Friday, April 26, 2024

හදිසි නීතිය පැනවූයේ මහජන ආරක්ෂාවට නොවෙයි, බලය තහවුරු කර ගන්න – ජාතික ජන බලවේගය

ජනාධිපති රාජපක්ෂ විසින්  මහජන ආරක්ෂක පනත යටතේ හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීම හෙළා දකින ජාතික ජන බලවේගය එය  රටේ සුභසිද්ධිය ගැන සිතා මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කර නැති බවත් බලය රැස් කිරීමේ නොපසුබට ආශාව තුළ  තබන ලද  තවත් පියවරක් බවත් සඳහන් කරයි. මේ වන විටත් ප්‍රහාරයට ලක්ව ඇති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය මෙම නව බලතල මගින් තවදුරටත් අවදානමට ලක් කරන බවද එස සඳහන් කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

2021 අගෝස්තු 30 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 1959 අංක 8 දරණ මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය (1978 අංක 6 දරණ පනත සහ 1988 අංක 28 දරණ පනත මඟින් සංශෝධනය කර ඇති පරිදි) ක්‍රියාත්මක කරන ලදී. මෙම ගැසට් පත්‍රයෙන් පුළුල් පරාසයකට බලපෑම් ඇති හෙයින් එහි අන්තර්ගතය සහ ආණ්ඩුවේ බලය නතු කිරීමේ නවතම පියවර තුළ ඔවුන්ගේ අරමුණ කුමක්ද යන්න පිළිබඳව මහජනතාව පූර්ණ ලෙස දැනුවත් කිරීම වැදගත් බව ජාතික ජන බලවේගය විශ්වාස කරයි.

මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ කොන්දේසි දෙකක් මත හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයාට ඉඩ සලසා ඇත. එම බලය හැසිරවීම සිදු විය යුත්තේ ජනාධිපතිවරයාගේ මතයට අනුව;

1. මහජන ආරක්ෂාව සහ මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා හෝ

2. ජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වා ගැනීම සඳහාය.

මෙම අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව ප්‍රකාශ කර ඇත්තේ සැපයුම් සහ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වා ගැනීමට  බාධාවන් ඇති බැවින් මෙම විශේෂ නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

අප දන්නා පරිදි සති කිහිපයක් තිස්සේ ජනතාව සීනි සහ කිරිපිටි වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ගෑස් හිඟතාවයකට ද මුහුණ දෙමින් සිටිති. දැනට පවතින ආනයන සීමා කිරීම් සමඟ නුදුරු අනාගතයේදී තවත් හිඟයන් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇත. ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ මෙම හිඟය ඇති වන්නේ වෙළෙඳුන් විසින් මෙම භාණ්ඩ සඟවා තැබීම නිසා සහ මිල ඉහළ දැමීම සඳහා වෙළෙඳුන් විසින් අසාධාරණ ඉල්ලීම් කිරීම හේතුවෙන් බවයි. කොවිඩ්-19 හා සම්බන්ධ සීමාවන් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් රටේ ජන ජීවිතය බොහෝ බාධා වලට මුහුණ දෙමින් ඇති බවට සැකයක් නැත. මෙය මෑත කාලීන තත්වයක් නොව වසරකටත් වැඩි කාලයක් තිස්සේ වර්ධනය වුණු තත්වයකි. කෙසේ වෙතත්, 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතේ 11 වන වගන්තිය යටතේ ආණ්ඩුව විසින් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකිරීම  විශේෂත්වයකි. එම පනතේ 25 (න) වගන්තිය තුළ ‘ව්‍යසනය’ යන්නට ‘වසංගතය’ යන්නද ඇතුළත්ය. මෙම පනත මගින් ආපදා කළමනාකරණය සඳහා කවුන්සිලයක් පිහිටුවීමට ඉඩ සලසයි. එහෙත් ආණ්ඩුව එවැනි පියවරක් ගත්තේ නැත.

කොවිඩ් වසංගතය කළමනාකරණය කිරීම සඳහා වඩාත් උපදේශාත්මක සහ සහයෝගාත්මක උත්සාහයක් සඳහා නීතියේ පවතින විධිවිධාන අනුගමනය කරනවාට වඩා, කොවිඩ් වෙත ප්‍රතිචාර දැක්වීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායන් 3 ක් පිහිටුවීම ජනාධිපතිවරයාගේ තීරණය විය. සමස්ත ජන ජීවිතය නඩත්තු කිරීම සඳහා අඛණ්ඩ සේවා සැපයීම මෙහෙයවීමට, සම්බන්ධීකරණය කිරීමට සහ අධීක්ෂණය කිරීමට එක් කාර්ය සාධක බලකායක්ද, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා දෙවන කාර්ය සාධක බලකායද තෙවැන්න අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කිරීමද සඳහාය. මෙම කාර්ය සාධක බලකායන් වගකිව යුත්තේ, මූල්‍යමය කාරණාවලදී පවා, ජනාධිපතිවරයාට පමණි. කෙසේ වෙතත්, මෙම කාර්ය සාධක බලකායන් තිබියදීත් කොවිඩ් වසංගතය හමුවේ මේ රටේ ජනතාව මූලික සේවාවන් පවා ලබා ගැනීමේ අභියෝගයන්ට මුහුණ දී සිටිති. මේ දක්වා සකස් කර ඇති ක්‍රමවේදවල අසාර්ථක බව පිළිගෙන ජාතික ව්‍යසනයක් කළමනාකරණය කිරීම සඳහා වඩාත් සහයෝගාත්මක ප්‍රවේශයකට යනවා වෙනුවට ජනාධිපතිවරයා තමා වෙත තවත් බලතල නතු කර ගනිමින් මහජන ආරක්ෂක ආඥා පනත ක්‍රියාත්මක කර ඇත. මෙම බලතල ජනාධිපතිවරයාට පහත දේ කිරීමට ඉඩ සලසයි.

(1) මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ කැරලි කෝලාහල සිවිල් කලබල මැඩපැවැත්වීමට හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම පවත්වාගෙන යාමට අවශ්‍යය සහ යෝග්‍ය යැයි ඔහුට සිතෙන පරිදි රෙගුලාසි සම්පාදනය කිරීම (මේ රෙගුලාසි මෙතැන් සිට ”හදිසි නීතිය” ලෙස හැඳින්වේ)

(2) පුද්ගලයින් රඳවා තබා ගැනීමට අවසර හා පහසුකම් ලබා දීම; කිසියම් දේපළක් හෝ ව්‍යාපාරයක් රජයට පවරා ගැනීමට  හෝ පාලනය කිරීමට අවසර දීම

(3) ඉඩම් හැර වෙනත් ඕනෑම දේපලක් රජයට පවරා ගැනීම

(4) ඕනෑම පරිශ්‍රයකට ඇතුළු වීමට සහ පරීක්ෂා කිරීමට අවසර දීම.

(5) ඕනෑම නීතියක් සංශෝධනය කිරීම සඳහා, ඕනෑම නීතියක් ක්‍රියාත්මක වීම අත්හිටුවීම සඳහා, සහ වෙනස් කිරීමක් සහිතව හෝ රහිතව ඕනෑම නීතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසර දීම

(6) වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සහ දඬුවම් කිරීම යුද අධිකරණයක ආකාරයේ නඩු විභාග මගින් සහ එම ආකාරයේ රෙගුලාසිවලට අනුව සිදු කිරීමට විධිවිධාන සැලසීම

මෙම පනත මඟින් අනෙකුත් සියලුම නීති අභිබවා හදිසි නීතිය බලපැවැත්විය යුතු බවත් (7වැනි වගන්තිය) කිසිදු හදිසි නීති රෙගුලාසියක්, විධානයක්, නියෝගයක් හෝ නිර්දේශයක් කිසිදු උසාවියකදී ප්‍රශ්න කළ නොහැකි බවත් සඳහන් කළ යුතුය (8 වගන්තිය). කෙටියෙන් කිවහොත්, අත්‍යවශ්‍ය සේවාවන් සහ මහජනතාවට සැපයුම් පවත්වාගැනීමේ මුවාවෙන් ජනාධිපතිවරයා තමා වෙත අසාමාන්‍ය හා, අපේ දකිනා ලෙසට, අතිශයින්ම භයානක බලයක් මෙය මගින් නතු කරගෙන තිබේ. අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කාර්යක්ෂමව බෙදා හැරීම සහතික කිරීම සඳහා අවශ්‍ය බොහෝ කාරණාවන්ට මෙම බලතල ඕනෑවටත් වඩා වැඩි බවද සඳහන් කිරීමද වටී.

මේ වන විට රටේ සේවා හා සැපයුම්වලට බාධා ඇති වීම මෙන්ම වැඩි වෙමින් පවතින කොවිඩ් ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවට හේතුව ජනාධිපතිට හෝ මෙම ආණ්ඩුවට අවශ්‍ය බලතල නොමැතිකම නිසා නම් නොවන බව මේ රටේ ජනතාව මේ වන විට හොඳින් දනී. ඇත්තෙන්ම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමඟම මෙම ජනාධිපතිවරයාට ඉතිහාසයේ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා වැඩි බලතල ප්‍රමාණයක් ලැබී ඇති අතර පාර්ලිමේන්තුවේ අති  බහුතරයක් සහිත ආණ්ඩුවක සහයද ඇත. මේ රටේ ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා, බාධාවන් සහ උත්සන්න වෙමින් ඇති සෞඛ්‍ය අවදානමට හේතු වී ඇත්තේ ජනාධිපතිවරයාගේ සහ ඔහුගේ ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම රටේ ජනතාවට වඩා පාලන තන්ත්‍රයේ සහ එහි හිතවතුන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප්‍රමුඛතාවය දීමය.

උදාහරණයක් වශයෙන්, සීනි හිඟය ඇති වන්නේ සීනි ආනයනය සඳහා  මුලදී ආණ්ඩුව විශාල බදු අඩු කිරීමක් සිදු කළ නිසාය. ඉන්පසු කෘත්‍රීම සීනි හිඟයක් ඇති වීමට ඉඩ සලස්වා පසුව ‘සොයාගත්‘ සීනි තොග ගැන විශාල ඝෝෂාවක් නැගුවේය. මේ සියලු නාටක වල අවසානයේ පාරිභෝගිකයාට ලැබුණු ප්‍රතිඵලය වූයේ සීනි මිල ඉහළ යාම ය. හදිසියේම බදු අඩු කිරීමෙන් පසු සමීප හිතවතුන් විසින් ලබාගත් අසාධාරණ වාසි හේතුවෙන් රජයට රුපියල් මිලියන ගණනක් අහිමි වීම සහ සීනි සඟවා ගත්තා යැයි පවසන වෙළෙඳුන් කිසිවෙකුට නීතිය ක්‍රියාත්මක නොකළ බව සියල්ලන්ටම අමතකය.

මේ අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා රටේ සුභසිද්ධිය ගැන සිතා මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කර නැති බවයි. බලය රැස් කිරීමේ නොපසුබට ආශාව තුළ එය තවත් ඉදිරි පියවරකි. මේ වන විටත් ප්‍රහාරයට ලක්ව ඇති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය මෙම නව බලතල මගින් තවදුරටත් අවදානමට ලක් කරයි.

පවත්නා දරුණු අර්බුදකාරී වාතාවරණයට හේතුව පාලන තන්ත්‍රයේ නොහැකියාව සහ ජනතාවගේ අවශ්‍යතාවන්ට සංවේදී නොවීම මිස ජනාධිපති සතු බලතලවල කිසිදු අඩුවක් නම් නිසැකවම නොමැති බව ජාතික ජන බලවේගය අවධාරණය කරයි. අපගේ අදහස නම් මේ අවස්ථාවේදී මහජන ආරක්ෂක ආඥාපනත ක්‍රියාත්මක කොට හදිසි තත්වයක බලතල මුදා හැරීමෙන් මගින් පෙන්වන්නේ අසාර්ථක පාලන තන්ත්‍රයක් කෙසේ හෝ බලයේ ඇලී ගැලී සිටීමට දරන දැඩි ලෙස උත්සාහයේ ලකුණකි. එසේම ආණ්ඩුවේ ජනතා විරෝධී ක්‍රියාවන්ට එරෙහිව එල්ල වන විවේචන  සහ විරෝධතා යටපත් කර මර්දනය කිරීමේ වුවමනාවද මේ මගින් පෙන්වා ඇත. කොවිඩ් වසංගතය වැරදි ලෙස කළමනාකරණය කිරීම තුළින් නිර්මාණය කර ඇති අවුල අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය දුර්වල කිරීම සඳහා මෙම ආණ්ඩුව මගින් උපයෝගී කර ගනිමින් ඇත. එම නිසා රට තුළ හදිසි නීතිය පැනවීමේ ආණ්ඩුවේ මෙම ප්‍රජාන්ත්‍ර විරෝධී තීරණය දැඩි ලෙස හෙළා දකින අපි එම තීරණය හකුළා ගැනීමට බල කිරීමට උපරිමයෙන් කටයුතු කරමු. එමෙන්ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ රටේ අනාගතය ආරක්ෂා කර ගැනීමට පෙරට එන ලෙසත්, ඒ වෙනුවෙන් අප හා එක්වන ලෙසත්, අපි ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු දෙනාගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිමු.

ජාතික ජන බලවේගය/ 2021.09.05

Archive

Latest news

Related news