කොවිඩ් 19 අවදානම හමුවේ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සෝදිසි කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ අංශ සහ පොලිසිය ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුම් දියත් කර ඇත්තේ ප්‍රංශ අධිකරණයක් විසින් එය පුද්ගලිකත්වයට ගරු කිරීමේ අයිතියට එරෙහි නීති විරෝධී ප්‍රහාරයක් ලෙස සලකා තහනම් කරනු ලැබීමෙන් පසුය.
නිරෝධායන නීති උල්ලංඝණය කරන්නන් හඳුනා ගැනීම සඳහා යයි පවසමින් නොවැම්බර් 12 සිකුරාදා සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ශ්‍රී ලංකා පොලීසියද ඩ්‍රෝන යොදා ගැනීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවද එදිනම නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුවක් ස්ථාපිත කළ බව යුද හමුදාව නිවේදනය කර තිබේ.
ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර තිබුනු පරිදි ඩ්‍රෝන මෙහෙයුම් සිදු කෙරෙන්නේ “හමුදා සහ හමුදා නොවන අවස්ථාවන් නිරීක්‍ෂණය කිරීමේ” අරමුණින් යුතුවය.
සංවේදී තොරතුරු එක්රැස් කිරීම සදහා ඩ්‍රෝන භාවිතයට ගන්නා බව යුද හමුදා නිවේදනය වැඩි දුරටත් තහවුරු කර ඇත.
“ජාතික ආරක්‍ෂක අවශ්‍යතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ග 2020-2025’ ට අනුකූලව සකස් කරමින් නව තාක්ෂණික අභියෝග සහ තර්ජන හමුවේ යුද්ධ හමුදාව සූදානම් කිරීම සඳහා මෙම සුවිශේෂී රෙජිමේන්තුව රාජකාරිවල යෙදීමෙන් “සංවේදී තොරතුරු” එක්රැස් කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.”
ඩ්‍රෝන යානා උපයෝගි කරගනිමින් සිදු කළ පළමු මෙහෙයුමේදීම නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාධ්‍යවේදීන්ට පවසා තිබුනි.
ජන ජීවිත වලට ඇඟිලි ගැසීම
“ලොක්ඩවුන්” නීතිවලට ජනතාව ගරු කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා පොලිසිය විසින් ඩ්‍රෝන යානා භාවිත කිරීම වහාම නතර කළ යුතු බවට ප්‍රංශයේ ඉහළම පරිපාලන අධිකරණය විසින් පසුගිය මැයි මාසයේදී නියෝග කර තිබුනේ එය පෞද්ගලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයි තීන්දු කරමිනි.
වසංගත තත්වය හමුවේ සමාජ දුරස්ථ භාවය පිලිබද උපදෙස් උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ප්‍රංශය මාර්තු මුලදී කැමරා සහිත ඩ්‍රෝන යානා යොදා ගෙන තිබුනි.
එයට විරුද්ධව මානව හිමිකම් සංවිධාන විසින් දක්වන ලද කරුණු පිළිගත් අධිකරණය විසින් ගුවන් ඔත්තු බැලීම වළක්වමින් තීන්දුවක් ලබා දී තිබේ.
ඩ්‍රෝන යානා මිනිසුන් හඳුනා ගැනීම සඳහා භාවිතා නොකරන අතර, හුදෙක් අගුලු දැමීම බලාත්මක කිරීම සහ විශාල ජන සමූහයක් විසුරුවා හැරීම සඳහා මහජන රැස්වීම් හඳුනා ගැනීමට පමණක් යොදා ගන්නා බව එහිදී ප්‍රංශ රජය අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ඩ්‍රෝන කැමරාවෙන් ලැබෙන රූප ඒ වේලාවට විධාන මධ්‍යස්ථානයට සම්ප්‍රේෂණය කරන ලද අතර, එමඟින් ඩ්‍රෝන ශබ්ද විකාශන යන්ත්‍රය හරහා අදාල ස්ථානයේ සිටින පුද්ගලයන්ට පණිවිඩ විකාශනය කිරීම වැනි තීරණ ගැනීමට ඔවුන්ට හැකියාව තිබු බව පොලීසිය විසින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ.
පුද්ගලික ජීවිතයට ගරු කිරීමේ අයිතියට එරෙහි නීති විරෝධී ප්‍රහාරයක්
එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රංශ අධිකරණය සඳහන් කර ඇත්තේ ඩ්‍රෝන යානා වලට ලං කර බැලීමේ හැකියාව (zoom) ඇති අතර අවශ්‍යතාවය ඇති වුවහොත් මීටර 80 ට වඩා අඩු උසක් පියාසර කළ හැකි බැවින් මිනිසුන්ගේ පුද්ගලික දත්ත රැස් කිරීම වැළැක්වීමට තාක්ෂණික ක්‍රමයක් නොමැති බවයි.
බලධාරීන් විසින් පුද්ගලික දත්ත පරිහරණය සම්බන්ධයෙන් 2016 අප්‍රේල් යුරෝපා සංගම් නියෝගය මත පදනම් වෙමින්, මෙම ක්‍රියාවලියේ කොටසක් ලෙස එකතු කරන ලද දත්ත – පුද්ගලික දත්ත යැයි සැලකිය යුතු බවට අධිකරණය තීන්දු කර තිබේ.
එබැවින් “දත්ත සුරැකීමේ ජාතික කොමිෂන් සභාවේ (31 වන වගන්තිය අනුව) තර්කානුකූල හා ප්‍රසිද්ධ කරන ලද මතයට අනුව”, දත්ත ආරක්ෂණ පනත යටතේ, නිසි ඇමතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ නියෝගයකින් පසුව පමණක් මෙසේ දත්ත පරිහරණය කිරීමට බලය පැවරිය හැකි බව අධිකරණය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
එසේ දත්ත පරිහරණය කිරීමට රජයට බලය පවරන රෙගුලාසියක් නොමැති අවස්ථාවකදී, රජය වෙනුවෙන් එවැනි දත්ත සැකසීම සිදු කිරීම “පුද්ගලික ජීවිතයට ගරු කිරීමේ අයිතියට එරෙහි නීති විරෝධී ප්‍රහාරයක්” ස්ථාපිත කරන බව ප්‍රංශ අධිකරණය එහිදී තීන්දු කර තිබේ.
ලංකාවේ ඩ්‍රෝන් වල නයිට් විෂන්
වසංගත අවදානමට මුහුණ පා සිටින ලක්වාසීන්ට හිඟ වී පවතින PCR යන්ත්‍ර හා ඇඳන් ඇතුළු ආම්පන්න සඳහා වියදම් කරනු වෙනුවට අධි තාක්ෂණික ඔත්තු බැලීමේ ගුවන් කැමරා වලට මුදල් යෙදවීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් වී තිබුණි.
කොරෝනා මැඩීමට යැයි පවසමින් ඩ්‍රෝන යොදා ගැනීම පෞද්ගලිකත්වය, ආචාර ධර්ම, දත්ත රඳවා තබා ගැනීම සහ අදාල නීතිමය රාමුව ඇතුළු ගැටළු රාශියක් මතු කරන බව නවසීලන්තයේ ඔටාගා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක සංජන හත්තොටුව අවධාරණය කරයි.
මාධ්‍යකරණයේදී ඩ්‍රෝන භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අන්‍රග්‍රහය යටතේම ගුරු හරුකම් දී ඇති සංජන හත්තොටුව, පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විනාශනය වු වීඩියෝ දර්ශනයක් උපුටා දක්වමින් ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී ඇත්තේ හමුදාව විසින් තාප සංවේදන සහිත රාත්‍රී දර්ශන හැකියාවන්ගෙන් යුක්ත, සෙන්මුස් එච් 20 (Zenmuse H20) වර්ගයේ කැමරා මෙම ඩ්‍රෝන යොදා රූගත කිරීම් සඳහා යොදාගෙන ඇති බවයි.
ඔස්ට්‍රේලියාවේ මධ්‍යම ක්වීන්ස්ලන්ඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පර්යේෂණ වල නිරතව සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අමන්ත පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාව චීනයේ ආදර්ශය අනුගමනය කරමින් සිටින බවයි.
“පොලිස් අගුලු දැමීම බලාත්මක කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව චීනයේ ආදර්ශය අනුගමනය කරමින් සිටී,” යි ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට ඩ්‍රෝන කැමරා ශිල්පය හඳුන්වා දීමේ පුරෝගාමියකු වූ අමන්ත සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පවසා සිටී.
මෙම පූර්වාදර්ශය විසින් පෞද්ගලිකත්වය, දත්ත සුරැකීම, ආචාර ධර්ම පිළිබඳ සැලකිලිමත් වීම වැනි කාරණා සම්බන්ධයෙන් යහපත් බලපෑමක් කර නොමැති බවට ඔහු අනතුරු අඟවා තිබේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා රෙජිමේන්තුව ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබුනේ කොවිඩ්-19 වැනි වසංගත තත්ත්වන්, යුද තත්වයන්, ස්වාභාවික හා මිනිසා විසින් ඇති කරන ලද ව්‍යසන, විශේෂ හදිසි අවස්ථා, ප්‍රජා ආසාදිත වසංගත පැතිරීම වැනි අවස්ථාවලදී යොදාගන්නා තාක්‍ෂණික නවෝත්පාදනයන්ගෙන් පරිපූර්නව යුද්ධ හමුදාවේ ‘ඉදිරි උපායමාර්ගයන්’ සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳ ගැනීමට මෙම පියවර ගත් බවයි.
අභිනවයෙන් ස්ථාපිත නියමුවන් රහිත සැහැල්ලු ගුවන් යානා (DRONE) රෙජිමේන්තුව තර්ජනාත්මක අවස්ථාවන් පිළිබඳ මෙහෙයුම් මට්ටමේ නිරීක්ෂණය කිරීම, නිරවද්‍ය ඉලක්ක තහවුරුකර ගැනීම, පශ්චාත් යුධ හානි තක්සේරු කිරීමේ හැකියාවන් සහ ආපදා අවම කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නයන් සඳහා ද යොදාගැනීම අපේක්ෂා කෙරෙන බව එහි වැඩි දුරටත් සදහන්ය.
නව මං ඔස්සේ
ඩ්‍රෝන යානා බොහෝ විට රාජ්‍ය විරෝධී සැකකරුවන්ට එරෙහි ආයුධයක්, සෝදිසි කිරීමේ උපකරණයක් හෝ ආහාර බෙදා හැරීම වැනි කටයුතු සදහා නව මෙවලමක් ලෙස ලොව පුරා යොදා ගැනුනද කොරෝනා වෛරසය පුපුරා යාමේ ආරම්භයේ සිටම නව භූමිකාවක් අත්පත් කරගනිමින් සිටී.
ශ්‍රී ලංකාවේ යුද්ධයේදීද ‘කේලමා’ නමින් හැඳින්වුණු නියමුවන් රහිත අධිතාක්ෂණික ගුවන් යානා මගින් අණදෙන නිලධාරීන්ගේ මෙහෙයුම් මැදිරි වලටම භූමියේ දර්ශන ලබා දී තිබුනද සාමාන්‍ය වැසියන්ට එරෙහිව සිදුකරන ලද බවට චෝදනා කෙරෙන මානව විරෝධී අපරාධ වලක්වන්නට එමගින් උදව් ගන්නා ලද බවක් දැනගන්නට නැත.
රුවන්ඩාව, ඝානාව සහ චිලී වැනි රටවල අවදානමේ වැටී ඉන්නා සහ බොහෝ විට හුදෙකලා වූ පුද්ගලයන්ට සහ ප්‍රජාවන්ට වෛද්‍ය සැපයුම් ලබා දීම සඳහා ඩ්‍රෝන යානා භාවිතයට ගන්නා අතර චීනයේ සහ ඉන්දියාවේ ඩ්‍රෝන යානා පොදු ස්ථාන විෂබීජහරණය කිරීම සදහා යොදා ගෙන තිබේ.
ඩිජිටල් අවතාරයක්
කෙසේ වෙතත්, ඩ්‍රෝන තාක්ෂණයේ නිරීක්ෂණ හැකියාවන් මානව හිමිකම් උල්ලංඝනයට යොදා ගැනෙන ආකාරය පිළිබදවත් අනතුරු ඇඟවීම් ඉදිරිපත් වී තිබේ.
“මෙම තාක්ෂණයේ නිරීක්ෂණ හැකියාවන් අධිකාරීවාදය පිලිබඳ ඩිජිටල් පන්නයේ අවතාරයක් මතු කරමින්, ඊට අනුරූපව අපගේ මානව හිමිකම් ඛාදනය කිරීමකට හේතු වන්නේ,” යැයි උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් අගනුවර ක්වීන්ස් විශ්ව විද්‍යාලයේ ගෝලීය සාමය, ආරක්ෂාව සහ යුක්තිය පිළිබඳ, සෙනෙට් සභික ජෝර්ජ් ජේ මිචෙල් ආයතනයේ පර්යේෂණ සහායිකා බ්‍රිජිට් ස්කිපර්ස් ප්‍රකාශ කරයි.
මෙහිදී ඩ්‍රෝන යානා වලින් දිගුකාලීනව මානව හිමිකම් වලට වන බලපෑම සහ ඒවා අඛණ්ඩව භාවිතා කිරීමේ සම්භාවිතාව තක්සේරු කිරීම අත්‍යාවශ්‍ය බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
“මෙය විශේෂිත ප්‍රශ්නයක්, මොකද සෞඛ්‍ය හේතු මත පටිගත කර ගන්නා මුහුණේ රූපරාමු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් වෙනත් හේතු සඳහා යොදා ගත හැකි බැවිනි.”
බිය ගැන්වීමේ හා ලැජ්ජාවට පත් කිරීම
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වෙරළබඩ පළාත් පාලන ආයතන විසින් මහජන දුරස්ථභාවය සම්බන්ධයෙන් මග පෙන්වීම් විකාශනය කිරීම සඳහා ශබ්ද විකාශන සහිත ඩ්‍රෝන් යානා භාවිතා කර තිබේ.
නමුත් සමහර ප්‍රදේශ වල වාචික අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත්, සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කරන හෝ මුහුණු ආවරණයක් පැළඳ නොගෙන සිටින පුද්ගලයන් ප්‍රසිද්ධියේ ලජ්ජාවට පත් කිරීමටත් ඩ්‍රෝන යානා භාවිතා කර ඇති අතර එවැනි ක්‍රියාකාරකම් මිනිසුන් බිය ගැන්වීමක් සහ ගෞරවය උල්ලංඝනය කිරීමක් බවයි බ්‍රිජිට් ස්කිපර්ස් පවසන්නේ.
මෙම වසංගත සමය තුළ ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවා ක්‍රියාත්මක කරන තාක්ෂණ භාවිතා කිරීම නීත්‍යානුකූල, අවශ්‍ය, සමානුපාතික හා කාල සීමාවක් විය යුතු අතර, එය ශක්තිමත් සහ ස්වාධීන ආචාර ධර්ම සමාලෝචනවලට භාජනය විය යුතු මෙන්ම එයින් සිදුවන මානව හිමිකම් බලපෑම් පිලිබඳ තක්සේරුවකට යටත් විය යුතු බව ඇය ප්‍රකාශ කරයි.
එසේ නොමැති නම්, ඩ්‍රෝන යානා අනාගතයේ දී පැවතිය හැකි තදබල සෝදිසි කිරීම් පද්ධතියක ප්‍රධාන අංගයක් බවට පත්වීම නොවැලක්විය හැකි බවට බ්‍රිජිට් ස්කිපර්ස් අනතුරු අඟවයි.