Friday, April 19, 2024

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහනයේ වර්ධනය පිළිබඳ ප්‍රචාරය කරනු ලබන දුර්මත පිළිබද ඇත්ත (01)

නිමල් සිරිපාල විසිනි.

මෑත අවධියේදී ශ්‍රී ලංකාව පුරා ම මුස්ලිම් විරෝධී ප්‍රචාරණ ව්‍යාපාර වැඩි විය. එමගින් නිර්මාණයකරන්නට උත්සාහ කරන්නේ මුස්ලිම්වරුන්ගේ ජනගහනයේ ඉහළ යාම හා ඔවුන්ගේ ආර්ථික ආධිපත්‍යය හේතුවෙන් බුදු දහමට සහ සිංහල ජාතියට තර්ජනයක් එල්ලවෙමින් තිබෙන බවයි.

මුස්ලිම්වරුන් ජනගහනයෙන් සිංහල ජාතිය පසු කරනු ඇත යන විශ්වාසය ජනවිකාස විද්‍යාත්මකව ගත් කල මිථ්‍යාවකි. එහෙත් එය සමාජයේ මුල්බැසගෙන තිබේ. ජාතියේ ධනය මුස්ලිම් පාලනයට නතු වී තිබෙන බව ද එයට එකතු කරනු ලබන තවත් කාරණයකි. මෙමගින් මධ්‍යස්ථ සිංහල බෞද්ධයන් තුළ පවා මනෝ භ්‍රාන්තියක් නිර්මාණය වී තිබේ. මෙය අනෙක් පැත්තෙන් අන්තවාදීන්ගේ දුෂ්ට ප්‍රචාරයන්ට ද ඉන්ධන සපයයි. ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ බොහෝ විට සාමයෙන් සමගියෙන් ජීවත් වීමට කැමති මෙරට ජනතාව අතර වෛරය පැළ කිරීමයි. මහජන සංවාදය දිනෙන් දින වැරදි තොරතුරු, විකෘති කිරීම් සහ බිය පැතිරවීම සිදුකරන අවකාශයක් බවට පත්වෙමින් තිබේ.

[title]මිථ්‍යා අදහස් තුනක්[/title]

අන්තවාදී අදහස් දරන අය ඔවුන්ට එරෙහි අදහස් දක්වන්නන් බටහිරින් හෝ මුස්ලිම් ජාතිකයන් වෙතින් අනුග්‍රහය ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් ලෙස හඳුන්වති. එබැවින්, අන්තවාදීන්ට පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට ඉඩ නොතබා, සෑම ජාතියක ම මධ්‍යස්ථ ජනයා මෙම ව්‍යාජත්වයන් පිළිබඳ විවෘතව සාකච්ඡා කිරීම අවශ්‍ය ය.

සමාජ මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින් හා ආගමික ස්ථාන, මහජන රැස්වීම් ආදියේදී ප්‍රචාරය කරනු ලබන මූලික මිථ්‍යා අදහස් තුනක් තිබේ. ඒවා මෙසේ ය:

1. මුස්ලිම් ජනගහනය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ ජනගහනය වසර 2100 වන විට මුස්ලිම් බහුතරයක් වනු ඇත.

2. වසර 15කින්, වයස අවුරුදු 8ට අඩු මුස්ලිම් ළමයින් ශ්‍රී ලංකාවේ ජාතික ජනගහනයෙන් 52%ක් වනු ඇත.

3. 1951දී 51%ක් වූ කොළඹ නගරයේ සිංහල ජනගහනය දැනටමත් 10%ට අඩු වී තිබේ.

මෙම රචනය මගින් මෙම සියලු මිථ්‍යා අදහස් පිළිබඳ සාකච්ඡා කරනු ලැබේ. එය ආරම්භ වන්නේ මුස්ලිම් ජනගහනය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් තිබෙන බව හා ශ්‍රී ලංකාව ඉක්මණින් ම මුස්ලිම් බහුතරයක් සහිත රටක් වනු ඇති ය යන අදහසෙනි.

සිංහල ජනතාවට තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් වැඩි ම අනාරක්ෂිතබවක් සහ බියක් ඇති කරන, සිංහල බෞද්ධ ජාතිය අවසන් වනු ඇතැයි සිතීමට පොළඹවන භයානක ම ප්‍රකාශය මෙයයි.

1981 – 2011 අතර මුස්ලිම් ජනගහනය සෙසු ජාතීන්ට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වීම සිංහලයන්ගේ ආධිපත්‍ය තත්වයට තර්ජනයක් ලෙස පිළිගනු ලැබේ. මෙය බොහෝ දෙනෙකුට ගැටලු සහගත තත්වයක් වී තිබෙන හෙයින් හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පුහුණු හා පර්යේෂණ ආයතනයේදී මෑතදී පවත්වන ලද රැස්වීමකදී මතු කරන ලදී. සභාවෙන් මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ජන සංගණන සහ ජනවිකාස විද්‍යා අංශයේ අධ්‍යක්ෂ ඉන්දු බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවා ය: “1981 – 2012 කාලය අතරතුර සිංහල හා මුස්ලිම් ජනගහනයන් පිළිවෙලින් 1.04% සහ 1.87% යන අනුපාතිකයන්ගෙන් වර්ධනය වී තිබෙනවා. එහෙත් එමගින් ඇතැම් අය කියන ආකාරයේ තර්ජනයක් සිංහල ජනතාවට ඇති කරන්නේ නැහැ. කොළඹ නගර සභා ප්‍රදේශය තුළ මුස්ලිම් ජනගහනය සිංහල ජනගහනයට වඩා වැඩි ය කියන එකත් බොරුවක්.”

මව්බිම පුවත්පතේ සම්පූර්ණ පිටුවක් පුරා පළ වූ ලිපියක නිල සංඛ්‍යාලේඛන භාවිතා කරමින් පාඨකයන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ කරනු ලැබුවේ සිංහල ජනගහනය අඩුවෙමින් තිබියදී මුස්ලිම් ජනගහනය වැඩිවෙමින් තිබෙන බවයි. 2018 මැයි 30දා උදෑසන රූපවාහිනී වැඩසටහනකදී මෙම ලිපිය අවධානයට ලක් කරන ලදී. එම ලේඛකයා විසින් ම ඉන් අනතුරුව “ජනගහන දත්ත අනුව පෙනෙන්නේ මේ යන විදියට මුස්ලිවරුන් මෙරට මහ ජාතිය වන බවයි” මැයෙන් ලිපියක් නැවත පළ කරන ලදී. එම ලිපියෙහිදී ද ඔහු ජනගහන දත්ත පාවිච්චි කරමින් තර්ක කරන්නේ මුස්ලිම් ජනයා මෙරට බහුතර ජනගහනය බවට පත් වන බවයි.

[title]ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් වනු ඇතිද?[/title]

නිල සංඛ්‍යාලේඛන අනුව මුස්ලිම් ජනගහනය සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස 1981 සංගණනයේදී 7.4% මට්ටමේ සිට 2011 සංගණනයේදී 9.5% දක්වා වැඩි වී තිබේ. සමස්ත මුස්ලිම් ජනගහනය මෙම තිස් වසර තුළ 78%කින් වැඩි වී තිබෙන බව එයින් අදහස් වේ. වසර 2100 වන විට ශ්‍රී ලංකාව මුස්ලිම් රටක් වනු ඇති ය යන මිථ්‍යා අදහස පතුරුවමින් අනතුරු ඇඟවීම සඳහා මෙම තොරතුර දිගින් දිගට ම භාවිතා කරනු ලැබේ.

අසාමාන්‍ය පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වරක් පැවසුවේ ඔහු 2012 ජන සංගණනයේ අප්‍රකාශිත දත්ත ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් බවයි. එම දත්ත අනුව, ඔහු පවසන පරිදි, සිංහල ජනගහනය වඳ වී යන බව ඔහුට තහවුරු කළ හැකි ය. එයට හේතුව වන්නේ සමස්ත ළමා ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයේ එම ප්‍රතිශතයට වඩා වැඩි වීමයි. සිංහල ළමා ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව මුස්ලිම් ළමා ජනගහනයේ වර්ධනය තුන්ගුණයකි. ඔහු සාමාන්‍ය ජනගහන වර්ධනය පිළිබඳ විශ්ලේෂණය කිරීම සඳහා ළමා ජනගහනය පිළිබඳ නිල දත්ත භාවිතා කරන බැවින් මෙය විවාදයේ තීරණාත්මක හැරවුමකි. එහෙත්, තවදුරටත් විශ්ලේෂණය කරන විට එම අර්ථ නිරූපණය වැරදි බව සහ ජනගහන වර්ධනය පැහැදිලි කිරීම සඳහා භාවිතා කරනු ලබන දත්ත අයෝග්‍ය බවත් පෙනේ.

එබැවින්, මෙහිදී නිර්මානය කරන ලද නාටකීය තත්වය ප්‍රතික්ෂේප කිරීමට සහ ප්‍රශ්නය සාක්ෂි මත පදනම්ව විමසා බැලීමට පාඨකයන් පෙළඹවීම සඳහා අවශ්‍ය පරිසමාප්ත විශ්ලේෂණයක් මෙම රචනය මගින් ඉදිරිපත් කරනු ලැබේ.

වගුව 1: 1911 සහ 2011 අතර වාර්ගික කණ්ඩායම් අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය

 

පළමුව අපි ඓතිහාසික ජනගහන ප්‍රවණතා සලකා බලමු. 1 වගුව අනුව 1931 හා 2011 අතර 80 වසර තුළ, රටේ සමස්ත ජනගහනය මිලියන 15කින් වැඩි විය. සිංහල ප්‍රජාවේ වැඩි වීම මිලියන 12ක් වන අතර මුස්ලිම් ප්‍රජාවේ වැඩිවීම මිලියන 1.7ට මඳක් වැඩි ය.

එක් කාල පරිච්ඡේදයක් සම්බන්ධයෙන් ප්‍රක්ෂේපණ කරනවා වෙනුවට, ප්‍රජාවන්ගේ වර්ධනයට බලපාන බහුවිධ සාධක විශ්ලේෂණය කිරීමට අවකාශයක් විවෘත කිරීම අත්‍යවශ්‍ය ය.

2 වගුව: ජනවර්ගය අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයේ ප්‍රතිශත

2 වගුව අනුව, සිංහල ජනගහනයේ අඛණ්ඩ වර්ධනයක් තිබේ. 1931දී 65.5%ක් වූ එය 2011දී 74.0%ක් විය. සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ශ්‍රී ලංකාවේ සිංහල ජනවර්ගය 9.4%කින් වැඩි වී තිබේ (මිලියන 11.8කින්). මෙම කාලය තුළ සිංහල ජනගහනය සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස වැඩිවීම අන් සියලු ජනවර්ගයන්ට වඩා වැඩි ය. අඛණ්ඩ ප්‍රතිශත වර්ධනයක් පෙන්වා තිබෙන අනෙක් ජනවර්ගය වන්නේ මුස්ලිම් ය. එහෙත්, එය සිංහලයන්ගේ ජනගහන ප්‍රතිශතයේ වර්ධනයට සාපේක්ෂව අඩු ය. ඔවුන් සිය ජනගහන ප්‍රතිශතය 6.4% සිට 9.5% දක්වා වැඩි කරගෙන තිබේ. සමස්ත ජනගහනයේ ප්‍රතිශතයන් ලෙස සෙසු සියලු ජනවර්ගයන්ගේ ප්‍රතිශතය එකම මට්ටමක හෝ අඩුවීමක හෝ පවතී.

1981 හා 2011 පූර්ණ සංගණන සන්සන්දනය කළ විට, සිංහලයන් කලින් පෙන්වූ වර්ධන අනුපාතිකය ම ලඟාකරගෙන නැත. ඔවුන්ගේ ජනගහනය වර්ධනය වූයේ 1%කිනි (මිලියන 4.2). මුස්ලිම් ජනගහනය 2.1%කින් වර්ධනය විය (මිලියන 0.8). ඓතිහාසික වෙනස්කම් සැලකිල්ලට නොගෙන, මුස්ලිම් ජනගහනයේ මෙම මෑතකාලීන වර්ධනය පමණක් භාවිතා කරමින් සිංහල බෞද්ධයන් ශ්‍රී ලංකාවේ සුළුතරයක් බවට පත් වීමේ තර්ජනයක් ඇති බවට මිථ්‍යාව ප්‍රචාරය කරනු ලැබේ.

වගුව 3: ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් අනුව ජනගහනයේ වාර්ෂික සාමාන්‍ය වර්ධන අනුපාතිකය

3 වගුවේ දැක්වෙන, පසුගිය අවුරුදු 100ක කාලය තුළ සංගණන අතර සාමාන්‍ය වර්ධන රටාව අනුව, මුස්ලිම් ජාතිකයන්ගේ ජනගහන වර්ධනය හැම විට ම සිංහලයන්ගේ ජනගහන වර්ධනයට වඩා ඉහළ මට්ටමක තිබුණේ නැත. මුස්ලිම් ජනගහන වර්ධන වේගය ද අඩු වෙමින් තිබේ. එහෙත්, සිංහලයන්ගේ වර්ධන වේගය අඩු වෙනවාට වඩා අඩු වේගයකිනි.

සංක්‍රමණය සහ අධ්‍යාපනය, ප්‍රමාද වූ විවාහ සහ කාන්තාවන් රැකියාවල නියුතු වීම වැනි වෙනත් සමාජ සංවර්ධනයන් නිසා මුස්ලිම් ජනගහනයේ වර්තමාන වර්ධන වේගය ද කාලයත් සමග අඩු වීමට පටන් ගනු ඇත. මුස්ලිම් කාන්තාවන් විවාහ වන සාමාන්‍ය වයස වැඩි වෙමින් තිබෙන බව හඳුනාගෙන තිබේ.

වර්තමානයේදී, මුස්ලිම් කාන්තාවන් විවාහ වන සාමාන්‍ය වයස සිංහල කාන්තාවන් විවාහ වන සාමාන්‍ය වයසින් වෙනස් වන්නේ අවුරුද්දකින් පමණි. 2011 ජන සංගණනය අනුව, මුස්ලිම් කාන්තාවන්ගේ සාමාන්‍ය විවාහ වන වයස අවුරුදු 22.7කි. සිංහල කාන්තාවන් සම්බන්ධයෙන් එය වයස අවුරුදු 23.4කි . එහෙත්, මුස්ලිම් විවාහයන් බහුතරය අඩු වයස් විවාහ ය යන දුර්මතය සමාජයේ නිර්මාණය කර තිබේ.

[title]ඉහළ උපත් අනුපාතය[/title]

ඉහළ උපත් අනුපාතයක් දක්නට ලැබෙන්නේ මුස්ලිම් රටවල පමණක් නොවේ. තවත් බොහෝ දුප්පත් රටවල ද එසේ ය. දිළිඳුකම සහ පහත් අධ්‍යාපන මට්ටම ජනගහන වර්ධනයට විශාල බලපෑමක් කරයි. මුස්ලිම් කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළට යන විට සහ රැකියාවල නියුතු වන විට, ඔවුන්ට ලබාගන්නා දරුවන් සංඛ්‍යාව සීමා වේ. උදාහරණයක් ලෙස ඉරානයේ කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතිකය වේගයෙන් පහත වැටිණි. සවුදි අරාබිය, ටියුනීසියාව, තුර්කිය සහ ඇල්ජීරියාව ජනගහන වර්ධනය අඩු වූ රටවලට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ උගත් මුස්ලිම් ජනයා අතර ද මෙම ප්‍රවණතාව දකින්නට ලැබේ.

ජනවර්ගය අනුව සාමාන්‍ය ජනගහන වර්ධනය සහ වර්තමාන උපත් ප්‍රවණතා මෙම රචනයෙන් නිරීක්ෂණය කරයි. වර්තමානයේදී සිදු වන දරු උපත් ඉදිරි වසරවලදී සිදු වන ජනගහන වර්ධනයේ එකම ධාවකය වන නිසා මෙය වැදගත් වේ. අපගේ නිරීක්ෂණ ජන සංගණන අතර කාලයට සීමා කරනවාට වඩා මෑත වසරවල දරු උපත් රටා ගැඹුරින් තේරුම් ගැනීම අවශ්‍ය ය.

කලින් සඳහන් කළ ආකාරයට, මෑතදී, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය අලුත් සොයාගැනීම් මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කළේ ය . ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිල දත්ත ලබාගැනීම සඳහා ඔහු අමතර වෙහෙසක් දරා තිබේ. ළමා ජනගහනය මත පදනම්ව මුස්ලිම් ජනගහන වර්ධනය ඔප්පු කිරීම සඳහා ඇතැම් වගු භාවිතා කරන ලදී. අපක්ෂපාතී පර්යේෂකයන් ලෙස අපට එම උත්සාහය විවෘතව ම අගය කිරීමට සිදු වේ. ජනප්‍රිය දුර්මත ප්‍රතික්ෂේප කරමින් නිල සංඛ්‍යාලේඛන හඳුන්වා දීමට ඔහු උත්සාහ කළේ ය. එහෙත්, ඔහු ඔප්පු කිරීමට උත්සාහ කළ දෙය නිල සංඛ්‍යාලේඛනවලින් ප්‍රමාණාත්මකව තහවුරු වන්නේ නැත.

උදය ගම්මන්පිල මහතා ජනවර්ගය අනුව ළමයින්ගේ තොරතුරු ලෙස දක්වා තිබෙන දත්ත ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධ කර තිබේ. පහත දැක්වෙන වෙබ් ලිපිනයේ ජනගහන වගු අධ්‍යයනය කරන්න. http://www.statistics.gov.lk/PopHouSat/CPH2011/Pages/Activities/Reports/FinalPopulation.pdf. A9 වගුව ජනවාර්ගික කණ්ඩායම, වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනය දක්වයි. A7 වගුවෙහි දැක්වෙන්නේ ආගම, වයස සහ ස්ත්‍රී පුරුෂභාවය අනුව ජනගහනයයි. එබැවින් උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කරන තොරතුරු ලබාගැනීම සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට විශේෂ ඉල්ලීමක් කළ යුතු නැත.

[title]සිංහල ජනගහනය වඳ වී යාමේ ගම්මන්පිල තර්කය[/title]

2012 වසරේ සංගණන දිනයෙන් 2012-03-12) අවසන් වන ඊට පෙර වසර පහ තුළ මුස්ලිම් ළමා ජනගහනයේ ඉහළ වර්ධන අනුපාතිකය නිසා සිංහල ජනගහනය වඳ වී යාම ආරම්භ වන බව ඔහු තර්ක කරයි.

සංඛ්‍යාලේඛන විශේෂඥයකු එම සංගණනයේ ම දත්ත භාවිතා කර උදය ගම්මන්පිල මහතා කරන ආකාරයේ ජනගහන වර්ධන විග්‍රහයක් නොකරනු ඇත. සංගණනයක් යනු රටේ කිසියම් නිශ්චිත වකවානුවක ජනගහනය පිළිබඳ නිශ්චල ඡායාරූපයකි. එය ස්ථිතික ය. එබැවින් එය ජනගහන ප්‍රවණතා සන්සන්දනය කිරීම සඳහා යෝග්‍ය නැත. එය කළ යුත්තේ සංගණන කීපයක් සන්සන්දනය කරමින් සහ උපත් ලියාපදිංචි කිරීම වැනි වැදගත් දත්ත සැලකිල්ලට ගනිමිනි.

කෙසේ වෙතත්, අපි ගණනය කිරීම් හා අර්ථ නිරූපණ දෙස බලමු. ඔහු 2012 වසරේ වයස අවුරුදු පහට අඩු ළමා ජනගහනය (2008 – 2012 අතර ඉපදුණු) ඊට පූර්ව වසර පහ තුළ ඉපදුණු වයස අවුරුදු පහට අඩු, දැනට වයස අවුරුදු 5 – 9 අතර කාණ්ඩයේ සිටින ළමා ජනගහනය සමග (2003 – 2007 අතර ඉපදුණු) සන්සන්දනය කරයි. එමගින් ඔහු මුස්ලිම් ළමා ජනගහනයේ වර්ධන වේගය 1.4%ක් සහ සිංහල ජනගහනයේ වර්ධන වේගය 0.5%ක් ලෙස ගණනය කරයි. මුස්ලිම් ජනගහනය ඉහළ ප්‍රතිශතයක් වන 1.4%කින් වර්ධනය වන නිසා සිංහල ජනගහනය වඳ වී යන බව නිල වශයෙන් පිළිගෙන ඇති බව ඔහු තර්ක කරයි. ඒ අනුව, ඇෆ්ඝනිස්ථානයේ බාමියන් බුදු පිළිමයට වූ දෙය ශ්‍රී ලංකාවේ අවුකන බුදු පිළිමයට ද සිදු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

එකම අවධියක ජීවත් වන ළමා කණ්ඩායම් දෙකක සංඛ්‍යා සන්සන්දනය කර ජනගහන වර්ධනයක් ලෙස අර්ථ නිරූපණය කිරීම වැරදි ය. පහත දැක්වෙන්නේ ඔහු සිය ගණනය කිරීම් ඉදිරිපත් කළ වගුවයි.

කලින් වසර පහක කාලය තුළ (වසර 2003 – 2007) ඉපදුණු ළමයින්ගේ වර්ධන අනුපාතිකය ඊටත් කලින් වසර පහ තුළ උපන්, වයස අවුරුදු 10 – 14 කාණ්ඩයේ ළමයින්ගේ ජනගහන වර්ධන අනුපාතිකය සමග සන්සන්දනය කර ප්‍රතිශත ගණනය කිරීමට එම ක්‍රමය ම භාවිතා කළොත්, සිංහල ළමා ජනගහනයේ 8.4%ක වර්ධනයක් හා මුස්ලිම් ළමා ජනගහනයේ 4%ක වර්ධනයක් දකින්නට ලැබෙනු ඇත.

1981 සහ 2011 සංගණනවල එම දත්ත ම රැගෙන සන්සන්දනය කළහොත්, එම කාල පරිච්ඡේදය තුළ වාර්ෂික සාමාන්‍ය වර්ධන අනුපාතිකයන් වයස අවුරුදු පහට අඩු සිංහල ළමා ජනගහනය සඳහා 6.4%ක් හා එම වයසේ මුස්ලිම් ළමා ජනගහනය සඳහා 4.4%ක් වනු ඇත. ඒ අනුව පැවසිය හැකි වන්නේ පසුගිය 30 වසර තුළ වයස අවුරුදු පහට අඩු සිංහල ළමා ජනගහනය එම වයසේ මුස්ලිම් ළමා ජනගහනයට වඩා වැඩි වේගයකින් වර්ධනය වී ඇති බවයි.

ඔහු මෙම වර්ධන අනුපාතිකයන් කෙසේ අර්ථ නිරූපණය කරනු ඇද්ද? මුස්ලිම් ජනගහන වර්ධන වේගයන්ට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් වර්ධනය වන සිංහල ජනගහනය වඳ වී යමින් සිටින බවක් ඔහුට පැවසිය හැකි ද? මේ ප්‍රශ්න අප ඔහුගෙන් ඇසිය යුතු ය. ඓතිහාසික දත්ත තිබියදී, එක් කලෙක, එක් තොරතුරු කට්ටලයක් දිගුකාලීන ප්‍රක්ෂේපණයක් කිරීම සඳහා භාවිතා කිරීම සම්පූර්ණයෙන් ම වැරදි ය.

එකම ජන සංගණනයේ වයස් කාණ්ඩ සන්සන්දනය කරමින් ජනගහන වර්ධනය සම්බන්ධ ප්‍රක්ෂේපණ ඉදිරිපත් කිරීම මගින් කිසිදු තේරුමක් ඇති ප්‍රතිඵලයක් ලබා නොදෙන බව ද, අනාගත ජනගහනයන් ප්‍රක්ෂේපණය කිරීම සඳහා එය නොසුදුසු බව ද මෙම කෙටි විශ්ලේෂණය ඔප්පු කරයි. එයට හේතුව වන්නේ ජනගහන වර්ධනයට බලපාන සාධක කිහිපයක් ම තිබීමයි. ඒවා මෙම ලේඛනයේ සාකච්ඡා කර තිබේ. එසේම, බොහෝ විද්‍යාර්ථීන් සහ ජනගහන විද්‍යාඥයන් විසින් ද සාකච්ඡා කර තිබේ.

මෙම පසුබිම තුළ, මුස්ලිම් ප්‍රජාව හිතාමතා සිංහල ජනගහනය අභිභවා යාමට උත්සාහ කරනවා ද යන්න පරීක්ෂා කිරීම සඳහා වාර්ෂික දරු උපත් අනුපාතිකය භාවිතා කිරීම වඩා තාර්කික ය.

4 වගුව: 1992 සිට 2015 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව මවගේ ජනවාර්ගිකත්වය අනුව විශ්ලේෂණය කිරීම

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

4වන වගුව විසින් පෙන්නුම් කරන්නේ ජනගහනයේ වාර්ෂික සාමාන්‍ය වර්ධනයේ ස්වභාවය, සමස්ත ජනගහනයේ සිංහල සහ මුස්ලිම් ප්‍රතිශතය සහ කාල පරිච්ඡේදය තුළ නිර්මාණය වී තිබෙන පරතරයේ ස්වභාවයයි. 1992දී සිදු වූ සමස්ත දරු උපත් ප්‍රමාණය 356,842කි. පසුගිය 24 වසර තුළ, වයස අවුරුදු 24ට අඩු ජනගහනය 2015 වන විට මිලියන අටකට වැඩි විය (8,551,712). මෙම කණ්ඩායම සමස්ත ජනගහනයෙන් විශාල කොටසකි. එයට අවුරුදු පතා එකතු වේ. වයස අවුරුදු 24ට අඩු සිංහල සහ මුස්ලිම් ජනගහනයන්ගේ වර්ධන අනුපාතිකයන් අධ්‍යයනය කළහොත්, මෙම වකවානුව තුළ සිංහල ජනගහනයේ වාර්ෂික සාමාන්‍ය වර්ධනය 14.8%ක් වන අතර මුස්ලිම් ජනගහනයේ ඊට වඩා සුළු වශයෙන් වැඩි 15.5%ක ප්‍රතිශතයක් දැකිය හැකි ය. වඩාත් වැදගත් කරුණ වන්නේ ඒවායේ වර්ධනයන් අතර කැපීපෙනෙන වෙනසක් නැති වීමයි. (කරුණාකර 9 සහ 10 පේළි බලන්න)

5, 6, 7 පේළිවල ධන සහ ඍණ සංඛ්‍යා විසින් පෙන්වනු ලබන්නේ එක් එක් වසරට අදාළ වාර්ෂික වර්ධන අනුපාතිකයයි. එහෙත්, සාක්ෂි මගින් දැකිය හැකි කාරණය වන්නේ මුස්ලිම් දරු උපත් වර්ධනය වීමේ හෝ අඩු වීමේ ස්ථාවර රටාවක් නැති බවයි. එහි තේරුම නම්, මුස්ලිම් ජනගහනය වර්ධනය කිරීම සඳහා සැලසුම් සහගත වැඩසටහනක් නැති බවයි. දරු උපත්වල වෙනස් වන රටා සඳහා පහත 1 රූපය බලන්න.

පසුගිය සියවසේ අවසන් දශකයේ සිට සිංහල ජනගහනයේ වර්ධනය ඍණ අගයක් ගත් බව 1 ප්‍රස්ථාරය පැහැදිලිව දක්වයි. එහෙත්, 2000 වසරෙන් පසු, සිංහල හා මුස්ලිම් ජනගහනයන්ගේ ඇත්තේ සමාන වර්ධන රටාවකි. මුස්ලිම්වරුන්ගේ මුල් ධනාත්මක වර්ධන අනුපාතිකය විසින් සිංහලයන්ගේ එකී සමස්ත කාල පරිච්ඡේදයට සාපේක්ෂව ඉහළ අනුපාතිකයක් ලබා දෙයි. එසේ නොවේ නම්, සමස්ත කාල පරිච්ඡේදය තුළ ප්‍රජාවන් දෙකේ වර්ධන අනුපාතිකයන්ගේ එතරම් වෙනසක් නැත.

1 ප්‍රස්ථාරය දරු උපත්වල වාර්ෂික වෙනස්කම්

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

4වන වගුවේ 1992 වසර දෙස බලන විට, සිංහලයින්ට උපන් දරුවන් සංඛ්‍යාව 254,203ක් වෙද්දී මුස්ලිම් දරු උපත් සංඛ්‍යාව 37,302කි. එබැවින් සිංහලයන්ට උපන් දරුවන් සංඛ්‍යාව හා මුස්ලිම් දරුවන් සංඛ්‍යාව අතර පරතරය 1992දී 216,901කි. වසර 2015 වන විට, 1992න් පසු සිංහලයන්ගේ සහ වෙනත් ප්‍රජාවන්ගේ සමස්ත දරු උපත් සංඛ්‍යාව හා මුස්ලිම් දරු උපත් අතර පරතරය 216,901 සිට 5,017,827 දක්වා වැඩි වී තිබේ. (2 ප්‍රස්ථාරය බලන්න)

2 ප්‍රස්ථාරය – 1992 – 2015 අතර මුස්ලිම් / මැලේ සහ සිංහල දරු උපත් සමස්තය

මූලාශ්‍රය: ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ඉහත සඳහන් කරන ලද වෙනස්කම් මෙහි රූපමය ලෙස ඉදිරිපත් කර තිබේ. ඉහළ අළු පැහැති කොටසින් නිරූපණය වන්නේ ශ්‍රී ලංකාවේ පසුගිය 24 වසර තුළ උපන් සමස්ත සිංහල ජනගහනයයි. 1992දී, සිංහල ජනවාර්ගිකත්වයේ මව්වරුන්ගෙන් 254,203ක් දරු උපත් සිදු විය. වසර 24කට පසු උපත් අනුව සමස්ත සිංහල ජනගහනය මිලියන හයකට වැඩි විය (6,045,612). ඒ අයුරින් ම, මුස්ලිම් ජනවාර්ගිකත්වයේ මව්වරුන් 1992දී දරු උපත් 37,302ක් සිදු කළ අතර, වසර 24කට පසුව අදාළ සංඛ්‍යාව මිලියනයකට මඳක් වැඩි ය (1,027,783). මෙම වකවානුවේදී සමස්ත මුස්ලිම් ජනගහනය කුඩා කොළ පැහැති තීරයෙන් නිරූපණය වේ.

1992න් පසු උපන් සිංහල සහ මුස්ලිම් ජනයා අතර පරතරය කාලය සමග අනතුරුදායක ලෙස වැඩි වනු දකින්නට ලැබීම පුදුමයක් නොවේ. කහ පැහැති තීරයෙන් නිරූපණය වන්නේ මුස්ලිම් ජනගහනය විසින් එම කාල පරිච්ඡේදය තුළ නිර්මාණය කර තිබෙන පරතරය හෝ අතිරික්තයයි. මුස්ලිම්වරුන්ට වඩා සිංහලයන්ගේ වැඩිවීම 216,902 සිට 5,017,829 දක්වා මිලියන කාලක පමණ සිට මිලියන පහකට වඩා 1992න් පසු 24 වසර තුළ වැඩි වී තිබේ. මධ්‍යස්ථ වර්ධන අනුපාතිකයක් ඇති ශ්‍රී ලාංකික මුස්ලිම් වැනි කුඩා ප්‍රජාවකට බහුතර ප්‍රජාවක් ප්‍රජනනයෙන් පමණක් අභිබවා යා නොහැකි බවට මෙය පැහැදිලි සාක්ෂියකි. ඒ සඳහා අසාමාන්‍ය ලෙස ඉහළ උපත් අනුපාතිකයක් හෝ ඉතා ඉහළ මට්ටමේ සංක්‍රමණයක් අවශ්‍ය ය. එහෙත්, එය ශ්‍රී ලංකාවට අදාළ තත්වයක් නොවේ.

මෙයින් ඇඟවෙන කරුණක් වන්නේ ප්‍රජාවන්ගේ ජනගහන වර්ධනයන් වර්තමානයේ පවතින අනුපාතිකයන්ගෙන් පවත්වාගෙන ගියහොත්,‍ එය ද සිදුවිය හැක්කක් නොවුණත්, පරතරය අවුරුදු 100කටත් වඩා කාලයක් තිස්සේ තවත් පුළුල් වනු ඇති අතර එකට හමු වන්නේ අවුරුදු 200කට පසුව බව ය. ඒ සඳහා මුස්ලිම් ජනගහනය සදහට ම මෙම වර්ධන අනුපාතිකයෙන් පැවතිය යුතු ය.

දෙවැනි කොටස පසුව පල කැරෙනු ඇත.

 

Archive

Latest news

Related news