කෝවිඩ් වසංගත තත්ත්වයත් සමග විවිධ පුද්ගලයන් විසින් පතුරුවන ලද මිත්‍යා මත විසින් ජනතාව මිත්‍ය මත කෙරෙහි නැඹුරු කරවන තත්ත්වයක් ඇති කරන ලදි. මේ බොහෝ අවස්ථාවන්හිදී ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන ලද්දේ එය තුළ ආගමික පසුබිමක් ඇති බවකි. ආගමික මිත්‍ය මත ද පැතිරවීමක් සිදුවිය. මේ නිසාම ජනතාව ඒ කෙරෙහි නැඹුරුව පසුව ඒ තුළින් විශාල හානියක් ජනතාවට සිදුවිය. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහය ද, පාර්ලිමේන්තුව නියෝජනය කරන සමහර ජනතා නියෝජිතයන් ගේ සහය ද හිමිවිය. පසුව පසක් වූයේ ඒ සියල්ල තුළ ඇති නිරර්ථක බවයි.
පසුගිය දිනෙක කෝවිඩ් වසංගතයට මුහුණදීම සඳහා බෞද්ධ ඉගැන්වීම් ගැන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් අදහස් දැක්වීමක් සිදුකර තිබිණි. එම බෞද්ධ ධර්මික අදහස් වල කාලීන බව සලකා මේ වෙසක් සමයේ ජනතා දැනුවත් කිරීම සඳහා මෙසේ පළ කරමු.
’කෝවිඩ් වසංගත තත්ත්වයකට මුළු ලංකාවම මුහුණ දී තියෙන මොහොතක්. මේ වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීමෙන්, මේකට තියෙන උත්තරය මොකක්ද කියලා ඇහුවොත් බොහෝ දෙනා හිතන්න පුළුවන් පිරිත් කියන එක, පිරිත් නූල් බඳින එක, පිරිත් පැන් ගංගාවල පා කරන එක, නොයෙක් පුද පූජා කරන එක තමයි බුදු හාමුදුරුවන්ගේ පණිවිඩය ලබා ගන්න පුළුවන් උත්තරය කියලා. නැහැ. මේවා ඔක්කෝම සංස්කෘතිය විසින් ගොඩනගන ලද උත්තර. ඕනෑම සමාජයක, සංස්කෘතික වශයෙන් ගොඩනැගුණු උත්තර තියෙනවා. මෙය පැහැදිලිව අපි වෙන්කොට හඳුනාගන්න ඕනා. බුදු හාමුදුරුවෝ තමන්ගේ පණිවිඩය කියා දුන්නේ මනුෂ්‍ය වර්ගයාට. මනුෂ්‍ය වර්ගයා යනු මුළු ලෝකයේම වසන පොදු මනුෂ්‍ය වර්ගයා.
සංස්කෘතික සීමාවන් නොමැතිව සියලු ලෝක වාසීන්ට භාවිතා කරන්න පුළුවන් බුදුහාමුදුරුවන් දෙසා වදාළ පිළිතුර කුමක්ද?
ඒ තමයි අප හැම ඉරියව්වක්ම පවත්වන මොහොතකදීම අවදි සිහියෙන් යුක්තව කටයුතු කිරීම. සතිපට්ඨාන සූත්‍රයේ මේක හොඳට විස්තර වෙනවා මේ ගැන. අපි හිටගෙන, ඇවිදින, ඉඳගෙන, වැතිරී සිටීම වැනි හතර ඉරියව්වේදීම අවදි සිහියෙන් කටයුතු කිරීම, යොනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම. එතකොට මෙය පුහුණු කරන අභ්‍යාස බුදුහාමුදුරුවෝ කියා දී තිබෙනවා. එකක් තමයි හුස්ම ගැන අවධානයෙන් යුත්තව ආනා,පානා සතිය වැඩීම. අපි හුස්මක් ගන්නකොට, අපි හුස්මක් ගන්නවා කියන ඒ අවබෝධයෙන් ගැනීම. හුස්ම පිට කරන විට ඒ අවබෝධයෙන් පිට කිරීම. එතකොට අපි මේ ආකාරයෙන් පුහුණු කරනවා මේ මොහොතේ ජීවත්වීම. කායානුපස්සනාවේ දී අපි කායිකව කරන හැම දෙයක් ගැනම අවදි සිහියෙන් සිටීම.
යමක් අල්ලන විට මම යමක් අල්ලනවා කියන එක මම දැනගෙන ඉන්න ඕන. දැන් මම අත් සෝදන්න ඕන කියන දැනුම. මම දැන් යමක් ඇල්ලුවා, දැන් මගේ අත මුහුණ වෙත යනවා මම දැන් මුහුණ ඇල්ලුවොත් මේ අතේ තැවරුණු වෛරසය මට ඇතුළත් වෙන්න පුළුවන් කියන අවදි සිහිය. ඒ කියන්නේ මම අත්සෝදන්න ඕනෑ. අතින් මුහුණ කට අල්ලන එකෙන් වැලකින එක. ඊළගට අපි ගනුදෙනුවක් කා එක්ක හරි කලෝතින් එතකොට මම දන්නවා, මේ දුන්නු දේ මම ඇල්ලුුවා. එතකොට වෛරසය එන්න පුළුවන්. අවදි සිහියෙන් නම් ඉන්නේ අපිට පුළුවන් පාලනය කරගන්න. කෙනෙක්ට ලංවෙන කොට මම දන්නවා මම මීටරයක් දුරින් ඉන්න ඕනෑ කියන එක අවදි සිහියෙන් නම් අපි දන්නවා. අපි සීමාව ඉක්මවා ලංවෙනවා කියන එක.
අපි මොන දේ කතා කළත්, සිත්ගන්නා සුළු විහිළු මොනවා කතා කළත් අවදි සිහිය අප තුළ තියෙනවා නම් අපි දන්නවා අපි සීමාව ඉක්මවා ලංවුනා කියන එක. මෙන්න මේ ටික මනුෂ්‍ය වර්ගයා අතරේ පුහුණුවක් බවට පත් වෙනවා නම් අපට මේ වෛරසයෙන් ගැලවෙන්න පුළුවන්.
වෛද්‍ය උපදේස මත එන ඒ දැනුම අපට අවදි සිහියෙන් සිටීම පුහුණු කරගත් තත්ත්වයක දී අපි නොවරදවා කරන්න පුළුවන්. හොඳින් තේරුම් ගන්න, අප සියළු දෙනා අප අතට වගකීම ගැනීමෙන් මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් විනා කිසිම බාහිර බලවේගයකට උත්තරයක් දෙන්න පුළුවන් එකක් නෙමෙයි. මේකේ වගකීම තියෙන්නේ අපි අතෙයි. මේ වගකීම අපි අපේ අතට ගන්න ඕනා.
මේ පණිවිඩය හැකි තරම් බෙදා හරින්න.
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි. විධායක අධ්‍යක්ෂ වල්පොල රාහුල ආයතනය, ජේෂ්ඨ කතිකාචාර්ය කැළණිය විශ්ව විද්‍යාලය
සටහන
සුදේශ් ද සිල්වා