Thursday, May 2, 2024

වර්ජන තහනම් කරමින් වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ආදිය අත්‍යවශ්‍ය සේවා බවට පත් කරයි

වරාය, ඉන්ධන, තැපැල් ප්‍රවාහන සහ රජයේ බැංකු ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රාජපක්ෂ විසින්   අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ඊයේ එනම් 29දා දාතමිනි.

යම් සේවාවක් අත්‍යවශය සේවාවත් ලෙස ගැසට් නිවේදනයක් මගින් නම් කළ විට එම සේවාවෙහි වැඩ වර්ජන කිරීම සපුරා තහනම් වෙයි.

ගැසට් නිවේදනය මෙසේ දක්වයි:

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ වන මම, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය මඟින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනජීවීතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් – 19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන
කරුණු ද අවධානයට ලක් කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ රාජ්‍ය බැංකුවකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට මෙම ආඥාවෙන් ප්‍රකාශයට පත් කරමි.”

ජනාධිපතිවරයාගේ අණ පරිදි මෙම ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් විසින්  එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.  ඊට අනුව එහි අරමුණ වන්නේ ජන ජීවිතයට අත්‍යවශ්‍ය අදාළ සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොරෝනා නිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද සැළකිල්ල්ලට ගෙන මෙකී ආයතන අත්‍යවශ්‍ය සේවා බවට පත් කරන බවට එහි දැක්වෙන සටහන අපැහැදිළිය.

එහි උපලේඛනය මෙසේය:

1. 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතෙහි 3 වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නා වූ කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය
2. පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම
3. රේගු ආඥාපනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩ බෑම, ගබඩා කිරීම, බාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු හෝ අත්‍යවශ්‍ය වන සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම
4. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මගින් සිදුකරන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්
5. එකී පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ නඩත්තුව හා ආරක්ෂක හා
මෙහෙයුම් පවත්වා ගැනීම
6. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුලු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළයුතු වන්නා වූ හෝ ඉටුකිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය
7. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු
8. පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසළ කළමනාකරණ සේවා කටයුතු
9. සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව, සමූපකාර සමිති හා වී අළෙවි මණ්ඩලය, සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම මගින් ඉටු කරනු ලබන සියලුම ආහාර, පාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළයුතු යැයි නියමිත සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම
10. පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වු හෝ අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය
11. සෞඛ්‍ය සේවයට අදාළව ඉටු කළ යුතු වන්නා වු හෝ අවශ්‍ය වන්නා වු කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය
12. තැපැල් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය ලිපි, මුද්‍රිත ද්‍රව්‍ය හා පාර්සල් භාර ගැනීම, බෙදා හැරීම සහ තොරතුරු වාර්තා කිරීම, ලියාපදිංචි ලිපි වටිනාකම ගෙවා භාරදීමේ සේවාව, දේශීය හා විදේශීය අධිවේගී තැපැල් සේවාව, ඖෂධ බෙදා හැරීමේ විශේෂ සේවාව, මුදල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් සේවාවට අදාළ කාර්යයන්.

Archive

Latest news

Related news