Tuesday, November 26, 2024

චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 90, ලංකාවේ දවස් 8 ක වෙළෙඳ ශේෂය පියවන්නත් මදි – රජිත් කීර්ති තෙන්නකෝන්

ඡායාරූපය මහින්ද රාජපක්ෂ ටිවීටයකිනි.

චීනයෙන් ලැබුණු ඩොලර් මිලියන 90, ලංකාවේ දවස් 8 ක වෙළෙඳ ශේෂය පියවන්නත් මදි. 2021 වසරේ රජයේ වියදම රු. බිලියන 2,700 හෙවත් ට්‍රිලියන 2.7 යි. ගිය අවුරුද්දේ ආදායම රු. බිලියන 1,800 යි. ඒ ආදායමත් අහිමි ­කරගෙන කොහොමද අය වැය පියවන්නේ?

ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් සහ ඩොලර්  මිලියන 1000 ක ණය දෙකක් ඉල්ලා සිටියා.  ලැබුණේ ඩොලර් මිලියන 90 ක සොච්චමක් විතරක් යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

ලංකා රජය පසුගිය පෙබරවාරි මාසයේ සිට, චීන සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක ණයක් ලබා ගැනීමේ සාකච්ඡා කළා.  නමුත්, නිරෝධායනයක් නැතිව ආපු චීන ඉහළ දුත පිරිස ඒ ණය ගැන එකඟත්වයක් දුන්නේ නෑ.

එයට අමතරව, චීනයේ ‘පැන්ඩා බෝන්ඩ්‘ ක්‍රමය යටතේ ලංකාව ඩොලර් මිලියන 250 – 300 අතර මුදලක් සඳහා ඉල්ලීම් කර තිබුණා.  ඒ මුදල හෝ චීනය ලංකාවට ලබාදී නෑ යැයි තෙන්නකෝන් මහතා පැවසුවේ නාරාහේන්පිට පැවති පුවත්පත් සාකච්ඡාවක දී ය.

චීනය තමන්ගේ හිතවත් රටවලට ප්‍රමුඛ දේශපාලනඥයින්ගේ කටයුතු සඳහා, ඩොලර් මිලියන 100 ට අඩු ප්‍රධානයන් ලබා දෙනවා.  චීනය පසුගිය 9 වෙනිදා ලබාදුන්නේ එවැනි ආධාරයක්.  ඒ මුදල් ‘‘ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල වෛද්‍ය, අධ්‍යාපන හා ජල සැපයුම්‘‘ සඳහා යොදාගත ගැනීමට කටයුතු කරන බව ‘චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිල නිවේදනයේ පැහැදිලිවම දැක්වෙනවා.

චීනය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ඉල්ලීමකට පොළොන්නරුවේ රෝහලක් සඳහා රු.  කෝටි 2000 ක් ලබා දුන්නා.  ඒ වගේම, තවත් අවස්ථා තුනක දී රු. කෝටි 2200 ක් දුන්නා. මේ ඩොලර් මිලියන් 90 ත් එවැනිම හොඳ හිත පෙන්වන ප්‍රදානයක්. 

අද සියළුම අත්‍යවශ්‍ය නොවන ආනයන නවතා දමා තිබුණත්, මාසයක ආනයන සිදු කරන්නට රජයට අපනයන ආදායමට වඩා ඩොලර් මිලියන 400 ක් වත් අවශ්‍යයි. මේ ඩොලර් මිලියන 90 න් දවස් 8 ක ආනයන සඳහා ඩොලර් හිඟය යන්තම් පියවෙනවා. 

අපේ රටට හිතවත් සියළුම රාජ්‍යයන් අතහැර දමලා, වෙළෙඳ ශේෂය පියවාගන්නට චීනය ‘ණය උගුලේ‘ තවදුරටත් මේ රට හිරවෙමින් තිබෙනවා.

ඩොලර් හියඟ පියවාගන්න, ආණ්ඩුව ඉන්දියාවෙන් ඇ.ඩො. බිලියනයකට ණයක් ඉල්ලුවා.  එය ලැබුණේ නෑ.  ඉන්දියාවෙන් මේ වසරේ පෙබරවාරි ලැබුණු ඩොලර් මිලියන 400 ක ණය 2021 පෙබරවාරි, තම මාස 4 කින් ගෙවන්න අවශ්‍යයි. 

ලංකාව ජපානයෙන් ඉල්ලු ‘සමුරායි බොන්ඩ්‘ ඩොලර් මිලියන 500 ක ණය ලැබෙන්නේ නැති බව ස්ථිරයි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට නවතා දැමීම නිසා ලංකාවට වැඩිම ණය දුන්න ජපානය අද අප අමනාප කොට ගෙන තියෙනවා.   මේ ආණ්ඩුවේ විශේෂඥයින්ගේ හැටි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන කියන කථාවලින් පේනවා.

සැහැල්ලු දුම්රිය තියෙන්නේ මිනිස්සුන්ට යන්න මිසක් බඩු පටවන්න නෙවෙයි.  කන්ටේනර් ගෙනියන්න නෙවෙයි.  ලෝකයේ සෑම දියුණු රටකම නාගරික ප්‍ර දේශවල සුවපහසුම, වේගවත්ම, ප්‍රවාහණය දෙන්නේ සැහැල්ලු දුම්රිය යි.  ඒ ව්‍යාපෘතිය නැවැත්වූවේ කොමිස් මුදල් නොලැබෙන නිසා කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවා. 

කැලණිවැලි දුම්රිය මාර්ගය මංතීරු දෙකකින් රත්නපුරේට හදනවා කියලා පත්තරවල තියෙනවා. පසුගිය සැප්. 20 දිනයේ ආසියානු සංවර්ධන බැංකුව (ADB),  ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය Institution of Engineers Sri Lanka (IESL) වෙත යැවූ ලිපියකින් කියවෙන්නේ ලංකා රජය කැලණිවැලි දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියෙන් ආසියානු සංවර්ධන බැංකුව ඉවත් කර ඇති බවයි.

එක පැත්තකින් කියනවා, කැලණි වැලි දුම්රිය ව්‍යාපෘතිය කරනවා කියලා. අනෙක් පැත්තෙන් මුදල් දෙන ආසියාන සංවර්ධන බැංකුව ඉවත් කරනවා.  ආණ්ඩුව කැලණි වැලි හදනවා නම් ඒකට මුදල් එන්නේ කෙහොන්ද කියලා කිව යුතුයි.

ආණ්ඩුව මේ උත්සහ කරන්නේ වෙනදා වගේම, ලංකාවට වඩා වාසිදායක ආධාර වැඩසටහන් වලින් ඉවත් වෙලා, චීන කොමිස් ගන්න චීන ණය උගුලේ හිරවෙන එකයි. 

 2021 රටේ වියදම බිලියන 2900 යි. ඒ වියදමට ගැලපෙන ආදායමක් නෑ.  2019 තිබුණ සුරා බදු ආදායම රු.බිලියන 4 ක් මේ අවුරුද්දේ පළමු මාස 7 ට අඩුවෙලා තියෙනවා. උපයන විට ආදායම, බීටීටී, වැට් ආදායම් අඩු වෙලා තියෙනවා.  මෙරට නීතියට අනුව ණය ලබා ගත හැක්කේ රු. බිලියන 2900 ක්, එනම්, රු. ට්‍රිලියන 2.9 ක් ණය පමණයි.  රු. බිලියන 2900 අය වැය පියවන්න අවශ්‍ය රටකට, ඩොලර් බිලියන 6 ක් විදේශ ණය හා වාරික පියවන්නට අවශ්‍ය රටකට උපදෙස් දෙන්නේ බංකොලොත් ආර්ථික උපදේශකවරු.

ලංකාව මෙවැනි ආර්ථික අර්බුදයකට ලක් වූ සෑම විටකම ගලවා ගනු ලැබූවේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, සහ ආසියානු සංවර්ධ බැංකුවේ සංවර්ධන ව්‍යාපෘති මගිනුයි.  යුරෝපය සහ ජපානය විසිනුයි. 

අපි දැනුවත්මව, දේශපාලන වාසි හා අත යට කොමිස් හොයාගෙන චීන ණය උගුලේ ගිලෙමින් ඉන්නවා යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

ආණ්ඩුව බලාගෙන ඉන්නේ චීනයෙන් ණය අරගෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. නමුත්, මේ වන විට එය කළ නොකෙරෙන දෙයක් බව පේන්න තියෙනවා.  2021 අවුරුද්දේ රු. බිලියන 355 ක වියදම දරන්නේ අමාත්‍යවරයෙක් නැති ආරක්ෂක අමාත්‍යාංශයට බව ද තෙන්නකෝන් මහතා පැවසීය.

2020 ඔක්තෝබර් 12

Archive

Latest news

Related news