Sunday, May 5, 2024

කොවිඩ් යුදකරණය: සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේෂ අභිබවා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වෙනවා! – සමස්ත ලංකා හෙද සංගමය

රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල්වල සාමාජිකයින් නැවත ආරක්ෂිත ලෙස නිවෙස් වෙත ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස සෞඛ්‍ය ලේකම් ජෙනරල්  වෛද්‍ය එස්. එච්. මුණසිංහ වෙත ලිපියක් යවන සමස්ත ලංකා හෙද සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්. බී. මැදිවත්ත ඉල්ලා සිටී. කවද ඔහු සිිය ලිපයෙහි සඳහන් කරන්නේ කොවිඩ් මර්ධන ක‍්‍රියාවලියේදී යුධ හමුදාව, පොළිසිය හා ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් අතර මනා සබදතාවක් ගොඩනැගී නොමැති බව අප සංගමයට නිරීක්ෂනය වන අතර සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේෂ අභිබවා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනීයන බවයි.

එම ලිපිය පහත පළවේ.

2020. 10. 16
තම රාජකාරිය ඉටු කිරීමේදී හෝ රාජකාරී සඳහා යාම් ඊම් වලදී සෘජූව හෝ වක‍්‍රව කොවිඩ්- 19 රෝගීන්ට අනාවරනය වීම හේතුවෙන් වෛරසය ශරීර ගත වූ බවට හඳුනාගත් වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් පිරිසක් මේ වනවිට ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුලත් කර සිටිති.

මොවුන් රෝගයට ගොදුරු වූ බව දැනගත් වහාම ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සහ ළගම ආශ‍්‍රිතයින් PCR පරීක්ෂණ සදහා යොමු කර කඩිනමින් පරීක්ෂණ ප‍්‍රතිඵල ලබාදීම පැසසුම් සහගත නමුත් PCR පරීක්ෂණ වාර්තාව අනුව රෝග කාරකය නොමැති බව තහවුරු කරන අය දින 14 ක් තම නිවාසවලම නිරෝධායනයට ලක් කිරීම සාමාන්‍ය ක‍්‍රමවේදය වූවත් උක්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුලේ සාමාජිකයන් බලහත්කාරී ලෙස නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන ගොස් ඇත.

PCR Negative ලෙස තහවුරු කරන ලද සහ අදාල ක‍්‍රමවේදයට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ අධික්ෂණයෙන් නිවෙස් නිරෝධායනයට යොමු කර සිටි මෙම පිරිස් PCR පරීක්ෂණ සිදු නොකල සැක කටයුතු පිරිස් හා එකට කලවමේ නිරෝධායන මධ්‍යස්ථානවල ලැගුම් ගැනීමට සැලැස්වීමෙන් ඔවුන් අනතුරට හෙලා ඇති බව පෙන්වා දෙමු.

එසේම ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල දැඩි මානසික ආතතියෙන් කල්ගෙවන කාර්ය මණ්ඩල සාමාජිකයන් තම පවුලේ අය එලෙස විතැන් කිරීම නිසා තවදුරටත් ආතතියට හා කම්පනයට ලක්ව සිටිති. එසේම තොරතුරු ආවේක්ෂණයේදී විවිධ ආයතන හා නිලධාරීන් විසින් අවස්ථා ගණනාවකදී දුරකථන ඇමතුම් ලබාදෙමින් රෝගියාගෙන්ම තොරතුරු ඉල්ලා සිටීමද අතිශය කරදරකාරී බව බොහෝ දෙනෙකුගේ මතයයි.

මේ අනුව කොවිඩ් මර්ධන ක‍්‍රියාවලියේදී යුධ හමුදාව, පොළිසිය හා ප‍්‍රදේශයේ සෞඛ්‍ය නිලධාරීන් අතර මනා සබදතාවක් ගොඩනැගී නොමැති බව අප සංගමයට නිරීක්ෂනය වන අතර සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ නිර්දේෂ අභිබවා ආරක්ෂක අංශ ක‍්‍රියාත්මක වන බව පැහැදිලිවම පෙනී යයි.

ආසනන්නම සිදුවීම ලෙස හොරණ මූලික රෝහලේ කොවිඩ්- 19 ආසාදනයට ලක්වූ හෙද නිලධාරීනී ඩී. ඩී. වජිරා විජේරත්න මහත්මියගේ සැමියා හා දූවරුන් දෙදෙනාගේ PCR Negative වන අතර ඔවුන් මදුරාවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ අධීක්ෂණය යටතේ නිවෙස් නිරෝධායනයට යොමුකර ඉතා ආරක්ෂිතව සිටි නමුත් පෙර දැනුම් දීමකින් තොරව යුධ හමුදාව මැදිහත්වී මේ වනවිට ඔවුන් මාතර නිල්වලා විද්‍යා පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ PCR නොකල සැක සහති ප‍්‍රජාවක් හා සමග ඉතා අනතුරුදායක ලෙස රඳවා තබා ඇත. මෙලෙස මධ්‍යම රාත‍්‍රියේ පවා නිවෙස්වලට පැමිණ පවුලේ අය රැගෙන යෑම් සම්බන්ධව කළුතර, පානදුර හා කෑගල්ල ප‍්‍රදේශවලින්ද වාර්තා වී ඇත.

සෞඛ්‍ය සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද මෙම රෝග තත්වය පිළිබඳ හොඳින් දැනුවත් අතර ඔවුන් සමාජ වගකීම මැනවින් ඉටුකරන බව අප විශ්වාස කරමු. එබැවින් ඔවුන් ඉතා ආරක්ෂිතව නිවෙස් තුල නිරෝධායනය කිරීමට හැකියාව ඇති බව පෙන්වා දෙමු. තම රාජකාරී ඉටු කිරීමට යෑම මෙලෙස තමාගේම පවුලේ අයද අසීරුතාවයට පත්කිරීමක් ලෙස සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට හැඟී යාම ඉදිරියේදී ඔවුන් සේවා වලින් ඈත්වීමටත්, නිවැරදි තොරතුරු ලබාදීමෙන් වැළකීමටත් හේතු වනු ඇත.

එබැවින් උක්ත පැහැදිලි කළ ආකාරයට අනාරක්ෂිතව රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල පවුල්වල සාමාජිකයින් නැවත ආරක්ෂිත ලෙස නිවෙස් වෙත ගෙන්වා නිරෝධායනයට යොමු කිරීමට කඩිනමින් මැදිහත් වන ලෙස මෙයින් ඉල්ලා සිටිමු.

එස්. බී. මැදිවත්ත

ප‍්‍රධාන ලේකම් – සමස්ත ලංකා හෙද සංගමය

 

Archive

Latest news

Related news