Friday, February 23, 2024

මට කොවිඩ් හැදුනා; වෙනම ලෝකෙකට ඇදගෙන වැටුනා; සුව වීම මගේම කර ගත්තා – රුවන්ති ද චිකේරා

දයාබර සහෝදර සහෝදරියනි,…මට ඔබට කියන්න කතාවක් තියෙනවා. ඒක මගේ කතාව තමයි. ඒත් මේ ගෙවෙන කාලේ හැටියට මගේ කතාව ද ඔබේ කතාව ද කියල ලොකු වෙනසක් නැති වෙන්න පුළුවන්. මගේ කතාව හෙට ඔබේ කතාව වෙන්න පුළුවන්. ඔබේ කතාව ඊළඟ සුමානයේ මගේ කතාව වෙන්න පුළුවන්. අද අපි හුස්මෙන් සහ අත්වැරදීමකින් සිදුවෙන ස්පර්ශයක් තරම් අංශුමාත්‍රිකව ඉරණමෙන් එකිනෙකා එක්ක බැඳිලා ඉන්නේ. අපිව හැමදාමත් එකට අල්ලගෙන හිටියෙ මහ මුහුද. අද අපිව එකට අල්ලගෙන ඉන්නේ පොදු භීතියක්. කිසිම විශේෂයක් නැතුව ඕනම කෙනෙකුට අත්විය හැකි ඉරණමක් විසින් අප අතර තියෙන වෙනස්කම් අහෝසි කරල දාලා තියෙනවා.

කොවිඩ් වෛරස් එක ගැන මං ඉගෙන ගත්ත දේ සහ වෛරස් එක මට මා ගැනම කියා දුන්න දේ ඔබත් එක්ක බෙදාගන්න මං කැමතියි.

මට මෑතකදී කොවිඩ් හැදිල හුඟක් අමාරු වුණා. දවස් අටක් ඉස්පිරිතාලේ හිටියා. හුස්ම ගත්තෙ එළියෙන් දුන්නු ඔක්සිජන් වලින්. දැන් මං සුවය ලබමින් ඉන්නෙ. ඒත් ඔයාලා වගේම මාත් හැමදාම නැගිටින්නෙ දන්න කවුරු හරි මිය ගිහින් නැත්තං ඉස්පිරිතාලේ කියන ආරංචිය ගැන මහා බයකින්.

කොවිඩ් වෛරස් එක ගැන මං ඉගෙන ගත්ත දේ සහ වෛරස් එක මට මා ගැනම කියා දුන්න දේ ඔබත් එක්ක බෙදාගන්න මං කැමතියි.

සුව වුණාට පස්සෙ මං තේරුම් ගත්තා මේ අර්බුදයට මුහුණ දෙන්න සහ එයින් ගොඩ එන්න අපිට මීට වඩා බොහෝ දේ කළ හැකියි කියන එක. අපි ළඟ ලොකු ශක්තියක් තියෙනවා. බොහෝ සුවපත් වීම් විදි අපි දන්නවා. අපේ සාමාන්‍ය දැනුමෙන් ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න පුළුවන්. ඇත්තටම මේ තරං වේදනාවක්, මේ තරං භීතියක් අප අත්විඳිය යුතු නැහැ. මේ තරං මරණ සිදු විය යුතු නැහැ.

මුලින්ම ලොකූ කම්පනයක්.

තමන්ට කොවිඩ් කියල එකපාරටම දැනගත්තාම කෙනෙකුට වෙන්නෙ මොකක්ද කියල පැහැදිලි කරමින් මං මේ කතාව පටන් ගන්නං.

මුලින්ම ලොකූ කම්පනයක්. අවට හැමදේ මතම කාඩා වැටෙන අවාසනාව කොයි මොහතෙක හෝ අප කරාද පැමිණීමට ඉඩ ඇත යන්න ප්‍රකික්ෂේප කරන්න අපි හැමෝම තුළ තියෙන නිසඟ පෙළඹීම නිසයි මෙහෙම වෙන්නෙ. නරකම තත්ත්වයක් තුළදී පවා අපිට මේක වෙන එකක් නෑ කියන බලාපොරොත්තුව අත්රින්න අපිට බැහැ.

අපි කවුරුත් හිතන්නෙ නෑ අපිට කොවිඩ් හැදිලා අමාරු වෙයි කියලා. ඒ නිසා, එහෙම වුණාම ලොකු කම්පනයක් ඇති වෙනවා.

මේ වෛරස් එක අපිට කරල තියෙන දේ ගැන කතාකරන්න පටන් ගන්න හොඳම තැන මේක. අපිට කොවිඩ් හැදෙන එකක් නෑ කියන විශ්වාසයේ ඉඳල, ‘ඔව් අපිට කොවිඩ් හැදෙන්න පුළුවන්’ කියන පිළිගැනීම කරා යන්න පුළුවන්නං ඒ තුළින් අපේ මනසේ ඇතිවෙන පුංචි වෙනස පවා වෛරසයට මුහුණ දෙන්න අපට ශක්තිය ලබා දෙනවා.

‘’කොවිඩ් පොසිටිව්’’. රිද්මෙට සද්ද වෙන ඒ වචන දෙකත් එක්කම අපේ ලෝකය එක සැණින් සුණු විසුණු වෙලා යනවා.

වෛරසයයේ මනසට දැනෙන බර

වෛරස් එකේ බර තියෙන්නේ ඒක අපේ ශරීරයට කරන දේ මත නෙමෙයි. මේ වෛරස් එකේ බර තමයි ඒක අපේ මනසට කරන දේ.

මගේ අත්දැකීමේ තීරණාත්මක මොහොතක් තිබ්බා. මං හොඳටම අසනීපෙන් හිටියෙ. සහලෝලා උණ. ශරීරය හොඳටම දුර්වලයි – ඒත් මට කොවිඩ් නෙමෙයි වෙන්න පුළුවන්. එහෙම හිතන මොහොත සහ පී. සී. ආර්. එක පොසිටිව් කියල දැනගත්ත මොහොත අතර වෙනස ගැන මට ඕගොල්ලන්ට කියන්න ඕනේ. ඒ තත්පර කීපයේදී මගේ ශරීරයේ කිසි වෙනසක් වුණේ නෑ. ඒත්, ක්ෂණයකින් මාව නැත්තටම නැති වෙලා ගියා. මට එහෙම වුණේ කොවිඩ් මත පටවල තියෙන බර නිසා.

නමුත්, මිත්‍රවරුනි, අපිට මේ එකතු කරපු බරෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි එයින් නිදහස් විය යුතුයි!

ඒ බර තමයි මේ වෛරස් එක ගැන අපේ රටේ ඇති කරලා තියෙන විශාල අවමානය, දෝෂාරෝපණය. මේ වෛරස් එක එහි ඇත්ත තත්වයට වඩා මහා විනාශකාරී රාක්ෂයෙක් කරලා. ඇත්තටම මේ වෛරස් එක මොකක්ද ? කොවිඩ් කියන්නෙ ඉතාම පහසුවෙන් බෝ වෙන, වයස නිසා හරි වෙනත් සෞඛ්‍ය තත්ත්වයන් නිසා හරි ප්‍රතිශක්තිකරණය දුර්වල වුණු මනුෂ්‍යයන්ට මරණීය තර්ජනයක් ඇති කළ හැකි රෝගයක්. කොවිඩ් කියන්නෙ ඊට එහා වෙන කිසි දෙයක් නෙමෙයි. ඒත් ඒක අපිට ඊට වඩා වෙනස් දෙයක් නං, එහෙම වෙලා තියෙන්නෙ ඒ මත පටවල තියෙන අමතර බර නිසා.

නමුත්, මිත්‍රවරුනි, අපිට මේ එකතු කරපු බරෙන් නිදහස් වෙන්න පුළුවන්. අපි එයින් නිදහස් විය යුතුයි!

මනුෂ්‍යත්වයේ දුෂ්කරම අභියෝගයකට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන වෙලාවක මේ තරම්ම අපරිණත, ආකාර්යක්ෂම සහ දූෂිත දේශපාලන නායකත්වයක් යටතේ ඉන්න සිද්ද වෙච්ච අපේ රටේ මිනිස්සු කොයි තරං අවාසනාවන්තද? දැනුම් තේරුම් ඇති, කාරුණික, සහ නිහතමානී නායකත්වයකට අපේ මරණ සහ වැලපීම් අවම කරන්න පුළුවන්කම තිබුණා. ඒත් සෞඛ්‍ය ප්‍රශ්නයක් යක්ෂයෙක් බවට පත් කරල, රට අංශභාග තත්ත්වයකට ඇදල දාපු උමතු පාලකයන් එක්ක අපි මර උගුලක හිරවෙලා. මම ඔවුන්ගේ චේතනාවන් ද මේ රට පාලනය කරන්නට ඔවුන්ට අබ මල් රේණුවක හැකියාවක් ඇත යන්නද එකහෙලා ප්‍රතික්ෂේප කරනවා. ඊට එහා ඔවුන් ගැන කතා කරන්නට තව එකම වචනයක්වත් නාස්ති කරන්න මං කැමති නැහැ. කළ යුතු බොහෝ දේ තියෙනවා, කරල තියෙන බොහොමයක් වැරදි දේවල් ආපසු හැරවිය යුතුව තියෙනව. අපව නොමග යවන පාලකයන් ගැන බලා නොඉඳ, මේ රටේ පුරවැසියන් එක්විය යුතුයි.

අපි හමුවේ තියෙන කොවිඩ් වෛරස් එකේ මුහුණුවර මොකක්ද? පහුගිය අවුරුද දෙක ඇතුලතදී මේ වෛරස් එක මූලිකවම සෞඛ්‍ය ප්‍රශ්නයක් හැටියට බාර අරගෙන වැඩ කරනව වෙනුවට අපි කළේ ඒකට වෙනත් දේවල් ගණනාවක් බවට පත්වෙන්න ඉඩ අරින එක. ඒවා කිසිම පාලනයක් නැතුව වේගයෙන් වර්ධනය වෙලා විශාල සංහාරයක් කරමින් වෛරස් එකට පුෂ්ටිමත්ව වැඩෙන්න දුන්නා. අන්තිමට අපි හැමෝවම උන්මත්තක භීතියකින් වෙළල, යට කරගන්න පුළුවන් තත්ත්වයට වෛරස් එක වර්ධනය වුණා.

ලංකාවේ මේ වෛරස් එක ආයුධයක්. දේශපාලන පළිගැනීම්වල ආයුධයක්. ජාතිවාදයේ ආයුධයක්. මිනිසුන් ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමේ, හිරිහැර කිරීමේ සහ අත්තනෝමතිකව දඬුවම් කිරීමේ ආයුධයක්. ව්‍යවස්ථා දූෂණය සඳහා පවා යොදාගත හැකි ආයුධයක්. සමාජය තුළ මහා පරිමාණයෙන් ව්‍යාකූලබව, පීඩනෝන්මාදය, සහ භීතිය ඇති කිරීමට සාර්ථකව පාවිච්චි කළ හැකි ආයුධයක්.

පරිකල්පිත යක්ෂයා සහ සැබෑ අභියෝගය

කොවිඩ් හැදුණා කියල මිනිස්සුන්ට ලැජ්ජා කරනව, බනිනවා, දඬුවං කරනවා, අයිතිවාසිකම් අහිමි කරනවා, මිනිස්සුන්ව තමන්ගේ පවුල්වලින් අයින් කරනවා, කිසිදු ගෞරවයක් නොදී වළලලා දානවා. අපේ මුස්ලිම් සහෝදර සහෝදරියන් තමන්ගේ ආත්මය කොවිඩ් වලට බිලිවෙයි කියන භීතියෙන් ඉන්නවා. මොහොතකට හිතන්න, මේ දරා ගත හැකි දෙයක්ද?

වෛරස් එකේ ඇත්ත බර සහ ඒ මත පටවල තියෙන බර වෙන් කර ගැනීම ඉතාම වැදගත්. එතකොට විතරයි පරිකල්පිත යක්ෂයා වෙනුවට අප හමුවේ ඇති සැබෑ අභියෝගය මොකක්ද කියල අඳුනගන්න පුළුවන්.

වෛරස් එකේ මේ ව්‍යාජ බරින් නිදහස් වෙන එක ඉතා වැදගත්. මොකද කොවිඩ් රෝගියෙක් මේ අමතර බර නිසා දරුණු පීඩනයක් අත්විඳිනවා.

කොවිඩ් රෝගීයෙක් සටන් කරන්නේ වෛරස් එක ශරීරයට ඇති කරන බලපෑම එක්ක විතරක් නෙමෙයි. බය, වැරදිකාර හැඟීම, ලැජ්ජාව,දෝෂාරෝපණය, ව්‍යාකූලබව, භීතිය, මේ හැමදෙයක්ම ඔවුන්ගේ හුස්ම හිරකරනවා. ඒව වෛරස් එකට යක්ෂ බලයක් දීලා සටන් කරන්න අප තුළ ඇති ශක්තිය හීන කරවනවා. හුඟක් වෙලාවට රෝගියෙක් කොවිඩ් එක්ක කරන සටන පටන් ගන්නත් කලින්ම පරාද වෙනවා.

දැන් අපි මේ ගැන කතා කළ යුතුයි.

සුව වුණාට පස්සේ මට දැනෙන දේ තමයි, රෝගියෙකුට මේ වෛරස් එකත් එක්ක සටන් කරන්න දේවල් තුනක් අවශ්‍යයි කියන එක. ඔවුන්ට පමා නොවී වෛද්‍ය ප්‍රකිතාර ලැබිය යුතුයි (වෛද්‍ය ප්‍රකිතාර අවශ්‍ය තත්ත්වයක් ඇත්නම් පමණක්), ප්‍රජාවෙන් නිරන්තර සහයෝගය ලැබිය යුතුයි, වඩාම වැදගත් දේ තමයි ඔවුන් වෛරස් එකට බිය නොවිය යුතුයි.

අපේ රටේ සම්පූර්ණ අවධානය යොමු වෙලා තියෙන්නෙ මේ තුනෙන් පළමුවෙනි එකට විතරයි. ඒ කියන්නේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම. ප්‍රජාවේ සහයෝගය සහ බය අවම කිරීම කියන අනිත් සාධක දෙක මුළුමනින්ම නොතකා ඇරල. එවැනි තත්ත්වයක් තුළ කොවිඩ් රෝගීන්ට ජීවිතය බේරා ගැනීමට සහ සුවය ලැබීමට අවශ්‍ය උපරිම ශක්තිය අපි ලබා දෙන්නේ නැහැ.

වෛරස් එක අබිරහස් අකාරයෙන් ඔබ ඇතුලේ වර්ධනය වෙන කොට, කන් බීරී කරවන අදහස් උපදෙස් ඝෝෂාව වැඩි වෙනකොට, හුදෙකලා වීමට කෙරෙන බලපෑම උහුලගන්න බැරි තරං බලවත් වෙනකොට ඔබේ ශරීරයෙන් සහ ඔබ වටා ඉන්න මිනිසුන්ගෙන් ඔබ වඩ වඩා ඈත් වෙන්න පටන් ගන්නවා.

මේ කාරණය ඔබට පැහැදිලි කරන්න මගේ කොවිඩ් කතාව වෙත නැවත යමු.

අපි නැවැත්තුවේ මට ඒ භයංකාර ‘කොවිඩ් පොසිටිව්’ ප්‍රතිඵලය ලැබුණු තැනින්නෙ.

ක්ෂණයකින් ඔබට දැනෙනවා ඔබව වෙනම ලෝකෙකට ඇදගෙන වැටෙන බව. අවවාද, උපදෙස් ප්‍රවාහය ගලා ගෙන එන්න පටන් ගන්නවා- සංඛ්‍යා, අදහස්, මත, ප්‍රශ්න, න්‍යායන්, බෙහෙත් ජාති – හැමෝම උදව් කරන්න හදනවා. මහා ඝෝෂාවක්. ඔබට සමීපම අය ඉන්නවා. ඊට පස්සෙ යාලුවෝ, දන්න අඳුනන අය, නෑදැයෝ, එතනින් එහාට වෛද්‍ය වෘත්තිකයො, මහජන මතය, ආණ්ඩුවේ උපදෙස්, PHI නිර්දේශ, අලුත්ම මාධ්‍ය වාර්තා….හැම දෙයක්ම ඉතාම ඉක්මනින් සංකීර්ණ වෙන්න පටන් ගන්නවා. ඒක හරියට ඔබේ නිදන කාමරයෙ ඉඳල පටි වලින් ඇඳකට තද කරල බැඳපු, සැර ලයිට් ගහපු මිනිස් කටහඬවල් වලින් පිරිච්ච විවෘත මහජන ශල්‍යාගාරයකට ඇතුල් වෙනව වගේ දෙයක්. හැමෝම ඔබ දිහා බලාගෙන ඉන්නවා, එත් කවුරුවත් ඔබව අල්ලන්නෙ නෑ. ඔබේ ඇඟ ඇතුළේ අසනීපය මෙතනින් එහාට තවදුරටත් පෞද්ගලික කාරණයක් නෙමෙයි. ඒක දැන් සමාජයට ඇරුණු පොදු වාද පිටියක්. වෛරස් එක අබිරහස් අකාරයෙන් ඔබ ඇතුලේ වර්ධනය වෙන කොට, කන් බීරී කරවන අදහස් උපදෙස් ඝෝෂාව වැඩි වෙනකොට, හුදෙකලා වීමට කෙරෙන බලපෑම උහුලගන්න බැරි තරං බලවත් වෙනකොට ඔබේ ශරීරයෙන් සහ ඔබ වටා ඉන්න මිනිසුන්ගෙන් ඔබ වඩ වඩා ඈත් වෙන්න පටන් ගන්නවා.

මේක බියජනක තත්ත්වයක්. අමතක කරන්න එපා රෝගියා ඉන්නෙ අසනීපයෙන් කියන එක. රෝගියා මේ හැම දේකටම මූණ දෙන්නෙ ශාරීරිකව සහ මානසිකව දුර්වලව ඉඳගෙන.

මේකෙන් වෙන්නෙ ඉතාම ඉක්මනින් රෝගියා තමන්ට තමන්ගෙ ශරීරය සම්බන්ධයෙන් තියෙන පාලනය අත්අරින එක. උදාහරණයක් විදියට මං කර කර හිටපු පුංචි පුංචි වතාවත් හැම දෙයක්ම මගෙන් අතඇරුණා. ටිකෙන් ටික වඩ වඩා දුර්වල වෙන ශරීරයක් සහ වඩ වඩා බියපත් වෙන මනසක් එක්ක, ඔබ තනිව ඔබේම සිතුවිලි එක්ක, හුදෙකලාවක ගිලෙනවා. කිසිකෙනෙක් ළඟට කිට්ටු වෙන්නෙ නෑ, කිසිකෙනෙක් අතින් අල්ලන්නෙ නෑ. ඔබේ ජීවිතය ඔබෙන් බොහෝ ඈත සිටින්නන් විසින් තීන්දු කරනවා.

කොවිඩි වල පුදුම සහගත දේ තමයි ඒක එකම වෙලාවක වඩාම පෞද්ගලික සහ වඩාම පොදු භ්‍රාන්තියක් බවට පත්වීම. මනුෂ්‍ය වර්ගයා මීට පෙරත් වසංගත ත්ත්වයන්ට මුහුණ දීලා තියෙනවා. නමුත් මීට කලින් කිසි කාලෙක අපි මේ තරං කන් බීරි කරවන විශ්වීය ඝෝෂාවක් මැද්දෙ, මිනිසුන්ට මේ තරං හුදෙකලා වෙන්න බලකෙරෙන තත්ත්වයක් අත්දැකල නැහැ. මේ අන්ත දෙකක අත්දැකීම- දරාගත නොහැකි හුදෙකලාව ඇතුළත නොනැවතී ඇසෙන මිනිස් ඝෝෂාව- මේක අතිශයින් විඩා දනවන අත්දැකීමක්.

බියපත්වීම කියන්නේ කෙළින්ම කොවිඩ් වෛරසයට හුස්ම පිඹීමක්.

මේ මානසික විඩාව සහ පරාජිත හැඟීම, ශරීරය යටපත් කරගනිමින් සිටින වෛරසයට ප්‍රතිවිරෝධය දැක්වීමේ හැකියාව විශාල වශයෙන් දුර්වල කරනවා. රෝගියා බයෙන් සහ ව්‍යාකූල බවින් ඇළලී යන විට එයින් සිදුවන්නේ වෛරසය තව තවත් පෝෂණය වීමයි.

මේ වෛරස් එක සටන් කරන සටන් බිම මොකක්ද කියන එක අමතක කරන්න එපා. – සටන තියෙන්නෙ හුස්ම එක්ක- වෛරසය බලපාන්නේ අපේ හුස්මට. බියපත්වීම බලපාන්නේත් අපේ හුස්මට. අපි බය වෙනකොට දැනටමත් වෛරසයේ පහර කෑමට ගොදුරු වෙලා ඉන්න හුස්ම තවත් අඩපණ වෙනවා. මේ නිසා බියපත්වීම කියන්නේ කෙළින්ම කොවිඩ් වෛරසයට හුස්ම පිඹීමක්.

“මට මතකයි සයිරන් නලාව හැඬවෙන්න ගත්තාම මගේ ඇස්වලින් කඳුලු කඩා හැලුණා. ඇම්බියුලන්ස් එකක පිටිපස්සේ යන අත්දැකීම ලබන්න මට හැමදාම ඕන වෙලා තිබුණා. ඒත් මං හැමතිස්සෙම හිතුවෙ මට අත අල්ලගෙ ජයග්‍රාහී විදියට හිනාවෙන්න තව කවුරුහරි කෙනෙක් මා එක්ක ඉඳීවි කියලා.”

මාව ඉස්පිරිතාලෙට අරන් යනව කියල කියපු මොහොත මට මතකයි. මේ වෙද්දි මාව බේරගන්න මට කිසිදෙයක් කරන්න බෑ කියන එක මං විශ්වාස කරා. 103 උණ. ගන්න හැම හුස්මකම විශාල සද්දයක් ඇහුණා. මනුස්ස අතක ස්පර්ශයක අවශ්‍යතාව ඒ තරං දැනුණු වෙනත් මොහොතක් මගේ ජීවිතයේ මට මතක නැහැ.

මාව එක්ක යන ඇම්බියුලන්ස් එක එනකොට මං දවස් 6 ක් තනියම කාමරේක ඉඳල තිබුණ. පඩියක් නගින එක, රෙදි බෑග් එක අතට ගන්න එක කොයිතරං වෙහෙසක්ද කියල මට අමතක වෙලා තිබුණෙ. අඩි 8 ක් ඈතින් හිටගෙන මං දිහා බලාගෙන හිටපු පවුලේ අයට සමු දීලා මං ආදරය කරන ගෙදරින් පිටත් වෙලා එද්දී, මට දරාගන්න බැරි තනි කමක් දැනුණා.

මට මතකයි සයිරන් නලාව හැඬවෙන්න ගත්තාම මගේ ඇස්වලින් කඳුලු කඩා හැලුණා. ඇම්බියුලන්ස් එකක පිටිපස්සේ යන අත්දැකීම ලබන්න මට හැමදාම ඕන වෙලා තිබුණා. ඒත් මං හැමතිස්සෙම හිතුවෙ මට අත අල්ලගෙ ජයග්‍රාහී විදියට හිනාවෙන්න තව කවුරුහරි කෙනෙක් මා එක්ක ඉඳීවි කියලා.

සෞඛ්‍ය සේවකයන් මිනිස්සුන්ව බලහත්කාරයෙන් කුදලගෙන ගිහින් කාමරවලට විසි කරන හැටි, ඒ මිනිස්සු තනියම පණ අදින හැටි, මැරුණට පස්සෙ ඉටිකොළ වල ඔතල විසි කරන හැටි පෙන්නන වීඩියෝ සහ පින්තූර තවදුරටත් අපිට ගාණක් නැති වෙන බවට සහතික කරන්න ම්ලේච්ඡ සමාජ මාධ්‍ය උමතුව විසින් වගබලාගෙන තියෙනවනෙ. මේ වැනි පින්තූර සහ වීඩියෝ නැවත නැවතත් නැරඹීමෙන් අපේ සහනුකම්පිත බවත්, එවැනි අවස්ථා සැබවින්ම රෝගියෙකුට සහ ඔවුන්ගේ පවුලේ අයට කොතරම් දුෂ්කර මොහොතවල්ද යන්න පිළිබද සංවේදීබවත් නැති වෙලා ගිහින්.

රෝගියෙක්ව ගෙදරින් අයින් කරල රෝහලට අරන් යන මේ මොහොතෙ ඔවුන්ගේ ඔලුවෙ වැඩ කරන්නෙ ආයි කවදාවත් තමන්ගෙ ආදරණීයයන්ව දකින්න ලැබෙන එකක් නෑ, මට තනියම මැරෙන්න වේවි කියන එකයි. දුර්වල වුණු මනසක් එක්ක සමාජ මාධ්‍යවල නැවත නැවතත් දැකල තියෙන දෙයින් තමන්ගෙ යථාර්ථය තෝර බේර ගන්න රෝගියෙකුට අමාරුයි.

මට ප්‍රතිකාර කළ අය තුළ ඉහළ ප්‍රවීණතාවයක් තිබුණා. ඒත් අවශ්‍ය වැඩේ කරාට පස්සෙ කවුරුවත් එක තත්ත්පරයක්වත් වැඩි පුර කාමරේ රැඳුණෙ නෑ. ගොගල්ස් සහ මුව ආවරණ නිසා මට ඒ කිසි කෙනෙක්ගෙ ඇස් එක්ක සම්බන්ධ වෙන්න බැරිවුණා. නිල් පාට ඕවර්රෝල් එකයි, මාස්ක්, ග්ලවුස්, වයිසර් සහ ඒප්‍රන් එක්ක ඒ හැමෝම එකම වගේ පෙනුණෙ. කටහඬ ඇහෙනකං ඒ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එකවත් මට කියන්න බැරි වුණා.

දැවැන්ත ගොඩනැගිලි, පැහැදිලි නැති උප සංස්කෘතීන්, නිලධාරීවාදී ක්‍රියාපටිපාටීන්, මේ හැම එකක් අතින්ම ඉස්පිරිතාල කියන්නෙ අපිව බියපත් කරවන තැන්. නීරෝගී තත්ත්වයෙන් ඉද්දි පවා කෙනෙකුට තනියම ඉස්පිරිතාල වංගකිරිය තේරුම්ගන්න අමාරුයි. මේ නිසා තමයි හැමතිස්සෙම රෝගියෙක් වෙන කවුරුහරි එක්ක ඉස්පිරිතාලෙට යන්නෙ. ළඟ ඉන්න, උදව් කරන්න, රෝගී තත්ත්වය අඩු වැඩි වීම ගැන ඇහැ ගහගෙන ඉන්න, දොස්තරලා එක්ක කතා කරන්න, නර්ස්ලගෙන් ප්‍රශ්න අහන්න, ගෙදර කට්ටියට වාර්තා යවන්න කවුරුහරි කෙනෙක් ලෙඩා එක්ක ඉන්නව.

කොවිඩ් එක්ක එන අනිවාර්ය හුදෙකලා කිරීමත් එක්ක, මේ හැම දෙයක්ම නැතිවෙනවා.

දුර්වල වූ, බියපත් රෝගියා සියල්ල තනිවමම කරගත යුතු වෙනවා.

මාව කමරේකට දැම්මා. ඊළඟ දවස් කීපයේදී සම්පූර්ණ ආරක්ෂක උපකරණ කට්ටල පැළඳගත්තු මිනිස්සු හදිසියේ වරින් වර ඇවිත් ගියා. ඔවුන් මගේ ශරීරයට දියර වර්ග එන්නත් කළා, ලේ ගත්තා, මාව මැෂින්වලට සම්බන්ධ කළා, මට ඔක්සිජන් පොම්ප කරා, මාව ස්කෑන් කරා, මගේ තත්ත්වය අධීක්ෂණය කළා. ඒත් ඒ අය මට කතා කළේවත් මා දිහා බැලුවෙවත් නෑ. තත්ත්පරයක් තත්ත්පරයක් ගානේ මගේ ව්‍යාකූල බව, බය, අසරණ කම වැඩි වුණා.

මට ප්‍රතිකාර කළ අය තුළ ඉහළ ප්‍රවීණතාවයක් තිබුණා. ඒත් අවශ්‍ය වැඩේ කරාට පස්සෙ කවුරුවත් එක තත්ත්පරයක්වත් වැඩි පුර කාමරේ රැඳුණෙ නෑ. ගොගල්ස් සහ මුව ආවරණ නිසා මට ඒ කිසි කෙනෙක්ගෙ ඇස් එක්ක සම්බන්ධ වෙන්න බැරිවුණා. නිල් පාට ඕවර්රෝල් එකයි, මාස්ක්, ග්ලවුස්, වයිසර් සහ ඒප්‍රන් එක්ක ඒ හැමෝම එකම වගේ පෙනුණෙ. කටහඬ ඇහෙනකං ඒ ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියන එකවත් මට කියන්න බැරි වුණා. මූණක් කටක් ඇස් දෙකක් පෙන්නේ නැති, කිසිදාක හමුවෙලා නැති නිල්පාට ලෝගු දාගත්තු නිහඬ නාඳුනන මිනිස් කණ්ඩායමක් මගේ ජීවිතය සහ ශරීරය ගැන සියලු තීරණ ගනිද්දි, බයෙන් මගේ හුස්ම තවත් හිර වුණා.

ඉස්පිරිතාලේ ගත කරපු මුල් දවස් කීපය භයංකාරයි. කාමරේක තට්ට තනියම, හැමදේම තනියම කරගනිමින්, වචනයක් කතා කරන්න කිසිවෙක් නැතුව…ඊළඟ පාර දොස්තර ආවාම මං මොකක්ද අහන්නෙ? අහන්නෙ මොනවද කියල පවා මට හිතාගන්න බැරි වුණා. මට ආත්ම විශ්වාසය තිබුණේ නැහැ. මං ඉස්පිරිතාලෙට ඇවිත් දවස් කීයක්ද කියන එකවත්, මං නිදාගත්තද නැද්ද කියන එකවත් මට මතක තිබ්බේ නැහැ. මට තවමත් 103 ට උණ, සිහි කල්පනාව බොඳ වෙලා. මේ දැන් දොස්තර මට කිව්වෙ මොකක්ද? ඇයි මගේ උණ බහින්නෙ නැත්තෙ? ඇයි මට ස්ටෙරොයිඩ් එන්නත් කරන්නෙ? අද දවස කවදද?

වෛරස් එකෙන් නෙමෙයි, දරාගන්න බැරි බය සහ තනිකම නිසාම මං මැරෙයි කියල හිතිච්ච වෙලාවලුත් තිබුණා.

ඔන්න එතකොට දෙවෙනි දවසෙ රෑ මෙහෙම දෙයක් සිද්ද වුණා. හෙම්බත් වෙච්ච පෙනුමක් තිබ්බ නර්ස් කෙනෙක් කාමරේට ආවා. එයා ආපහු යනකොට ලයිට් එක නිවල ‘’හරි පැටියෝ..බුදු සරණයි’’ කියල කිව්වා. එයා මං දිහා බැලුවෙවත් නෑ, මං ඔලුව හරවන්නත් කලින්ම එයා ගිහින් තිබ්බා. ඒත් ඒ වචනෙට මගේ ඇස්වලට කඳුළු පිරුණා. දවස් ගාණකට පස්සෙ, මනුෂ්‍යයෙකුගේ කරුණාවන්ත කමක්, හයියක් මට දැනුණා.

මේ මොහොතෙදි තමයි මං තීරණය කළේ තවදුරටත් බයට ඉඩ දෙන්නෙ නෑ කියලා. මිනිස්සු එක්ක සම්බන්ධතාව හදාගන්න උත්සහය අත්අරින්නෙ නෑ කියලා. මේ දුෂ්කර තත්ත්වයට මූණ දෙන්න මේ දෙකම අත්‍යවශ්‍යයි කියලා මට අවබෝධ වුණා. මං බය නොවී සිටිය යුතුයි. මං මනුෂ්‍යයො එක්ක සම්බන්ධතාව ගොඩ නගා ගත යුතුයි.

ඉතිං මං මගේ කාමරේට ආව ගිය මූණු නැති නිල් පාටින් වැහුණු මිනිස්සු ගැන පොඩි පොඩි ඉඟි සටහන් කරන්න ගත්තා. (ආසාමන්‍ය තරං පුංචි අත් තිබ්බ නර්ස්, ඇස් කණ්ණාඩි රාමුවෙ කොටි හමක ඩිසයින් එකක් තිබ්බ නර්ස්, රබර් ග්ලවුස් එක ඇතුලෙ එයාගේ ෆෝන් එක දාගෙන හිටපු අටෙන්ඩන්ට්, ෆේස් ෂීල්ඩ් එක උඩ හිනි දම්පාට පටියක් අලවගෙන හිටපු පිරිමි නර්ස්, වේගෙන් ඇහිපිල්ලන් ගහන දොස්තර, PPE ඕවර් රෝල් එක කොයිවෙලාවෙත් ලෙහිලා බිම දිගේ අද්ද අද්ද ගිය ක්ලීනර්,- මං සටහන් ලියාගත්තා) කාමරේට කවුරු හරි ඇතුල් වෙච්ච හැම වෙලාවෙම මං බලෙන්ම ඒගොල්ලො එක්ක කතා කරා.

මං ඒගොල්ලන්ගෙ තොරතුරු ඇහුවා, දවස පුරාම ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන මාස්ක් වයිසර් දාගෙන ඉන්න අපහසුව ගැන ඇහුවා. අන්තිමට ගෙදර ගියේ කවදද, අපේ සෞඛ්‍ය සේවයේ දේශපාලනීකරණය ගැන, මේ වසංගතය ගැන පෞද්ගලිකව හිතන්නෙ මොකක්ද කියල මං ඇහුවා. මං ඒගොල්ලංට මං ගැන විස්තර කිව්වා. මගේ ළමයි ගැන, මගේ නාට්‍ය ගැන. මං ඇහුවා ඒගොල්ලන්ට මාව අල්ලන්න බයයිද කියලා. ලෙඩෙකුට මනුෂ්‍ය ස්පර්ෂය කොයිතරං වැදගත්ද කියල මං විස්තර කළා.

ඇබිත්තක් හරි මට කිට්ටු වෙච්ච හැමවෙලාවෙම මං එයාලට ස්තූති කළා. ටිකෙන් ටික ඒ හැමෝම මගේ හිතවතුන් බවට පත්වෙන්න ගත්තා. මගේ ඉඟි ලැයිස්තුව එන්න එන්න දිග වුණා. තාමත් ඒගොල්ලො හැමෝම බලපු ගමන් එකම වගේ. පිරිමි, ගෑනු, වයසක අය, තරුණ අය. ඔක්කොමල්ලා එක වගේ. ඒත් දැන් මට ඒ අයව වෙන වෙනම අඳුන ගන්න පුළුවන්. ටිකෙන් ටික ඒගොල්ලොත් වචනයක් දෙකක් කතා කරන්න පටන් ගත්තා. විහිලු කරන්න ගත්තා, මගේ අත ඇල්ලුවා, මගේ පෙනුම කලින්ට වඩා හොඳ වෙලා කියල කිව්ව, හොඳටම මහන්සි බවත්, PPE දාගෙන කොච්චර අමාරුද කියලත් ඒගොල්ලො කිව්වා. තමන්ගෙ දරුවො ගැන බයෙන් ඉන්නෙ කියල කිව්වා, මුකුත්ම නැත්තං අපි එකතු වෙලා මේ රටේ දේශපාලකයන්ට සාප කළා.

මං ඉස්පිරිතාලෙන් ගෙදර යනකොට මගෙ කාමරේට ඇවිත් ගිය සෞඛ්‍ය සේවකයන් 26 ක් මගේ ලැයිස්තුවේ හිටියා. ඒ හැමෝම වෙන වෙනම අඳුනගන්න පුළුවන් වෙච්ච එක ගැන මං ආඩම්බර වුණා.

මෙන්න මේ වෙනසත් එක්ක තමයි මගේ හිත සන්සුන් වෙලා, හුස්ම ගැනීම පහසුවෙන්න ගත්තෙ, මට දැනුණා මං සුව වෙන්න පටන් අරන් කියලා.

මගේ ඊළඟ තීරණය වුණේ මගේ සුවපත් වීම මගේ මගේ දෙයක් බවට පත් කර ගැනීම. මං ගෙදර කාමරේ තනියම ඉන්න කොට කරපු වතාවත් කීපයක් තිබුණා. ඉස්පිරිතාලෙට ආවට පස්සෙ දැනිච්ච අසරණකමත් එක්ක මං ඒවා නවත්තල දාලා තිබුණෙ.

මං ඒවා නැවත පටන් ගත්තා.

පොඩ්ඩක්වත් මහන්සි වෙන දේවල් කරන්න එපා කියලා මට අවවාද කරලා තිබුණෙ. ඒත් මගේ ඉව මට කිව්වා මං කරන්නෙ හරි දේ කියලා.

මං උදේම නැගිටල ප්‍රාණයාම අභ්‍යාස කරන්න ගත්තා. දිනපතාම හුමාලය ඇල්ලුවා. මං මගේ අත් සහ කකුල් මාසාජ් කළා. හැමදාම දවල්ට කොහොම හරි ඇඳෙන් බැහැලා ගිහින් උණු වතුරෙන් ඇඟ සේදුවා (ඔක්සිජන් මාස්ක් එක දාගෙනම!) ඊට පස්සෙ මං ඉස්පිරිතාලේ පුංචි බැල්කනි කෑල්ලෙ ඉර අව්වෙ වාඩිවෙලා හිටියා. හැමදාම රෑට නිදාගන්න කලින් කොත්තමල්ලි බිව්වා. පුළුවන් වෙච්ච හැමවෙලාවෙම මං ගැඹුරින් හුස්ම ගන්න මාව පුහුණු කළා.

මට තේරුණා නිවැරදිව හුස්ම ගන්න හැටි මට අමතක වෙලා කියලා. පහුගිය දවස් ටිකේ අත්විඳපු ආතතියත් එක්ක මගේ ශරීරය පපුවෙන් නොගැඹුරු හුස්ම ගැනීමට මාරුවෙලා තිබ්බා. ඒක තමයි බය වුණාම මනුෂ්‍යයන් හුස්ම ගන්න විදිය. හුස්ම ගැන අවධානය යොමු කරාම, මගේ ශරීරය කොයිරං ගැට ගැහිලා තද වෙලාද කියන එක දැනිලා මට පුදුම හිතුණා. සැහැල්ලුවෙන් ඉඳගෙන මහා ප්‍රාචීරයෙන් ගැඹුරු හුස්ම ගන්න හැටි නැවත ශරීරයට උගන්වන්න මට ලොකු වෙලාවක් ගියා.

හෙමින් හෙමින් මගේ ශරීරය නැවත මා වෙත ළඟා වෙන බව මට දැනුණා. මේ මගේ ජිවිතයයි, මේ මගේ ගමනයි කියන හැඟීම දැනෙන්න ගත්තා. මට සිදුවෙමින් තිබෙන දේ සම්බන්ධයෙන් මැදිහත්වෙන්නට අයිතියක් සහ ශක්තියක් මා සතුව තියෙනවා කියන එකත් මට දැනෙන්න ගත්තා.

මේ මොහොතේ තමයි මා වෙනුවෙන් මිනිස්සු කළ ප්‍රාර්ථනා, යාඥාවන් වල ශක්තිය එක්ක අර්ථවත්ව බද්ධ වෙන්න මට පුළුවන් වුණේ. මං අසනීප වෙච්ච දා ඉදලම මාව දන්න, මට ආදරය කරන මිනිස්සු සුව පතල පණිවිඩ එව්වා. ඒත් ඉස්පිරිතාලේ ගත කරපු බියපත් අඳුරු දින කීපය තුළදී මේ ප්‍රාර්ථනා සහ යාඥාවන් තුළ ගැබ් වුණු අප්‍රමාණ ශක්තිය එක්ක තිබුණු බැඳීම මගෙන් ගිලිහී ගිහින් තිබුණා.

මං මා එක්කම සාමකාමී තත්ත්වයකට පත්වුණාට පස්සේ තමයි, සුවපත් වීමට අදාළ, කාටවත් හරියටම තේරුම්ගන්න බැරි, නමුත් බරපතල විදියට රෝගාතුර වී සිටි අයෙකුට සාක්ෂි දරන්න පුළුවන්, මේ අවිඥානික බලවේගයන්ගේ ශක්තිය වෙත ප්‍රවේශ වෙන්න මට පුළුවන් වුණේ.

මගේ ආදරණීයයන්ගේ යහපත් ප්‍රාර්ථනාවන්, යාඥාවන් ගේ ශක්තිය එක්ක සම්බන්ධ වීම තමයි සුවපත් වීමේ ක්‍රියාවලිය වෙත වඩාත්ම සියුම් පිවිසුම. මං තාමත් හිටියෙ හුදෙකලා වෙලා වුණත්, මේ මොහොතේ ඉඳලා තවදුරටත් මනුෂ්‍යයන් එක්ක ඈත් වීමක් මට දැනුණෙ නෑ. මං ගැන බලන්න මගේ කාමරේට එන අය දැන් මා එක්ක කතා කරනවා. මාව බලන්න එන්න බැරි අය එක්ක කතා කරන්න දැන් මං විවෘත වෙලා ඉන්නවා.

කොවිඩ් හැදිලා කියල දැනගත්තු මොහොතේ මට නැති වෙච්ච දේ මං ආයිමත් අත් කරගත්තා. මට මගේ ශරීරය ගැන ගැඹුරු අවබෝධයක් සහ කාරුණික සමාජයක ප්‍රාර්ථනාවන්ගේ ශක්තියත් දැනුණා. බයෙන් නිදහස් වෙලා සාමකාමී, පාලනයක් සහිත පෙදෙසෙකට මං ඇතුල් වුණා. ලොකුම වෙනස මට දැනුණෙ මගේ හුස්ම ගැනීම තුළයි.

මේ අත්දැකීමෙන් මං ඉගෙන ගත්තු පාඩම් කීපයක් පැහැදිලිව සටහන් කරමින් මේ කතාව ඉවර කරන්න මං කැමතියි.

කොවිඩ් කියන්නේ පාඩම් කියා දෙන්නෙක්.

කොවිඩ් ශක්තිමත්ව වැඩන තෝතැන්න තමයි බය. මේ භ්‍රාන්තිමය මානසිකත්වය සමග සටන් කිරීම, රෝගය සමග සටන් කිරීමේ ප්‍රධාන කොටසක්.

මුලින්ම අපි පුද්ගලිකව තවදුරටත් බය සහ ව්‍යාකූලබව පතුරන්නෙ නැහැ කියන පොරොන්දුවක් අපිටම දිය යුතුයි. වට පිටාවේ මහා ඝෝෂාවට අහු නොවී, වගකීමක් ඇතුව අපි අපිවම දැනුවත් කළ යුතුයි. අපේ ප්‍රතිශක්තිකරණ ශක්තිය වර්ධනය කරගන්න වැඩ කළ යුතුයි, මේ අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දෙන්න මානසික, භාවමය සහ ආධ්‍යාත්මික ශක්තිය අප විසින්ම දියුණු කර ගත යුතුයි.

සෞඛය සේවක සේවිකාවන්ට තුති. ජිනීවාහි පෝස්ටරයකි.

වෘත්තිය මට්ටමින් ගත්තොත් අපි අපේ සෞඛ්‍ය අංශයේ සේවය කරන සියලු කාර්ය මණ්ඩලයට හැකි උපරිම ශාරීරික සහ මනෝවිද්‍යාත්මක සහයෝගය ලබා දිය යුතුයි. සෞඛ්‍ය සේවකයන් ඉන්නේ අපහසුතාවෙන් නං, අධික වෙහෙසින්නං, තමන්ගෙ පවුල් ගැන බයෙන් නං, තමන් වෙත එන රෝගීන්ව හොඳින් රැක බලා ගන්න ඔවුන්ට බැහැ. මේ නිසා අපි ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. එවිට ඔවුන්ට ඔවුන් වෙත පැවරුණු උදාරතර වගකීම – එනම් තමන් වෙත එන රෝගීන්ව රැක බලා ගැනීම, වචනයේ අර්ථයෙන්ම රැක බලා ගැනීම – ඉටු කරන්නට හැකි වෙනවා. ඔවුන්ගේ උදාරතර වගකීම ඒ ලෙස ඉටු කරන ලෙස අපි ඔවුන් වෙතින් ඉල්ලා සිටීමත් අවශ්‍යයි. මන්ද එය ඔවුන් සිය වෘත්තිය තෝරාගනිද්දී තෝරාගත් වගකීම වන නිසයි. අර්බුදයකදි කාරුණිකව සහ ධෛර්යමත්ව කටයුතු කිරීම ඔවුන්ගේ වෘත්තියේ මූලික ආචාරධර්මයයි.

මේ ඇතැම් ආත්මයන් ප්‍රභාමත්, ඇතැම් ආත්මයන් අතිශයින්ම අධමයි. අපිට මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය දකින්න ලැබිල තියෙනවා- බයගුල්ලො, තිරිසන්නු, මෝඩයො, ශාන්තුවරයො, එඩිතර සටන්කරුවෝ, හොරු, සහෝදරවරු…

අවසාන වශයෙන් අපි ප්‍රජාවක් හැටියට, අපව දුර්වලයන් සහ මෝඩයන් බවට පත්කරන මිනිසුන් විසින් මේ රටේ පතුරුවන භීතිය සහ ගැටුමින් ව්‍යාකූල වුණු සංස්කෘතියට සක්‍රියව එරෙහි වීම අවශ්‍යයි. පුරවැසි සමාජයක් හැටියට අපි එකිනෙකා රැක බලා ගැනීම වෙනුවෙන් එකට එකතු විය යුතුයි. අපි අපේ සාමූහික ආත්ම විශ්වාසය තුළින් අපිවත් අනෙකාවත් සුවපත් කිරීම සඳහා අප තුළ ඇති ශක්‍යතාව කෙරෙහි විශ්වාසය තබමින් එකිනෙකා වෙත දෑත දිගු කළ යුතුයි.

අපි බියපත් නොවී මෙය කළ යුතුයි.

බය නොවී සිටීය හැක්කේ හොඳින් සූදානම් වූ විටයි. අපි අපිව සහ අපේ පවුල්වල ආදරණීයයන්ව මේ අර්බුදයට මුහුණ දෙන්නට සූදානම් කළ යුතුයි.

අපව එකට එකතු කරවන වතාවත් ශක්තිමත් කිරීමෙන් මෙය කළ හැකියි. අපි යාඥා කරන පවුලක් නං එකතුව යාඥා කළ හැකියි. අපි නිතර කතා කරන පවුලක් නං, එකතු වෙලා කතා කළ යුතුයි. අපි උයන පිහන පවුලක් නං එකතු වෙලා උයන්න පුළුවන්. අපිව එකට බද්ධ කරවන දෙයකට සම්බන්ධ වෙන හැම වතාවකම දුෂ්කර අවස්ථාවට මුහුණ දීමේ ශක්තිය අප තුළ වැඩි වෙනවා.

ශ්‍රී ලාංකියන් තුළ දුෂ්කර දේවල් කතා නොකර මගහැර සිටීමේ නැඹුරුවක් තියෙනවා. නමුත් හැමදයෙක්ම ඉතා වේගයෙන් වෙනස් විය හැකි වාතාවරණයක් තුළ අපි වාඩි වී එකිනෙකාට කතා කිරීම අත්‍යවශ්‍යයි. පවුලක් හැටියට එකට වාඩි වී, රෝගී වීම, මරණය සහ මරණයෙන් මතු අපේ විශ්වාසයන් ගැන කතා කළ යුතුයි. විය හැකි දේවල් ගැන අපි අපේ දරුවන් සමග කතා කළ යුතුයි. මේ වෛරසයට ගොදුරු වුණොත් ඔවුන්ට විවෘතව ඇති විකල්ප මොනවාද කියන එක ගැන අපි අපේ දෙමව්පියන්ට කතා කළ යුතුයි. අපි එකිනෙකාගේ වෙනස්කම් ගැන කතා කළ යුතුයි. එකිනෙකාට සමාව දිය යුතුයි. දේපල අයිතිය, මිල මුදල් ගැන එකලාසයක් කළ යුතුයි. මේ මගින් නාඳුනන තත්ත්වයන් කෙරෙහි අපේ බිය අවම වේවි. මන්ද අපි ආදරය කරන අය සමග දැනටමත් අවබෝධයක් ගොඩනගාගෙන ඇති නිසා. මේ අවබෝධය අර්බුදයක් එළඹි අවස්ථාවක මහත් වූ සාමයක් ගෙන එනවා. අපි කතා කරල තියෙනවා, එකිනෙකා වෙත කාරුණික බව පළ කරල තියෙනවා, ආදරය සනාථ වෙලා තියෙනවා.

හුදෙකලාවෙන් සහ බයෙන් ගත කරන මේ කාලයේ, එකට ජීවත්වෙන මිනිසුන් හැකි සෑම විටම එකිනෙකාව ස්පර්ශ කළ යුතුයි. අපේ දරුවො මනුස්ස ස්පර්ශයට බයෙන් ලොකුවෙනවා. වැඩිහිටියො මිනිස් ස්පර්ශයක් නැතුව සාංකාවෙන් වියපත් වෙනවා. මිනිසා ලොව පහළ වූ දා පටන් ශක්තියේ මූලාශ්‍රයක් වූ දෙයක් අපෙන් උදුරගන්න වෛරස් එකකට ඉඩ දෙන්න පුළුවන්ද? මිනිස් ස්පර්ශය අපට සුවය, වර්ධනය සහ මානසික ශක්තිය ලබාදෙනවා. එය අපව අපේම ශරීර වෙතටත් අපේ ප්‍රජාව වෙතටත් බද්ධ කරවනවා. කිසියම් වාතාවරණයක් තුළ එය අහිමි වෙනවනං එය ශක්තිමත් කළ හැකි වෙනත් විකල්ප අපි සොයාගත යුතුයි. එවිට එහි වටිනාකම ගිලිහී යා නොදී රැක ගන්න පුළුවන්. මිනිස් ස්පර්ශය වෙන කිසිවකින් හිලව් කළ නොහැකියි.

අපි රෝගීන්ව තනි කිරීමට හැකි තරමින් විරුද්ධ විය යුතුයි. මේ වෙනකොට සම්පූර්ණයෙන් එන්නත් ලබා ගත් අය බොහොමයක් ඉන්නවා. ඒ අයට රෝගියා එක්ක ඉන්න, ඔවුන්ට උදව් කරන්න පුළුවන්. අපි මාස්ක් දාගෙන පරිස්සමින් සිහි කල්පනාවෙන් ඉන්නවනං මිනිස්සුන්ව අල්ලන්න මේ තරං මර බියක් ඇති කරගත යුතු නැහැ. උදව්වට එන්න සූදානම්, කාරුණික, ආත්ම විශ්වාසයෙන් යුතු මනුෂ්‍යයෙක් කියන්නේ බය සහ මරණය සමග පොරබදිමින් සිටින කෙනෙකුට මහා ශක්තියක්.

අන්තර් ජාල කොවිඩ් අනුස්මරණ ශ්‍රී ලංකා වේදිකාව

ඉතාම අසංවේදී විදියට, කොවිඩ් මරණ වල ඛේදවාචකය උලුප්පා දැක්වීම දිගින් දිගටම සිද්ද වෙමින් තියෙනවා. මරණය වේදනාකාරීයි. නික්ම යෑම පූජනීයයි…මිය ගිය අය වෙත සහ මිය ගියවුන් වෙනුවෙන් ශෝකී වන අය වෙත ගෞරවය සහ නිසි බුහුමන් ලබා දීම අප සතු යුතුකමක්. කොවිඩ් රෝගියෙකු මිය ගිය විට අනුගමනය කළ යුතු සංවේදී සහ කාර්යක්ෂම පිළිවෙත් රෝහල් විසින් මේ වන විට සැලසුම් කර තිබිය යුතුයි. කොවිඩ් මරණ සයිරන් ගහගත්තු ඇම්බියුලන්ස් පේළි වලින් මහා කලබලයකින් දිනපතා රෝහලේ සිට සොහොන් දක්වා ප්‍රවාහය කිරීම අවශ්‍ය නැහැ. මරණය එළඹි පසු කලබලයක්, හදිසියක් නැහැ. හදිසිය සහ කලබලය පැවතිය යුත්තේ මිනිසුන්ගේ ජීවිත බේරා ගැනීමට පමණයි. මනුෂයෙකු මිය ගිය විට ඒ ශරීරය තුළ ඇති වෛරසයද මිය යන බව සියලුම විද්‍යාවන් විසින් සනාථ කර තිබෙනවා. ඒ මිය ගිය පුද්ගලයාගේ අවසාන කටයුතු ගෞරවනීයව, කාරුණිකව, සංයමයෙන් යුතුව ඉටු කළ හැකියි.

කොවිඩ් සම්බන්ධයෙන් ඇති වඩාම සිත්ගන්නාසුළු දේ තමයි, මාස්ක් දාගෙන හිටියට මිනිස්සු හංගගෙන ඉන්න මූණු එයින් නිරාවරණය වීම. පහුගිය අවුරුදු දෙක තිස්සෙම කොවිඩ් විසින් මිනිස්සුන්ගේ ආත්මයන් නිරාවරණය කරල තියෙනවා, මේ ඇතැම් ආත්මයන් ප්‍රභාමත්, ඇතැම් ආත්මයන් අතිශයින්ම අධමයි. අපිට මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය දකින්න ලැබිල තියෙනවා- බයගුල්ලො, තිරිසන්නු, මෝඩයො, ශාන්තුවරයො, එඩිතර සටන්කරුවෝ, හොරු, සහෝදරවරු…

මේ ප්‍රශ්නයට මුහුණ දෙද්දි විවිධ මිනිස් ප්‍රජාවන්, විවිධ රටවල් පවා ඔවුන්ට ආවේණික එකිනෙකට වෙනස් හරයන්, ඇගයුම් මොනවද කියන එක හෙළිදරවු කරල තියෙනවා. ශ්‍රී ලංකාව එහි ජීවත්වෙන මිනිසුන්ගේ සුහදශීලි බව, ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් ලොව ප්‍රසිද්ධයි. අතීතයේ පටන්ම අප කරා තිබුණු ආකර්ෂණය වුණේ අපේ සිනාව, අපේ හදවත්, අපේ ත්‍යාශශීලී බව ආදි ගුණාංගයි. මේ ගුණාංග වෙනුවෙන් අපි අතීතයේ පටන්ම ප්‍රසිද්ධයි නං ඒවා සැබවින්ම අප තුළ තිබෙන ඒවා විය යුතුයි. ඉතිං එසේ නං, අර්බුදයකට මුහුණ දෙද්දී ඒ ලක්ෂණ අපේ ප්‍රතිචාරයේ ප්‍රධාන ඇගයුම් විදියට ඉස්මතු නොවන්නේ ඇයි?

අපේම අභ්‍යන්තරය ගැඹුරින් පිරික්සමින්, සටන් කිරීමට අප වෙත ඇති මේ සම්පත් වෙත ප්‍රවේශ වීමට කිසියම්ම හෝ හැකියාවක් තිබුණා නම්, අද මෙන් නිනව්වක් නැතිව හැම අතටම වැනෙමින් ඉතා දුබලව මේ සටන කරන්නට සිදු නොවන බව මම දැඩිව විශ්වාස කරනවා.

කොවිඩ් අර්බුදයෙන් ගොඩ ඒමට මගක් සොයමින් පොරබදින මොහොතේ, මේ කුඩා දිවයිනේ අපි වන්දනා කරන කිහිපයක් වූ දෙවිවරුන් විසින් අපට අප කරාම හැරී අපව සොයාගැනීමට උපකාර කරත්වා.

ඔබේ කාලය වෙනුවෙන් ස්තූතියි.

රුවන්ති ද චිකේරා/විකල්ප

Archive

Latest news

Related news