Monday, May 20, 2024

මුලතිව්හි මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම පරීක්ෂා කරනු – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මුලතිව්හි නීති විරෝධීව තේක්ක ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදීන් දෙනෛකුට එම නීතිවිරෝධී ක්‍රියාවේ නිරතව සිටි පිරිස විසින් පහර දෙනු ලැබීම සම්බන්ධයෙන් ඉක්මන් පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපති රාජපක්ෂ වෙත ලිපියක් යවා තිබේ.
එම ලිපිය පහත පළවේ.
2020 ඔක්තෝබර 12 වැනි දා
චන්දන වික්රමරත්න මහතා,
වැඩ බලන පොලිස්පති,
පොලිස් මූලස්ථානය,
කොළඹ.
පොලිස්පතිතුමනි,
මුලතිව්හි මාධ්‍යවේදීන් දෙදෙනකුට පහරදීම සහ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධවයි
මුලතිව්හි ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට අද (12) පිරිසක් විසින් පහර දෙනු ලැබ තිබේ. පහරකෑමෙන් ශම්මුගන් තවසීලන් සහ කේ කුමනන් යන මාධ්යවේදීන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කරනු ලැබ සිටිති.
නීති විරෝධීව තේක්ක ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදීන් දෙදෙනාට හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පහර දී තිබේ. මාධ්යවේදීන් අත තිබූ කැමරාවල දර්ශන ද මකා දමා ඇතැයි වාර්තාවේ.
සමාජයේ සිදුවන නීති විරෝධී ක්‍රියා අනාවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අයිතියක් ඇත. එය ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියේ කොටසකි. එය මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ ද කොටසකි. එබැවින් මෙම මාධ්යවේදීන්ට සිදුවූ පහරදීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද එල්ල කළ ප්‍රරහාරයක් සේ අපි සලකමු.
2004-2015 කාලයේ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට විවිධාකාරයේ බාධා කිරීම් බලපෑම් පැමිණි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් පිරිසකට පහර දී තුවාලකරනු ලැබූහ. මෙවැනි සිදුවීම් 126ක් නීතිය හා සාමය අමාත්යවරයාව සිටි සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් යම් දුරකට විමර්ශනයක් හෝ ආරම්භ වූයේ ඒ්වායින් කිහිපයකට පමණි. විශේෂයෙන් දමිළ භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් පිළිගත හැකි විමර්ශනයක් හෝ පැවැත්වූයේ නැත.
2015-2020 අතර කාලයේ පැවැති යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කීවද සිද්ධි 126ක් අතුරින් ඔවුන් විමර්ශන ආරම්භ කළේ සිද්ධි පහක් සම්බන්ධයෙන් පමණි. එම ආණ්ඩු කාලයේ ද මාධ්‍යවේදීන්ට එරෙහි සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. නාවික හමුදාපතිවරයා විසින් මාධ්යවේදියකුට පහර දෙනු ලැබුවේ ද එම ආණ්ඩුව සමයේ වුවද ඒ්වාට නීතිය ක්‍රියාක්මක වූයේ නැත. මෙවැනි අපරාධවලට නීතිය ක්‍රියාත්මක නොවීම ඉදිරියටත් මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන අයට ආණ්ඩුව සහ පොලීසිය දක්වන සහයෝගයක් සේ අපි සලකමු.
එබැවින් මුලතිව්හි පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට පෙර පහරකෑමට ලක්වූ සහ මරා දැමුණු මාධ්‍යවේදීන් වෙනුවෙන්ද යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන සිදු කර සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
විශ්වාසී,
ශ්රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේ සංගමය
පිටපත්
1) සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.
2) සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
3) විමර්ශන අධ්යක්ෂ ,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
4) ලේකම්, ජනමාධ්‍ය අමාත්යංශය.
5) රජයේ ප්‍රවෘත්ති අධ්යක්ෂ ජනරාල්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව.
නිදිහස් මාධ්‍ය ව්‍යාපාරයද ප්‍රකාශනයක් නිකුත් කරමින් මෙසේ පවසා තිබේ:

මාධ්‍ය නිවේදනය

මුලතිව් මාධ්‍යවේදීන්ට කළ පහර දීම පිළිකුල් සහගතයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය.

මුලතිව් දිස්ත්‍රික්කයේ, මුරිප්පු නම් කැළෑබද ප්‍රදේශයේ සිදු වී ඇතැයි කියන දැව ජාවාරමක් සම්බන්ධ තොරතුරු සෙවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට දැව ජාවාරම්කරුවකු ඇතුලු පිරිසක් විසින් බරපතල පහර දීමක් සිදු කර ඇති බව වාර්තා වන අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකී. වීරකේසරී පුවත්පතට සහ තවත් මාධ්‍ය කිහිපයකට වාර්තා සපයන කණපතිපිල්ලේ කුමනන් සහ හිරු රූපවාහිනී වාර්තාකරු ෂන්මුගම් තවසීලන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තොබර් මස 12 වැනිදා සවස මෙසේ ප්‍රහාරයට ලක්වී ඇත. මාධ්‍යවේදී තවසීලන්ගේ දත් දෙකක් කැඩී ඇති බවත්, මාධ්‍යවේදී කුමනන්ගේ නාසය තුවාල වී ඇති බවත් වාර්තා වේ.

මාධ්‍යවේදීන් දෙදෙනා විසින් මේ සම්බන්ධයෙන් මුලතිව් පොලීසියේ අධිකරණ වෛද්‍ය අංශයට පැමිණිලි කර ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් මුලතිව් මූලික රෝහලේ පස්වැනි වාට්ටුවට ඇතුළත් කර ඇත.

පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් වාර්තා වන පසුබිමක ඒවාට ඒරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග නොගෙන ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට දරුණු ප්‍රහාරවලට ලක්වීමට සිදු වීම ඛේදනීය තත්ත්වයකි. මොණරාගල, කුඹුක්කන් ඔය පාලම අසල අනවසර වැලි ගොඩදැමීමක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී ඉඳුනිල් විජේනායක ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූයේ ඔක්තෝබර් 3 වැනිදාය. මෙවැනි ඛේදනීය තත්ත්වයන්ට මුහුණ නොදී මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමටනම් තරාතිරිම නොතකා, අදාල පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Archive

Latest news

Related news