Friday, May 3, 2024

මහ රෑ නිරෝධායන මෙහෙයුම: ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වගඋත්තරකරුවෙකු කරමින් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් 98 දෙනෙකු වෙනුවෙන්, කම්කරුවන් වටලාගත් ගත් අත්තනෝමතික නීති විරෝධී ආකාරය, සහ ඔවුන්ට කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 12 (2), 13 (1), 13 (2), 14 (1) (14) වගන්ති යටතේ සහතික කර ඇති ඔවුන්ගේ නිදහස සීමා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිවත් කර තිබේ. මේ පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ  COVID-19 අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මෙම කම්කරුවන් 98 දෙනෙකු (පැමිණල්ල සිදුකර ඇත්තේ මේ අය වෙනුවෙනි) වටලෑමට යවන ලද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව ය. එය ඉද්රිපත් කර ඇත්තේ ශිලා දන්දෙනිය ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, කටුනායක, චමිලා තුෂාරි දාබිඳු සාමූහිකය ශ්‍රී ලංකාව, කටුනායක. චන්ද්‍ර දේවනාරායන මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක. ජ්‍යෙෂ්ඨ. නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු ශ්‍රම අභිමානී කේන්ද්‍රය, සීදූව යන අය විසිනි.

සම්පූර්ණ පැමිනිල්ල පහත පළවේ.

16 ඔක්. 2020
විමසීමේ නිලධාරී,
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම,
14,
ආර්.. ද මෙල් මාවත,
කොළඹ – 04
හිතවත් මහත්මයානෙනි/මහත්මියනි,

හදිසි

ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින්ගේ අනාරක්ෂිත නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට (HRCSL) පැමිණිලි කිරීම

අපි, චමිලා තුෂාරි, චන්ද්‍රා දේවනාරායන, අශිලා දන්දෙනිය සහ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු, බහුතරයක් කාන්තාවන් වන නිදහස් වෙළඳ කලාපයේ (FTZ) කර්මාන්තශාලා සේවකයින් සමඟ පුළුල්ව වැඩ කරන සංවිධානයන් නියෝජනය කරන්නෙමු. අපි මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ, කම්කරුවන් වටලාගත් ගත් අත්තනෝමතික නීති විරෝධී ආකාරය, සහ ඔවුන්ට කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11, 12 (1), 12 (2), 13 (1), 13 (2), 14 (1) (14) වගන්ති යටතේ සහතික කර ඇති ඔවුන්ගේ නිදහස සීමා කිරීම, කම්කරුවන්ගේ ආර්ථික හා සමාජ තත්වය මත පදනම් කරගෙන වෙනස් කොට සැලකීම පිළිබඳව වූ මෙම බරපතල ගැටලුව මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට යොමු කිරීම සහ ඒ පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහාය.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ COVID-19 අවම කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ (NOCPCO) ප්‍රධානී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සහ මෙම කම්කරුවන් 98 දෙනෙකු (පැමිණල්ල සිදුකර ඇත්තේ මේ අය වෙනුවෙනි) වටලෑමට යවන ලද ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ට එරෙහිව ය. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වගඋත්තරකරුවෙකු බවට පත් කරනු ලබන්නේ NOCPCO හි ප්‍රධානියා සහ යුද හමුදාපති ලෙස ඔහුගේ නිල බලය සැළකීමෙනි. ඔහුගේ උපදෙස් නොමැතිව හමුදා නිලධාරීන්ට මෙම මෙහෙයුම සිදු කළ නොහැකි ය. අනාගතයේ දී ඔවුන් පිළිබඳව අප දැනුවත් වුවහොත්, පැමිණ සිටි හමුදා නිලධාරීන්ගේ තනි පුද්ගල නම් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමේ අයිතිය අප සතුව තබා ගන්නෙමු.

පැමිණිල්ලේ පසුබිම

2020 ඔක්තෝබර් 5 වන දින, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයින් 1,394 ක් දෙනා COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කළ අතර, එහි දී සේවකයින් 567 දෙනෙකුගෙන් යුත් පොකුරක් ඔක්තෝබර් 6 වන විට ආසාධිත බව තහවුරු විය. කෙසේ වෙතත්, අද වන විට, එම පොකුර 1500+ දක්වා වර්ධනය වී තිබේ (මෙම පොකුරේ පවුල්වල සාමාජිකයන්, ඥාතීන් සහ සමීප මිතුරන් ද ඇතුළුව). COVID-19 හා සම්බන්ධ සියලුම අනිවාර්ය රජයේ රෙගුලාසි අනුගමනය කළ බව බ්‍රැන්ඩික්ස් නිල ප්‍රකාශයක සඳහන් කර තිබේ.

විශේෂයෙන්ම ආවරණය වී ඇති අවකාශයක් තුළ එකිනෙකාට ඉතා ආසන්නව වැඩ කරන කම්කරුවන් විශාල සංඛ්‍යාව සහ එකිනෙකාට ඉතාමත් සමීපව නවාතැන් ගෙන සිටින හවුල් නවාතැන්වල පවතින සමිපතාවය හේතුවෙන් ඇඟලුම් කර්මාන්තයේ නියුතු කම්කරුවන් සහ මෑන්පවර් සේවකයින් අතර වෛරසය වේගයෙන් පැතිරීම සිදු වේ. වෘත්තීය සමිති නියෝජනයක් නොමැතිවීමත් කිසිදු සේවා යෝජකයෙකු ඔවුන් පිළිබඳ වගකීම භාර ගැනීමට අකමැතිවීමත් නිසා මෑන්පවර් සේවකයින් තවදුරටත් අවදානමට ලක්ව තිබේ.

ඔක්තෝබර් 11 වන දින (ඉරිදා) රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) හමුදාව විසින් වටලාගෙන බස් රථයකින් කළුතර පිහිටි තාවකාලික නිරෝධායන පහසුකමක් වෙත නිරෝධායනය සඳහා ගෙන ගොස් තිබේ. අසල්වැසි නේවාසිකාගාරයේ COVID ආසාධිත වූ සේවකයින් කිහිප දෙනෙකු වාසය කර ඇති බවත්, එබැවින් ඔවුන්ව ද නිරෝධායනය කළ යුතු බවත් සේවකයින්ට පවසා තිබුණි. ඔවුන්ව වේයන්ගොඩට ගෙනයන බව පවසා තිබුණත්, දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයකට ඔවුන්ව ගෙන ගොස් තිබුණි.

අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන්නෙ නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ” කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

එදිනම පාන්දර 12.30 ට පමණ (අලුයම 12) කටුනායක ඇවරිවත්තේ දී ඒ ආකාරයටම සේවකයින් 53 (කාන්තාවන් 35 ක් සහ දරුවෙකු ඇතුළුව) දෙනෙකු අවදි කොට බස් රථයකට නංවා ගෙන තිබුණි.

රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා.මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ. අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව අරගෙන යන්න ගියාකම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

ඔවුන් කටුනායක, සීදූව, මීගමුව සහ අමන්දොලුව යන ප්‍රදේශවලින් තවත් කම්කරුවන් එකතු කර ගෙන අවසානයේ ඔක්තෝබර් 12 වන දින අලුයම 5.30 ට කටුනායකින් පිටත්ව ගොස් තිබුණි.

පැය 12 කට පසු දහවල් 12.30 ට ඔවුන් කළුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ ජලය බිඳක් හෝ ලබා දී නොතිබුණි. එහි ගිය පසු ඔවුන්ට ආහාර ටිකක් ලබා දී තිබුණත් ඒවා ආහරයට ගත නොහැකි තත්වයේ විය. මෙම පහසුකම පිරිසිදු කර නොතිබූ අතර, වැසිකිළි උතුරා අපිරිසිදු වී තිබූ අතර, ඒ වනතෙක් (ඔක්තෝබර් 13 වන විට) කිසිදු සෞඛ්‍ය වෘත්තිකයෙකු හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකයෙකු හමුවිය නොහැකි විය. එම ස්ථානයේ සිටියේ හමුදාව පමණි. මධ්‍යස්ථානයට ඇතුළත් වූ පසු කිසිදු සේවකයෙකු සම්බන්ධයෙන් PCR පරීක්ෂණ පවත්වා නැත. වෛද්‍යවරයකු අප බැලීමට එන බවට කටකතා සේවකයින්ට අසන්නට ලැබී තිබූ නමුත්, නිල වශයෙන් කිසිවක් ඔවුන්ට ඒ වනතෙක් දැනුම් දී තිබී නැත.

ඔක්තෝබර් 13 දා සේවකයින් සඳහා සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි මූලික අත්‍යවශ්‍ය දෑ ලබා දී තිබුණි. දැනට කම්කරුවන් 400-500 ක් පමණ දෙනා පහසුකම තුළ සිටින බව කම්කරුවන් විසින් පවසා තිබුණි. ඇතැම් කාමරවල එක් කාමරයකට කම්කරුවන් 6-7 ක් දක්වා සිටින අතර ඇතැම් ඒවායේ කම්කරුවන් 3 -5 දක්වා ප්‍රමාණයක් සිටියි. කම්කරුවන් 30 ක් පමණ සඳහා ස්නානය කිරීමේ ස්ථාන කාමර 2 ක්, වැසිකිළි 2 ක් සහ සින්ක් 2 ක් බෙදා බෙදාගෙන සිටියි (සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.)

කිසිවෙකුටවත් මෙම ස්ථානයෙන් ඉවත් වී යා නොහැකි බව හමුදාව පවසා තිබුණි. එක් අයෙකුට හෝ ඇතැම් කම්කරුවන්ට ආසාදනය වී තිබේනම්, එම තාවකාලික පහසුකමෙහි නිසි ආරක්‍ෂිත ක්‍රියාපටිපාටියක් නොමැති නිසා ඔවුන් සියල්ලන්ටම වේගයෙන් රෝගය ව්‍යාප්ත වනු ඇතැයි කම්කරුවන් බියෙන් පසුවේ.

මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා ”. – කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

මට හෘදයාබාධයක් ඇතිවෙලා තියෙනවා, රුධිර සිරවීම් දෙකක් ඇතිවුණා. මම ගොඩක් බෙහෙත් බොනවා. මම දැන් මෙහේ ඉන්න නිසා මට කොරෝනා හැඳුනොත් මම නම් මරණයෙන් බේරෙන එකක් නැහැ. මේ ස්ථානය බල්ලන්ටවත් සුදුසු නැහැ. මේ අයට ඡන්දය දීපු එකට අපිටම ගහන්න ඕන. – කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ ඇනෙක්ස් එක්ක සහෝදරියන් දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සහෝදරියෝ දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්‍ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම ඇනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා” කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

රජයේ රෙගුලාසි සහ නිරෝධායන පිළිපැදීමට අප විරුද්ධ නැති බවත්, නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය කරන ලෙස අපි ඉල්ලා සිටින බවත්, අප සමඟ කටයුතු කිරීමට එවන ලද (එනම් හමුදාව) අයව ඔවුන්ට මානුෂිකව හා ගෞරවයෙන් සැලකීමට පුහුණු කරවන ලෙසත් කම්කරුවන් පවසා තිබෙනවා.

අපිව ගෙනියන්නේ කොහේදවත් නොකියා මධ්‍යම රාත්‍රියේ ඇවිත් අපිව බස්රථවලට පටවන්න මිනිත්තු 10 ක් ලබා දෙන්න ඔබට බැහැ. ඒත් ඇයි? මිනීමරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී පවා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට හේතුව ඔබ ඔහුට/ඇයට කියන්න ඕනේ. ඇයි අපිට අවම වශයෙන් මේ මූලික ගෞරවයවත් ලබා නොදෙන්නේ,. – කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

අපේ මේ ගෑණු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි , අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ. අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු” “අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි. අපිට මෙහෙම සලකන්නේ අපි වැදගත් සල්ලිකාර මිනිස්සු විදියට එයාලා ගණන් ගන්නේ නැති නිසානේ, සේවකයින්ට කොරෝනා හැදුන එක අපේ වරදක් නෙවෙයිනේ, එයාල අපෙන් පලි ගන්න වගේ අපිට සලකන එක නවත්තන්න ඕනි. අපේ ආණ්ඩුවෙන් අපිට මේවද බලාපොරොත්තු වෙන්න වෙන්නේ?” – කම්කරුවකුගේ ප්‍රකාශයක උපුටා ගැනීමක්.

විශේෂයෙන්ම කාන්තා සේවිකාවන් සමඟ කටයුතු කළ ආකාරය සැලකිල්ලට ගත්විට රජය සහ හමුදාව මෙම මෑත අර්බුදය හසුරුවා ඇති ආකාරය ඉතාමත් ගැටලු සහගතය. පැහැදිලි තොරතුරු/දැනුවත්භාවය නොමැතිවීම, අනාරක්ෂිත ප්‍රවාහනය, අපිරිසිදු නිරෝධායන පහසුකම් සහ සේවකයින් බස්රථවලට පැටවීමට පෙර සහ මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම, ආණ්ඩුව විසින් පිළිපැදිය යුතු යැයි කියනු ලබන මූලික COVID-19 රෙගුලාසි පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

වගඋත්තරකරුවන් විසින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම:

හමුදාවේ පහත සඳහන් ක්‍රියාමාර්ග මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් වේ: –

  1. මෙම ඇඟලුම් කම්හල් සේවකයින් 98 දෙනා වටකර, අත්අඩංගුවට ගෙන, ප්‍රවාහනය කොට කළුතර අනාවරණය නොකළ ස්ථානයක රඳවාගෙන සිටි හමුදා නිලධාරීන් විසින් ව්‍යවස්ථාවේ 12 (1), 13 (1) සහ 13 (2) යන වගන්ති උල්ලංඝනය කර තිබේ.

  2. මෙම කම්කරුවන් 98 දෙනා රඳවා තබා ඇති නිරෝධායන මධ්‍යස්ථානනීත්‍යනුකූලව ස්ථාපිත කර නොමැති බැවින් මෙම කම්කරුවන් එවැනි මධ්‍යස්ථානවල තබා ගැනීම නීතියෙන් ස්ථාපිත කර ඇති ක්‍රියා පටිපාටියට අනුකූල නොවන බව අප විසින් ප්‍රකාශ කරනු ලබන්නෙමු. එබැවින් ඔවුන් අනාවරණය නොකළ සහ නීති විරෝධී නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා තබා ගැනීම ව්‍යවස්ථාවේ 12 (1), 13 (2), 14 (1) () යන වගන්ති උල්ලංඝනය කිරීමකි.

  3. පිරිමි හමුදා නිලධාරීන් කාන්තා සේවිකාවන්ගේ නේවාසිකාගාරවලට ඇතුළු වී මෙම නීති විරෝධී හා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා සිදුකොට තිබේ. මෙය ව්‍යවස්ථාවේ 12 (1) සහ 13 (2) යන වගන්ති උල්ලංඝනය කිරීමකි.

  4. හමුදා නිලධාරීන් විසින් කම්කරුවන් මානසික වධහිංසාවලට ලක්කිරීම, කුරිරු, අමානුෂික හෝ පහත් ලෙස සැලකීම නිසා, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින දුර්වල සනීපාරක්ෂක කොන්දේසි, පරීක්ෂණ සිදු නොකර කම්කරුවන් එකට තබා ගැනීම සහ එමඟින් කම්කරුවන් COVID ආසාදනය වීමේ සැබෑ අවදානමට ලක් කිරීම 11 වන වගන්තිය උල්ලංඝනය කිරීමකි.

  5. මෙම කම්කරුවන් 98 දෙනා එම අනාවරණය නොකළ නිරෝධායන මධ්‍යස්ථාන හැර යාම වළක්වා තිබූ අතර ඔවුන්ට කිසිදු හේතුවක් ලබා දී නැත. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) () වගන්ති උල්ලංඝනය කිරීමකි.

  6. මෙම කම්කරුවන් 98 දෙනාට අමානුෂික ලෙස සලකනු ලැබ ඇති අතර, ඔවුන්ගේ අත්‍යවශ්‍ය දෑ ඇසුරුම් කිරීමට මිනිත්තු කිහිපයක් ලබා දී, බස් රථවල පුරවාගෙන, දුර්වල සෞඛ්‍යාරක්ෂිත තත්වයන් යටතේ අනාවරණය නොකළ ස්ථානවල තබා, කෑමට නිසි ආහාර ලබා නොදී තිබූ අතර, කිසිම මනුෂ්‍යයෙකුට නොසැලකිය යුතු ආකාරයෙන් සළකා තිබේ. කර්මාන්තශාලා සේවකයින් වශයෙන් ඔවුන්ගේ ආර්ථික පන්තිය හේතුවෙන් ඔවුන් වෙනස් කොට සැලකීමට ලක්ව ඇති හෙයින්, ඉහත සඳහන් කළ සියලුම උල්ලංඝනයන් හැරුණු විට මෙය ව්‍යවස්ථාවේ 12 (2) වගන්තිය උල්ලංඝනය කිරීමකි.

 මෙම නීති විරෝධී හා අත්තනෝමතික ලෙස වටකිරීම හා රඳවා තබා ගැනීම සිදු කර ඇති ආකාරය හේතුවෙන් සියලුම කම්කරුවන්ට COVID ආසාදනය වීමේ සැබෑ තර්ජනයට ලක්ව ඇති හෙයින්, මෙම ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් 98 දෙනා සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කරන ලෙස අපි මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නෙමු.
අශිලා දන්දෙනිය – ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, කටුනායක
චමිලා තුෂාරි – දාබිඳු සාමූහිකය ශ්‍රී ලංකාව, කටුනායක
චන්ද්‍ර දේවනාරායන – මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), කටුනායක
ජ්‍යෙෂ්ඨ. නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු – ශ්‍රම අභිමානී කේන්ද්‍රය, සීදූව

Archive

Latest news

Related news