Thursday, April 25, 2024

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න

 

2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි බාල වයස්කාර දැරියක් වූ හැටන්, දියගම පදිංචි ජූඩ් කුමාර් ඉශාලිනී මෙනවිය පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. 15 වන දා දැඩි සත්කාර ඒකක අංක 2 හි 73 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඇයගේ තුවාල හේතුවෙන් ඇය මිය ගියාය.

ඉන්පසුව, අංක B/52944/2/21 දරණ ඇයගේ නඩුව අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍ර සූරියා මියගිය දැරියගේ දේහය නිරීක්ෂණයට කොළඹ ජාතික රෝහලට පැමිණි අතර, පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන ලදි. දිගුකාලයක් පුරා ඇය ලිංගිකව අපයෝජනයට ලක් වී ඇති බව මාධ්‍යන් හි වාර්තා විය.

ඉශාලිනී 2004 දෙසැම්බර් 11 වන දින හැටන්, දියගම දී උපත ලැබීය. ඇය ගෘහ සේවිකාවක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිව‍සේ සේවයට පැමිණෙන විට ඇයගේ වයස අවුරුදු 15 ක් සහ මාස 11 ක් පමණි. ඇයගේ මරණය අවස්ථාවේ දී ඉශාලිනීගේ වයස අවුරුදු 16 ක් සහ මාස 8 ක් පමණක් විය. ඇයගේ සේවා කාලය තුළ දී, ඇයට ඇයගේ පවුල සමඟ කිහිපවතාවක් පමණක් දුරකථනයෙන් සන්නිවේදනය කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඇයට ඇගේ පවුලේ අය බැලීමට යාමට අවසර ලබා දී නොතිබුණි. වසරකට ආසන්න කාලයක් ඇගේ පවුලේ සාමාජිකයන් නොදැකම ඇය මිය ගියාය.

ශ්‍රී ලංකාව තුළ සෑම දරුවෙකුටම වයස අවුරුදු 16 වන තෙක් අධ්‍යාපනය අනිවාර්ය වේ. ළමා පරිවාස නිලධාරී, ළමා ආරක්ෂණ නිලධාරී සහ කාන්තා සංවර්ධන නිලධාරී ආදී වශයෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුයුක්ත නිලධාරීන් සිටින අතර, ඔවුන්ගේ කාර්යය වන්නේ ළමයින් අධ්‍යාපනය ලබන බවටත්, දරුවන් වයස 16 ට පෙර පාසල් හැර නොයන බවටත් වග බලා ගැනීමයි. ඉෂාලිනී වැනි දරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අධ්‍යාපනයට සහය වීම වෙනුවෙන් ප්‍රජාව තුළ වැඩ කිරීම සඳහා මෙම නිලධාරීන්ට බලය පවරා තිබේ. එබැවින් මේ නඩුව මගින් මේ රටේ ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ව්‍යූහාත්මක  වශයෙන් අසමත් වීමේ තවත් අඳුරු පැත්තක් නිරාවරණය කරයි. දශක ගණනාවක් පුරා සිදුවන කඳුරට දරුවන් මෙරට බලහත්කාරී ශ්‍රමය සඳහා යොදාගැනීම අලුත් දෙයක් නොවේ. මෙම කෘරත්වය හෙළිදරව් කරනු ලැබ ඇත්තේ ඉතාම කලාතුරකිනි. එසේම, බාලවයස්කාර ගැහැණු දරුවන් ගෘහ සේවිකාවන් ලෙස විකිණීම පමණක් නොව මෙම වසංගත සමය තුළ ලිංගිකව අපයෝජනයට ලක්වීම හා අමානුෂිකව සැළකීම ඉහළ නැගීමේ ප්‍රවණතාවයක් ඇති බව කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් විසින් නිරීක්ෂණය කර තිබේ.

1956 අංක 47 දරණ කාන්තාවන්, තරුණ අය හා ළමුන් රැකියාවේ යෙදවීමේ පනත අනුව ශ්‍රී ලංකාවේ වයස 16 – 18 අතර දරුවන් පොදු යහපතක් සඳහා සේවයේ යෙදවිය හැකිය. නමුත් වයස 16 – 18 අතර දරුවන් සේවයේ යෙදවීමට පෙර හේතුව පිළිබඳව කම්කරු කොමසාරිස්වරයාව දැනුවත් කළ යුතුය. එසේම, දරුවා පාසැල් යැවීමෙන් වැළකෙන පරිදි කිසිවෙකුටවත් දරුවකු සේවයේ යෙදවිය නොහැකිය.

එබැවින් ඇයගේ අධ්‍යාපනය බිඳවැටෙන නිසා ගෘහ සේවිකාවක් ලෙස ඉශාලිනී රැකියාවක යෙදීම යෝග්‍ය නොවේ. එසේම, වින්දිත තැනැත්තිය යම් කාලයක් පුරා ලිංගිකව අපයෝජනයට ලක් වී ඇති බව ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ දැක්වේ. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ලිංගික සූරාකෑම වරදක්වන අතර, ලිංගිකව හිරිහැර කිරීම දඬුවම් ලැබිය හැකි අපරාධයකි.

මෙම සිදුවීම බාලවයස්කාර ගැහැණු දරුවකු රැකියාවේ යෙදවීම, අධ්‍යාපනය නැවැත්වීමට බලකිරීම සහ ලිංගික සූරාකෑම ආදී විවිධ බරපතල වැරදි හා සම්බන්ධවේ. එබැවින්, මරණය හා අනෙකුත් සම්බන්ධිත හිමිකම් උල්ලංඝණය කිරීම් සහ වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සම්බන්ධව පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණ සිදුකළ යුතුය. ඉෂාලිනී වෙනුවෙන් සාධාරණ නඩු විභාගයක් සහ යුක්තිය ඉටු කිරීම ඉෂාලිනීලා වැන්නවුන් බොහොමයකගේ අපයෝජනයට ලක්වීම් හා සූරාකෑම්වලට භාජනයවීම් අවසන් කරනු ඇතැයි අපේක්ෂා කරමු.

වර්තමානයේ කොරෝනා වසංගත තත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට ජීවනෝපාය අහිමිවීම ඇතුළු විවිධ ආර්ථික දුෂ්කරතා ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, ලිංගික අපයෝජනය සහ වඩාත් පොදුවේ කාන්තාවන්ට හා දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දෘශ්‍යමානවීම හා අති විශාල ලෙස වැඩිවීමක් දක්නට ලැබේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ පමණක් පසුගිය මාස හය තුළ ළමා ලිංගික අපයෝජන සිදුවීම් 16 ක් සහ දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් 63 ක් වාර්තා වී තිබේ.

ජූලි මාසයේ දී, මේ වන විට ඉශාලිනීගේ සිදුවීම ඇතුළුව දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩ සිදුවීම් 05 ක් වාර්තා වී තිබේ. එනම්:

  1. 15 හැවිදිරි දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික ජාවාරමට ලක්කිරීම පිළිබඳ බිහිසුණු අපරාධය.
  2. රටේ ව්‍යවස්ථාදායක ආයතනයේ නියෝජිතයෙකුගේ නිවසේ ගෘහ සේවිකාවක ලෙස සේවයේ යොදවා සිටි වයස අවුරුදු 16 ක දැරියක් පිළිස්සුම් තුවාල හේතුවෙන් මියයාම.
  3. වයස අවුරුදු 12 හා 14 වූ සහෝදරියන් දෙදෙනෙකු වයස අවුරුදු 36 ක් වූ ඔවුන්ගේ පියා විසින් ලිංගිකව අපයෝජනය කිරීම.
  4. වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු ඇයගේ පියා සහ තවත් අය විසින් වයස අවුරුදු 07 සිට ලිංගිකව අපයෝජනයට ලක් කිරීම.
  5. වයස අවුරුදු 13 ක ගැහැණු දරුවකු ලිංගිකව අපයෝජනය කිරීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශයේ භික්ෂුවක් (බෞද්ධ පන්සලක ප්‍රධාන භික්ෂුවක්) සහ පිරිමින් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබීම.

මේවා වාර්තාවී ඇති සිදුවීම් පමණක්වන අතර, රටේ ඇතිවීඇති කෝවිඩ් – 19 තත්වය නිසා මතුපිටට පෙනෙන විශාල අයිස් කුට්ටියක තුඩ පමණක් විය හැකිය. ළමා අපයෝජනය සහ සූරාකෑම පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් යුක්තිය සහතික කිරීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය සහ පොලිස් ළමා හා කාන්තා කාර්යංශය අපක්ෂපාතීව හා නිර්භයව කටයුතු කළ යුතුව තිබේ. සංචරණ සීමාවන් බලාත්මක වන කාල සීමාව තුළ ළමයින්ට එරෙහි හිංසනය උත්සන්නව තිබියදීත්, ඉහත කිසිදු ආයතනයකට ඔවුන්ගේ රාජකාරිය ඵලදායීව හා කාර්යක්ෂමව ඉටු කිරීමට නොහැකි වූ බව අවධාරණය කළ යුතුය.

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සමාජ ක්‍රියාකාරීන් වශයෙන් අප විසින් උත්සාහයන් කිහිපයක්ම ගෙන ඇති නමුත්, ඉහත ප්‍රකාශකළ ආයතන ඵලදායීව ප්‍රතිචාර දැක්වීමට අසමත් වී තිබේ. එබැවින්, එම ආයතනවල අකාර්යක්ෂමතාවය දරුවන්ට එරෙහි බරපතල උල්ලංඝණයන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බව පෙනේ. ඉෂාලිනීගේ ඛේදනීය මරණය ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුවවත්, මෙම ආයතන අවදි වී වින්දිතයින්ට සාධාරණය ඉටු කිරීම සඳහා ඔවුන්ගේ යුතුකම් ඵලදායී ලෙස ඉටු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඊට අමතරව, අදාල අමාත්‍යවරුන්වන අමාත්‍ය ජී. එල් පීරිස් සහ නීති පද්ධතියේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා කරන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ නීතිවල ප්‍රතිසංස්කරණයන් වඩාත් ඵලදායී ලෙස හඳුන්වා දීම සළකා බැලිය යුතුය.

දරුවන් සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා සහ වැරදිකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදීම සහතික කිරීම සඳහා ක්‍රියා පටිපාටි ස්ථාපිත කිරීම වෙනුවෙන් නීතිමය රාමුව තුළ ඵලදායී යාන්ත්‍රණයක් සකස් කළ යුතුය. රාජකාරිය පැහැර හරින නිලධාරීන්ව ද නීතිය ඉදිරියට ගෙන ආ යුතුය. සෑම දිස්ත්‍රික්කයකම වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ශක්තිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුය. නමුත් වඩාත්ම වැදගත් දෙය වන්නේ කඩිනම් ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීම මගින් ප්‍රමාදයකින් තොරව යුක්තිය සහතික කරන අතරතුර වින්දිතයාගේ අභිමානය මුළුමණින්ම ආරක්ෂා කිරීමයි. ශ්‍රී ලංකාවේ ළමා අපයෝජන සිදුවීම් සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අඩු කිරීම සහතික කිරීම සඳහා ඇති එකම මාර්ගය මෙයයි.

අනුමත කළේ:

Endorsed by:

  1. Women’s Action Network
  2. Suriya Women’s Development Center – Batticaloa,
  3. Mannar Women’s Development Federation,

4.Center for Human Rights and Development,

  1. Affected Women’s Forum- Ampara,
  2. Muslim Women Development Trust – Puttalam,
  3. Rainbow Pillars for Creativity,
  4. Women Aid Network- East
  5. Eastern Social Development Foundation,
  6. Institute of Social Development -Kandy
  7. Rural Development Foundation,
  8. Law and Human Right Center – Jaffna,
  9. Women Development Innovators,
  10. Third Eye Local Knowledge and Activists group
  11. Alliance for Minorities
  12. Human Elevation Organization- Ampara
  13. Viluthu Center for Human Resource Development
  14. National Christian Evangelical Alliance Sri Lanka,
  15. District Federation of Women Rural Development Societies (Jaffna,

Kilinochchi, Mullaitivu, Mannar, Puttalam, Batticaloa & Trincomalee)

  1. Amara District Forums Female Heads of Households (Jaffna,

Kilinochchi, Mullaitivu, Mannar, Puttalam, Batticaloa & Trincomalee)

  1. International Centre for Ethnic Studies
  2. National Peace Council
  3. Association of War Affected Women
  4. Sisters at Law

25 Stop Child Cruelty Trust (as organization)

  1. Sisterhood Initiative
  2. National Fisheries Solidarity Movement
  3. Hashtag Generation
  4. People’s Alliance for Right to Land
  5. Law and Society Trust
  6. Centre for Policy Alternatives

 

 

 

 

 

Archive

Latest news

Related news