Monday, May 6, 2024

සමාව දීමට දුමින්ද තෝරා ගත්තේ කුමන පදනමකින්ද? නීතිඥ සංගමය ජනපතිගෙන් අසයි

සිරගත කරන ලද පුද්ගලයින්ට සමාව දීමේ අයිතිය ජනාධිපතිවරයාට තිබෙන නමුත් එය සෑම විටම කළ යුත්තේ නීත්‍යනුකූල මිත හිතුමතයට නොවන බව පෙන්වා දෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමන්ට සහ මෙරට ජනතාවට මෙම සමාව දීම ගැන කරුණු පහදන ලෙස ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී.

නීතිමය ක්‍රියා පටිපාවිය අනුගමනය නොකර ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට සමාව දී ඇත්නම් එමගින්  නීතියේ ආධිපත්‍යය බිඳවැටීමටත්, යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වීමටත් බලපාන බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.

මරණ දඬුවම නියම වී ඇති වැරදිකරුවෙකුට ජනාධිපති සමාව ලබාදීමේදී අදාළ නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් වාර්තාවක් කැඳවිය යුතු බවත්, එම වාර්තාව උපදෙස් සඳහා නීතිපති වෙත යොමු කළ යුතු බවත් නීතිපතිවරයාගේ මතය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කළ යුතු බවත්, ඒවා සලකා බැලීමෙන් පසු අධිකරණ ඇමැතිවරයා ද ජනාධිපතිවරයා වෙත නිර්දේශයක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ සඳහන් ය.
එම වාර්තා විධිමත්ව කැඳවූයේ ද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බව ප්‍රකාශ කරන නීතිඥ සංගමය ජනාධිපතිවරයාගෙන් පහත දැක්වෙන් කරුණූ පැහැදිළි කරන සේ එය ඉල්ලා සිටී:
අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) යටතේ ජනාධිපති සමාව ලබාදීම සඳහා දුමින්ද සිල්වා තෝරාගත් පදනම.
(ආ) එම සමාව ලබාදීමේදී අවධානය යොමු කළ කරුණු.
(ඇ) අනෙකුත් මරණ දඬුවම නියම කර ඇති වරදකරුවන්ගෙන් දුමින්ද සිල්වා විශේෂිත වන ආකාරය.
(ඈ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර 34 (1) වගන්තියේ සඳහන් විධිවිධාන ප්‍රකාරව, නඩුව විභාග කළ විනිසුරුවරුන්ගෙන් ජනාධිපතිවරයා වාර්තාවක් කැඳවූයේද, එසේ නම් එම වාර්තාවේ අන්තර්ගතය කුමක්ද යන්න.
(ඉ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර නීතිපතිවරයාගේ මතය විමසා සිටියේද යන්න සහ එසේ විමසා සිටියේ නම් එම මතය කුමක්ද යන්න.
(ඊ) දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට පෙර අධිකරණ ඇමැතිවරයාගේ නිර්දේශය ලබාගෙන තිබේද යන්න සහ එසේ නම් එම නිර්දේශය කුමක්ද යන්න.
මේ බව දැක්වෙන්නේ අද දුමින්ද සිල්වාට සමාව දීමෙන් පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයකය.

මෙයට පෙරද මෙවැනි සමාවදීම් සිදුව ඇති බවද නීතිඥ සංගමය සඳහන් කරයි.

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන ස්ත්‍රී දුෂකයකු වූ ගෝනවල සුනිල්ට සමාව දුන් අතර මෛත්‍රීපාල සිරිසේනද රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ වරදකරු වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාන්නට සමාව දුන්නේද කිසිදු නීතිමය පරිපාටියකින් තොරවය. ඥණසාර හිමිට ලබා දුන් සමාවද එවැන්නකි.

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම එවකට අගවිනිසුරු ධුරය දැරූ ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  තහවුරු කරන ලදී.

ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද පළි ගැනීම් කොමිසමද මෙම තීන්දුව නැවත සළකා බලන සේ නිර්දේශ කර තිබුණි.

මිනීමැරුම කරන අවස්ථාවෙහි දුමින්ද සිල්වා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභයගේ විශේෂ උපදේශකයකුද විය. දෙදෙනා සමීප මිතුරන් වූ බවද එකළ වාර්තා වී තිබුණි.

දුම්න්ද සිල්වා සිර ගෙදරදී ද විශේෂ වරප්‍රසාද ලත් සිරකරුවකු වශයෙන් කාලය ගත කළේය.

(නිවේදනයෙහි සඳහන් යම් යම් කරුණූ පමණක් මිඩියාඩොට්එල්කේ අඩවිය ඇසුරිණි)

Archive

Latest news

Related news