Tuesday, May 7, 2024

 පාස්කු ප්‍රහාරයේ වගකීමෙන් ගැලවීමට යුද්ධයයි බෞද්ධකමයි අරගෙන පන්සල් ගිය පොලිස් ලොක්කන්ගේ මුසාවාද!

ඡායාරූපය: පාස්කු කොමිසමේ නිර්දේශ බල රහිත කරන සේ නා හිමියවරුන්ගෙන් ඉල්ලා සිටි පොලිස් ප්‍රධානීන්.

පොලිස් නිලධාරීහු වනාහී නීතිය ආරක්ෂා කිරීමට බැදී සිටින්නෝය. පොලිස් සේවයේ ඉහළට යන තරමට එම බැදීම වැඩි වෙයි.

එසේ නමුත් පෙනෙන විදිහට ලංකාවේ ජේෂ්ඨ පොලිස් නිලධාරීන් යුක්තිය ඉෂ්ඨ කර ගැනීම පිනිස විශ්වාසය තබන්නේ නීතිය සහ අධිකරණයට වඩා පන්සලටය.

පන්සලක භික්ෂුවක වරදක් කළද පොලිසිය ඒ වෙනුවෙන් බණ කියන්නේ නැත. වරදකරු නීතිය හමුවට ගෙන එයි.

අද ලංකාවේ නීතියේ අධිපත්‍ය කියා දෙයක් නැත. අධිකරණයට උඩින් චූදිතයෝ නිදහස් වන අතර මීනිමරුවෝ මහජන මුදලින් වැජඹෙන සභාපතිකම් කරති.

මෙම සිදුවීම ප්‍රශ්ණ ගණනාවක් මතු කරයි.

පොලිස් නිලධාරීන්ට නිල ඇදුම් ඇඳ පුද්ගලික කාරණාවන්ට සහභාගි විය හැකිද?

මෙම උසස් පොලිස් නිලධාරීන් නා හිමිවරුනට කියන්නේ ඔවුන්ගේ විනය පරීක්ෂන සහ උසස්වීම් යනාදාය භාරව සිටින පොලිස් කොමිෂමට මැදිහහත් වන සේ නොවේද?

එවැනි නීතිවිරෝධී මැදිහත්වීමක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පොලිස් කොමිෂම පියවර ගන්නේද?

දැන් නීතියේ  ආධිපත්‍ය වෙනුවට ආගමික ආධිපත්‍ය මගින් නඩු වලින් නිදහස් වීමට පන්සල් යන්නේ එසේ මෙසේ කන්ඩායමක් නොවේ.

මෙම ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් කියා සිටින්නේ සහමුලින්ම  කතෝලික සභාවේ ඉල්ලීමට විරුද්ධ දෙයකි. එනම් සිංහල බෞද්ධ නිලධාරීන් රැක ගැනිමට කොමිෂන් සභාවේ නිර්දේශ බල රහිත කරන ලෙසයි. මෙය එක්තරා අන්දමකට ආගමික විරසකයක් ඇති කළ හැකි භයානක ප්‍රයත්නයකි.

ඊයේ මල්වතු නාහිමි හමුවී පාස්කු ප්‍රහාරය පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාවෙන් තමන් ගලවා ගන්නා ලෙස ඉල්ලා සිටීමට ගිය මේ කන්ඩායම දෙස බලන්න.

පරිපාලන කටයුතු බාර නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ බස්නාහිර පලාත බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  නුවර එළිය දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අතුකෝරළ, මොණරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර හේරත් මුලතිව්හි පොලිස් සහකාර අධිකාරී නුවන් කුලසේකර.

තමන්ට වරදක් සිදු වන්නට යන්නේ නම් මේ නීති නිලධාරීන් යා යුත්තේ අධිකරණයටය. දැන් ඒ වෙනුවට ඔවුන් තමන් නිදහස් කර දෙන ලෙස නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිති.

මේතරම් ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් තමන් බේරා දෙන ලෙස ඉදිරිපත් කරන ලද තර්ක දෙස බැලූ විට ලංකාවේ පොලිසිය ගැන අනේ අපොයි නොකිය වුනොත් පුදුමය.

දේවස්ථානයනට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්නට යන්නේ යැයි ඔවුනට බුද්ධි අංශ ප්‍රධානියා කීවාට පියවර  ගැනීමට ඔවුන් දැන සිට නැත. මන්ද යත් කළ යුත්තේ කුමක්දැයි රජය නොකී නිසාය.මේ නිලධරයන් සුදුසු වන්නේ නියෝජ්‍ය පොලිස්පති ධූරයටද නැත්නම් මහදැනමුත්තාගේ ගෝලබාලයින් වීමටදැයි කල්පනා කර බලන්න.

මේ බලන්න. ( ඇද සහ කලු අකුරෙන් ඇත්තේ එම නිලධාරීන්ගේ ප්‍රකාශයෙන් උපුටා ගක් කොටස්ය)

“යහ පාලන රජය පත්කළ කොමිෂන් සභාව දුන් අසධාරණ තීන්දුව නිසා හෙට දවසේ අපිට එල්ලුම් ගහ නැත්නම් හිර ගෙදර තපින්න වෙනවා. එහෙම නැත්නම් රැකියාව අහිමිව වෙනත් රැකියාවකටද යන්න නොහැකිව ගෙදර යන්න වෙනවා. එවැනි තත්ත්වයකට අපි පත්වෙලා. මේ දුක කියන්න කෙනෙක් නැහැ. මේවන විට කියන්න ඕන හැමෝටම කිව්වා.”

මෙතැන බොරු වැළකි.

මෙම කොමිසම පත් කළේ යහපාලන ආණ්ඩුව නොවේ. ජනාධිපති සිරිසේනය. දැන් ඔහු  රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කරුවෙකි.

කොමිෂන් සභාව නිර්දේශ කර ඇති චෝදනා යටතේ  මරණ දඩුවමක් ලැබෙන්නේ නැත.

හැමෝටම කිව්වා නම් ජනාධිපති රාජපක්ෂටත් කියා තිබිය යුතුය. එවැනි සිදුවීමක් වාර්තා වී නැත.

“මේ ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදී පිරිසක්. ප්‍රහාරයට ලක්වුණේ කතෝලික, බෞද්ධ,මුස්ලිම් හින්දු අයයි. නමුත් මේ සියලු දෙනා වෙනුවෙන් අද දඩුවම් විඳින්නේ සිංහල බෞද්ධ පොලිස් නිලධාරීන්. ඒක අසාධාරණයි. අපිට විරුද්ධව විනය පරීක්ෂණ එපා. අධිකරණයේ නඩු පවරන්න එපා. පොලීසිය අකර්මණ්‍යය කරන්න එපා කියලයි ඉල්ලා සිටන්නේ.

සිංහල බෞද්ධ බොරුව

සියලු දෙනා වෙනුවෙන් අද දඩුවම් ලබන්නේ සිංහල බෞද්ධ නිලධාරීන් යනු අමූලික බොරුවකි. දැනටමත් මුස්ලිම් ජාතියින් ගණනාවකටම මෙරටදීත් එතෙරදීත් චෝදනා බාර දී තිබේ.

මෙම පොලිස් නිිලධාරීන්ට චෝදනා එල්ල වී ඇත්තේ ඔවුන් බෞද්ධ නිසා නොවේ. රාජකාරිය පැහැර හැරීම නිසාය.

අධිකරණයේ නඩු පැවරීම හෝ නොපැවරීම බෞද්ධ නා හිමි වරුන්ට තීරණය කළ හැකි නම් නීතිපති දෙපාර්ථමේන්තුවක් අවශ්‍ය නැත. ආගමික නායකයින් දඩුවම් දීම නොදීම තීරණය කරන්නේ මූලධර්මවාදී රාජ්‍යයන් ඇති ඉරානය වැනි රටවලය.

මෙම ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් නීතිය ගැන දන්නේ මෙහෙමද?

”තිස් අවුරුදු යුද්ධය නිමා කරන්න කැපකිරීම් කළ  විශාල පිරිසකට මේ කොමිෂම මගින් අසාධාණයක් සිදුව තිබෙනවා. මේ අයගේ විශ්‍රාම දිවියට පවා ගැටලුවක් වෙලා.”

තිස් අවුරුදු යුද්ධයට සහාය වීම ඹ්නෑම වරදක් කර නිදහස් වීමට කඩතුරාවක් නොවේ.

”අවුරුදු 30 ක් මේ රටේ යුද්ධයේදී රාජකාරී කරලා ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරලා ජීවිතය බේරගෙන අද දක්වා රාජකාරී කරන කණ්ඩායමක් අපි. අද මෙතන්ට ආවේ 2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය දවසේ රාජකාරී කරලා ඒ රාජකාරී කරපු එක වරදක් බවට පත්ව එල්ලුම් ගහ හරි මහ උළු ගෙදර හරි නැත්නම් රැකියාව නැතිවෙලා ගෙදර යන්න හරි වෙන එක වලක්වා ගන්නයි.”

තවත් අමූලික බොරුවකි.

මෙම පොලිස් නිලධාරීන්ට චෝදනා එල්ල වන්නේ එදින රාජකාරි කළ නිසා නොවේ. මෙැවැනි ප්‍රහාරයක් සිදුවන්නට යන බවට නිශ්චිත තොරතුරත් ලැබී තිබියදී එය වැළැක්වීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසාය.

දේශබන්දු තෙන්නකෝන් එකළ සිටියේ මීගමුව බාරවය. ඔහු ප්‍රහාර වැළික්වීමට කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත.

“දළදා වහන්සේට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවිත නැතිවුණා. ජයසිරි මහ බෝ හාමුදුරුවන්ට ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ ජීවත නැති වුණා. ලෝකයේ අනන්තවත් මේ වගේ ප්‍රහාර වලින් ජීවිත නැති වෙනවා. හැබැයි ලෝකයේ කිසිම තැනක එදා දවසේ රාජකාරී කළ නිලධාරීන්ට විරුද්ධව මේ වගේ තීන්දුවක් අරන් නැහැ”.

තවත් බොරුවකි.

මේ කියන කිසිදු ප්‍රහාරයක් සම්බන්ධයෙන් පාස්කු ඉරුදින ප්‍රහාරයේදී මෙන් කිසිදු නිශ්චිත තොරතුරක් ලැබී තිබුණේ නැත.

“යහපාලන රජය ජනපති කොමිෂන් සභාවක් පත්කරලා වගකීමෙන් නිදහස් වෙන්න අපිව වැරදි කාරයෝ කරන්න හදනවා.”

බළලා මල්ලෙන් එළියට පනින්නේ මෙහිදීය. පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට වගකීව යුතු වන්නේ යහපාලන ආණ්ඩුවය. මේ නියෝජ්‍ය පොලිස්පතිවරු මෙම නිගමනයට එළඹුනේ කෙසේද? නැත්නම් නියම මහ මොළකරු බේරා ගැනීමේ ප්‍රයත්නයක්ද?

“ ඒ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගතයුතු නිශ්චිත ක්‍රියාමාර්ග පිළිබඳව එවකට පැවති රජය හෝ ආරක්ෂක අමාත්‍යාංශය හෝ පැහැදිලි උපදෙසක් පොලිස් නිලධාරීන්ට ලබාදී තිබුණේ නැහැ.

 මහදැන මුත්තා මතක් වෙන කතාවකි. කිව්වේ නැති නිසා කරේ නැත.

මේ වනාහී නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙකු ඇතුලු ඉහළම පෙලේ පොලිස් නිලධාරීන්ගේ දුක හිතෙන තත්වයයි.

දේවස්ථානයනට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන්නට යන්නේ යැයි ඔවුනට බුද්ධි අංශ ප්‍රධානියා කීවාට පියවරක්  ගැනීමට ඔවුන් දැන සිට නැත. මන්ද යත් කළ යුත්තේ කුමක්දැයි රජය නොකී නිසාය.

මේ නිලධරයන් සුදුසු වන්නේ නියෝජ්‍ය පොලිස්පති ධූරයටද නැත්නම් මහදැනමුත්තාගේ ගෝලබාලයින් වීමටදැයි කල්පනා කර බලන්න.

 

මේ උසස් නිලධාරීන් ජනාධිපති කොමිසමෙහි නිර්දේශයන්ට විරුද්ධව පියවර ගන්නැයි බෞද්ධ මහ නාහිමිවරු හමුවන්නට ගියේ, එම කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන සේ ඉල්ලා අනිද්දා, එනම් 21 දා රටපුරා කලු කොඩි ඔසවන්නැයි මෙරට කතෝලික සභාව සහ ප්‍රජාව ඉල්ලා ඇති තත්වයක් යටතේය.

මෙම ඉහළ පෙලේ පොලිස් නිලධාරීන් කියා සිටින්නේ සහමුලින්ම  එම ඉල්ලීමට විරුද්ධ දෙයකි. එනම්  කොමිෂන් සභාවේ නිර්දේශ බල රහිත කරන ලෙසයි. මෙය එක්තරා අන්දමකට ආගමික විරසකයක් ඇති කළ හැකි භයානක ප්‍රයත්නයකි.

බස්නාහිර පලාත බාර නි.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්

ඔවුන් නීති නිලධාරීන් නම් යා යුතු වූයේ අධිකරණයටය. එහි නොගොස් යුද්ධයට සහ බෞද්ධකමට මුවා වී එම නිර්දේශ අහෝසි කරන සේ නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටීම මෙරට පොලිස් සේවයටම කරනු ලබන නින්දාවකි.

මෙම දේශපාලන ක්‍රීඩාවකි. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සැළකෙන්නේ පොලිස් ඇමැති සරත් වීරසේකරගේ සමීපතමයකු ලෙසය. දේශබන්දු වීරසේකරට නොකියා මෙැවැනි පියවරකට මූලිකත්වය ගනු ඇතැයි සිතීම උගහටය.

පොලිස් ප්‍රධානීන්ගේ උදෟත සහ ඉහත ජායාරූපය ද ලීඩර් අඩවියෙනි.

Archive

Latest news

Related news