් මගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේත් නැහැ. අපිව හරක් වගේ එහාට මෙහාට අරං ගියාග එතැන අපට කිසිම අයිතිවාසිකමක් නැහැ. සහකාර පොලිස් අධිකාරී රත්නායක මට කිව්වා “පුතා, ඔබට අන්තවාදී අදහස් ආවේ කොහෙන්ද සහ ඔබ ඒවා සිසුන්ට ඉගැන්වූයේ කෙසේද?”

මම දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙමින් කිව්වේ මට කිසිවෙක් අන්තවාදී අදහස් උගන්වා නැති බවත්, මා ඒවා කිසිවෙකුට එවැන අදහස් උගන්වා නැති බවත්. මම ඔහුට කිව්වා අම්මටයි තාත්තටයි ආදරේ කරන එක අපරාධයක් නම් මම ඒක කළා මට නඩු දාලා මාව මරන්න කියලා. ඊට පස්සේ විනිසුරුවරයෙක් ඉදිරියේ පාපොච්චාරණයක් දෙන්න කියලා බල කරන්න හැදුවා.

ඊට පසු ඔවුන් මට නිසි ආහාර ලබා දෙන එක නැවැත්තුවා. මට දුරකථන ඇමතුම් ලබා දුන්නේත් නැහැ. ඔවුන් වෙනත් සිරකරුවන් සඳහා ඇමතුම් ලබා දුන්නා. මා පාපොච්චාරණය කළහොත් පමණක් මට දුරකථන ඇමතුමකට අවසර දෙන බව කිවිවා. පාපොච්චාරණය නොකළොත් මට අවුරුදු 15ක් 20ක් හිරේ ඉන්න වෙනවා කිව්වා. කුටි ඇතුලේ මීයන් සහ කැරපොත්තන්  හිටියා. නිසි ඖෂධයක් තිබුණේ නැහැ.

ඔබේ නීතිඥවරයා හමුවීමෙන් පසු සිදු වූයේ කුමක්ද?

මම පළමු වතාවට මගේ නීතීඥවරයා මුණගැසුණු විට, ඔවුන් මගෙන් බලහත්කාරයෙන් පාපොච්චාරණය කිරීම ගැන මං කිසිවක් කීවේ නැහැ. මට නිසි ආහාර හෝ පහසුකම් නොලැබෙන බව පමණයි කිව්වේ. මම වෙන මුකුත් නොකිව්වේ කිව්වොත් ගහයි කියලා දන්න නිසා. ඒත් නීතඥවරයා ගියාම මට මාංචු දාලා බැනලා මුළු දවසම එහෙමම තියාගෙන හිටියා. ඊට පස්සේ මාව නාවික හමුදා කඳවුර ළඟ හිර ගෙදරක මාසයක් දැම්මා. මිනිහෙකුට ඒකේ ජීවත් වෙන්න බැහැ. එය ඉතා රශ්ණෙයි,  එහි හුස්ම ගනන් බැහැ. සතෙකුටවත් එහි ජීවත් වෙන්න බැහැ.

ඊට පස්සේ මාව මාස දෙකක් තංගල්ල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ගෙනිහුන්  පස්සේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හයවැනි තට්ටුවට මාව මාරු කළා.ඊට පස්සේ මාව උසාවියට ​​ගෙන ගොස් 2021 ජුනි මාසයේදී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රිමාන්ඩ් කළා. එහි නියාමිකයින් ආරක්ෂකයින් මට ISIS ත්‍රස්තවාදියෙකු ලෙස කෑ ගහල බැන්නා. අපට එහි නා ගන්න බැහැ. නිසි කෑමක් නැහැ. උපරිම ධාරිතාව 25ක් 30ක් විතර වුණ එක වාට්ටුවක 50ක් විතර  පිරිල හිටියා.

දැන් මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔබ ලිවීම නවත්වන්නද යන්නේ?

මේ රටේ කතා කරන්න ලියන්න බෑ. ලිවීම මගේ විනෝදාංශයයි. මට ලිවීමට නොහැකි නම්, මට ජීවත් වෙන් බැහැ. අපට හරක් වගේ ජීවත් වෙන්න බෑ. මා කවදාවත් ලිවීම නවත්වන්නේ නැහැ. මම රැඳවුම් භාරයේ සිටියදී ලියමින් සිටියා.  නිදහස් වූ පසු ඊටත් වඩා ලියනවා. මං අසාධාරණයට ලියන එක නවත්වන්නේ නැහැ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගැන ඔබේ අදහස කුමක්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිටින සියල්ලන්ම නිදහස් කළ යුතුයි. ඒ යටතේ මිනිසුන් අත්අඩංගුවට ගෙන පසුව ඔවුන්ව කොටු කර ගන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවතින තාක් අපට නිදහසේ ජීවත් වෙන් බැහැ.

මගේ නීතීඥ කණ්ඩායමටත්, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවටත්, අනෙකුත් මානව හිමිකම් සංවිධානවලටත්, මාධ්‍යයට සහ මා වෙනුවෙන් කතා කළ සහ මට දිගටම සහය දුන් සැමටත් මම ස්තූතිවන්ත වෙනවා.

PaMODI WARAVITA  විසින්  The Morning  පුවත්පතට ලියන ලද  සම්මුඛ සාකච්ජාවක් ඇසුරෙන් සිංහලට සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Archive

Latest news

Related news