Wednesday, July 17, 2024

මාධ්‍ය සංවිධාන එක්ව වෘත්තීය අයිතීන් සහ වගකීම් පිළිබඳ ජනමාධ්‍ය ප්‍රඥාප්තියක් එළිදක්වයි.

“ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ නිසි කම්කරු නීති කාර්පටිපාටීන් අනුගමනය නොකරමින් මාධ්‍ය ආයතන වසා දැමීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ සාමාන්‍යකරණය වූ අවභාවිතාවක් බවට පත්ව ඇත. ගතවූ මාස 12 ක කාලය තුළ මාධ්‍ය සේවකයන් සිය ගණනකට සිය රැකියා අහිමි වී ඇති අතර, ඒ අනුව මාධ්‍ය කර්මාන්තයේ රැකියා අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇත්තේ, නව පරපුර මෙම ක්ෂේත්‍රය වෙත යොමුවීම තවදුරටත් අධෛර්යමත් කරමිනි.

මාධ්‍ය කර්මාන්තයේ යහපත වෙනුවෙන් උද්දේශන කාර්යයේ යෙදෙන මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති අතර පවා, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ දැනුම සැලකිය යුතු අන්දමින් අඩු බව පෙනී ගොස් ඇත. වෙනත් දේ අතර, මාධ්‍ය හිමිකාරිත්වය සහ රාජ්‍යය/ආණ්ඩුව විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ආචාර ධාර්මික මාධ්‍යකරණය සහ වෘත්තීය සමිති හෝ මාධ්‍ය සංවිධානවලට බැඳීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය පිළිගත යුතුය. වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයන් පිළිපදින අතරවාරයේම, මාධ්‍යකරණයේ ප්‍රමුඛතම රීතිය වන මහජන සුබසිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් තමන් වෙත ඇති වගකීම අනුදැකිය යුතුය.”

ශ්‍රී ලංකා වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පිළියෙළ කරන ලදුව සාමූහික ප්‍රඥාප්තියක් ලෙස ප්‍රකාශයට පත් කැරෙන  මාධ්‍යවේදීන්ගේ අයිතීන් සහ වගකීම් ප්‍රකාශනය එළි දැක්විමේ උත්සවය ජූලි 17වනදා සවස 3.30 ට  කොලඹ ජනමාධ්‍ය විද්‍යාල ශාලාවෙහිදී පැවැත්වේ. 

එම ප්‍රඥාප්තිය පහත දැක්වේ:

 

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ ප්‍රඥප්තිය

පූර්විකාව

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්වල මූලික වැදගත්කම ප්‍රජාතන්ත්‍රවාදයේ මුල්ගල ලෙස සහ මහජන සුබසිද්ධියේ හදවත ලෙස යළි යළිත් තහවුරු කරමින්;

දේශීය හා ජාත්‍යන්තර කම්කරු අයිතීන් අවධාරණය කරමින්;

සංවිධානය වීම සහ මාධ්‍ය වෘත්තීය සමිතිවලට බැඳීම ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වල අනාගතය බව තරයේ කියා සිටිමින්,

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්වලට ගරු කිරීම මගින් ඕනෑම අවස්ථාවකදී වඩා වැඩි මහජන සුබසිද්ධියක් සැලසෙන බව ඒත්තු ගන්වමින්;

මාධ්‍යය තුළ වෘත්තීය ආචාර ධර්ම පිළිපැදීම වෘත්තීය ජනමාධ්‍යකරණයේ මූලික අවශ්‍යතාවක් බව සිහිපත් කරමින්;

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්වලට සමගාමී ව මාධ්‍ය හිමිකාරිත්වයේ වගවීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරමින්;

ආචාර ධාර්මික සහ වගකීම් සහගත මාධ්‍ය සංස්කෘතියක් ස්ථාපනය කිරීම ප්‍රවර්ධනයට නිරන්තරයෙන් සහ උපරිම වශයෙන් එකඟ වෙමින් මෙම ප්‍රඥප්තිය එළිදැක්වේ.

හැඳින්වීම

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සහ නිසි කම්කරු නීති කාර්පටිපාටීන් අනුගමනය නොකරමින් මාධ්‍ය ආයතන වසා දැමීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය තුළ සාමාන්‍යකරණය වූ අවභාවිතාවක් බවට පත්ව ඇත. ගතවූ මාස 12 ක කාලය තුළ මාධ්‍ය සේවකයන් සිය ගණනකට සිය රැකියා අහිමි වී ඇති අතර, ඒ අනුව මාධ්‍ය කර්මාන්තයේ රැකියා අනාරක්ෂිතභාවය ඉහළ ගොස් ඇත්තේ, නව පරපුර මෙම ක්ෂේත්‍රය වෙත යොමුවීම තවදුරටත් අධෛර්යමත් කරමිනි.

මාධ්‍ය කර්මාන්තයේ යහපත වෙනුවෙන් උද්දේශන කාර්යයේ යෙදෙන මාධ්‍ය සංවිධාන හා වෘත්තීය සමිති අතර පවා, මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ දැනුම සැලකිය යුතු අන්දමින් අඩු බව පෙනී ගොස් ඇත. වෙනත් දේ අතර, මාධ්‍ය හිමිකාරිත්වය සහ රාජ්‍යය/ආණ්ඩුව විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, ආචාර ධාර්මික මාධ්‍යකරණය සහ වෘත්තීය සමිති හෝ මාධ්‍ය සංවිධානවලට බැඳීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය පිළිගත යුතුය. වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහයන් පිළිපදින අතරවාරයේම, මාධ්‍යකරණයේ ප්‍රමුඛතම රීතිය වන මහජන සුබසිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් තමන් වෙත ඇති වගකීම අනුදැකිය යුතුය.

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර ලේඛන ගණනාවක් ප්‍රවේශමෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව සකස් කර ඇති මෙම ප්‍රඥප්තිය, ශ්‍රී ලාංකේය සන්දර්භය අවධාරණය කරමින්, ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම්වල අනුලංඝනීය වලංගුතාවය හා වැදගත්භාවය උසුළා සිටිමින් එකී අයිතිවාසිකම් සහ වගකීම් පිළිබඳ මාර්ගෝපදේශනයන් හා අයිතිය කියාපෑම් පිළිගැනීමට හා සාරාංශගත කිරීමට ගන්නා ලද පරිශ්‍රමයකි.

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් ප්‍රඥප්තියේ අත්සන්කාර පාර්ශවයන්

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය – Sri Lanka Working Journalists Association (SLWJA)

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය – Free Media Movement (FMM)

ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය – Sri Lanka Muslim Media Forum (SLMMF)

ශ්‍රී ලංකා දමිල මාධ්‍ය සංසදය – Sri Lanka Tamil Media Forum (SLTMF)

මාධ්‍ය සේවකයෙන්ගේ වෘත්තීය සමිති සම්මේලනය – Media Employees Trade Unions (METU)

තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය – Young Journalists Association (YJA)

ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්

1. ජනමාධ්‍යවේදීන්ගේ රැකියා ගිවිසුම්, රැකියා විස්තර සහ/හෝ රැකියා තත්වය තුළ කුමක් සඳහන් වුවද මාධ්‍යවේදීන්ට අදාළ කම්කරු නීති, සෙසු නීති, අනු නීති සහ රෙගුලාසි යනාදිය මගින් ආරක්ෂා කර ඇති සියලු අයිතිවාසිකම් සඳහා ජනමාධ්‍යවේදීන්ට අයිතිය තිබේ.

2. සිය මාධ්‍ය ආයතනය තුළ හෝ තනි පුද්ගල වෘත්තිකයෙකු වශයෙන් කේවල් කිරීමට, සංවිධානය වීමට,ජාලගත වීමට සහ අභිමානයෙන් යුතුව ස්වකීය වෘත්තියේ නියැළීමට ජනමාධ්‍යවේදීන්ට අයිතිය තිබේ.

3. තමන් සේවය කරන මාධ්‍ය ආයතනය සහ මාධ්‍ය හිමිකාරිත්වය (එහි ව්‍යාපාරික පසුබිම ඇතුළුව) පිළිබඳ දැනගැනීමේ අයිතිය, එනම් ‘මාධ්‍ය ආයතනය පිළිබඳ දැනගැනීමට ඇති අයිතිය‘ (‘right to know the media institution’) ජනමාධ්‍යවේදීන් සතු ය. එසේ හෙයින් යම් ලිඛිත නීතියකින් වාරණය කරන්නේ නම් මිස, මාධ්‍ය ආයතනය සහ මාධ්‍ය හිමිකාරිත්වය පිළිබඳ කරුණු සොයා බැලීම සහ තොරතුරු ලබාගැනීම සඳහා මාධ්‍යවේදීන්ට ඇති අයිතිය සීමා නොකළ යුතුය.

4. සිය මාධ්‍ය ආයතනයේ පැවැත්ම පිළිබඳ සියලු වැදගත් තීරණ සහ ප්‍රතිපත්ති පිළිබඳ සැබෑකරුණු සහ තොරතුරු පිළිබඳ දැනුම්වත් වීමට මාධ්‍යවේදීන්ට අයිතිය තිබේ.

5. ජනමාධ්‍ය සමාජය පිළිගත් ආචාරධර්මවලට පටහැණි ලෙස සහ අවිද්‍යාව, මිත්‍යාව වැනි මහජන සුබසිද්ධියට පටහැණි යම් ක්‍රියාවක් හෝ මතයක් පළ කරමින් වෘත්තියේ නියැළෙන ලෙසට මාධ්‍යවේදීන්ට බලපෑම් කිරීමට මාධ්‍ය හිමිකාරිත්වයට හෝ සේව්‍යයන්ට හෝ මාධ්‍ය ආයතනයේ තීරණ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ට නොහැකි අතර, ජනමාධ්‍යවේදීන්ට එබඳු තීරණ සහ ප්‍රතිපත්ති නිදහසේ ප්‍රශ්න කිරීමට සහ අභියෝග කිරීමට අයිතිවාසිකමක් ඇත.

6. සියලු තොරතුරු මූලාශ්‍රයන් වෙත නිදහසේ පිවිසීමට මාධ්‍යවේදීන් හට අයිතිය හිමිවිය යුතු අතර, එසේ හෙයින් අන්තර්ජාලයට නොමිලේ පිවිසීම,උපාංගවල ආරක්ෂාව,ඉලක්කගත තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් නොවන සේ මාධ්‍යවේදියා හට ලබාදීම ඇතුළත්ව,නමුත් ඉහත කී කරුණුවලට සීමා නොවූ යෝග්‍ය පහසුකම් සහ ආරක්ෂණයන් සේව්‍යයා සහ මාධ්‍ය හිමිකාරිත්වය විසින් මාධ්‍යවේදීන් වෙත සලසා දිය යුතු වේ.

7. ගැටුම්කාරී සහ ගැටුම්කාරී නොවන තත්වයන් තුළ, අන්තර්ජාල හිරිහැරවලින් ආරක්ෂාවද ඇතුළත්ව නමුත් එයට සීමා නොවී,ස්වකීය කාර්යයන් ආරක්ෂිත තත්වයන් යටතේ සිදුකිරීමට මාධ්‍යවේදීන්ට අයිතිය තිබේ.

8. ඩිජිටල් සාක්ෂරතාවය ද ඇතුළත්ව,නූතන තාක්ෂණයන්ට සමගාමී ලෙස ස්වකීය වෘත්තීය නිපුණතා වැඩිදියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීමට මාධ්‍යවේදීන්ට අයිතිය තිබේ. (උදාපුහුණු වැඩසටහන්,වැඩමුළු (දේශීය හා විදේශීය),ශිෂ්‍යත්ව යනාදිය).

9. මහජන අවකාශයේ පවතින සියලු කරුණු නිදහසේ විමසා බැලීමට,සමාජදේශපාලන ක්‍රියාකාරකම්වල නියැළීමට සහ එබඳු තොරතුරු ඕනෑම අවස්ථාවකදී මහජන සුබසිද්ධිය වෙනුවෙන් වෘත්තිමය ආකාරයට බෙදා හැරීම සඳහා ජනමාධ්‍යවේදීන්ට අයිතිය තිබේ.

10. සේවයට බඳවා ගැනීම, සේවය අවසන් කිරීම,සේවා මාරු, උසස්වීම්, සේවා අතිරික්තය, මාධ්‍ය ආයතනයේ හිමිකාරිත්වයේ/ කළමනාකාරිත්වයේ සිදුවන වෙනස්කම් පිළිබඳ සියලු තීරණ පිළිබඳ අනනුකූලව මනා ලෙස දැනුම්වත් වීමේ අයිතිය ජනමාධ්‍යවේදීන්ට තිබේ.

ජනමාධ්‍යවේදීන්ගේ වගකීම්

1. මාධ්‍ය කර්මාන්තයේ උනන්තිය වෙනුවෙන් ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ද සංවිධානය වීමේ,ජාලගත වීමේ සහ වෘත්තීය සමිති පිහිටුවා ගැනීමේ වගකීම මාධ්‍යවේදීන් සතුය.

2. එසේ සංවිධානය වීම, වෘත්තීය සමිති පිහිටුවා ගැනීම සහ සිය මාධ්‍ය ආයතනය තුළත් වෙනත් ක්ෂේත්‍රයන් හි වෘත්තීය සමිති සමගත් ජාලගත වීම ප්‍රවර්ධනය කිරීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

3. ආචාර ධර්මවලට පටහැණිව කටයුතු කිරීම,සේවක අයිතිවාසිකම්වලට පටහැණිව කටයුතු කිරීම යනාදිය පිළිබඳව තම මාධ්‍ය වෘත්තීය සමිති දැනුම්වත් කිරීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

4. සිය මාධ්‍ය ආයතනය තුළ හා වෘත්තීය සමිතිය තුළ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයන් (Watchdog Mechanisms) සකස් කිරීමේ හා ඒවා ප්‍රවර්ධනය කිරීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

5. සිය වෘත්තිමය ක්‍රියාවට අදාළව බැඳියාවන් අතර ගැටුමක් (Conflict of Interest)ඇතිවන ඕනෑම අවස්ථාවකදී ඒ පිළිබඳ තමා වගකීමට බැඳී සිටින වැඩ අධීක්ෂකවරයාට (කතුවරයාට/ප්‍රවෘත්ති කළමනාකාරවරයාට) දැනුම් දීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

6. මාධ්‍යවේදීන්ගේ සමාජ මාධ්‍ය හැසිරීම මගින්, ඔවුන් සේවය කරන යම් මාධ්‍ය ආයතනයක වෘත්තීය හැසිරීම අවශ්‍යයෙන්ම ප්‍රකට කළයුතු නොවන්නේ වුවද, සිය වෘත්තීය ගරුත්වය ආරක්ෂා වන පරිදි සමාජ මාධ්‍යය භාවිතා කිරීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

7. වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ ගැටළු සහගත අවස්ථාවකදී/ අපැහැදිලිතාවයකදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනයකින් (එනම් පුවත්පත් පැමිණිලි කොමිසම) උපදෙස් පැතීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

8. ස්වකීය වෘත්තීමය රහස්‍යභාවය සහ රහස්‍යභාවයෙන් යුතුව ලබාගත් තොරතුරු හෙළිදරව් නොකිරීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

9. ස්වයං විවේචනයට යොමු වීම, ආචාර් ධාර්මික වශයෙන් සංවර්ධනය කරගත යුතු අවස්ථා හඳුනා ගැනීම සහ ඒවා නිවැරදි කර ගැනීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

10. අවිද්‍යාව, මිත්‍යාව වැනි මහජන සුබසිද්ධියට පටහැණි මාධ්‍යකරණයක නොයෙදීමේ වගකීම මාධ්‍යවේදීන් සතු ය.

ක්‍රියාවට නැංවීමේ වැඩරාමුව (Implementation Framework) :

මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ දැනුවත්භාවය ඇතිකිරීම හා මෙම ප්‍රඥප්තිය සම්බන්ධයෙන් පුළුල් කැපවීමක් ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA) සෙසු හවුල්කාර සංවිධාන හා වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව මාධ්‍යවේදීන්, කර්තෘවරුන්, මාධ්‍ය හිමිකරුවන්, සංවිධාන, වෘත්තීය සමිති, රජයේ නියෝජිතයන් සහ විද්වතුන් අතරට මෙම ප්‍රඥප්තිය හඳුන්වා දීම හා ප්‍රවර්ධනය කිරීම සිදුකරනු ඇත.

Archive

Latest news

Related news