Tuesday, December 3, 2024

බලාත්මක කරන ලද මහජන ආරක්ෂක පනතේ 2 කොටස යටතේ ජනාධිපතිට,පොලිසියට හා හමුදාවට ලැබෙන බලතල මෙන්න!

පසුගිය 30දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් බලාත්මක කරන ලද මහජන ආරක්ෂ පනතේ 2 වැනි කොටස විසින් ජනාධිපතිවරයාට ඒකාධිපති පාලකයකුට සමාන බලතල පැවරේ.

මෙමගින් ශ්‍රී ලංකාවෙහි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන ආරක්ෂක පනත මුලින් ම හඳුන්වා දෙන ලද්දේ 1947 දි බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසිනි.

මහජන ආරක්ෂ පනතේ 5 වන යටතේ වෙනත් කරුණු අතර, නඩු විභාගයකින් තොරව ඕනෑම තැනැත්තෙක් අත්අඩංඟුවේ තබා ගැනීමටත්, ඕනෑම ස්ථානයකට ඇතුල් විමටත්, ඕනෑම දේපලක් පවරා ගැනිමටත් ව්‍යවස්ථාව හැර අනෙක් ඕනෑම නීතියක් සංශෝධනය කිරිමට හෝ යටපත් කිරිමටත්, විශේෂ අධිකරණ පිහිටුවිමටත් විධායකට බලය පැවරුනි

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 155 වගන්තිය මගින් මහජන ආරක්ෂක පණත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ කොටසක් බවට පත් කරන ලදී. ඒ අනුව ජනාධිපතිවරයාට හදිසි  අවස්ථා නියෝග සෑදීමේ බලය ලැබුනි.

යම් නීතියක විධි විධාන යටපත් කිරීමේ, සංශෝධනය කිරිමේ හෝ ඒ  විධි විධිවිධාන ක්‍රියාත්මක විම අත්හිටුවිමේ නීතිමය බලයක් ජනාධිපතිවරයාට 155 වන වගන්තිය මගින් ලැබින.

ලැබෙන බලතල

  • හදිසි නීතිය යටතේ නිවෙසකට ඇතුළු වී සෝදිසි කිරීමට කිසිදු අධිකරණමය සෝදිසි වරෙන්තු අවශ්‍ය නැත.
  • හදිසි නීතිය යටතේ පොලිසියට හෝ හමුදාවට පහත සඳහන් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගත හැකි වේ.
  • වරෙන්තු නැතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ට බලය හිමි වීම.
  • සෝදිසි වරෙන්තුවකින් තොරව ඕනෑම ගොඩනැගිල්ලක්, ස්ථානයක් සෝදිසි කිරීම.
  • සැකකරුවන්ගේ පාපෝච්චාරණ සාක්ෂි ලෙසින් යොදාගැනීමේ හැකියාව
  • නිශ්චල සහ චංචල දේපළ රජයේ පාලනයට ගැනීම
  • සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය ආරක්ෂක හමුදාවලට පැවරීම
  • නීතිය හා සාමය රැකීමට අවශ්‍ය පියවර ගැනීමට ආරක්ෂක හමුදාවලට බලය ලබාදීම
  • රැස්වීම් පැවැත්වීම සීමා කිරීම
  • නීතිපතිවරයාගේ අවසරයකින් තොරව සැකකරුවන්ට ඇප ලබාදීමේ හෝ නිදහස් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරුන්ට අහිමි වීම.
  • ආරක්ෂක ඇමතිවරයා නිකුත් කරන රඳවාගැනීමේ නියෝග මත සැකකරුවන් රඳවාගැනීම
  • පවතින පොදු නීතිය අබිබවා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීම

එම විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යැයි ජනාධිපතිවරයාට හැඟෙන වෙනත් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතන වෙත නීතිමය බලය පැවරේ. එසේම අවශ්‍ය අවස්ථාවක ඇඳිරි නීතිය පැනවීමේ බලය පවා හිමි වේ.

මහජන ආරක්ෂාව වෙනුවෙන් හෝ මහජන සාමය පවත්වාගෙන යෑම සහ කැරැල්ලක් මැඬපැවැත්වීම හෝ ජන ජීවිතයට අත්‍යවශ්‍ය වන සැපයුම් සහ සේවා පවත්වාගෙන යෑම සඳහා එම හදිසි අවස්ථා මහජන ආරක්ෂක පනත යටතේ තවත් විශේෂ බලතල සමූහයක් ද ජනාධිපතිවරයාට පැවරේ. එසේම යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමි වේ.

ඒ අනුව කිසිදු අවසරයක් නැතිව ඕනෑම තැනකට ඇතුළු වී පරීක්ෂා කිරීමේ අවස්ථාව සහ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලීසියට හා ත්‍රිවිධ හමුදාවටම හිමි වේ. විශේෂයෙන්ම හදිසි නීතිය යටතේ එම නීතිය කඩ කිරීමකදී අවශ්‍ය පරිදි හෝ සුදුසු පරිදි මහජන ආරක්ෂාව වෙනුවෙන් වෙඩි තැබීමේ බලය පවා හමුදාවට හිමි වේ.

මහජන ආරක්ෂක පනතේ හත් වන වගන්තියට අනුව රට තුළ හදිසි නීති රෙගුලාසි පැනවූ පසු එම කාලය තුළ රට තුළ පවත්නා අනෙකුත් නීති හා රෙගුලාසිවලට ඉහළින් හදිසි නීතිය බලපැවැත්වෙන නිසා වෙනත් නීති හො රෙගුලාසියක් යටතේ එය අභියෝගයට ලක් කළ නොහැකිය‍. එමෙන්ම කිසිදු අධිකරණයක් මඟින් මහජන ආරක්ෂක පනතේ පස් වැනි වගන්තිය යටතේ විශේෂ රෙගුලාසි පැනවීමේ හැකියාවක් ජනාධිපතිවරයාට තිබේ.

ජනාධිපතිවරයාට උපරිම මාසයක පමණ කාලයක් දක්වා හදිසි නීතිය ප්‍රකාශ කළ හැකි නමුත් එය දීර්ඝ කිරීම සඳහා අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු වේ.

( විවිධ මූලාශ්‍ර ඇසුරෙනි)

ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද  දෙවන ගැසට් පත්‍රය:2243-03_S

Archive

Latest news

Related news