මෑත අවුරුදු කිහිපය දක්වාම මංගල සමරවීර හුදෙක් ශ්‍රී.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්‍රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්ත්‍රීවරයකු වූවා පමණි. එහෙත් මෑත වසර කිහිපය තුල ඔහු අධිෂ්ඨාන සහගත ලෙසත්, නිර්භීත ලෙසත් වෙනත් මෙහෙවරකට මුල පිරුවේය.
“මංගල සමරවීර නම් වන ඒ දුර්ලභ ගණයේ දේශපාලඥයා සිය දිවියෙන් සමුගෙන ඇත්තේ අප රටේ බිම්දසුන මත බොහෝ දෙනෙකුට නොපෙනෙන එහෙත් ප්‍රවේශමෙන් පරීක්ෂා කර බැලුවොත් ඔවුන්ටද පෙනී යන හිදසක් ඇති කරමිනි.”
ජරා ජීර්ණ තත්ත්වයට පත්ව ඇති ලාංකීය දේශපාලන සංස්කෘතිය පිරිපහදු කිරීම හා රට තුල බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය (PLURALISTIC DEMOCRACY) ප්‍රවර්ධනය කිරීම එම දේශපාලන මෙහෙවරයි. ඔහුගේ මෙම මෙහෙවර අගය කරන ඇතැම් පිරිස් වලට ඔහු හා එකඟ නොවන කාරණයක් ද ඇත.
එනම් ලංකාව ඇතුළු ආර්ථික වශයෙන් අසංවර්ධිත රටවලට පවා වඩාත් උචිත ආර්ථික මාදිලිය වශයෙන් නව ලිබරල් ආර්ථික සංවර්ධන මාදිලිය ඔහු විසින් පිළිගැනීම එම කාරණයයි. කෙසේ වෙතත් අද ලංකාව මුහුණ පා ඇති සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික අර්බුදයේ ප්‍රභවය ඇත්තේ ආර්ථිකය තුල නොව දේශපාලනය තුල වන නිසා මංගල සමරවීර විසින් ආර්ථික මාදිලිය සම්බන්ධයෙන් දැරූ අදහස් නොසකා හැර ඔහුගේ දේශපාලනය සාකච්ඡාවට භාජනය කිරීම කාලෝචිත මෙන්ම ඔහුට කරන සාධාරණයක්ද වන්නේය.
මංගල සමරවීර නම් වන ඒ දුර්ලභ ගණයේ දේශපාලඥයා සිය දිවියෙන් සමුගෙන ඇත්තේ අප රටේ බිම්දසුන මත බොහෝ දෙනෙකුට නොපෙනෙන එහෙත් ප්‍රවේශමෙන් පරීක්ෂා කර බැලුවොත් ඔවුන්ටද පෙනී යන හිදසක් ඇති කරමිනි.
ඔහුගේ වියොවෙන් ඇති වූ එම හිදස පිරවීම තරමක් අසීරුය. මන්ද, දේශපාලන සංස්කෘතිය හා බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ඔහු ඉදිරිපත් කළ අදහස් මඟින් ඔහුද නායකයකු වශයෙන් සිටි ප්‍රධාන ධාරාවේ දේශපාල පක්ෂ දෙකම මත තියුණු ආලෝක ධාරාවක් එල්ල කරන නිසාය.
ප්‍රායෝගික ස්වයං විවේචනයක්
අවසන් වසර කිහිපය තුල ඔහු ඉදිරිපත් කළ අදහස් තමන්ගේ ඈත අතීත දේශපාලනය සම්බන්ධයෙන් සිදු කළ ස්වයං විවේචනයක් ලෙසද සැලකිය හැකිය. අකුටිලිව හා නිර්භීතව එලෙස අදහස් දක්වන නායකයකු තවත් කලක් ගතවන තුරු ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයකින් මතුවේ යැයි සිතීම උගහටය.
සමාජ – ආර්ථික වෘක්ෂයේ බිජුලා, පැලවී එම වෘක්ෂයේ සාරය උරා බොමින් එම වෘක්ෂය කා දමන පිළිලයක් බදු දුශ්ශීල පැවිද්දන් මංගල සමරවීරගේ දෝශ දර්ශනයට ලක්වන විට ඔහු ආගම් විරෝධියකු ලෙස හංවඩු ගසා අවිචාර ජනතාව තුල ඔහු කෙරෙහි අප්‍රසාධයක් හා වෛරයක් ජනිත කිරීමට ගිහි පැවිදි දුෂ්ශීලයෝ සමත් වූහ. මංගල සමරවීර එරෙහි වූයේ දුෂ්ශීල ගිහියන්ගේ හා පැවිද්දන්ගේ අධර්මයට හා දුර්මත වලට මිස ශාස්තෘන් වහන්සෙස්ලා දෙසූ විමුක්ති ධර්මයට නොවේ.
ලෞකික හෙවත් අනාගමික රාජ්‍යයක අවශ්‍යතාව පිළිබඳ අදහස ඔහු පිළිගත්තේ සහ ප්‍රවර්ධනය කළේ ඒ පිළිබඳ ලියවී ඇති පොත් පත් පරිශිලනය මෙන්ම ලංකීය දේශපාලනයට හා ආණ්ඩුකරණයට අරක්ගෙන සිටින දුශ්සීල භික්ෂූන් හා ආගම ගනිකා වෘත්තියේ යොදවන රැවිටිලිකාර දේශපාලඥයින් විසින් සිදු කර ඇති අවැඩ සම්භාරය පිළිබඳව ලිබරල් වාදියකු වශයෙන් කළ නිරීක්ෂණයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් යැයි සිතිය හැක.
මකියවෙලි සහ මංගල
ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳූමක් හඳූන්වා දීමට කලාතුරකින් ඇතැම් සිංහල නායකයින් උත්සාහ ගත් සෑම විටකම තිරිංගයක් හා මාර්ග බාධකයක් සේ ක්‍රියාත්මක වූ ප්‍රධානම බලවේගය වූයේ බෞද්ධ යැයි කියා ගන්නා මතු සඳහන් පැවිද්දන් හා දේශපාලඥයින් බව මංගල සමරවීරට මනාව ප්‍රත්‍යක්ෂ වී තිබුණි.
රාජ්‍යය විසින් ආගම දික්කසාද කළ යුතු යැයි පළමු වරට අවධාරණය කළ ඉතාලි ජාතික දේශපාලන චින්තකයා වූ මැකියවේලි ආගම තහනම් කළ යුතු යැයි පැවසුවේ නැත. ආගම රාජ්‍ය කටයුත්තක් නොව, එය මිනිසුන්ගේ විශ්වාසය මත පදනම් වූ පෞද්ගලික කටයුත්තක් බව මංගල සමරවීර ද ප්‍රකාශ කළේය.
ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇති ශිෂ්ඨ සම්පන්න නවීන ලෝකයේ කිසිදු රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානය ලබා දෙන බවක් සඳහන් නැත.
ලිබරල්වාදියකු වූ මංගල සමරවීරට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණි. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව හා 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව යන අපගේ සිංහල පාලකයින් විසින් නිර්මාණය කළ ව්‍යවස්ථා දෙකෙහිම බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී තිබිම මංගල සමරවීර අනුමත කළේ නැත. එහෙත් ඔහු එදා ප්‍රසිද්ධියේ එය විවේචනය කළේද නැත. ඔහු ඇමතිකම් දැරූ දේශපාලන පක්ෂ දෙක තුල එබඳූ විවේචනයක් කිරීමේ වාතාවරණයක් තිබුනේ ද නැත.
ස්වයං වාරණයෙන් එළියට
2019 දී පක්ෂ දේශපාලනයෙන් හා මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වීම මඟින් ඔහු ස්වයං වාරණයක් තුල සිරකරගෙන සිටි අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමේ නිදහස ලබා ගත්තේය. එහෙත් රටේ අවාසනාවට කාලය ඊට හරස් විය.
අදීන පෞරෂයකින් යුතු බාල හා තරුණ පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාව මංගල සමරවීරගේ ප්‍රමුඛතාවක් විය. පාසල් දරුවන් තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, සිල්වත් පැවිද්දන් හා වැඩිහිටියන් හැර කිසිවකු ඉදිරියේ දනින් වැටිය යුතු නොවන බවත්, විශේෂයෙන්ම දේශපාලඥයින් ඉදිරියේ දන නොනැමිය යුතු බවත් අවධාරණය කළේය. තෑගි ප්‍රදානෝත්සවය ඇතුළු විවිධ අවස්ථා වලදී පාසල් දරුවන් දේශපාලඥයින් හා නිලධාරින් ඉදිරියේ දන බිම ඇන වැඳීම ඔහු දුටුවේ පිටු දැකිය යුතු වැඩවසම් චාරිත්‍රයක් ලෙසය.
බැලූ බැල්මට අහිංසක වුවත් මෙම අධිපතිවාදී චාරිත්‍රය මඟින් බිහි කරන්නේ සාමාජීය වශයෙන් බෙලහීන හා නිවට රට වැසියකු බව ඔහුට තේරුම් යාම අරුමයක් නොවේ. ළමා වියේදී සිටම කොන්ද කඩා දමනු ලබන දරුවන් වැඩිහිටියන් බවට පත් වූ විට සුළු කෙටසක් අධිපතියන් බවට පත්වන අතර බහුතරය යටත් වැසියන් බවට පත් වේ. රජයේත් පෞද්ගලික අංශයේත් මිනිස් බලය පිරිහී යන්නේ ඔවුන් නිසාය. ප්‍රධාන ධාරාවේ දේශපාලනයට පිවිසෙන්නේද ඔවුන් අතරින් පක්ෂ නායකයින්ට වන්දනා මාන කිරීමට සූදානම් නිවට පිරිසකි.
“සුදු නෙළුම් ව්‍යාපාරයේ” ප්‍රධානතම ධාවකයා
ජනවාර්ගික හා ආගමික සංහිඳියාව අරමුණුකරගත් “සුදු නෙළුම් ව්‍යාපාරයේ” ප්‍රධානතම ධාවකයා ලෙස ඔහු කටයුතු කළේය. එම ව්‍යාපාරය අසාර්ථක වූයේ ඔහුට හා සාම ලැදි කණ්ඩායම් වලට පාලනය කළ නොහැකි පසුගාමී බලවේග එදා එම පක්ෂය තුලද ශක්තිමත්ව සිටි නිසා සහ නායකත්වයට ඒ පිළිබඳ අධිෂ්ඨානයක් නොතිබූ නිසාය.
2005 වසරේ පිහිට වූ මහින්ද රාජපක්ෂ රජයේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා වූයේ මංගල සමරවීරය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් අනුර බණ්ඩාරණායක සමඟින් මංගල සමරවීර ඇමති ධූර වලින් පහ කරන ලදී.
ශ්‍රී.ලං.නි.ප. අපේක්ෂකයා වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතු බවට චන්ද්‍රිකා කුමාරතුංගට ඒත්තු ගැන්වීමට ඉදිරිපත් වූ ප්‍රධානතම පාක්ෂිකයා වූයේ ද මංගල සමරවීර ය. එසේ තිබියදීම ඔහු ඇමති මණ්ඩලයෙන් ඉවත් කළේ අන් කිසි හේතුවක් නිසා නොව පක්ෂ ශරීරයට ඔරොත්තු නොදෙන පුද්ගලයින් අකාමකා දැමීමේ පක්ෂ ප්‍රතිදේහ (ANTIBODY) ක්‍රියාත්මක වූ නිසාය. එදා පක්ෂ නායකත්වයට මංගල සමරවීර පෙනී ගියේ පවුල් පාළුවකු (BLACK SHEEP) ලෙස මිස පක්ෂයට සම්පතක් ලෙස නොවේ. ඔහුගේ ප්‍රධානතම නොගැලපීම වූයේ ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳූමක් වෙනුවෙන් පෙනී සිටීමයි. පෞරුෂ ප්‍රශ්නද බල නොපෑවා නොවේ.
2019 වසරේ ජනාධිපතිවරණය අභිමුඛව එක්සත් ජාතික පක්ෂය දෙකඩ වූ අවස්ථාවේ මංගල සමරවීර පැත්තක් ගත්තේ නැත. දෙපැත්තේම නායකයින්ගේ ඇතැම් ප්‍රතිපත්ති හා වැඩ ශෛලීන් කෙරෙහි මංගල සමරවීරට පූර්ණ පැහැදීමක් නොතිබූ බව එයින් පෙනේ. ඔහුගේ දේශපාලන චරිත ලක්ෂණ විග්‍රහ කරන විට පෙනී යන්නේ ජනවාර්ගික ප්‍රශ්නය හා ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ සමඟ යම් එකඟතාවක් පැවතියත් ඔහු සමඟ එක් නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ අධිකාරිවාදී පක්ෂ නායකත්ව ලක්ෂණය විය හැකිය.
සජිත් සමඟ එක් නොවීමට ඔහු තීර්ණය කළේ ජනවාර්ගික ප්‍රශ්නය, විධායක ජනාධිපති ක්‍රමය හා ආර්ථික මාදිලිය සම්බන්ධයෙන් ඒ මහතාට ඒ වන විටත් පැහැදැලි මතයක් නොතිබීම හා නායකත්වය සම්බන්ධයෙන් අධි තක්සේරුවක සිටීම මිස අන් කිසිවක් නිසා විය නොහැක.
මංගල සමරවීරගේ දේශපාලන දැක්ම
පක්ෂ දේශපාලනයෙන් හා මැතිවරණ දේශපාලනයෙන් ඉවත් වී බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට අවසාන වශායන් ඔහු තීන්දු කළ බව පෙනේ. එම ව්‍යාපාරයට ඇති ප්‍රධානම අභියෝගය ව්‍යාජ දේශ ප්‍රේමය බව ඔහු අදහස් කළ බව පැහැදිලිය. තම සමාජ ව්‍යාපාරය “සැබෑ දේශප්‍රේමීන්” ගේ ව්‍යාපාරයක් ලෙස ඔහු හැඳින් වූයේ එබැවින්ය.
“සැබෑ දේශප්‍රේමීන්ගේ ව්‍යාපාරයේ” කාර්යාලයෙහි ලෝක නායකයින් කිහිප දෙනෙකුගේ පින්තූර දැකිය හැකි වූ අතර ඉන් දෙදෙනෙකු වූයේ නිදහස් ඉන්දියාවේ පළමු අගමැති වූ ශ්‍රී නේරු හා නිදහස් දකුණු අප්‍රිකාවේ පළමු ජනාධිපති වූ නෙල්සන් මැන්ඩෙලාය. මේ ගනුදෙනුව වර්ගවාදීන් හෝ ආගම්වාදීන් නොවූ අතර බහුත්ව ප්‍රජාතන්ත්‍රවාදියෙක් වූහ. එමෙන්ම ලිබරල්වාදියෙක් වූහ.
මංගල සමරවීරගේ දේශපාලන දැක්ම (Political Vision) කෙබඳූ එකක් වූයේද යන්න එයින් ගම්‍ය වේ. විශේෂ දැන්වීමක් ද දැකිය හැකි විය. “මෙහි සර්ලා මැඩම්ලා නැත……….” ආදී වැකියකි. තම ව්‍යාපාරයේ සාමාජිකයින් අතර පැවතිය යුතු අනෝන්‍ය සම්බන්ධතාවයේ ස්වරූපය ඔහු එමඟින් ප්‍රකාශයට පත් කර ඇත. නායකයින්ට පමණක් නොව නායකයින්ගේ පවුල්වල සාමාජිකයින්ටත් ප්‍රශස්ති ගී ගයන දේශපාලන සංස්කෘතියට ඔහු කළුගෙඩි පහරවල් එල්ල කිරීමට සූදානමින් සිටි බව පෙනේ.
“ඛේමාගේ කොලුවා”
මංගල සමරවීරද දේශපාල පවුලකින් පැවත එන්නෙකු විය. ඔහුගේ පියා සිරිමාවෝ බණ්ඩාරණායක ආණ්ඩුවක පළාත් පාලන, නිවාස, සන්නිවේදන, තැපැල් හා විදුලි සන්දේශ කැබිනට් ඇමතිවරයා විය. මව මාතර නගර සභාවේ සභිකාවක වශයෙන් තේරී පත්ව සිටියාය. ඔහු 1983 දී ශ්‍රී.ල.නි.ප.යේ මාතර සංවිධායක වශයෙන් පත් වූ අවස්ථාවේදී ඔහුව දිස්ත්‍රික්කයට හඳූන්වා දෙනු ලැබුවේ “ඛේමාගේ කොලුවා” යන නමින්ය. (ඔහුගේ මවගේ නම ඛේමා සමරවීරය) පළමු වරට 1989 දී මාතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මංගල මුලින් සඳහන් කළ පරිදි ආණ්ඩු 4 ක කැබිනට් ඇමතිකම් දරා තිබේ.
පූර්ණකාලීන දේශපාලනයට පිවිසීමට පෙර මංගල අප රටේ ජාතික සැලසුම් කේන්ද්‍රයේ (NATIONAL DESIGN CENTRE) උපදේශකයකු ලෙසත්, කැළණිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන ආයතනයේ (INSTITUTE OF ASTHETIC STUDIES) බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් සේවය කර ඇත.
තව අවුරුදු 10 ක් මංගල සමරවීර නම් වූ ඒ සුවිශේෂ දේශපාලඥයාට දේශපාලනයේ නියැළීමේ අවස්ථාව තිබුණි. කොරෝනා වසංගතය විසින් ඔහු රටට අහිමි කරන ලදී. ඔහුට තව වසර 5 ක් එම අවස්ථාව ලැබුනේ නම් ලංකීය දේශපාලනයේ බරපතල පෙරලියක් ඇති කිරීමට නියමිතව තිබුණි. පුද්ගල සාධකයේ වැදගත්කම ප්‍රතික්ෂේප කළ නොහැක. පසුගාමී ස්ථාපිතයට (ESTABLISHMENT) පහර දීමට මංගල සමරවීර වැනි සුදුසු පුද්ගලයන් සොයා ගැනීම අසීරු නිසාය.
ජගත් සිරිවර්ධන