Friday, May 17, 2024

වසංගතය රටපුරා පැතිරේ: අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර මන්දගාමියී! – සකුන ජයවර්ධන

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හල තුලින් දහසකට අධික කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමෙන් පසු මේ වන විට රටපුරා දිස්ත්‍රික්ක 20 ක ආසාදිතයන් වාර්තා වීම මගින් පෙන්නුම් කෙරෙන්නේ රෝගය ප්‍රජා සම්ප්‍රේෂන තත්වයට පත්ව ඇති බවයි.

ඒ තත්වය තුල දී රාජපක්ෂ ආන්ඩුව අත්‍යවශ්‍ය නොවන වැඩපලවල් සහ අධ්‍යාපන ආයතන වසා දමා රෝගය ව්‍යාප්ත වීම වැලැක්වීමට හා රෝග ව්‍යාප්තිය තක්සේරු කල හැකිවන පරිදි පීසීආර් පරීක්ෂන ඉහල නැංවීමට පියවර ගැනීම සාපරාධී ලෙස  පැහැරහැර තිබීම මගින් රටපුරා බලගතු අන්තරායකාරී තත්වයක් නිර්මානය කෙරී ඇත. ආරක්ෂක පියවරයන් ගැනීම මගහරින ජනාධිපති රාජපක්ෂ, එහි මැති ඇමතියන් හා මිලිටරියේ, පොලිසියේ බලධාරීන් වගකීම මහජනතාව මත පැටවීමේ නරුම ව්‍යායාමයේ යලි නිරත වී සිටී.

බ්‍රැන්ඩික්ස්වලට පිටින් අසාදිත පිරිස්

බ්‍රැන්ඩික්ස් කම්හලේ රෝගීන් සමග කිසිදු සම්බන්ධයක් නොතිබුනු රෝගීන් පවා පසුගිය දින කිහිපය තුල රටේ විවිධ තැන් වලින් වාර්තා වී තිබේ.  තවමත් දිනකට සිදු කරන සීමිත පරීක්ෂන ප්‍රමානය යටතේ වුවත් රෝගීන් වාර්තා වීමේ සීඝ්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ. මිනුවන්ගොඩ පලමු කොවිඩ් ආසාදිතයා හමුවීමෙන් පසු ගතවූ දින හතර ඇතුලත රෝගීන් 1095 ක් වාර්තා වී තිබේ.

කොලඹ අයිසීබීටී පෞද්ගලික විශ්වවිද්‍යාල‌යෙන්, කටුනායක නෙක්ස්ට් ඇගලුම් කර්මාන්ත ශාලාවෙන්, අලුත්නුවර දැඩිමුන්ඩ දේවාලයෙන්, මන්නාරම අග රදගුරු නිවාසයෙන් සහ කොලඹ ජාත‍්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගී වූවන්ගෙන් ආසාදිතයන් වාර්තා වේ. නිවාඩු ලැබ නිවෙස් කරා ගිය බ්‍රැන්ඩික්ස් සේවකයින්ගෙන් හඟුරන්කෙත, යාපනය, හොරන යන ප්‍රදේශ වලටද මෙම වෛරසය පැතිරී ඇත. මේ වාර්තා වන එවන් සිද්ධීන් කිහිපයක් පමනි.

ලංකාවේ මේ වනවිට වාර්තාවන මුලු ආසාදිතයින් ගනන 4500 ට ආසන්න වී ඇති අතර සක්‍රිය රෝගීන් ගනන 1197 කි.

මෙම ආසාදිතයින්ගේ වාර්තා වීම ලංකාවේ මන්ද ධාරිතාවයකින් යුත් සෞඛ්‍ය සේවය පරයා යා හැකි බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හරිත අලුත්ගේ, “පොකුර තව වැඩි විය හැකි බවත්” එසේ වුවහොත් “මානව සම්පත්, භෞතික සම්පත්, රෝහල් ඇඳන් ප්‍රමානය, දැඩි සත්කාර ඒකක ප්‍රමානය යන සියල්ල” සීමාකාරී සාධක බවට පත්විය හැකි බවට අනතුරු ඇඟවූයේය.

වෛද්‍ය රසායනාගර විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කලේ ලංකාවේ පැරනි යන්ත්‍ර භාවිතා කරන නිසා “පීසීආර් පරීක්ෂනයක් කිරීමට පැය පහක් පමන ගතවන නමුත් ලෝකයේ පැයකට පරීක්ෂන අනූවක් කල හැකි යන්ත්‍ර” පවතින බවයි. තම සංගමය එම නවීන යන්ත්‍ර ලබාදෙන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන්  ඉල්ලා සිටියද තවම ප්‍රතිචාරයක් නොමැති බව ඔහු වැඩි දුරටත් පැවසුවේය.

පීසීආර් පරීක්ෂන හොදටම මදි!

සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම් සහ ඉල්ලීම් ආන්ඩුව කිසිසේත් නොතකයි.  ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ගත්කල දිනකට පරීක්ෂන 5000-8000 ක් අතර ප්‍රමානයක් කලයුතු බව සෞඛ්‍ය විශේෂඥයන් කියා සිටියද ආන්ඩුව මෙය මුල සිටම නොතකා හරින ලදී. රටතුල පලමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වූ පෙබරවාරියේ සිට අද දක්වා සිදු කෙරි ඇති සමස්ත පරීක්ෂන සංඛ්‍යාව යන්තමින් තුන් ලක්ෂයට ආසන්නය. ඒ අනුව දිනක සාමාන්‍යය 1400 ක් පමන වන ඉතා පහත් අගයකි.

රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජයරුවන් බන්ඩාර, මාධ්‍යයට පැවසුවේ, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගත් “පොකුරු වලට පිටතින්” පසුගිය මාස ගනනාව තුල වෛරසය “සමාජගතව” ඇති බවයි. “මෙය අන්තරායකාරී තත්වයක්” බව ඔහු අවධාරනය කර ඇත.

වාතය හරහා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරසයේ වේගවත් පැතිරීමකට අධික තදබදයෙන් යුතු පොදු ප්‍රවාහනය, වැඩපලවල් වල පවතින දුර්වල යටිතල පහසුකම් හා සනීපාරක්ෂක සේවා සරු බිම් සම්පාදනය කොට ඇත. බ්‍රැන්ඩික්ස් කම්හලේ රෝග ව්‍යාප්තිය මගින් පෙන්නුම් කලේ එම කාරනයයි. නමුත් රටපුරා එවැනිම ආකාරයේ අනාරක්ෂිත ඇඟලුම් කම්හල් ඇතුලු වැඩපලවල් තවමත් විවෘතව පවතී.

ආන්ඩුව තම අත් සෝදා ගැනීම

ආන්ඩුව තම වගකීමෙන් අත් සෝදා ගනිමින්, ආයෝජන මන්ඩලයට අයත් කම්හල්වල සියලුම සේවකයන් පරික්ෂාවට ලක් කරන ලෙස ඒවායේ පරිපාලනයන්ට නියෝග කර ඇත. පුද්ගලික රෝහල් වල කෙරෙන එම පරීක්ෂන වලදී එක් අයෙකු සඳහා රුපියල් 6500-8000 අතර මුදලක් අය කෙරෙන අතර, එම රෝහල් වල පවතින සීමිත ධාරිතාවන් සහ වැයකලයුතු මිලියන සංඛ්‍යාත මුදල් හේතුවෙන් එය සිදු වනුයේ ඉතා මන්දගාමීව බව වාර්තාවේ. එක් මාධ්‍ය වාර්තාවක සඳහන් වන්නේ, එක් පරීක්ෂනයක් සඳහා වැයවන සැබෑ මුදල රුපියල් දහසකට අඩු බැවින් මෙම පුද්ගලික රෝහල්, වසංගතය ධන නිධානයක් කරගෙන ඇති බවයි.

කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ ප්‍රධානි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කලේ ඉදිරි දින හත තුල සමාජයෙන් “කොවිඩ් ආසාදිතයින්” හමුවිය හැකි බවයි. නමුත් ඒත් සමගම ඔහු ඇඳිරි නීතිය රටපුරා දියත් කිරීමේ තත්වයක් නැතැයි ප්‍රකාශ කරමින් මහජනයා මත වගකීම පැටවීය: “ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක සිටියත් කොවිඩ් ආසාදිතයෙක් නොවීමට වගබලා ගත යුතුයි.”

රාජපක්ෂ ආන්ඩුවේ ඉහල සිට පහල දක්වා සෑම අයෙකුගේම තානය මෙයයි. පසුගිය සඳුදා කොවිඩ් කාර්ය සාධක බලකාය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ “සාමාන්‍ය පරිදි කොවිඩ් වසංගතය පවතින බව ජනතාවට අමතක වූ” බවයි. තත්වය පාලනය කිරීමට “ජනතාවට විශාල වගකීමක්” ඇති බව ඔහු කීවේය.

ආන්ඩුවේ මෙම නොතකා හැරීමේ රුදුරු ප්‍රතිවිපාක ගෙවීමට සිදුවනු ඇත්තේ කම්කරුවන් ඇතුලු සාමාන්‍ය ජනතාවගේ ජීවිත වලිනි.

පසුගිය 09 දා  මාධ්‍ය වාර්තා කලේ ආසාදිතයින්ගෙන් පන්සියයකට ආසන්න පිරිසක් නිවෙස් වල සිටින බවයි. එදිනම පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී සුදත් සමරවීර පැවසුවේ, සියල්ලන්ම එකවර රෝහල් වෙත ගෙන යා නොහැකි බව යි. ආන්ඩුව පම්පෝරි ගසමින් සිටින නිරෝධායන කටයුතු වල ස්වභාවය එමගින්මත් හෙලිදරව් කෙරේ.

එදිනම නිරෝධායනයට යෑමට සිටි මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් පිරිසකට ඔවුන්ව ප්‍රවාහනය කරන බස් රථය පැමිනෙන තෙක් පැයකට වැඩි කාලයක් බලා සිටීමට සිදුව ඇත. ඔවුන් අතර පීසීආර් පරීක්ෂනයෙන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුනු අයෙකු සිටි බවද කම්කරුවෝ මාධ්‍යයට පැවසූහ. මෙලෙස රෝගීන් සමාජය අතරේ ගැවසීම සීමා නොවීමෙන් වෛරසය සමාජයට පැතිරීමේ අවදානම වැඩි කර ඇත.

මිනීමරු පිලිවෙත

රාජපක්ෂ ආන්ඩුවේ මෙම සාපරාධී පිලිවෙත නිශ්චිත පන්ති අවශ්‍යතාවයකින් ගලා එයි. කම්කරුවන් රැකියාවලට යැවීම වැලැක් වුවහොත් එය ධනපතියන්ගේ ලාභ උත්පාදන යාන්ත්‍රනය අඩපන කරනු ඇත. රාජපක්ෂ ආන්ඩුව අනුයමින් සිටින්නේ ද ලොව පුරා ධනපති පාලක පන්තීන් ගෙනයන එම මිනීමරු පිලිවෙතයි.

මෙම පිලිවෙත සඳහා ලංකාවේ ද ධනපති සංස්ථාපිතයේ සියලු පක්ෂවලින් පූර්න සහයෝගය හිමි වී ඇති අතර මාධ්‍ය සංස්ථාපිතය මහජනයා මත වගකීම පටවමින් වසංගතය හේතුවෙන් ආර්ථිකය කඩාවැටීමට ඉඩදිය නොහැකි යයි පුන පුනා ප්‍රකාශ කරයි. “වසංගතයේ පලමු වටයේ දී රෝග ව්‍යාප්තිය” පාලනය වූයේ රටම අගුලු දැමීම ඇතුලු නිරෝධායන පිලිවෙත් නිසා වුවත් ආර්ථිකය මේ අවස්ථාවේ දී මුහුන දෙන තත්වය නිසා “දෙවන වටයක් ජය ගැනීමට සිදුවන්නේ රට අගුලු දැමීමකින් තොරව” බව, පසුගිය 10වන දින දි අයිලන්ඩ් කතුවැකිය නරුම ලෙස ප්‍රකාශ කරයි.

(“වසංගතය රටපුරා පැතිරෙද්දී ආන්ඩුව අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂන පියවර ගැනීම අත්හරියි” නමින් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පළ වූ ලිපියකි.)

Archive

Latest news

Related news