Monday, May 20, 2024

පාසල් නැවත ආරම්භ කිරීමේ රජයේ තීරණය අත්තනෝමතිකයි – ලංකා ගුරු සංගමය

2020 නොවැම්බර් 23 දින තෙවන පාසල් වාරය සඳහා බස්නාහිර පළාත සහ හුදකලා කළ ප‍්‍රදේශ හැර පාසල්වල 6-13 ශ්‍රේණි ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. රජය මෙම තීරණය ගෙන ඇත්තේ කෝවිඞ් 19 වසංගත තත්වය තීව‍්‍ර වී තිබෙන තත්වයක් තුළය. පාසල් කටයුතු සඳහා ඍජුවම දායක වන ගුරු විදුහල්පතිවරු හෝ ඔවුන් නියෝජනය කරන වෘත්තීය සමිතිවල අදහස් විමසීමක් සිදු නොකර, කිසිදු විධිමත් වැඩපිළිවෙලකින් ද තොරව ආණ්ඩුව අත්තනෝමතික ලෙස පාසල් ආරම්භ කිරීමේ තීරණය ගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා 2020.11.20 පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමේ තීරණය ගනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ විදුහල්පතිවරු හා ගුරුවරු ඇතුළු සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීමෙන් පසු බවයි. එහෙත් එවැනි අදහස් විමසීමක් සිදු කර නැති බව පැහැදිලි වන්නේ මේ වන විට වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලූරේ මහතා වයඹ පළාත තුළ නගර සීමාවල හා නම් කරන ලද පාසල් කිහිපයක් ආරම්භ නොකිරීමට තීරණය කර තිබෙන තත්වය තුළය.

එසේම සමහර පාසල් විසින් මේ වන විට තීරණය කර ඇත්තේ එම පාසල්වල 6-11 ශ්‍රේණිවල සියලූ පන්ති නොපැවැත් වීමටය. එසේම සබරගමුව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පවතින තත්වයට අදාළව ලිඛිතව ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන් ද සැලකිල්ලක් දක්වා නැති බව පැහැදිලි වේ. අධ්‍යාපන අමාත්‍යවරයා පවසන ආකාරයට සියලූ පාර්ශව සමග සාකච්ඡා කර පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කළා නම් මේ ආකාරයට විවිධ පාර්ශව විවිධ තීරණ ගැනීමට ඉඩක් නැත. මේ තත්වය තුළ තහවුරු වන්නේ පාසල් ආරම්භ කිරීමේ තීරණය අත්තනෝමතිකව ගත් තීරණයක් බවයි.

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් 2020.11.19 දිනැතිව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් උපදෙස් ලිපියක් නිකුත් කරන ලදී. එම උපදෙස් ලිපිය අනුව පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, ග‍්‍රාම නිලධාරී, පොලීසිය, ප‍්‍රාදේශීය ප‍්‍රවාහන අධිකාරියේ නියෝජිතයෙක් යන පිරිස් ඇතුළත් කමිටුවක් විසින් පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත තත්වය සම්බන්ධයෙන් තීරණ ගත යුතුය.

එහෙත් 19 වන දා නිකුත් වූ මෙම උපදෙස් අනුව 23 දින පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ නොහැකි බව ඉතා පැහැදිලිය. එසේම අදාළ ලිපිය මගින් පන්තියක සිසුන් 15 බැගින් කොටස් කර සතියක් ඇර සතියක් පාසල්ට ගෙන්විය යුතු බව දක්වා ඇත. එහෙත් 23 දින පාසල් පැමිණෙන්නේ කුමන සිසුන් කණ්ඩායමක් ද යන්න තීරණය කිරීමට නොහැකිය. එසේම ඒ ආකාරයෙන් පාසලට සිසුන් කැඳවීම කිසිසේත් ප‍්‍රායෝගික නොවන තත්වයකි. අධ්‍යාපන ලේකම්වරයාගේ ඉහත ලිපියේ සඳහන් කර ඇත්තේ සියලූම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා උපදෙස් මාලාවක් කඩිනමින් නිකුත් කරන බවයි. එහෙත් එම උපදෙස් මාලාව ද මේ දක්වා නිකුත් වී නැත.

එසේම අධ්‍යාපන අමාත්‍යාංශය තම වගකීමෙන් මගහැර පාසල්වලට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල කැඳවීම සහ පාසල් පවත්වා ගැනීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට ඉහත ලිපිය මගින් බලය පවරා ඇති අතර, ප‍්‍රාථමික ශ්‍රේණි පමණක් පවතින පාසල් සහ 1-5 ශ්‍රේණි ගුරුවරු සම්බන්ධයෙන් කිසිදු සඳහන් කිරීමක් සිදු කර නැත. එසේම හුදකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත් වන වෙනත් ප‍්‍රදේශවල පාසල්වල සේවය කරන ගුරුවරුගේ පැමිණීම හා නිවාඩු සම්බන්ධයෙන් ද කිසිදු සඳහන් කිරීමක් නැත.

දෙවන පාසල් වාරය සඳහා පාසල් නිවාඩු ලබාදෙන ලද්දේ කෝවිඞ් 19 වසංගත තත්වය නැවත පැතිරීම ආරම්භ වීමත් සමග 2020 ඔක්තෝම්බර් 05 දිනය. එදින සිට මේ දක්වා කාලය තුළ අධ්‍යාපන අමාත්‍යාංශයට පාසල් නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විධිමත් සැලසුමක් සකස් කළ හැකිව තිබිණි. එහෙත් අමාත්‍යාංශය විසින් ඒ සඳහා කිසිදු කි‍්‍රයාමාර්ගයක් නොගෙන හිටි අඩියේ පාසල් නොවැම්බර් 23 ආරම්භ කිරීමට තීරණය කිරීම කනගාටුදායක තත්වයකි.

මේ තත්වය තුළ දරුවන්ට පාසල තුළින් කෝවිඞ් 19 ආසාදනය වීමේ අවදානමක් නොමැති බවට තහවුරු කෙරෙන විධිමත් වැඩපිළිවෙලක් සහිතව පාසල් සුරක්ෂිත කර ප‍්‍රථමයෙන් 11, 12, 13 ශ්‍රේණි පමණක් ආරම්භ කර සෞඛ්‍ය උපදෙස් අනුව පාසල් පවත්වාගෙන යා යුතු බවත්, සතියක් තුළ පවතින තත්වය සලකා බලා ඉදිරි තීරණ ගත යුතු බවත් ලංකා ගුරු සංගමය ප‍්‍රකාශ කර සිටී.

මේ වන විට කලාප අධ්‍යාපන කාර්යාල තුළට කෝවිඞ් 19 පැමිණේ යයි යන බිය නිසා ගුරුවරු සහ විදුහල්පතිවරු කලාප අධ්‍යාපන කාර්යාලවලට පැමිණීම වලක්වා ඇත. එහෙත් ගුරුවරු විදුහල්පතිවරු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉටු කිරීමට පසුබට නොවන අතර, කෝඩිඞ් 19 තත්වය තුළ නිසි සෞඛ්‍යාරක්ෂක පහසුකම් ද රහිතව මෙවර උසස් පෙළ විභාගයේ දී කටයුතු කළ බව සිහිපත් කරමු. එහෙත් පවතින තත්වය තුළ පාසල් ආරම්භ කිරීමට පෙර නිසි සෞඛ්‍ය ආරක්ෂක ක‍්‍රමවේදයක් සකස් කිරීම සහ ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබාදීම සිදු කළ යුතු බව වැඩිදුරටත් අවධාරණය කර සිටිමු.
මෙයට,

ජෝසප් ස්ටාලින්
ප‍්‍රධාන ලේකම්

Archive

Latest news

Related news